2022 අප්‍රේල් 24 වන ඉරිදා

ගෝල්ෆේස් අරගලය

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 2443

අප්‍රේල් 3 වැනිදා මාර්ගයක් මාර්ගයක් පාසා උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කිරීමට ජනතාව තීරණය කළේ මිරිහානේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට සිදුවූ මහජන අරගලයත් සමඟය. එකී අරගලයට සහය දැක්වීමේ අරමුණින් 3 වැනිදා උද්ඝෝෂණ රැල්ලක් රටපුරා ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. ඒ ආණ්ඩුව විසින් හදිසියේ ඇඳිරි නීතිය දැමීම නිසාය. එහෙත් ඇඳිරි නීතිය යටපත් කරමින් ඇතැම් නගරවල මහජනතාව පාරට ආවේ ආණ්ඩුවට විරෝධය දැක්වීමේ අරමුණු ඇතිවය.

කෙසේ වෙතත් අවසානයේ ඊට පසුදින නගරයක් නගරයක් පාසා මහජනතාව ඉතාම සාමකාමී ලෙස උදෑසන සිට තම විරෝධය රජයට එල්ල කළත් රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාවයත් සමඟ උද්ඝෝෂණයට කලහකාරීන් පිරිසක් විසින් කලහකාරී මුහුණුවරක් දෙන්නට උත්සාහ ගත්තේය. ඇතැම් දේශපාලනඥයන්ගේ නිවෙස්වලට පවා ප්‍රහාර එල්ල කරන්නට විය. කෙසේ වෙතත් නායකත්වයක් නැති නිර්පාක්ෂික අරගලය එදින අවසන් වූයේ ඉතාම තීරණාත්මක ලෙසටය.

එම උද්ඝෝෂණයෙන් පසුව ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරු උද්ඝෝෂකයන්ට දන්වා සිටියේ ඔවුන්ගේ නිවෙස්වලට පැමිණියොත් ඊට පිළිතුරු ලබාදීමට සුදානමින් සිටින බවයි. ඔවුන් බය නැති බවත් කීවේය. ප්‍රචණ්ඩත්වය නුසුදුසු දෙයක් සේම ඊට අනුබල දීමද වරදකි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ උද්දච්ච ප්‍රකාශ නිසා අවසාන වශයෙන් අරගලකරුවන් විසින් තීන්දු කළේ දවසක් එළිවෙන තෙක් කොළඹ නැවතී සිටීමටය. ඒ සඳහා කොළඹ විවිධ ස්ථාන සකච්ඡා කළත් අවසානයේ අරගලකරුවන්ගේ තීරණය වී තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමය. ඒ අනුව රජයට දැනෙන වැඩක් කිරීමේ අරමුණු ඇතිව කොළඹට මිලියනයක් යන තේමාව යටතේ එම අරගලය අප්‍රේල් මස 9 වැනි සෙනසුරාදා සිදුකිරීමට තීන්දු විය.

ඒ අනුව කොළඹට මිලියනයක් ගෙනෙන උද්ඝෝෂණය 9 වැනිදා ආරම්භ විය. දිවයිනේ හතර දෙසින්, ස්ව කැමැත්තෙන් ගාලු මුවදොර ප්‍රදේශය පුරා පිරෙන්නට විය. ඒ හැමදෙනාගේම විරෝධය අවසානයේ ගොනුවූයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙතය. විශාල වශයෙන් ජනතාව එම ස්ථානයට එක්රුස් වී තම විරෝධය පෑ අතර කණ්ඩායමක් එදින රාත්‍රියේ එම ස්ථානයේ නැවතීමට තීරණය කළේය. මහා වැසි එදින රාත්‍රියේ ගෝල්ෆේස් භූමිය පුරා ඇද හැලුනත් ඔවුන් සියලු දෙනාම වැසි නොබලා එම ස්ථානයේ සිටියේය.

එම රාත්‍රී නිදිවැරූ කණ්ඩායම අතර අන්තරේ පිරිසකුත්, මීට පෙර අන්තරේ සිටි ලහිරු හෙවත් ඇකාත්, යූ ටියුබ් කරුවකු වන රුට්ටාත් තරුණ ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් සිටියහ. ඊට පසුදින උදෑසන සිටම වර්ෂාව ඇද හැලෙන්නට වූ අතර බොහෝදෙනා සිතුවේ එදින දහවල් වනවිට තරමක ජනතාවක් පැමිණ සවස් වනවිට වැඩේ අවසන් වනු ඇතැයි කියාය. ඒ ඊට පසුදින රජයේ නිවාඩු දිනයක් වූ නිසාය.

එහෙත් පුදුමය නම් සවස් වනවිට තව තවත් සෙනඟ එන්නට පටන් ගැනීමයි. මේ නිසාම අරගල භූමියේ සිටි අරගලකරුවන් එදින රාත්‍රියේ සිට උපරිම කාලයත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ කඳවුරු ලෑමට තීරණය කළහ. කෙසේ වෙතත් ඒ වනවිට පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව පවා අරගල භූමියට පැමිණ සිටියේය. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් සමීපතමයන්, සමගි ජනබලවේගයේ සමීපතමයන් ඇතුළු විශාල පිරිසක් අරගල භූමියේ දැකගත හැකිවිය. එහෙත් පුදුමය නම් ඔවුන් දෑත් බැඳ අරගල භූමිය දෙස බලා සිටියා මිස එහි මැදිහත් වීමක් පෙනෙන මානයෙන් සිදුකළේ නැත.

කෙසේ වෙතත් අරගලය ඒ ආකාරයෙන් දීර්ඝව සිදුකිරීමට තීරණය කිරීමත් සමඟ බොහෝදෙනා නන් අයුරින් අරගල භූමියට විවිධ දේ රුගෙන ආහ. ලියුම්කරුද අරගල භූමියේ සිටි අතර එහිදී ඇතැම් රාජ්‍ය සේවකයින්, පෞද්ගලික සමාගම්වල ප්‍රධානීන්, ස්වාමීන් වහන්සේලා, පියතුමන්ලා ඇතුළු බොහෝ පිරිස් කෑම බීම, වතුර පවා ගෙනත් ලබාදෙන්නට කාරුණික විය. කෙසේ වෙතත් එදිනම තීරණය කළේ මෙවර අලුත් අවුරුද්ද පවා එම ස්ථානයේ සිට සැමරීමටය.

කෙසේ වෙතත් එදින රාත්‍රිය වනවිට නැවතත් ජනතාව එම ස්ථානයට ක්‍රමයෙන් ළඟා වෙන්නට විය. විරෝධතා පුවරු, ජාතික කොඩි, කළු කොඩි සියල්ල එම අරගල භූමිය තුළ ලෙලදෙන්නට විය. ඒ වනවිටත් අරගලය සීමාවී තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය භූමිය අසල පමණි.

එදින රාත්‍රිය ගත කිරීමට පැමිණි පිරිස කූඩාරම් රුගෙන විත් තිබුණේය. එවැනි කූඩාරම් පහ හයක් ශැන්ග්‍රිලා හෝටලය පාමුල අරගලකරුවන් ඉදිකරන්නට විය. එම කූඩාරම් එදින රාත්‍රියේ සිටි බොහෝ පිරිසකට නවාතැන් සැපයූ තැනක් විය. කෙසේ වෙතත් උදෑසන විට එම ෂැන්ග්‍රිලා භූමිය ගමක් බවට පත්වූයේ එහි සිටි පිරිස විසින් විරෝධය පෑම සඳහා යොදාගත් නමත් සමඟය. ඒ ගෝඨාගෝගම යන නම නිසාය.

ගෝඨාගෝගම නිර්මාණය වීමත් සමඟ අරගලකරුවන් එම භූමිය සැබෑ ගමක් බවට පත්කිරීමට විවිධ සැලසුම් යොදන්නට විය. කූඩාරම් පමණක් නොව රංග ශාලා, මහජන සරසවි, මහජන පුස්තකාල, නීතිඥ උපදෙස් ලබාදීම සඳහා ස්ථාන, ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ ස්ථාන පවා එම ස්ථානයේ ගොඩ නැගෙන්නට විය. එසේම අරගල භූමියට පැමිණෙන අයට යටිතල පහසුකම් ලබාදීම නිසා පෞද්ගලික සමාගමක් හරහා ජංගම වැසිකිලි පවා ගෙනාවේය. කෙසේ වෙතත් අරගල භූමිය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ක්‍රියත්මක විය.

එන සෑම කෙනෙකුටම තේ එකකික්, කෝපි එකකින්, බනිස් ගෙඩියකින් අවමව හෝ බඩපුරවා ගැනීමට අවස්ථාව හිමිවිය. විවිධ පිරිස් විසින් ස්වේච්ඡාවෙන් දන්සල් සේ ඒ සියල්ලෙන් ආධාර කළේය. සහාය ලබාදුන්නේය. අවසානයේ ගාලුමුවදොර වටරවුමේ සිට වන්ගෝල් ෆේස් සාප්පු සංකීර්ණය තෙක් අරගල මාවතක් ඉබේ ගොඩනැගිනි. එය සම්පූර්ණයෙන් බැනර් කටවුට් කූඩාරම්වලින් පිරුණු අරගල නගරයක් වූ බව කිව යුතුමය.

මෙතන මුල්කාලයේ විනය නිසිලෙස පවත්වාගෙන ගිය පසුව කාලය සමඟ පැමිණි මහා ජන ගඟ නිසා එය පවත්වාගෙන යාම ලෙහෙසි පහසු වූයේ නැත. අධික ජන ගඟ නිසා පැමිණි බොහෝ අයට තිබු නිදහස් පරිසරය නිසාත් තව තවත් ඒ නිදහස භුක්ති විඳීමට පැමිණි බොහෝදෙනා උත්සාහ කළෝය. එහෙත් සෑමදාම අලුයම වනවිට එහි සිටිනා අරගලකරුවන් සියල්ල සුද්ද පවිත්‍ර කිරීමට අමතක කළේ නැත.

මේ අරගලය සම්බන්ධයෙන් බොහෝවිට ආණ්ඩු හිතවාදීන්ගේ අර්ථ ගැන්වීම වූයේ මෙය එක්තරා කානිවල් එකක් බවය. එපමණක් නොව ඇතැම් මාධ්‍ය ආයතන පවා එය අර්ථ ගැන්වූයේ එලෙසය. එයට හේතුව රූට සිංදු කීම, කෑම බීම ලැබීම, නාට්‍ය පෙන්වීම සහ මිනිසුන් ඒ හරහා විනෝද වීම අරගලයක් නොව කානිවල් එකක ස්වරූපය ගැනීමය. එහෙත් අරගලකරුවන් පැවසුවේ ඔවුන් තරුණ පරම්පරාව බවත් ඔවුන්ට 71, 83, 88-89 සේ නැවත මේ රටතුළ ලේ හැලීමක් අවශ්‍ය නොවන නිසා මේ අරගලය සාමකාමීව, ඉතාම පුළුල්ව සහ දැනුමෙන් සන්නද්ධ කරමින්, ජනතාව නැවත ගොඩනංවමින් පූර්ණ පරිවර්තනයක් සිදුකරමින් යන නිසා එලෙස එය කානිවල් එකක් සේ ඇතැමුන්ට පෙනිය හැකි වගය. එහෙත් එසේ කියන අයටද එක දිනයක් හෝ පැමිණ බලලා යන ලෙසද ඔවුන් මෙහිදී ඉල්ලා සිටියෝය.

මේ අතර අරගලය විවේචනයට ලක්වුණු තවත් අවස්ථාවක්ද තිබුණේය. ඒ යූ ටියුබ් මාධ්‍යවේදීන් එහි පැමිණ රට රටවලින් ආධාර ලබාගන්නා බව කියාය. ඇතැම් අයගේ හැල හැප්පිලි හුවා දක්වමින් ඇතැම් අය ඒ සිදුවීම් විවේචනයට පවා ලක්කර තිබුණේය. එහෙත් ඒ සියල්ල කාලයත් සමඟ වැසී යන්නට විය.

මේ අතර අරගලය දිගින් දිගටම ඇදී යාම නිසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තරුණයන් සමඟ සාකච්ඡා කිරීමට ආරාධනා කළේය. බොහෝ දෙනා සිතුවේ එම ආරාධනය පිළිගෙන අරගලයේ සිටිය පිරිස් ඒ වෙත යොමුවෙනු ඇතැයි කියාය. එහෙත් තරුණයන් එක ලෙසම එය ප්‍රතික්ෂේප කළ අතර කතා නොව ඔවුන්ගේ ඉල්ලීමට හිස නමා එය ඉටුකරන ලෙස එක හෙලාම ඉල්ලා සිටියෝය. අවසානයේ එයද ආණ්ඩුවට හරිගියේ නැත.

මෙහි හොඳම සිද්ධිය වන්නේ අලුත් අවුරුදු දා අරගලකරුවන් එම ස්ථානයේ අවුරුදු චාරිත්‍ර සැමරීමය. ඔවුන් සියලු නැකත් චාරිත්‍ර ඉටුකළා පමණක් නොව මහපාරේ කිරිද ඉතිරුවේය. ඔවුන් ඊට පසුව අවුරුදු රබන් පදද අරගලය සමානව ගැයුවේ හැමෝම පුදුම කරවමිනි. කෙසේ වෙතත් සටන පටන් ගත් දිනයේ සිටම විවිධ කලාකරු සංගම්, වෘත්තීය සමිති, මාධ්‍ය සංගම්, විශ්වවිද්‍යාල සංගම් පමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් බැටකෑවෝද අරගල භූමියට පැමිණ සහාය දුන්නේය. 

මේ අතර ආණ්ඩු හිතවාදී බොහෝදෙනාගේ ප්‍රශ්නය වූයේ මොවුන්ට මෙතරම් කෑම ලැබෙන්නේ කෙසේද කියාය. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවල උපරිම සහාය ලැබෙන බව ආණ්ඩුවේ ඇමැතිවරු පවා කීවේය. එය බරපතළ චෝදනාවක් වූ අතර මේ සම්බන්ධයෙන් අප අරගල භූමියේ අයගෙන් විමසා සිටියෙමු. ඔවුන් පැවසුවේ විවිධ සංවිධාන පමණක් නොව විවිධ පුද්ගලයන් පවා එහි සිටි ජනතාවට කෑම බීම සැපයු බවත් එහෙත් කිසිවකුගේ කීමට නොව අරලයේ සිටින්නේ එක අරමුණක පිරිසක් පමණක් බවත්ය. මෙම අරගලය තුළ නායකයන් නැති බවත් සිටින්නේ ජනතාව පමණක් බවත් ඔවුහු කීහ.

ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා පා ගමනක් ආරම්භ කළ අතර ඔවුන්ගේ අවසානය වුයේ ගෝල්ෆේස් අරගල බිමය. ඔවුන් ඒ සඳහා සියල්ල සූදානම් කර තිබුණේය. එහෙත් අරගල බිමෙන් ආ විරෝධය වූයේ එම ස්ථානයට දේශපාලන රුළි රුගෙන නොයන ලෙසය. අවසානයේ ජනතා විමුක්ති පෙරමුණේ දැවැන්ත පාගමන අවසන් වූයේ නගර සභා ක්‍රීඩාංගනයෙන්ය.

මේ අතර අරගලකරුවන් එක් දිනක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලේසර් කිරණ යොදා සිය විරෝධය ඩිජිටල්කරණය කරන්නට විය. එහෙත් ඊට ආරක්ෂක අංශ මැදිහත් වී ලෑලි තබා අවහිර කළ අයුරු දැකගන්නට විය. එහෙත් අරගලකරුවන්ගේ අරගලය තාක්ෂණික වැඩකටයුතු අත්හැරියේ නැත. ඔවුන් ෆේස් බුක් ගිණුම් වෙබ් අඩවි, යු ටියුබ් නාළිකා පවා අරගලය වෙනුවෙන් අලුතින් ආරම්භ කරන්නට විය.

කෙසේ වෙතත් මෙම අරගලය වෙත පොලීසියේ හෝ ආරක්ෂක අංශවල බැලපෑම එල්ලවුණේ නැත. කීපවතාවක් අරගල භූමිය තුළ විවිධ කලහකාරී වැඩ සඳහා පැමිණි අය හමුවුවත් ඔවුන්ද පොලීසියට බාරදුන්නා මිස අරගල භූමියේද ඔවුන්ට පහරදුන්නේ නැත. එයට හේතුව නම් සමාජ මාධ්‍ය පුරා විවිධ අවස්ථාවල ගැටුම් ඇති නොකර ගන්නා ලෙස විවිධ පාර්ශ්ව හරහා උපදෙස් ලබාදීම නිසාය. ඒ නිසා අරගල භූමිය සාමකාමී විය.

මීට පෙර පැවති අරගලයන්වලට වඩා වෙනස් මුහුණුවරක් ගත් ගෝල්ෆේස් අරගලය අද කාගෙත් කතාබහට ලක්වූ භූමියක් වී ඇත. ඇතැම් අයට මෙම භූමිය වරද නිවැරදි කරගන්නා තැනක් බවට පත්ව ඇත. ඇතැම් කලාකරුවන් සමාව ඇයැද අරගලයට සහාය දැක්වූයේ මෙම ස්ථානයේ සිටය. ඒ නිසා මේ අරගල භූමිය ගැන බොහෝ දෙනාට විවිධ මුහුණුවරීන් බැලීමේ හැකියාව ඇත. ඒ මෙය නිදහස් භූමියක් නිසාය. ස්වයං විනය මත වැඩකරන ඕනෑම අයකුට ඒ භූමිය තුළ සිටිය හැක. ඒ නිසාම මේ භූමියට ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් වෙන්වනු ඇත.

 ගයාන් ගාල්ලගේ
 ඡායාරූප - AFP

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00