
මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනත් වසරවල මෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නොහැකි විය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවුවද ශ්‍රී ලාංකික ජනතාවට අවුරුදු සැමරීමට සුදුසු ආර්ථික සහ මානසික පසුබිමක් නොමැති විය. පසුගිය වසර දෙක තුළ ලංකාව තුළද කොවිඩ් වසංගතය පැවැතියද, ජනතාව තම තමන්ට හැකි අයුරින් තම නිවැසියන් ඒකරාශි කරගෙන අලුත් අවුරුද්ද සැමරෑහ. කොවිඩ් වසංගතය පැවතියද ජනතාවගේ ආර්ථිකය යම් සුභදායී තත්ත්වයක එකල පැවතුණි.
නමුත් මෙවර සිදුවූයේ කිසිවකු අපේක්ෂා නොකළ ආර්ථික පසුබෑමකට මුළු රටම පත්වීමය. කොවිඩ් වසංගතයෙන් මඳක් හිස ඔසවන්නට මෙරට ජනතාවට මේ වසරේ හැකියාව ලැබුණද, අලුත් අවුරුද්ද සැමරීමට ජනතාව අපේක්ෂාවෙන් සිටියද රටේ ආර්ථිකය ඉතා පහළ තත්ත්වයකට පත්වීමත් සමඟම ජනතාවට සිදුවූයේ සියල්ල අමතක කොට පවතින තත්ත්වයට එරෙහිව අරගලයක නිරත වීමටය.
මේ නිසාම මෙවර අලුත් අවුරුදු නැකැත් කාලයේ පිරිසක් සිටියේ ගාලු මුවදොර ඉදිරිපිට අරගලයට එක්වෙමිනි. අලුත් අවුරුද්ද ළං වෙද්දී බොහෝ නිවෙස්වලින් සුවඳ හැමූ රසකැවිලි පිසින සුවඳ දැනුණේ නැත. කැවිලි හදන්නට පිටි කෙටුණේ නැත. රසකැවිලි ව්‍යාපාරයක් කරගනිමින් අලුත් අවුරුදු සමයේ තම ආර්ථිකය සරිකර ගත් පිරිසට මෙවර බලාපොරොත්තු වූ තරමින් රසකැවිලි සඳහා ඇනවුම් ලැබුණේ නැත. ප්‍රධාන නගර ආශ්‍රිතව තාවකාලික රසකැවිලි වෙළෙඳුන්ගේ අඩුවක් දක්නට තිබුණි.
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී සොබාදහමද එයට සූදානම් වන්නේය. එරබදු ගස්වල මල් පිපෙන්නේ, කොහාගේ නාදය දසතින් නැගෙන්නේ ගස්වල පළතුරු පළ දරන්නේ මේ අවුරුදු සමයේදීය. නමුත් මෙවර සොබාදහමද එයට සූදානම් වූ බවක් පෙනෙන්නට නොතිබුණි. ඉඳහිට ඇසෙන කොහාගේ නාදය පරදා අරගල භූමිවල සිටිනා ජනතාව නැගූ හඬ දෝංකාර දුන්නේය.
වෙන වසරවල්වල අවුරුදු සමයේදී එකදිගට ඇසුණ රතිඤ්ඤාවල සද්දයද මෙවර ඇඬුණේ නැත. වෙනදා සතා සිව්පාවුන් බය වෙන තරමට ඇසෙන රතිඤ්ඤා සද්දය මෙවර ඇසුණේ ඉඳහිටය. ඒ නිසාවෙන් බොහෝ ගිනිකෙළි වෙළෙඳුන්ට තම ව්‍යාපාරය කරගෙන යන්නට බැරි තත්ත්වයක් ඇති විය. බොහෝ කාලයකට පසුව අඩු ගිනිකෙළි සද්දවලින් සැමරෑ අලුත් අවුරුද්දක් ලෙසින් මෙම වසර හැඳින්විය හැකිය.

අලුත් අවුරුදු සමයේදී අඳුම් පැළඳුම්වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මේ නිසාම &අවුරුදු සේල්* පුවරු සහිත ඇඳුම් වෙළෙඳසල්වලට පාරිභෝගිකයන් පිරී යන්නේ අවුරුද්දකට සතියකට දෙකකට පමණ පෙරය. නමුත් මෙවර සිදුවූයේ කිසිවකු බලාපොරොත්තු නොවුණ දෙයකි. අලුත් ඇඳුම් පැළඳුම් ගන්නට අවශ්‍යතාව තිබුණද ඒවා ගැනීමට ජනතාව අතේ මුදල් තිබුණේ නැත. තම දරුවන්ට අලුත් ඇඳුමක් ගන්නට බැරිවුණ දෙමව්පියන්ට අවසානයේදී ඉතිරි වූයේ අලුත් අවුරුදු දා තම දරුවන්ගේ සංවේදී මුහුණ දෙස බලා සුසුම් හෙලීම පමණි. මහරගම පමුණුව ඇඳුම් පැළඳුම්වලට ප්‍රසිද්ධ නගරයකි. අලුත් අවුරුදු සමය ළංවෙද්දී පමුණුව එකම හිස් ගොඩකි. වෙළෙඳුන්ගේ වෙළෙඳාමට රජ මඟුල්ය. නමුත් මෙවර බොහෝ වෙළෙඳුන් පමුණුවේ රෙදි විකිණුවේ නැත. රෙදි මැසීමට පවා ඔවුන්ට නිසි පරිදි විදුලිය ලැබුණේ නැත. දිනපතා පැය ගණන් එක දිගට විදුලිය විසන්ධි වෙද්දී ජනතාවට කරකියා ගන්නට දෙයක් තිබුණේ නැත. ඇඳුම් මසන්නන්, ව්‍යාපාරිකයන් පමණක් නොව රෑපලාවන්ය ශිල්පීන්, කොණ්ඩා කපන්නන් පවා මේ කාලයේදී පත්වූයේ අන්ත අසරණ තත්ත්වයකටය. එයට ප්‍රධාන හේතුවක් වූයේ විදුලිය විසන්ධි වීමය. අවුරුදු සමයේදී රෑපලාවන්යාගාරවල සේවය කරන අයට තම ආදායම් මාර්ගය ඉහළ යන කාලයක් ලෙසින් හැඳින්විය හැකි නමුත් මේ විදුලි විසන්ධි වීමත් සමඟ මේ කාලය තුළදී ඔවුන්ට සිදුවූයේ තම ව්‍යාපාරය වසා දැමීමට පමණි.
රට පුරා පෝලිම් ඇතිවුණි. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, භූමිතෙල් වැනි පෝලිම් නිසාම ජනතාවට අවුරුදු සමයේදී වැඩි වේලාවක් ඉන්නට සිදුවූයේ පෝලිමකය. මහපාරේය. අව්වට පිච්චෙමින්, වැස්සට තෙමෙමිනි. ඇතැම්හු පෝලිම්වල අසනීප වූහ. ඇතැමුන් පෝලිම්වල දින ගණනාවක් හිඳ හිස් අතින් නිවෙස්වලට ගියහ. අවුරුදු දා විශේෂ ආහාර වේලක් කන්නට නොහැකිව හිස් ගෑස් සිලින්ඩරය දෙස බලාගෙන සිටි වසරකි මේ.

අලුත් අවුරුදු සමයේදී අවුරුදු උළෙලවල් පැවැත්වීම සාමාන්‍ය දෙයකි. අවුරුදු උත්සව එනතුරු කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද බලා සිටින්නේ ආසාවෙනි. ඒ සඳහාම පුරුදු පුහුණු වූ කණ්ඩායම් සිටිති. ගම හරහා දිවීම, ලිස්සන ගස නැගීම, බයිසිකල් පැදීමේ තරග පමණක් නොව කඹ ඇදීම වැනි තරග සඳහා ඇතැම් තරගකරුවන් ඉදිරිපත් වන්නේ ඉතා ඈත ගම්දනව්වල සිට පැමිණය. අවුරුදු උළෙල අවසානයේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමද සුලභ දෙයකි. මේ නිසාම මේ කාලයේදී සංගීත කණ්ඩායම්වලට පමණක් නොව කලාකරුවන් කලාකාරියන්ට ඉතා කාර්යබහුල කාලයකි. නමුත් මෙවර ඒ කිසිදු උත්සවයක් සංවිධානය වූයේ නැත. මාධ්‍ය නාලිකාවල පැවැත්වූ අවුරුදු උත්සව හැර ප්‍රධාන පෙළේ අවුරුදු උත්සවයන්, සංගීත සංදර්ශනයන් නැති අවුරුද්දක් ලෙසින් මෙම අවුරුද්ද හැඳින්විය හැකිය.
■ දිශානි ජයමාලි කරුණාරත්න