2022 මැයි 01 වන ඉරිදා

ලංකාවේ පොල් ලෙල්ල ඩොලර් උල්පතක් කළ සුසන්ත

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 5776

 

සුසන්ත ශාන් හැලඹ ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජයගත් ශ්‍රී ලාංකිකයෙකි. වර්තමානය වනවිට ඔහුගේ ව්‍යාපාරය රටවල් හැට දෙකක් දක්වා පුළුල්ව පවතී. කොළඹ මහ නගර සභාවේ මහජන සම්බන්ධතා නිලධාරියකු ලෙසින් කටයුතු කළ ශාන්ගේ පියාට තම පුතණුවන් ව්‍යාපාරිකයකු කරවන්නට සිහිනයක් තිබුණේ නැත. තම පරපුරේ කිසිවකු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලෙන්නකු නොවුණ විට ශාන්ටද ව්‍යාපාරිකයකු වන සිහිනය තිබුණේද නැත.

සුසන්ත ශාන් කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු නාලන්දාවේ ^93 වසරේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයාද විය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔහු ''ලංකා බෙල්'' ආයතනයේ සේවයට එක් වූවේය. ඇමෙරිකානු සමාගමක් වූ එය සුසන්ත ශාන්ගේ හැකියාවන් දැක ''හවායි'' දූපතට ඉහළ වැටුපකට ඉහළ තනතුරකට උසස්වීමක් ලබා දුන්නේය. ඒ 1996 වසරේදීය. ඒ අනුව පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් ශාන් එම ආයතනයට එක්වූවේය. නමුත් ඒ සම්බන්ධයෙන් පිළිගත් උපාධි සහතිකයක් ශාන් සතුව නොතිබිණි. ඒ නිසාම ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතුව 1997 වසරේදී ශාන් නවසීලන්තයට ගොස් උපාධිය සඳහා අධ්‍යාපනය ලැබුවේය.

සාමාන්‍ය පවුලක උපත ලද ශාන්ගේ අධ්‍යාපනයට විදයම් කරන්නට ශාන්ගේ දෙමව්පියන්ට එතරම් වත්කමක් තිබුණේ නැත. රැකියාවක් කරන ගමන් උපාධිය හදාරන්නට තරම් කාලයක් ශාන්ට තිබුණේද නැත. ඒ නිසාම තම වියහියදම් පියවා ගන්නේ කෙසේදැයි ශාන් කල්පනා කළේය. උපාධිය අතහැර නැවත වෙනත් රැකියාවක් කරන්නට හිත හදාගන්නට ශාන්ගේ හිත ඉඩ දුන්නේ නැත. එය එතරම්ම වටිනා, ඉහළ පෙළේ උපාධියකි. තම කණ්ඩායමෙන් දෙසිය තිස් ගණනක් උපාධිය වෙනුවෙන් ලියාපදිංචි වී තිබුණද උපාධිය අවසන් කිරීමට හැකිවූයේ එයින් තිස් එකකට පමණි. ඒ අතරින් සිටි එකම ශ්‍රී ලාංකිකයා වූයේ සුසන්ත ශාන්ය. නවසීලන්තයේ ඉගෙන ගන්නා අතර තවත් රැකියාවක් කරන්නට තරම් කාලයක් තිබුණේ නැත. ඒ වෙද්දී ශාන්ගේ හිතවතෙක් ජපානයේ සිටියේය. ඒ වෙද්දී නවසීලන්තයේ වයසක වැඩිහිටියන් බොහොමයක් ජීවත්වූයේ දරුවන් සමඟ නොවේ. ඔවුහු ඒ කාලයේදී විශ්‍රාමික ගම්මානවල ජීවත් වූහ. ඔවුන් ඉතා ධනවත් පුද්ගලයෝ වූහ. ඔවුහු වයසට ගියවිට ස්පෝට් කාර් පැදීමට වැඩි කැමැත්තක් දැක්වූහ. මේ නිසාම ශාන් තම ජපානයේ සිටි හිතවතා ලවා ජපානයෙන් එම කාර් ගෙන්වා ඒවා විකුණා ජපන් හිතවතාට මුදල් යැව්වේය. එයින් සැලකිය යුතු මුදලක් ශාන්ට ලැබුණි. ඒ සමඟ ශාන් ව්‍යාපාරික තොරතුරු කළමනාකරණ උපාධිය හදාරා අවසන් කළේය.

ඔය අතරේ ඔහුගේ සුදුසුකම්වලට අනුව ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ආයතනයක් ශාන්ට රැකියාවක් ලබා දුන්නේය. ඒ අනුව 2001 වසරේදී ශාන් අලුත් රැකියාවට සම්බන්ධ වූවේය. ඔය අතරවාරයේදී නවසීලන්තයේ පැවැති උපාධි සහතික ප්‍රදානෝත්සවයට යාමට ශාන්ට හැකියාවක් ලැබුණේ නැත. ඒ තම රැකියාව නිසාවෙනි.

2002 වසර සුසන්ත ශාන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ වසරක් විය. ඔහු ගුවන් යානයෙන් නවසීලන්තයට යමින් සිටියේය. ගුවන් යානයේ ඔහුගේ අසුනට යාබදව අසුන්ගෙන සිටි නවසීලන්ත ජාතිකයා ඒ කාලයේදී ලෝකයේ සිටි ඉතා දක්ෂ හරිතාගාර පරීක්ෂකවරයෙකි. ශාන් සහ ඔහු අතරේ සුහද කතාබහක් ඇතිවුණි.

''මම ලංකාවේ කියද්දී ඔහු උඹලගේ රට තියෙන්නේ රත්තරන් නිධියක් උඩ කියල කිව්වා. ඇත්තටම මට ඒ වෙලාවේ හිනා ගියා. අපිට මැණික් තියෙන්නේ. අපිට රත්තරන් නැහැ කියල මම කිව්වා. නැහැ... උඹලගේ රත්තරන් තමා උඹලාගේ පොල් ලෙල්ල කියල කියද්දී මට පුදුම හිතුණා. හැබැයි මම ඒක ඒ වෙලාවේ එච්චර ගණන් ගත්තේ නැහැ. කොහොම හරි ඒ වෙද්දීත් ඔවුන් ලෝකයේ අනාගතයේදී එක එක රටවල්වලින් හැදෙන්න පුළුවන් බෝග සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් ඉඳල තියෙන්නේ. ඒ සම්බන්ධ විස්තර ඔහු මට පෙන්නුවා. ඔවුන් රටවල් කිහිපයකින්ම පොල් ලෙලි ගෙනත් පරීක්ෂා කරද්දී ලංකාවේ පොල් ලෙල්ලේ වැඩිපුර ජලය රැඳෙන බව සොයාගෙන තිබෙනවා. එයින් හරිතාගාරවලට වැඩි ඵලදාවක් ගන්නට පුළුවන් බව ඔවුන් සොයාගෙන තිබෙනවා.'' යැයි සුසන්ත ශාන් ඒ අතීතය දේශයට පැවසීය.

ඒ වෙද්දී ඔවුන් සිටියේ පරීක්ෂණ මට්ටමිනි. ගමනාන්තයේදී ඔවුන්ගේ සුහද කතාබහ දුරකථන කතාබහ දක්වා දුරදිග ගියේය. එය ශාන්ගේ ජීවිතය වෙනතකට යොමුකරනා හමුවක් බව ඔහු එදා දැන සිටියේ නැත. මාස හතරක් පමණ ගතවුණි. දිනක් නවසීලන්ත ජාතිකයා ශාන්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. ''අපේ පරීක්ෂණය සාර්ථකයි. උඹලාගේ පොල් ලෙල්ල හරිම වටිනවා. අපිට ලංකාවෙන් මේ සඳහා සමාගමක් ඇමෙරිකාවට ඕන වෙනවා. අපිට උඹ දන්නා ලංකාවේ කම්පැණියක් හඳුන්වල දීපන්'' නවසීලන්ත ජාතිකයා ශාන්ට පැවසීය. ඒ වෙද්දී ඇමෙරිකාවේ ඉහළ පෙළේ ආයතනයක ඉහළ පෙළේ වැටුපක රැකියාවක් කළ ශාන්ට අපූරු අදහසක් පහළ වුණි.

''මාස දෙකකට පස්සේ මම ඔහුට කතා කරලා මම කැමැතියි රස්සාවෙන් අයින්වෙලා මේ වැඩේ පටන් ගන්න කියලා කිව්වා. ඒ වෙද්දී මම පොල් ලෙල්ල ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසාම ඇමෙරිකාවේ රස්සාවෙන් අයින්වෙලා මම ලංකාවට ඇවිත් ඉතාම පොඩි තැනක් කුරුණෑගල හොයාගත්තා. ඉතාම පොඩි තැනකින් 2003 වසරේදී මම ලංකාවේ මේ මගේ අලුත් ව්‍යාපාරය පටන් ගත්තා. මුලින්ම කෙනෙකුගෙන් පොල්ලෙලි මිලදී ගෙන තමයි වැඩේ පටන් ගත්තේ. මගේ තාත්තා මට ගොඩාක් උදව් කළා.'' යැයි සුසන්ත ශාන් වැඩිදුරටත් දේශයට පැවසීය.

2006 වසරේදී ඇමෙරිකාවේ අක්කර එකසිය හතළිස් පහක් තිබූ හරිතාගාරයක අක්කරයක් ශාන්තට ලැබිණි. කාලයක් යද්දී අනිත් හරිතාගාරවලට වඩා ශ්‍රී ලංකාවෙන් ගෙන්වූ පොල් ලෙල්ල යෙදූ හරිතාගාරයෙන් ලැබුණු ඵලදාව වැඩි විය. ඒ අනුව අවසානයේදී ඇමෙරිකාවේ අක්කර එකසිය හතළිස් පහකම තිබූ හරිතාගාරවලට පොල් ලෙලි සපයන්නට ශාන්තට ඇනවුම ලැබුණි. එය ඉතා විශාල ඉල්ලුමකි. ශාන්ගේ ජීවිතේ විශාල ජයග්‍රහණයකි. ඇමෙරිකාවට පසුව නවසීලන්තයෙන්ද ශ්‍රී ලංකා පොල් ලෙල්ලට ඉල්ලුමක් ලැබුණි. ඒ වෙද්දී නවසීලන්තයෙන් ජපානයට තක්කාලි යැවෙමින් පැවතුණි. ජපානයේ ඉහළ පෙළේ නිලධාරියෙක් තක්කාලි වගාව නැරඹීමට නවසීලන්තයට ආ ගමනේදී ''ශ්‍රී ලංකාවේ පොල්ලෙල්ල'' පිළිබඳව දැනගත්තේය. එයින් ජපාන හරිතාගාරවලින්ද ශ්‍රී ලංකාවේ පොල්ලෙල්ලට ඉල්ලුමක් ලැබුණි.

ශාන් සම්පූර්ණ පොල්ලෙල්ල පිටරට යැව්වේ නැත. ඔහු මෙය විවිධ ප්‍රමාණවලට යන්ත්‍ර යොදාගෙන කැපුවේය. එය කොහුබත් කළේය. විවිධ ප්‍රමාණයේ විවිධ හැඩයෙන් යුතු තාක්ෂණික දැනුම එකතු කොටගත් නිෂ්පාදනය කළ පොල් ලෙලි කැබැලිවලට දිනෙන් දින ඉහළ වටිනාකමක් ලැබුණි. 

ලෝකයේ බොහෝ රටවල්වල හරිතාගාර මේ වනවිට සුසන්ත ශාන්ගේ ''Rio Coco'' ව්‍යාපාරය හඳුනයි. ශාන්ත තම ආයතනයට නම යෙදුවේ ''Cey Hi Nz Link International Company''ලෙසිනි. දිනක් ශාන් ඇමෙරිකානු සහ නවසීලන්ත දෙදෙනා සමඟ රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී නවසීලන්ත ජාතික හිතවතා අසල තිබූ අත් පිස්නාවක විවිධ නම් ලියමින් සිටියේය. එහිදී ''Rio Coco'' ලෙසින්ද ඔහු අතින් නමක් ලියැවුණි. ඒ අනුව මේ වනවිට ශාන්ගේ ව්‍යාපාර ආයතනයෙන් ශ්‍රී ලංකාවෙන් රටවල් ගණනාවකට ගෙන යන ''Rio Coco'' ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාරයක් බවට රටවල් අතර ප්‍රචලිත වී හමාරය.

2008 අවුරුද්දේ සුසන්ත ශාන් ලංකාවේ තමන්ගේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කළේය. ඔහු කටුපොත අක්කර විස්සක ඉඩමක් මිලදී ගත්තේය. 2022 වසර වනවිට ''Rio Coco'' නම් ශ්‍රි ලාංකික පොල් ලෙල්ල රටවල් හැට දෙකකට යමින් පවතී. ඒ අනුව මේ වනවිට ''Rio Coco'' වැඩිම ඉල්ලුම ඇත්තේ ඇමෙරිකාවටය. ඊට අමතරව ජපානය, මැක්සිකෝව සහ කැනඩාවටද ඉතා විශාල ඉල්ලුමක් පවතී.

ශාන් ලංකාවේ පොල් ලෙල්ලට වෙළඳපොළ නිර්මාණය කළේ ඇමෙරිකාවේ සිටය. අදටත් එසේමය. ඒ නිසාම සියලුම රටවල් ශාන්ගේ ව්‍යාපාරය විශ්වාස කළේය. ඒ විශ්වාසය මත ඉතා විශාල ඉල්ලුමක් ''Rio Coco'' වෙත ලැබුණි. රටවල් හැට දෙකකින් රටවල් හයක ශාන්ගේ ආයතනයේ ශාඛා පිහිටා ඇත. ප්‍රධාන ආයතනය ඇත්තේ ඇමෙරිකාවේය.

මේ වෙද්දී ශ්‍රී ලංකාවේ පොල්ලෙල්ල ජාත්‍යන්තරයට ගෙන ගිය ශාන් සම්මාන කිහිපයකින්ම පිදුම් ලද ශ්‍රී ලාංකිකයෙකි. 2011 වසරේදී ටෙක්සාස්වල අවුරුදු හතළිහට අඩු ව්‍යවසායකයන්ට ලබාදුන් සම්මාන උළෙලේදී ''තරුණ ව්‍යවසායකයාට'' හිමි සම්මානය ඔහුට හිමිවිය. එමෙන්ම 2015 වසරේදී ලෝකයේ ඔස්කාර් සම්මාන උළෙලට සමානව ඇමෙරිකාවේ පැවැත්වෙන ''STEVIE'' සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. එය රටවල් හැත්තෑ දෙකකින් ව්‍යවසායකයන් එක්දාස් හාරසීයක් අතරින් තේරුණු අවස්ථාවකි. ශාන් එහිදී ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසින් පිදුම් ලැබීය. දෙවතාවක්ම එම සම්මානය දිනාගත් එකම ශ්‍රී ලාංකිකයාද විය.

මිලියන තුන්සිය විස්සක් ජීවත්වන රටක එවැනි සම්මාන උළෙලෙකදී රන් සම්මානයක් දිනාගැනීම ජයග්‍රහණයකි. සුසන්ත ශාන් ඒ ජයග්‍රහණය ලත් ශ්‍රී ලාංකිකයෙකි. ඔහු දෙවතාවක්ම එකම රන් සම්මානය දිනාගත් එකම ශ්‍රී ලාංකිකයාය. ඒ අප රටේ ඉවත දැමූ පොල් ලෙල්ලෙනි.

''මගේ ජීවිතේ ටීෂා හම්බවුණාට පස්සේ වෙනස් වුණා. මගේ ජීවිතේ එතෙක් ගෙවුණේ හෝටල්වලයි, ගුවන් යානාවලයි. ජීවිතේ වැඩි කාලයක් ඒ තුළයි ගෙවුණේ. මම ලෝකය වටේ රටවල් හැට හතරක යමින් හිටිය කෙනෙක්. ඒ ජීවිතය ටීෂායි, චූටි පුතයි නිසා අඩුවුණා. අද මගේ ජීවිතය සම්පූර්ණයි.''

ශ්‍රී ලංකාවේ පොල් ලෙල්ල ලෝකයට ගෙන ගිය ජීවිතය ජයගත් සුසන්ත ශාන් කියන්නේ එලෙසිනි.

■   දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00