
අවුරුදු සතිය ගෙවී අවසන්ය. බොහෝ දෙනකුට මෙවර අවුරුදු නම් සුබ නැත. අවුරුදු සතියේ චාරිත්‍ර වාරිත්‍රවලට වඩා මෙවර උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර බහුලව දක්නට ලැබුණි. ඉන් ඇතැම් උද්ඝෝෂණවලට ජන අප්‍රසාදය එල්ල වුණි. තවත් උද්ඝෝෂණවලට ජනතා ආශිර්වාදය හිමි විය. උද්ඝෝෂණවලින් කිහිපයක් ආණ්ඩුවට සහාය පළ කරමින් පැවැත්වුණු අතර ඉන් බහුතරයක් ආණ්ඩුවට අප්‍රසාදය පළ කරමින් පවත්වනු ලැබූ ඒවාය.
මෙලෙස පවත්වනු ලබන දැවැන්තම විරෝධතාව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටය. එම විරෝධතාවයට පීතෘවරුන් නැත. එය නම්කොට තිබෙන්නේ නිර්පාක්ෂික අරගලයක් ලෙසයි. නිර්පාක්ෂික යැයි නම්කොට තිබුණ ද එම උද්ඝෝෂණයේ බර අදින කණ්ඩායම් කිහිපයක්ම සිටිති. ඔවුන් අතර ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ පිරිස් බහුලය. ඔවුහු එවැනි අරගල සම්බන්ධයෙන් අත්දැකීම් බහුල පිරිස් වෙති. එම පක්ෂවලට කිසිසේත් සම්බන්ධයක් නැති පිරිස් ද නිර්පාක්ෂික අරගලයේ ඉදිරි පෙළේ සිටිති.
අද වනවිට ගෝඨාගෝගම ලෙස විරෝධතාකරුවන් නම්කොට තිබෙන ගාලුමුවදොර විරෝධතාවයට සහාය පළ කරමින් ගාල්ල, මහනුවර නගරවලද එහි ශාඛා පිහිටුවා ඇත. ඒවායේ පෙරමුණ ගෙන සිටින්නේ ද පෙර කී පක්ෂවලට සම්බන්ධ පිරිස් මෙන්ම ප්රගතිශීලී තරුණයන්ය. ඊට අමතරව සෑම නගරයකම ජනයා මාර්ග අවහිර කරමින් ඔවුහු උද්ඝෝෂණ කරති. මෙලෙස ජනයා විථී බැස සිටින්නේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන ලබාගැනීමට දිගු පෝලිම්වල සිටීමට සිදුවීම, ගෑස් නොමැතිවීම, විදුලි කප්පාදුව සහ වැඩි වන ජීවන වියදම් ආදියට විසඳුම් ඉල්ලමිනි. එම විරෝධය රාජපක්ෂ පවුලට එරෙහි විරෝධයක් ලෙස ද වර්ධනය විය.
ආණ්ඩුවට එල්ල වී තිබෙන ජනතා විරෝධයට විසඳුමක් ලෙස රාජපක්ෂවරුන්ගෙන් තොර (අගමැති හැර) නව කැබිනට් මණ්ඩලයක් ද ආණ්ඩුව පත් කළේය. නමුත් ඉන් මහජනයා සැහීමකට පත් වී නැත. තැන තැන උද්ඝෝෂණ කරන්නන් කියා සිටින්නේ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් විය යුතු බවය. දිවයින පුරා ක්‍රියාත්මක උද්ඝෝෂණ මාලාව තිරය පිටුපස සිට මෙහෙයවන්නේ කිසියම් පක්ෂයකට සම්බන්ධ පිරිස් යැයි නිශ්චිතව කීම අසීරුය. එහෙත් රත්නපුර සහ පානදුර ප්‍රදේශයේ ඉකුත් දිනවල ඇතිවූ විරෝධතා එක්තරා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ බවට සාක්ෂි තිබේ. සමහරුන් කියා සිටින්නේ මෙලෙස තැනින් තැන මතුවන විරෝධතා පිටුපස ජවිපෙ සිටින බවය.
නමුත් නිල වශයෙන් ජවිපෙ එම විරෝධතාවන්ට සම්බන්ධ නැත. ජනතා විමුක්ති පෙරමුණ අවසන් වරට විවිධ නගරවලදී මෙවැනි විරෝධතා සංවිධානය කළේ අප්‍රේල් 08, 09, 10 සහ 11 යන දිනයන්හිය. ඒ මහරගම නගරය, ගම්පහ - මිරිස්වත්ත, පානදුර නගරය, මාතර බස් නැවතුම්පොළ, තංගල්ල නගරය, ඇඹිලිපිටිය නගරය, බදුල්ල බස් නැවතුම්පොළ, වැල්ලවාය නගරය, මහනුවර නගරය, කුරුණෑගල නගරය, අනුරාධපුරය - නව නගරය, වව්නියාව නගරය, කන්තලේ නගරය, මඩකලපුව නගරය, අම්පාර නගරය යන ස්ථානවලය.

මීට අමතරව ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගය ඉකුත් 17 වැනි දින බේරුවල නගරයෙන් ‘ජන පීඩක ආණ්ඩුව පන්නමු’ යන තේමාවෙන් ආරම්භ කළ පාගමන 19 වැනිදා පුරහලින් නිම කළේය. දින තුනක් පුරාවට පැමිණි පාගමන පළමු දින අවසානයේ පාදුක්ක නගරයෙන් ද දෙවැනි දින අවසානයේදී මොරටුව නගරයෙන් ද නිම විය. තෙවැනි දින 25000කට ආසන්න පිරිසක් සමඟ පුරහලින් අවසන් විය. මෑත අවුරුදු කිහිපයේ ජවිපෙ මෙහෙයවූ දීර්ඝම සහ සාර්ථකම පාගමන මෙය බව විචාරකයෝ පවසති. පාගමන අවසානයේ රැස්ව සිටි පිරිස් අමතා ජවිපෙ නායක අනුර දිසානායක අවධාරණය කළේ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන තුරු අඛණ්ඩව අරගල කරන බවයි. එහිදී ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.
“ජාතිය අමතලා ගෝඨාභය කියනවා පොහොර තහනම් කිරීමෙන් තමන් වරදක් කර ගත්තා කියලා. මේ වරද ජාතික අපරාධයක්. වගාබිම් විනාශ කළා. ගොවියා පාරට ඇදලා දැම්මා. මෙවැනි ජාතික අපරාධයක් කළ ගෝඨාභයට තවත් පාලනයේ ඉන්න කිසිම අයිතියක් නෑ. විදේශ සංචිත බිංදුවටම දැම්මා. අද කළු කඩේ ඩොලරය රුපියල් 430ක්. පරිප්පු, කිරිපිටි, ගෑස් මිල ඉහළ ගියේ ආණ්ඩුවේ තීරණ නිසයි. ගෝඨාභය ඔයාටවත්, බැසිල්ටවත්, ඔය පවුලටවත් ආර්ථිකය ගැන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. කබ්රාල් ආර්ථික විනාශයට වගකිව යුතු කෙනෙක්. මුදල් විශාල ලෙස අච්චු ගැහුවා හිතුමතේට. එයින් උද්ධමනය ඉහළ ගියා. මුළු රටේම ආර්ථිකය විනාශ කළා. දරුවාට අනාගතයක් නැති කළා. රෑට දරුවාට විතරක් කන්න දීලා අම්මා, තාත්ත බඩගින්නෙ නිදාගන්නවා. මිනිස්සුන්ට බෙහෙත් නෑ. බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා. මහජනයා දුක් පීඩාවට පත්වී තිබියදී රාජපක්ෂ පවුල සියල්ල පසෙකලා තමන්ගේ තක්කඩි ජීවිත අත්හැරියේ නෑ. අද රට පුරාම විරෝධතා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ දැන් ඔයාට ඉතුරුවෙලා තියෙන්නේ මොකක්ද? ඔයාගේ ආණ්ඩුවටත් ඇමැති මණ්ඩලයටත් අද සිදුවෙලා තියෙන්නේ එක්කෝ නිවාස අඩස්සියේ. එක්කෝ බංකරයේ. ගෝඨාභය ඔයාට මේ රට පාලනය කරන්න බෑ බංකරයේ ඉඳලා. මේ රටේ ජනතාවට අවස්ථාවක් දැන් ලැබිය යුතුයි. මේ රටේ මහජනයාගේ දේපළ හොරකම් කරලා එක්රුස් කරලා තියෙන සියලු ධනය ආපසු පවරාගන්නා ආණ්ඩුවක් අපි මේ රටේ හදන්න ඕනේ.”
තවත් විරෝධතා ව්‍යාපාර කිහිපයක් ජවිපෙ සැලසුම් කර තිබේ. අප්‍රේල් 22 වෘත්තීය සමිති සමුළුවක් ද අප්‍රේල් 28 වැඩවර්ජනයක් සහ මැයි 6 රට පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට නියමිතය. ජවිපෙට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද වැඩවර්ජන සඳහා සූදානම් වෙමින් සිටියි. එම පක්ෂයේ දුමින්ද නාගමුව 19 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “මේ වෙනකොට නගර 20කට වඩා වැඩි ප්‍රමාණයක නගර අවහිර කරලා ජනතාව වීදි බැහැලා සටන් කරමින් ඉන්නවා. මේ කැබිනට් එක දිවුරුම් දුන්නා කියලා ප්රශ්නය අඩුවෙලා නෑ. ප්රශ්නය තව වැඩිවෙලා තියෙනවා. ඒ නිසා හෙට අනිද්දා වෙනකොට රටේ දැවැන්ත ජනතා නැගිටීමකට සියලු කරුණු පෙළගැහෙමින් තියෙනවා. භාණ්ඩ හා සේවාවල මිල දෙගුණයකට වැඩිය වැඩිවෙලා තියෙනවා. මාසික වැටුපෙන් ජීවත් වන ජනතාවගේ, වතු කම්කරුවන් තුළින් දැවැන්ත නැගිටීමක් එනවා. නගරයේ පර්චස් අටේ දහයේ ගෙවල් හදාගත්ත මධ්‍යම පාන්තික ජනතාවගෙන් දැවැන්ත නැගීටීමක් එනවා. ඒකේ පෙර සංඥා තමයි මේ ආවේ. මේ ප්රශ්නය තෙල් අර්බුදයත් එක්ක මතුවුණාට මෙතන තියෙන්නේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක්. අපි අවධාරණය කරනවා මේ ප්රශ්නය විසඳෙන්න නම් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුයි.”
මෙරට ඕනෑම පුරවැසියකුට විරෝධය පෑමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම හිමි වෙයි. යම් මොහොතක විරෝධතාවක් සාමකාමී නොවන්නේ නම් හෝ නොඑසේ නම් මහජනයාට අවහිරයක් වන්නේ නම් එවැනි විරෝධතාවන්ට බාධා කිරීමට නීතියට අවසර ඇත. බොහෝ විට ජවිපෙ හෝ සෙසු පක්ෂ මෙහෙයවූ උද්ඝෝෂණයන් යම්තාක් දුරකට සංවිධිත බවක් සහ විනයක් ඇතිව ක්‍රියාත්මක වනු දක්නට ලැබීම පැසසිය යුතුය. ගාලුමුවදොර විරෝධතාව ආකර්ෂණීය, නිර්මාණාත්මක එකක් වීමට එය ද හේතු වන්නට ඇත. එක්තරා යුගයක් ප්‍රචණ්ඩත්වයෙන් බල හුවමාරුවකට උත්සාහ කළ පක්ෂ වර්තමානයේ ප්රජාතන්ත්රවාදී ලෙස මහමඟ සටන් කිරීම සාධනීය දියුණුවකි. අනෙක් පසින් සංවිධානාත්මක නොවන පිරිස් විසින් මෙහෙයවූ විරෝධතාවක් වෙඩි උණ්ඩ මගින් අවසන් වීම අවාසනාවන්ත තත්ත්වයකි. එවැනි තත්ත්වයක් නැවත ඇති නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.
■ සකීෆ් තන්වීරි