2022 අප්‍රේල් 24 වන ඉරිදා

නාකොළගනේ නින්දගම් විකුණන ජාවාරමක්

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 127

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාකොළගනේ වනාන්තරය, නාකොළගනේ රජමහ විහාරයට අයත් නින්දගම් ඉඩමක් හෙවත් රාජධානි කාලේ රජවරු ප්‍රදානය කළ ඉඩමක් ලෙස ප්‍රකටව පවතින්නකි. පුරාණයේ රජවරු නින්දගම් ප්‍රදානය කළේ විහාරයේ නඩත්තුව සඳහායි. ඒ සන්නස්වලින් පූජා කළ ඉඩකඩම්වලින් සිදු කළ යුත්තේ විහාර නඩත්තුව, සංඝයා වහන්සේගේ දානමානාදිය සැපයීමයි. එසේ නැතිව ඒ ඉඩම් කාට හෝ බදු දී මුදල් එකතු කිරීමට නොවේ. නමුත් දශකයකට වැඩි කලක් තිස්සේ එම ඉඩම් ව්‍යාපාරිකයන්ට බදුදීම නිසා ඇතිව තිබෙන පරිසර ගැටලු ගණනාවකි. වැඩිදුරටත් සොයා බැලීමේදී එම නින්දගම් යැයි කියන ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් මීඔය වාරි ව්‍යාපාරය යටතේ ආපසු පවරාගෙන ඇති අතර සමහර කුඹුරු ඉඩම්වලට විකල්ප ඉඩම් ද ලබා දී තිබෙන බව හෙළි වූ බව පරිසරවේදී සජීව චාමිකර අප සමඟ පැවසුවේය. මීඔය ව්‍යාපාරය වර්ෂ 1951 එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි සර් ජෝන් කොතලාවල මහතාගේ සංකල්පයකට අනුව සිදුවුවක් වන අතර පසුව 1986 දී ඒකාබද්ධ කළමනාකරණ වැඩසටහන යටතේ  එය තවදුරටත් පුළුල් කිරීම සිදුවිය. නමුත් ඒ ගැන ගම්වැසියන්ට සහ අනෙක් කොටස්වලට වසන් කිරීමක් සිදුව තිබේ. වනාන්තරයෙන් වැසී පවතින, හේන් ඉඩම් හා කුඹුරු සහිත මෙම භූමිය හා ඒ අවට පිහිටි වැව් පද්ධතිය අලි - ඇතුන්ගේ ප්‍රිය කරන වාස භූමියකි. පරිසරිකව ඉතා වැදගත් ජෛව විවිධත්වයක් සහිත වනාන්තර පද්ධතියකි.

විශාල වැව් ඝනත්වයක් සහිත නාකොළගනේ කුඩා හා මහ වැව් 25කට වඩා වැඩි වැව් පද්ධතියකින් යුක්තය. මේ අවට අක්කර 5000 ක් පුරා පැතිර තිබෙන වනපෙත අලි - ඇතුන්ගේ පෝෂක භූමියක් මෙන්ම ප්‍රධාන අලි මංකඩක් ලෙස ද සැලකේ. මේ භූමිය තුළ අක්කර 2700 ක් පමණ වන නාකොළගනේ රජමහ විහාරයට අයත් නින්දගම් යැයි පැවසෙන ඉඩම් පිහිටා ඇති අතර ඒ තුළ වැව්, වනාන්තර හා ජනාවාස පිහිටා තිබේ.   හේන් වගා බිම්, කුඹුරු ඉඩම්, වැව් පද්ධති, වනාන්තර බිම් ද මෙහි දැකගත හැකිය.

මේ නින්දගම් ඉඩම තුළ පුරාවිද්‍යාත්මකව වැදගත් වන ස්ථාන කිහිපයක්ම දැකගත හැකිය. නාකොළගනේ රජමහ විහාරය කටාරම් කෙටූ ලෙන් සහිත පුරාවිද්‍යා බිමකි. මීට අමතරව පංචාවාස ආරාම සංකීර්ණයක් සහිත ගුරුගොඩ පුරාවිද්‍යා රක්ෂිතය මීඔය ඉවුරේ පිහිටා තිබේ. නින්දගම් ඉඩම තුළ පිහිටි ගම්මාන සංඛ්‍යාව හතරකි. ඇතිනිමලේ, හිරිගොල්ලාගම, ආඩිගම ඒරියාව ගම්මාන වේ. නාකොළගනේ නින්දගම් යැයි පවසන ඉඩම් බදුදීම නිසා සිදුවන පරිසර සංහාරය මේ වනවිට එය උග්‍ර තත්ත්වයට පත්ව ඇති අතර එම අකටයුත්තට එරෙහිව ගම්මු නැගී සිටීමත් දැකගත හැකිය. අවට ප්‍රදේශවල පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනයෙන් විරෝධතා පළ කරනු දක්නට හැකි විය. 

‘‘කාලයක් තිස්සේ ගම්මු ව්‍යාපාරික සහ පොලිස් බලය යොදා මර්දනය කරලා තිබුණේ. නමුත් මේ දිනවල ජනතා අරගලකාරී නැගිටීම් සමඟ දැන් ගම්මු බය නැතිව විරෝධය පළ කිරීමට ඉදිරිපත් වෙලා. ගම්මු එක් පැත්තකින් අලි ප්‍රශ්නයෙන් බැටකනවා. බදු දුන් කැලෑ ඉඩම් එළිකර මහා පරිමාණ වගා කර ඇති නිසා අලි මිනිස් ගැටුම් තවත් උග්‍රවෙලා. මීඔය වාරි ව්‍යාපාරයේ වාරි රක්ෂිත ඉඩම් ද මෙසේ බදු දෙනවා. විහාරය පිහිටි ඉඩමත් බදු දීලා තිබෙන්නේ.* අප සමඟ එසේ සඳහන් කළේ පරිසරවේදී සජීව චාමිකරයි. ඔහු වර්ෂ ගණනාවක් තිස්සේ නාකොළගනේ වනාන්තරයේ පාරිසරික වැදගත්කම ගැන අධ්‍යයනය කර තිබේ. වියළි කලාපීය උණහපුලුවාගේ වැඩිම ඝනත්වයක් සහිත ප්‍රදේශයක් ලෙස ද මේ අවට පිහිටි අතරගල්ලවැව හා අඹකොළවැව අවට වනබිම් පවතින බව ඔහු සඳහන් කර සිටී.

මෙම නින්දගම් ඉඩම් පසුගිය කාලය මුළුල්ලේම වැනසී යමින් පවතී. විහාරාධිපති හිමි විසින් වනාන්තර ඉඩම් අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බදුදීම නිසා මේ වනවිට බොහොමයක් ඉඩම් ව්‍යාපාරික වගා බවට පත්ව වනසතුන් එළවා දමා තිබේ. නින්දගම් ඉඩම් ලෙස පවතින ජල පෝෂක වනාන්තර බිම්වල මහා පරිමාණ වාණිජ වගා බිම් ඇතිකිරීම, ගල්කොරි පවත්වාගෙන යාම, පස් කැපීමට භාවිතය, හේන් වගාවට අක්‍රමවත් ලෙස එළිපෙහෙළි කිරීම, අක්‍රමවත් ලෙස ජනාවාස පිහිටුවීම හා ව්‍යාපාරික වගා රුකගැනීමට අක්‍රමවත් විදුලි වැටවල් ස්ථාපිත කිරීම දැකගත හැකිය. 

‘‘මේ ඉඩම් මුදල්ම බලාගෙන මීගමුව, පානදුර, ගම්පහ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට සහ දේශපාලනඥයන්ට බදු දී තිබෙනවා. පසුගිය කාලයේ විරෝධතා එල්ල වූ මන්ත්‍රීවරයෙක් අක්කර 30ක් බදු අරන් තිබෙනවා. තවත් රාජපක්ෂවරයකුට සඳුන් වගාවකට අක්කර 600ක් ලබා දී තිබෙනවා. ඒ ඉඩමට යාමටම පාරකුත් හදලා තිබෙනවා. ගමේ මිනිසුන්ට හරියාකාර පාරක්වත් නෑ. සජීව චාමිකර වැඩිදුරටත් කීවේය. 

නින්දගම් ඉඩම් තුළ මහ වැව් හා කුඩා වැව් විශාල ප්‍රමාණයක් දැකගත හැකිය.  මානක්කුලමයාගම වැව, හුණුගල්ලෑව වැව, අතරගල්ල වැව, ගුරුගොඩ වැව, ඒරියාව වැව, පල්ලේරියාව වැව, ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව, කරගස්සන වැව, ඌරපොලයාගම වැව, ඇතිනිමලේ වැව, මීගස් වැව, කදුබොඩයාගම වැව, කඩවල වැව, කිවුලේගම වැව, නැකතිකොන් වැව, කුඩා මීගස්පිටිය වැව, කැලේගම වැව, කොතලවැටිය වැව, මහ මීගස්පිටිය වැව, දඹෑ වැව, අන්දර වැව, කිරිබත් පෑලැස්ස වැව හා ගනේපතාන වැව් ඒ අතර සඳහන් කළ හැකිය. පුරාණයේ පටන් කුඹුරු වගාවට ජලය සැපයූ මේ වැව් අතරින් සමහරක් අද වනවිට ගොඩවී ගොසිනි. 

මේ නිසා ඒවායෙන් කුඹුරු වගාවට සෙතක් නොවේ. ඒ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුමක් ද නැත. අතරගල්ල වැව හා ඒරියාව වැවේ ජලජ පක්ෂීන් බහුලව ජීවත් වන අතර පල්ලේරියාව වැව, ඉකිරියවත්තේගම වැව, අස්වැද්දුම වැව හා හුණුගල්ලෑව යන වැව ඇසුරු කරගෙන අලිඇතුන් බහුලව දැකගත හැකිය. 

පුරාණයේ පටන්ම නාකොළගනේ වනාන්තරය  අලි - ඇතුන් සැරිසරන අභයබිමක් බවට පත්ව තිබුණකි. නමුත් මෑතක සිට අලිඇතුන්ට එම වනාන්තරය අහිමි වී යමින් පවතී.   වැඩිම අලි සංඛ්‍යාවක් දැකගත හැකි පාළුකඩවල වැව් පිටිය නින්දගම් ඉඩමට ඇතුළත්ය. එම වැවට පැමිණෙන අලි දහවල් කාලයේ සැරිසරන්නේ නින්දගම් වනාන්තර කොටස්වලය.

විල්පත්තුව, රාජාංගණය, ගිරිබාව, ගල්ලෑව හරහා හුණුගල්ලෑව ප්‍රදේශයට අලින් සංක්‍රමණය වන අතර එතැන් සිට පාළුකඩවල වැවට අලි ගමන් කරති. කහල්ල - පල්ලකැලේ සිටින අලි මඩගල්ල, හාතිගමුව හරහා මීඔය ප්‍රදේශයට පැමිණ මොරගස්වැව, ඉහළගම, හරහා අඹකොළ වැවට පැමිණ මෙම නින්දගම් ඉඩමට පැමිණේ. මහව සිටින අලිත් අඹකොළ වැවට පැමිණ එතැන් සිට නින්දගම් ඉඩමට පැමිණේ. ඉගිනිමිටිය ජලාශයේ සිට තේක්ක වන වගාවට පැමිණෙන අලි එතැන් සිට පාළුකඩවල වැවට පැමිණ ඉන් පසුව නින්දගම් ඉඩම පුරා ව්‍යාප්ත වේ. 

2014 වසරේ මාර්තු මාසයේ අවස්ථා දෙකකදී සජීව චාමිකර හා බන්දුල බැබරන්ද විසින් මෙම වනාන්තරයේ සිදු කළ කෙටි සත්ත්ව විවිධත්ව අධ්‍යයනයකදී නින්දගම් ඉඩම තුළ විවිධ පරිසර පද්ධති ගණනාවක් පිහිටන බව අනාවරණය විය. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම්, වියළි තෘණ භූමි හා ගංඟාශ්‍රිත වනාන්තර එහි ප්‍රධාන වශයෙන් පිහිටියේය. කෙටි අධ්‍යයනයේදී පක්ෂි, උරග, ක්ෂීරපායී හා සමනලුන් යන සත්ත්ව කාණ්ඩ 4ට අයත් සත්ව විශේෂ 118 ක් වාර්තා කිරීමට හැකි විය. 

ජාතික පාරිසරික පනතට අනුව හෙක්ටයාර් 1කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට පෙර  හෝ හෙක්ටයාර 50කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගැනීම සිදු කළ යුතුය.  එමෙන්ම  පාරිසරික  පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වැනි දින 859/14 අංක දරන ගැසට් නිවේදනයට අනුව, පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් අවශ්‍ය වේ. 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය ද මේ ඉඩම් භාවිතයට බලපාන නීතියකි. නමුත් මේ කිසිම නීතියක නාකොළගනේ නින්දගම් ඉඩම්වලට ක්‍රියාත්මක නොවීම දේව අනුහසක් බව පෙනේ. නැතහොත් අදෘශ්‍යමාන බලවේගයක් දැයි පොදු ජනතාව ප්‍රශ්න කර සිටී

ඒ අතරම මහා පරිමාණ වගා ව්‍යාපෘති සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශ පමණක් නොව අදාළ සියලු රාජ්‍ය ආයතනවල අනුමැතිය ද අවශ්‍ය වේ. එවන් කිසිදු අනුමැතියකින් තොරව පාළුකඩවල වැව් ඉහත්තාවේ වගා ව්‍යාපෘති සඳහා අලි - ඇතුන්ගේ වාසස්ථාන විනාශ කරමින් මාර්ග සකස් කර මැනීම් කටයුතු සිදු කර තිබේ. 

 කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ අන්තර්ජාලයෙනි