2022 අප්‍රේල් 24 වන ඉරිදා

ඊළඟට උඩ යන්නේ කිරිපිටි මිල?

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 123

ශ්‍රී ලංකාව තුළ දරුවකුට උදෑසන කිරි වීදුරුවක් ලබාදීම දෙමාපියෝ සිය යුතුකමක් වගකීමක් කොට සලකති. දරුවන්ගේ පෝෂණය පිළිබඳ විශ්වාසයෙන් සිදුකරන මෙම කටයුත්ත තවදුරටත් සරල දෙයක් නොවන බව කිවයුතුය. අප එසේ කියනුයේ හෙට අනිද්දාට කිරිපිටි මිලේ සිදුවීමට නියමිත වෙනස සම්බන්ධ ලද තොරතුරු මත පදනම්වය. සැබැවින්ම එය දැවැන්ත මිල ඉහළ යාමකි. ඉන්ධන ගෑස් විදුලිය සේම කිරිපිටි මිලත් පාරිභෝගික මහජනතාවගේ හිස මත පතිත වනු ඇත.

ඩොලර් නැඟීම සහ රුපියලේ කඩා වැටීම හේතුවෙන් සියලු ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යමින් පවතී. කිරි පිටි සඳහා බලපා ඇත්තේ එම තත්ත්වය බව කියවේ. මේ වනවිට මෙරට ආනයන කර තිබූ කිරි පිටි තොග අවසන් වෙමින් පවතින අතර නව තොග ලැබෙමින් පවතී. රුපියල අවප්‍රමාණය වීම හේතුකොටගෙන නව තොග සඳහා ඉහළ පිරිවැයක් දැරීමට තමන්ට සිදුවී ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති. කිරි පිටි මිල ඉහළ දැමීමට ඔවුන් කඩිමුඩියේ සූදානම් වන්නේ එබැවිනි. කෙසේ වෙතත් මෙය ජනතාවට දරාගත හැකි මිල වැඩිවීමක්ද යන්න සැකසහිතය.

මේ වනවිටත් කිරිපිටි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කර ඇති බැවින් සමාගම් ඉහළ මිල වැඩි කිරීමට සූදානම් වන බව කියැවේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඇති වූ භාණ්ඩ හිඟය හේතුකොටගෙන කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පාලනයෙන් ඉවත් වීමට රජය තීරණය කළේය. කිරි පිටි මිල ඉහළයාම සම්බන්ධව පාරිභෝගික කටයුතු අධිකාරිය අප කළ විමසීමකදී කියා තහවුරු කර ගැනීමට හැකිවිය. මිල පාලනය සඳහා තමන් හට අවකාශයක් උදානොවනු ඇතැයි එම අධිකාරියේ ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළයාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුකොටගෙන කිරි පිටි ආනයන සමාගම් මිල වැඩි කිරීමට සූදානම් වන පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසර අවසන් මාස කිහිපයේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා අවස්ථා තුනකදී පමණ මිල ඉහළ යෑම් සිදුවුණි. ඉකුත් මාර්තු 19දා සිට ආනයනික කිරිපිටි කිලෝව රුපියල් 600කින් සහ ග්‍රෑම් 400 පිටි පැකට්ටුව රුපියල් 260කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයන සමාගම් තීරණය කළේය. ඒ අනුව රුපියල් 1345ට අලෙවි කළ කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1945ක් වූ අතර රුපියල් 540කට අලෙවි වූ ග්‍රෑම් 400ක පැකැට්ටුවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගියේය.

මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව ඉදිරි සතියේදී කිරිපිටි මිල ඉහළ දැමීම සිදුවනු ඇත. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතාද ඉකුත්දා පවසා තිබුණේ මේ වනවිට ආනයනික කිරිපිටි තොග අවසන් බවය. නැවත ආනයනික කිරිපිටි තොග ලබන සතියේදී ලැබෙන බවත් ඒ අනුව, අදාළ මිල සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් මිල වැඩිවීම සම්බන්ධව නිශ්චිත මිල ගණන් ප්‍රකාශයට පත්කරනුයේ අදාළ සාකච්ඡාවලින් අනතුරුව බව ඔහු පවසා තිබුණි.

කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම සම්බන්ධව යෝජනා ඔවුන් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බවත් අදාළ මිල වැඩිවීම් සම්බන්ධ තොරතුරු සුපිරි වෙළෙඳසල් ජාලයට මුදාහැර ඇති බවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙම මිල වැඩිවීම පිළිබඳ නිශ්චිතව දත්ත අනාවරණය කර නොහැකි නමුත් මෙම මිල වැඩිවීම බරපතළ මිල වැඩිවීමක් වනු ඇතැයි කියවේ. කෙසේ වෙතත් මෙය හරහා සෘජුව පීඩාවට පත් වන්නේ බිළිඳු දරුවන් සහ පාසල් වයසේ දරුවන් සිටින පවුල්වල දෙමාපියන්ය. සිය ආදායමෙන් කිසිදු වැඩිවීමක් නොමැති පසුබිමක ඉන්ධන ගෑස් ආහාර ද්‍රව්‍ය ආදී සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඉහළ මිලක් නියමවීම ඔවුනට බරපතළ ගැටලුවකි.

මේ අතර දේශීය කිරි කර්මාන්තය දෙස ද බොහෝ දෙනකුගේ අවධානය යොමුවී ඇත. දැනට පවතින දත්ත අනුව ජාතික කිරිපිටි අවශ්‍යතාවෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන ප්‍රතිශතය 40%කි. එ අනුව 60%ක් ආනයනික කිරිපිටි මත යැපීමට සිදුව ඇත. දියර කිරි සඳහා යොමුවන ලෙස පෝෂණවේදීන් සහ බලධාරීන් පවසා සිටියද ඊට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට දියර කිරි කර්මාන්තය අසමත්ය. දැනට මෙරට සිටින කිරි ලබාගන්නා දෙනුන් සංඛ්‍යාව මිලියන 1.2කි. මෙරට එක් එළදෙනකගෙන් දිනකට දොවා ගන්නා සාමාන්‍ය කිරි ප්‍රමාණය ලීටර් 3ත් 3.7ත් අතර ගණනකි. සැබවින්ම එය කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොවේ.

කිරි පිටි ආනයන සමාගම් කිහිපයකින් ඉදිරියේදී සිදුවීමට නියමිත මිල වැඩි කිරීම සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට අප උත්සාහ කළමුත් එය අසාර්ථක විය. දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම්ද ඔවුන් ගන්නා තීරණය සම්බන්ධව නිශ්චිත පිළිතුරක් ලබා නොදුන්නේය. පසුගිය අවස්ථාවේදී නම් ආනයනික සමාගම් කිරිපිටි මිල ඉහල දමන විට දේශීය සමාගම්ද ඊට සාපේක්ෂව යම් මිල ඉහළ දැමීමක් සිදු කළේය. මෙවර ද එවන් තත්ත්වයක් බලාපොරොත්තු විය යුතුමය. පවතින ආර්ථික අර්බුදයම දොස් සියලු නිෂ්පාදනයන් සඳහා වන පිරිවැය ඉහළ ගොස් තිබේ.

කිරිපිටි පරිභෝජනයට විකල්පයක් මහජනතාවට ලබා දීම පාලකයන්ගේ යුතු කමයි. වසර ගණනක් පුරා එය එසේ සිදු නොකොට කිරිපිටි මිල ඉහළ යන විට එහි ඇති අහිතකර බලපෑම පිළිබඳ අදහස් දැක්වීමෙන් ඵලක් නැත. මෙරට අසරණ දෙමව්පියන් බහුතරයක් සිය දරුවාගේ පෝෂණය පිළිබඳ සිතා දහසකුත් අපහසුතා මැද  කිරිපිටි ඉහළ මිලකට හෝ දරුවනට ලබාදෙති. එසේ හෙයින් මේ මොහොතේ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වලට සේම කිරිපිටි සඳහාද සහනයක් ලබාදීමට පාලකයන් උත්සාහ ගත යුතුය. සියල්ලන්ටම නැතත් මේ මොහොතේ ආර්ථික පීඩනයෙන් අන්ත අසරණව සිටින පවුල්වලට එම සහනය ලබා දිය යුතුමය.

■   චමිඳු නිසල් ද සිල්වා

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05