2022 මැයි 01 වන ඉරිදා

නොඉල්ලා කිසිවක්ම හැමදෙනාටම උදව්වක් කරන්න...

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 386

නොඉල්ලා කිසිවක්ම ආපසු ප්‍රේමය සේම ඔබට මිනිසෙකු වශයෙන් මිනිසුන් වෙනුවෙන්, ලෝකය වෙනුවෙන්, මේ මහ පොළොව වෙනුවෙන් යමක් දිය හැකිද? දුන් දේ වෙනුවෙන් නැවත අල්පමාත්‍රික හෝ යමක් නොඉල්ලමින්, ප්‍රාර්ථනා නොකරමින්, බලාපොරොත්තු නොවෙමින් යමක් ප්‍රදානය කළ හැකි නම් ඒ තමයි නිරාමිස සතුටකින් ඔබේ හදවත පුරවන සැබෑ දානය...

ඇයි මම මෙවැනි පූර්විකාවක් ඔබ අබිමුව සනිටුහන් කළේ... මේ ලෝකයේ පවතින සොඳුරුතම විශ්වීය නීතියක් ගැන මට ඔබ එක්ක කතා කරන්න හිතුණා.

ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ සිතුවිලි චර්යාත්මක කාරණා බවට පරිවර්තනය වන්නේ කෙසේද? ඔබ මිනිස්සුන්ට, ලෝකයට, මේ මහ පොළොවට ලබාදෙන ආදරය කොතෙක්ද? ගෞරවය කොතෙක්ද? පරිත්‍යාගයන් කොතෙක්ද ඒ සියල්ල ඔබට කවදා කොතනකින් කාගෙන් හෝ නැවත ලැබෙනවා....... සංසාර ගමනේදීත් ඔබ වපුරන සියල්ලෙහි අස්වනු ඔබ නෙලා ගත යුතු වෙනවා... එයයි ඒ විශ්ව නීතිය.

එහෙයින් ඔබ කිසිවෙකු වෙනුවෙන් භෞතිකව හෝ ආධ්‍යාත්මිකව පිරිනමන යමක් වෙත් නම් එය හුදෙක් ගනුදෙනුවක් තුළ පමණක් ලඝු කරන්න එපා.... ඒ සියල්ල තුළ ඔබ ආදරය සහ ගෞරවය වත්සුණු සුවඳක් සේ තවරන්න... මම මෙහෙම කරලත් ඇයි මට මෙහෙම කළේ කියන දෝස්මුරය තබනු වෙනුවට ජීවිතයේ ඇතැම් සංසිද්ධින් අබිමුව ඔබට හැකිනම් වෙනස් විදිහට ප්‍රති උත්තර දෙන්න. නිහඬතාවයේ නීතියෙන් ජීවිතය පදනම් කළ ගැඹුරු ආධ්‍යාත්මයකින් සියල්ල දෙස විචක්ෂණශීලීව බලන්න... විමසන්න...

විශ්ව නීතියෙන් සොබාදහමේ නීතියෙන් ඔබට කවදාවත් අසාධාරණයක් වෙන්නෙ නෑ... සෙවණැල්ලක් සේ ජීවිතය පසුපස සහ සංසාරය පසු පස එන්නෙ ඔබ දුන් දේවල්... ඔබේ සිතුවිලිවල ශක්තීන්. ඒ නියත ධර්මය ඔබ මැනවින් අවබෝධ කරගන්න. මේ අහස පොළොව අතර සියල්ල යථාර්ථවාදීව දකින්න එය ඔබට ශක්තියක් වෙයි.

මේ පිළිබඳව මනෝවිද්‍යාත්මකව විමසා බැලීමේදී අපට ගන්නට පුළුවන් පරාර්ථකාමි හැසිරීම් පිළිබඳ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම්. මේවා ආත්මාර්ථකාමීත්වයට ප්‍රතිවිරුද්ධව ගොඩනැගෙන දේවල්. ආත්මාර්ථකාමීත්වය කියන්නෙ සමාජයේ ජීවත්වන අනෙක් මිනිසුන්ව නොසලකා තමාගේ වාසිය, තමාගේ සතුට සුභසාධනය පිළිබඳව පමණක් සැලකිළිමත් වීම. සමාජ හිතකාමීත්වය තුළින් පරහිතකාමීත්වය නැතහොත් පරාර්ථකාමීත්වය ඉස්මතු වෙනවා.

මෙය සමාජයක් තුළ යහපත් අන්තර් සම්බන්‍ධතා පැවැත්වීමට අත්‍යවශ්‍ය සාධකයක්. සමාජයක ජීවත්වන මිනිසුන් අතර සුහදතාව, සහජීවනය වර්ධනය කිරීම සඳහාද පරාර්ථකාමී හැසිරීම ඉවහල් වෙනවා.

තවත් ආකාරයකින් කිවහොත් පරාර්ථකාමී හැසිරීම් කියන්නෙ අනෙක් මිනිසුන්ට වාසි සැලසෙන චර්යාවන්. “සමාජ හිතකාමි චර්යා” (Prosocial Behaviors) හා “උදව් කිරීමේ හැසිරීම්” (Helping Behaviors) යන වචන දෙකින්ම මෙවැනි චර්යා හඳුන්වනවා. මේ පිළිබඳ මනා අවබෝධයක් ලැබීමට මෙම සංකල්ප දෙක පිළිබඳව වෙන් වෙන් වශයෙන් විමසා බැලීම වැදගත්.

වෙනත් පුද්ගලයින්ට උදව් කිරීමේ අරමුණින් සිදුකරනු ලබන ඕනෑම ක්‍රියාවක් සමාජ හිතකාමී චර්යාවක් වශයෙන් පෙන්වාදෙන්න පුළුවන්. සමාජ හිතකාමී චර්යාව සඳහා පුද්ගලයෙකු පොළඹවන එක් ප්‍රේරණයක් වන්නේ පරාර්ථකාමීත්වය නැතහොත් කිසිදු ප්‍රතිලාභයක් අපේක්‍ෂාවකින් තොරව වෙනත් අයට උදවු කිරීමට ඇති ආශාව. දුම්රිය මාර්ගයකට වැටුණ පුද්ගලයෙකුට උදව් කිරීම සඳහා දුම්රිය මාර්ගයට පැනීම උදාහරණයක් වශයෙන් ගන්නට පුළුවන්. එහෙම උදව් කරන්නට පෙළඹෙන්නේ අනෙකාගේ අවශ්‍යතාව තකා ක්ෂණිකව. එවිට අනෙකාගෙන් කිසිවක් අපේක්ෂා කරන්නෙ නැහැ.

උදව් කිරීමේ හැසිරීම් කියල හඳුන්වන්නේ ප්‍රතිලාභ හෝ ත්‍යාග නොසලකා වෙනත් අය වෙත උදව් කිරීම සඳහා යොමු වූ ඕනෑම ක්‍රියාවක්. මෙය සමාජ හිතකාමී චර්යාවක්. එනම් වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට උදව් කිරීමේ හෝ ප්‍රතිලාභ සැලසීමේ අදහසින් බෙදාහදා ගැනීම, සුවපහසුව සැලසීම, ගලවා ගැනීම සහ උදව් කිරීම ආදී වශයෙන් සිදුකරන ස්වේච්ඡා චර්යා. ආපන ශාලා සේවකයෙකුට රුපියල් 100ක සන්තෝසමක් ලබාදීම උදාහරණයක් වශයෙන් ගන්නට පුළුවන්.
මේ චර්යා ධනාත්මක සමාජ චර්යා කියලා කියනවා. සරල මට්ටමේ සිට ඉතා සංකීර්ණ වූ චර්යා තෙක් සියලු චර්යා මෙයට අයත් වෙනවා. නැතිබැරි කෙනෙකුට කෑම, බීම දීම හෝ පොත්, ඇඳුම් ආදිය දීමේ සිට උදව්කරන පුද්ගලයාගේ ජීවිතයට කිසියම් තර්ජනයක් තිබියදී පවා උදව් කිරීම තෙක් මෙම හැසිරීම් විහිදී යනවා. සමාජ හිතකාමී නැතහොත් පරාර්ථකාමී චර්යාවන් කෙරෙහි යොමුවීමට බලපාන හේතු කිහිපයක් තියෙනවා මනෝවිද්‍යාත්මකව.

පරිණාමවාදී මනෝවිද්‍යාත්මක එළඹුම චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කොට තියෙනවා. මෙම එළඹුමට අනුව මෙම හැසිරීම් ඇතිවන්නේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන චර්යාවක් වශයෙන්. ආරමය වශයෙන් අනෙකාට යමක් ලබාදීමටම හුරු වූ පවුල්වල දරුවන් පවා එහෙම හුරු වෙනවා. පරාර්ථකාමීත්වය සඳහා ප්‍රවේණිය, උරුමය සා ජාන බලපාන බව මෙමගින් කියවෙනවා. එසේම අනෙකාගේ දේ කඩා වඩා ගැනීමට, හොරකම් කිරීමට පුරුදු වූ පවුල්වල එවැනි චර්යා ආරමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙනවා. දේශපාලන චෞරයින් වුවත් බිහිවන්නේ එහෙම. “ආරේ ගති නෑරේ” කියෙන්නෙ ඒ නිසා.

පරිණාමවාදී එළඹුම් යටතේ පරාර්ථාකාමීත්වයට පහත කරුණු බලපානවා.

ඥාතිවරණය - තමන්ට ඥාතීත්වයක් දරන පුද්ගලයින්ට වාසි සැලසෙන චර්යාවන් සිදු කිරීම. 

දේශපාලනය තුළ, සම්මුඛ පරීක්‍ෂණ තුළ, රුකියාවන් ලබා දීමේදී ඥාති සංග්‍රහ කිරීම මේ සඳහා හොඳම උදාහරණ වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. 

අන්‍යෝන්‍ය ප්‍රතිමානය - තමා උදව් කරන පුද්ගලයා තමාටද අනාගතයේ උදව් කරතැයි අපේක්‍ෂාවෙන් අන්‍යයින්ට උදව් කිරීම තවත් කරුණක්. මංගල, අවමංගල අවස්ථාවන්ට සහභාගී වීමේදී ද බොහෝ අය තුළ මෙම අදහස පවතිනවා. 

ස්වභාවික වරණය හරහා සමාජ ප්‍රතිමාන ඉගෙන ගන්නේද ජානමය බලපෑමක් සහිතව. සමාජ ප්‍රතිමාන සමාජය විසින් අගයන බැවින් ඒවා ඉගෙනීමට යොමුවෙනවා. සමාජ ප්‍රතිමාන වශයෙන් හඳුන්වන්නේ යහපත් හෝ අයහපත් චර්යාවන් සම්බන්‍ධයෙන් සමාජය තුළ සම්මත රීති. උදව් කිරීම කියන්නෙ සමාජයේ පැසසුමට ලක්වන චර්යාවක් බව සමාජය විසින් එහි සාමාජිකයන්ට උගන්වනු ලැබෙනවා. ඒ අනුව උදව් කිරීම හෝ පරහිතකාමි චර්යා කියන්නෙ සමාජ ප්‍රතිමානයක් වශයෙන් සමාජය තුළින් උගත් චර්යා. පරාර්ථ චර්යාවන් සම්බන්ධයෙන් පරිණාමවාදී එළඹුම්වලට ප්‍රතිවිරුද්ධ සමාජ මනෝවිද්‍යාත්මක එළඹුම් ඉදිරිපත් වෙලා තියෙනවා. පරාර්ථකාමීත්වය පරිණාමීය සාධකයක් නොවන බව තමා මොවුන්ගේ පිළිගැනීම.

සමාජ හුවමාරු න්‍යායට අනුව පුද්ගලයා අනුන්ට උදව් කරන්නේ ප්‍රතිලාභ වැඩිකර ගැනීමට සහ පාඩු අඩුකර ගැනීමට ඇති ආශාව නිසා. මෙම න්‍යායට අනුව දෙන පුද්ගලයාට සහ ලබන පුද්ගලයාට යන දෙදෙනාටම වාසි සැලසෙනවා. මේ යටතේ භෞතික ද්‍රව්‍ය පමණක් නොව ආදරය වැනි සමාජ සාධකද හුවමාරු කර ගන්නවා. ආදරය දෙන තරමට තමා ආදරය ලැබෙන්නෙ. උදව් කිරීම යනු හුවමාරුවක් කියන එක මෙයින් අදහස් වෙනවා. යමක් දීමේදී එයින් ලැබෙන දෑ පවතිනවා. එම දෑ ලබාගැනීමට උදව් කරනවා. උදව් කිරීමෙන් ප්‍රසංශාව, පිළිගැනීම, හඳුනාගැනීම මෙන්ම අනාගතයේ උපකාරද ලැබෙනවා.

සමාජගත මිනිසා සහකම්පනයෙන් යුක්ත වීම වැදගත්. සහකම්පනය කියනනෙ යම්කිසි පුද්ගලයෙකුගේ චිත්තවේග ඔහු හෝ ඇය අත්දකින ආකාරයෙන්ම අත්දැකීමේ හැකියාව. වෙනත් වචනයකින් පවසතොත් අනෙකාට දැනෙන දේ තමාටද එසේම දැනෙන බව අනෙකාට ඒත්තු ගැන්වීමේ හැකියාව. අන්‍යයන්ගේ අසරණකම, දුක දැනෙන බව මෙයින් අදහස් වෙනවා. ඒ අනුව සහකම්පනය ඇති පුද්ගලයින් වැඩි වශයෙන් උදව් කරනවා. උදව් කොට අනෙකාගෙන් කිසිවක් අපේක්‍ෂා කරන්නෙ නැහැ. 
පුද්ගලයෙක් යහපත් මනෝභාවයක සිටින විටද උදව් කිරීමට කැමතිය. උදවු කිරීමට අවස්ථාමය සාධකත් බලපානවා. අවස්ථාමය සාධක කියන්නෙ උදව් හෝ පරාර්ථකාමි හැසිරීම් ඉදිරිපත් වන අවස්ථාව සම්බන්ධ තත්වයන් හෝ කරුණු. තමා උදව් කරන අවස්ථාවේ බලා සිටිනා පුද්ගලයන්ගේ ප්‍රමාණය වැඩිනම් සමහර අය උදවු කිරීමට පෙළඹෙනවා. මිනිසුන් ජීවත් වන පරිසරය නාගරික ද ග්‍රාමීය ද යන්න උදවු කිරීමට බලපානවා. නාගරික පරිසරවල උදව් කිරීම අඩුයි. ග්‍රාමීය පරිසරවල උදව් කිරීම වැඩියි. මංගල අවමංගල අවස්ථාවන්හි මෙම තත්ත්වය දකින්නට පුළුවන්.