2022 අප්‍රේල් 24 වන ඉරිදා

සිහිනයෙන් යථාර්ථයට සැබෑ අරගලයකට පෙළ ගැසෙමු!

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 428

සමාජයක විප්ලවයන්, අරගලයන් භූමිකම්පාවලට සමානය. හදිසියේම, බොහෝවිට අනපේක්ෂිත ලෙස ආර්ථිකයේ, සමාජ‌යේ සහ මිනිස් මනෝභාවයන්හි කැළඹීම් තුළින් අරගල පැන නගිනවා. අරගලය යන වචනය රුල්ලක් බවට පරිවර්තනය වූ පසුබිමක ලෝකයේ ඉතිහාස පිටු අතර අරගලයේ පරිච්ඡේද යළි පෙරළා බලන්න මට සිතුණා.

අරගලය යන්න මා නිර්වචනය කරන්නේ පොදු හෝ පෞද්ගලික අරමුණක් කේන්ද්‍රගතව භෞතිකව හෝ ආධ්‍යාත්මිකව ගෙනයන සටනක් ලෙස. හුඟාක් වෙලාවට අරගල වෙනුවෙන් මනුෂ්‍ය වර්ගයා පෙළ ගැසෙන්නේ පොදු පරමාර්ථ සාක්ෂාත් කරනු පිණිස වුවත් එම අරගල මධ්‍යයේ තම මතවාදය හෝ යම් කණ්ඩායමක න්‍යාය පත්‍ර වෙනුවෙන් මිනිසුන් මෙහෙයවන නා නා මාදිලියේ කොන්ත්‍රාත්කරුවන් ද සිටින වග අපි සබුද්ධිමත්ව තේරුම් ගැනීම අවශ්‍යයි.
මක් නිසාද යත් අධ්‍යතන නිර්පාක්ෂික අරගලයක් යන හේතුපාඨය පසුබිම්ව ගොඩනැගුණු අරගලය තුළද එවන් ඊනියා මතවාදීන් නිර්මාණය වීමේ පැහැදිලි ඉඩහසරක් දකින්න ඇති නිසා. ඉංග්‍රීසි විප්ලවය, කියුබානු විප්ලවය, ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය මේ ආදී විප්ලව සහ යුද්ධ ලෝක ඉතිහාසය තුළ අනල්පයි. ලෝකයේ මේ තාක් විප්ලව සහ යුද්ධ ඇති වුණේ අන්තවාදී ආකල්ප, ජනවාර්ගික ගැටුම් සහ ආගම් මූලිකව. එහෙත් අද්‍යතන ලෝකයේ බොහෝ අරගල නිර්මාණය වන්නෙ ජනතා පරමාධිපත්‍ය යන සංකල්පය මූලිකව දේශපාලන යන්ත්‍රණයන්ට එරෙහිව.

ලෝකයේ ඇති වූ විප්ලව අතරින් රුසියානු විප්ලවය කියන්නෙ මහා ගැඹුරු විප්ලවයක්. වී.අයි. ලෙනින් වරක් ප්‍රකාශ කරනවා “රුසියානු විප්ලවයේ කැඩපත ලියො තෝල්ස්තෝයි” කියලා. රුසියානු විප්ලවය උදෙසා ජන මන සකස් කරමින් විප්ලවයකට අවැසි චින්තනය නිර්මාණය කළේ රුසියානු සාහිත්‍යය මගින්. ඔවුන් විප්ලවය වෙනුවෙන් මඟ එළි පෙහෙළි කර ගත්තේ අවියෙන් සටන් පාඨයෙන් එදිරිවාදිකම් වලින් නෙවෙයි, සාහිත්‍යයෙන්... ලියො තෝල්ස්තෝයි, මැක්සිම් ගෝර්කි, ෆියදෝර් දොස්තොව්ස්කි වැනි ලේඛකයන් එහිදී පුරෝගාමි මෙහෙවරක් කළා.

ජනතාවගේ චින්තනය, දැක්ම ඇවැසි පරිවර්තනයකට ලක් නොකර අවියෙන්, සටන් පාඨවලින් සිදුකරන අරගල ඔස්සේ සැබෑ සමාජ සංශෝධනයක් කළ නොහැකියි. ඉන් ලද හැක්කේ තාවකාලික ජයග්‍රහණ පමණි යන්න මාක්ස්වාදී චින්තනය අවධාරණය කළ සිද්ධාන්තයක්.

ජනතාවගේ චින්තනය, දැක්ම පරිවර්තනයකට ලක්නොවන තාක් ඡන්දයෙන් පත්වන්නෙ එකම ගොන්නකට අයත් පිරිසක්. එක්කො ජනප්‍රිය පුද්ගලයෙක් (නළුවෙක්, නිළියක්) වෙන්න පුළුවන්. එක්කො ධනවත් පුද්ගලයෙක්. ධනය උපයල උපරිම වුණාම ආත්ම අභිමානය, සමාජ පිළිගැනීම ගන්න දේශපාලනයට එන්න බලනවා. ඒත් දේශපාලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. සමහරු පාර්ලිමේන්තුවට එනකොට නගර සභාවකවත් මන්ත්‍රී කෙනෙක් වෙලා නැහැ. දේශපාලනය පිළිබඳ, ආර්ථිකය පිළිබඳ කිසිදු අවබෝධයක්, දැනුමක් නැහැ. ඉතිං කොහොමද රටක් පාලනය කරන්නෙ. රට අගාධයටම, ප්‍රපාතයටම යනවා.

සැබැවින්ම විසිවැනි ශතවර්ෂයේ දශක කිහිපයක් ගත වනවිට සිදුවූ තීරණාත්මක සංසිද්ධියක් ලෙස රුසියානු විප්ලවය සඳහන් කරන්න පුළුවන්. රුසියානු විප්ලවයත් සමඟම මනුෂ්‍ය වර්ගයාගේ,  සමාජ පරිණාමයේ මෙතෙක් කල් නොවූ විරෑ නව සමාජ පරිණාම මාවතක් විවෘත වුණා. මෙම පරිණාම මාවතට සමගාමීව, සමාන්තරව, ක්‍රමානුකූලව විසිවැනි ශත වර්ෂයේ පළමුවන අර්ධය තුළ ලෝකයේ පළමු සුපිරි සමාජය නිර්මාණය වීමට පටන් ගත්තා. සෝවියට් සංගමය යනු ලෝකයේ බිහිවූ පළමු සුපිරි සමාජය (Global super society) යි.

ලෝකයේ පළමුවැනි සුපිරි සමාජය වූ සෝවියට් සංගමය යනු ජාතිකත්ව සිය ගණනක් විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් සහ අති විශාල දැවැන්ත විවිධත්වයක් සහිත වූ විවිධ තලයේ විසිරී ගිය ආර්ථික ව්‍යුහයන් ජාලයක් මැද බිහි වූ පන්තියක්. ඒකීය ආර්ථිකයක්, ඒකීය දෘෂ්ටිවාදයක්, ඒකීය නිෂ්පාදන ක්‍රමයක්, ඒකීය ශික්ෂණ ක්‍රමයක්, ඒකීය දේශපාලන ක්‍රමයක්, ඒකීය අධ්‍යාපන ක්‍රමයක්, ඒකීය පරිපාලන ක්‍රමයක් 1917 රුසියානු විප්ලවයෙන් පසු පටන්ගෙන දෙවැනි ලෝක යුද්ධය අවසාන වනවිට මැනවින් ස්ථාපිතව පැවතුණා.

ලංකාව තුළ ක්‍රියාත්මක වත්මන් අරගලය තුළින් ලංකාවෙහි මෙම ආර්ථික ගැටලුව විසඳන්නට, ආර්ථිකය ජයගන්නට සිතනවා නම්, ලංකාව දියුණු කරන්නට සිතනවා නම් ඒකීය ආර්ථිකයක්, ඒකීය දෘෂ්ටිවාදයක්, ඒකීය නිෂ්පාදන ක්‍රමයක්, ඒකීය ශික්ෂණ ක්‍රමයක්, ඒකීය දේශපාලන ක්‍රමයක්, ඒකීය අධ්‍යාපන ක්‍රමයක්, ඒකීය පරිපාලන ක්‍රමයක් ඇති කිරීම අවශ්‍යයි. 

1947 සිට 1991 දක්වා පැවති සීතල යුද්ධයත් ලෝක ඉතිහාසයේ වෙනස්ම පරිච්ඡේදයක් සනිටුහන් කළ නිමිත්තක්. රුසියාව ප්‍රමුඛ පෙරදිග කඳවුර සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර අතර ඇතිවුණ නිරවි යුද්ධය යනු  කිසිදු සන්නද්ධ අරගලයකින් තොරව මතවාදීව  චින්තනමය වශයෙන් ඇති වූ අරගලයක්. ලෝකයේ බොහෝ විද්‍යාත්මක සොයාගැනීම්, අභ්‍යාවකාශ අත්හදා බැලීම්, සාහිත්‍යයමය පුනරුදයන් සිදුවුණේ සීතල යුද්ධයේ සාර ප්‍රතිඵල ලෙසයි, සැබැවින්ම ලෝකයට බොහෝ දෑ දායාද කරන්නට සීතල යුද්ධයට හැකිවුණා.

ලේ වැගිරීමකින් තොරව එවන් විද්‍යාත්මක සහ සාහිත්‍යයමය ජයග්‍රහණ ඔස්සේ යන ගමනක අරමුණ තමයි නිරවි යුද්ධයේ පදනම බවට පත්වුණේ. ඒකාන්ත වශයෙන්ම යුද්ධයක් වේවා, විප්ලවයක් වේවා, අරගලයක් වේවා එහි අවසන් ඵලය මානව සංහතියේ සුබසිද්ධිය උදෙසාම විය යුතුයි. රුසියානු විප්ලවය, නිරවි යුද්ධය වැනි අතීත සංනිදර්ශන ඔස්සේ පසක් කර ඇත්තේද එකී සත්‍යයි.

මනෝ විද්‍යාත්මකව මිනිස්සු එවන් පොදු පරමාර්ථ සහිත යහවාදී අරගල තුළට කේන්ද්‍රගත කළ යුත්තේ කෙසේද? යන කරුණ පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කිරීම වැදගත්. ඒබ්‍රහම් මාස්ලෝගෝ මානුෂවාදී මනෝවිද්‍යාව මගින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන්. මානුෂවාදය කියන්නෙ මිනිසා වටා කේන්ද්‍රගත වෙච්ච දාර්ශනික ප්‍රවේශයක්, මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්. මනුෂ්‍ය අවශ්‍යතා, මනුෂ්‍ය වටිනාකම්, මනුෂ්‍ය විභව ශක්තීන් නැතහොත් මනුෂ්‍ය හැකියාවන් මෙමගින් හුවා දක්වනවා. 

මනුෂ්‍යයෙකුට මූලික අවශ්‍යතා තියෙනවා. පිපාසය, කුසගින්න, ලිංගිකත්වය, නිවසක්, ඇදුම් පැළඳුම් මේ අවශ්‍යතා අතර කිහිපයක්. මනුෂ්‍යයෙක් සිය ජීවිත කාලයේ වෙහෙසෙන්නෙ මෙම අවශ්‍යතා ඉටුකරගන්නට. සිය අවශ්‍යතා ඉටුකරගන්නට නොහැකි වනවිට මනුෂ්‍යයා ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. කුපිත වෙනවා. අරගල කරන්නට යොමු වෙනවා. පාලකයන් මනුෂ්‍ය අවශ්‍යතා පිළිබඳ සංවේදී විය යුතුයි. එසේ සංවේදී නොවීම තමා රටේ විනාශයට හේතු වෙලා තියෙන්නෙ. පාලකයන් බඩගෝස්තරවාදීව තමා, තම පවුලේ ඥාතීන් හිත මිතුරන් පිළිබඳව පමණක් සිතන්නේ නම් දීර්ඝකාලීනව මහජනතාව කැමති නැහැ ඒව ඉවසා දරාගෙන සිටින්නට. එදිනෙදා අවශ්‍යතා ඉටුකරගන්නට බාධා පැමිණෙනවිට, පැය ගණන් පෝලිම්වල රස්තියාදු වන්නට සිදුවන විට ජනතාව නිරායාසයෙන් අරගලවලට යොමු වෙනවා.

මනුෂ්‍යයෙක්ට තියෙනවා ආරක්ෂණ අවශ්‍යතාවක්. තමාට, තම අඹු දරුවන්ට, රටට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් දැනෙනවිට, ආර්ථිකයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් දැනෙනවිට අරගල කරන්නට මනුෂ්‍යයා යොමු වෙනවා. හැම මනුෂ්‍යයෙක්ම කැමති ආත්මඅභිමානයක් සහිතව අභිමානවත් පුරවැසියෙක් ලෙස රටේ ජීවත් වන්නට. සිඟා කන්නට, අනුන්ට අත පාන්නට කිසිවෙක් කැමති නැහැ. අරගල කිරීම යනු මනුෂ්‍යයෙකු වීමයි. රට මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉදිරිපත් වීමයි. රට වෙනුවෙන්, රටේ අනාගත පරපුර වෙනුවෙන් ඉදිරිපත් වීමයි.

අපේ ජීවිතයට, අපගේ රටට, රටේ ජනතාවට අර්ථවත් දෙයක් කිරීමේ අවශ්‍යතාවය සමඟ අපි අරගල කරනවා. අවිනිශ්චිත දේශපාලන පසුබිමකට එරෙහිව නිවැරදි අරගලයක් කිරීමට උත්සාහ කරමු. බලාපොරොත්තුව අපව අත්හරිනවිට බලාපොරොත්තු සුන්වීමෙන් ගිල නොදැමීමට අපි අරගල කරමු. යහපත් දේශපාලන සලකුණක් තැබීමේ ආශාව සමඟ අපි අරගල කරමු. අපේ අනාගත පරපුරට උරුමයක් ඉතිරි කරන්න අපි අරගල කරමු.