
ආහාර හිඟය, භාණ්ඩ මිල ඉහළ යෑම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ නොමැතිවීම හැරුණු විට මේ වනවිට රටේ ජනතාවට දැවෙන ප්‍රශ්න තුනක් තිබේ. ඉන් පළමුවැන්න ඉන්ධන අර්බුදයයි. දෙවැන්න ආහාර පිස ගැනීමට ගෑස් නොමැතිකමයි. තෙවැන්න විදුලිය කප්පාදුවයි.
රටේ සැමතැනම ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් තවමත් පවතී. ඇතැමුන් දින දෙක තුනේ පෝලිම්වල රැඳී සිටින අතර එම පෝලිම්වල මරණ කිහිපයක්ද පසුගිය දිනවල සිදුවිය. පෝලිම්වල එකනෙකා ඇනකොටා ගැනීම්ද බහුල වී ඇත්තේ මහජනයාගේ ඉවසීමේ සීමාව ඉක්මවීම හේතුවෙනි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභපතිවරයා කියන්නේ රටේ සෑම පිරවුම් හලකටම අවශ්‍ය තරම් ඉන්ධන ප්‍රවාහනය කරන බවටය. එහෙත් ඛනිජතෙල් නව ඇමතිවරයා ප්‍රකාශ කළේ තීන්දු තීරණ ගැනීමේ ආයතනවල ඇතැම් අඩුපාඩු හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වලට ඉන්ධන නොලැබී ඇති බවයි. දිනක අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 6000ත් 7000ත් අතර ප්‍රමාණයක් වුවද පසුගිය දිනවල පෙට්‍රල්, ඩීසල් සහ බූමිතෙල් මෙට්‍රික් ටොන් 11,000ක් පමණ නිකුත් කළ බවද ඔහු ප්‍රකාශ කළේය. මේ ව විට ආණ්ඩුව අයිඕසී සමාගම සමඟ එකඟතාවකට පැමිණ තිබේ. ඒ දෙපිරිසම එකම මිල සූත්‍රයක් අනුගමනය කිරීමටය.
සිංහල අවුරුද්දට පෙර ගොයම් ටික කපා ගැනීමට නොහැකි වූ ගොවි ජනතාවද බූලිවලට තෙල් නිකුත් නොකිරීමෙන් අසීරුතාවට පත් වූහ. ගොයම් කපන යන්ත්‍ර තෙල් නොමැතිව කුඹුරුවලම නතරවී තිබෙනු දැකිය හැකි විය. සිංහල අවුරුද්දට ගම්බිම් බලා යන්නට ගිය ජනතාවටද අත්වූයේ කනගාටුදායක ඉරණමකි. ඇතැමුන්ට අතරමගින් තෙල් ලබා ගැනීමට නොහැකි වූ බැවින් දරු පවුල් පිටින් පදික වේදිකාවේ රැය පහන් කරන්නට සිදු විය. බොහෝ පිරිස් අලුත් අවුරුදු දිනයේද තෙල් පෝලිම්වල රැඳී සිටිනු දැකිය හැකි විය. බස්රථ ධාවනයට අවශ්‍ය තරම් ඉන්ධන නොමැති වූ බැවින් බස්රථ ධාවනය වූයේ සීමිත ප්‍රමාණයකි.
තමන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවට චෝදනා කරමින් ජනතාව වීදි බසින්නට වූහ. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ ජනතා පීඩක ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසටය. විරෝධතා සහ අරගල උත්සන්න වනවිට රටේ කිසියම් අරාජික තත්ත්වයක් මතු වූ අතර රට බංකොලොත් තත්ත්වය වෙත ගමන් කරමින් පැවතියේය. තමන්ට එල්ල වන ජනතා විරෝධය අඩාල කිරීමේ අරමුණින් ඇමැති මණ්ඩලය පසුගිය අප්‍රේල් 3දා ඉල්ලා අස්වූහ. සති තුනක පමණ කාලයක් ඇමැතිවරුන් නොමැතිව රට ඉදිරියට ගිය අතර සති තුනකට පසු එනම් 18 දා නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

ලංකා අයිඕසී සමාගම යළිත් වරක් ඉන්ධන මිල ඉහළ දමන්නට පසුගිය ඉරිදා රාත්‍රියේ සිට පියවර ගත්තේය. පසුගිය මාස පහක කාලය තුළ ඔවුන් ඉන්ධන මිල ඉහළ දැමූ හයවැනි අවස්ථාව මෙය විය. ඔවුන්ගේ නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එය රුපියල් 338ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 367කි. යුරෝ 3 පෙට්‍රල් ලීටරයක් රුපියල් 347ක් වන අතර රුපියල් 75කින් ඉහළ ගිය ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289කි. සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 327කි. ලංකා අයිඕසී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසා සිටියේ ශ්‍රී ලංකා රුපියල පසුගිය මාසයේ පමණක් 60%කින් අවප්‍රමාණය වීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමට හේතු වූ බවටය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව. තමන් ඉන්ධන මිල වැඩි නොකරන බවට ප්‍රකාශ කළද. පසුගිය 18දා මධ්‍යම රාත්‍රියේ සිට අයිඕසී මිලට සමාන වන පරිදි වැඩි කරන්නට ආණ්ඩුවේ අලුත් කැබිනට් අමාත්‍ය කාංචන විජේසේකර පියවර ගෙන තිබිණි. නව අමාත්‍ය ධුරය බාර ගැනීමෙන් පසු ඔහුගේ පළමු කාර්ය වූයේ ඉන්ධන මිල ජනතාවට දරා ගත නොහැකි මට්ටමට ඉහළ දැමීමය. පසුගිය 19 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොෙළ් තෙල් මිල ඉහළ යම හා ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් පසුගිය 18 වැනිදා රාත්‍රිය වනවිට ඛනිජ තෙල් සංස්ථාවේ දෛනික පාඩුව රුපියල් මිලියන 1613ක් බවයි. මිල වැඩි කිරීමට සිදුවූයේ එම තත්ත්වයෙන් යම් පමණකට ගෝ ගොඩ එන්නට යැයිද තවමත් දිනකට රුපියල් මිලියන 327ක පාඩුවක් විඳින්නට සිදුවී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය පීඩාවට පත්වන ධීවර, ප්‍රවාහන වැනි විවිධ ක්ෂේත්‍රවලට කිසියම් සහනයක් ලබාදීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රුපියල් 254ට තිබූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල. දැන් රුපියල් 338කි. රුපියල් 283ට පැවැති 95 ලීටරයක මිල රුපියල් 373කි. රුපියල් 176ට තිබූ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289කි. 254ට තිබූ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 329කි.. මිල වැඩි වුවද ජනතාවට අවශ්‍ය තරම් ඉන්ධන ඔවුන්ගේ පිරවුම්හලවල නොමැත. බොහෝ පිරවුම්හල් මේ වනවිට වසා දමා ඇත. පිරවුම්හල් සේවකයන් පවසන්නේ ඉන්ධන නොලැබෙන බැවින් තමන්ගේ වැටුපද නොලැබෙන බවයි. මෙවන් වාතාවරණයක් යටතේ දැනට රුපියල් 20ක් ලෙස පවතින අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහළ ගියේය.

කෙසේ නමුදු මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 5කින් පමණ පහත වැටී තිබේ. ගෑස් අර්බුදයද තවමත් විසඳී නොමැත ගෑස් ලබාගැනීම සඳහා බොහෝ පිරිස් පෝලිම්වල රුඳී සිටින අතර පසුගිය සතියේ දින පහක කාලයක් කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තය වසා දැමීමට බලධාරීන් පියවර ගැනීම හේතුවෙන් සිංහල අවුරුද්දට ආහාර පිස ගැනීමට ජනතාවට ඇති අයිතියද අහුරා දැමිණි. වසා දැමීමට පෙර දිනකට ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්රෝ සභාපතිවරයා ප්‍රකාශ කළද දිගු ගෑස් පෝලිම් නැති වූයේ නැත. ලිට්රෝ සභාපතිවරයා තම තනතුරින් ඉවත් වූයේ දැඩි අර්බුදකාරි පසුබිමක් යටතේය. ලාෆ් සමාගමට ගෑස් ගෙන ආ නෞකාවලට මුදල් ගෙවීමට ඩොලර් නොමැති වූයෙන් එම නැව් හරවා යැවීමට සිදුවූයේ ගෑස් හිඟය තවත් උග්‍ර අතට පත් කරමිනි. ගෑස් ඉල්ලා මාර්ග අවහිර කරන පිරිස් විශාල වශයෙන් දැකිය හැකි වූ අතර පොලිසිය හා ගෑස් පාරිභෝගිකයන් අතර අර්බුදකාරී තත්ත්වයන්ද නිර්මාණය විය. ඇතැම් ගෑස් බෙදැහැරීම් මධ්‍යස්ථානවල පොලීසියේ මැදිහත් වීමෙන් ගෑස් ලබාදීම සිදු වූ අතර වැඩි මිලට ගෑස් අලෙවි කළ ආයතන හා ගෑස් සඟවා තබා ගෙන සිටි ආයතනවලට විරුද්ධවද කටයුතු කරනු දැකිය හැකි විය. කෙසේ නමුදු පසුගිය අප්‍රේල් 18දා යළි කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තයෙන් ගෑස් නිකුත් කිරීම ආරම්භ වුවද එදින ඉන් බෙදාහැරුණේ ගැස් සිලින්ඩර් 2500ක ප්‍රමාණයක් පමණි. බොහෝ ගෑස් අලෙවිහල්වලින් අසන්නට ලැබුණේ 27 වැනිදා පසුවන තෙක් ගෑස් නොලැබෙන බවටය.
විදුලිය කප්පාදුව හේතුවෙන් බොහෝ ව්‍යාපාර බිඳවැටී තිබේ. සුළු ව්‍යාපාරිකයන් කබලෙන් ළිපට වැටී තිබේ. රටට විදේශ විනිමය ගෙන එන සංචාරක කර්මාන්තයද බිඳ වැටී තිබේ. ඇතැම් සංචාරක හෝටලවලද ආහාර පිසින්නේ දර භාවිතයෙනි. සිංහල අවුරුද්ද සහ මහ සිකුරාදා දිනයන්හි විදුලිය කප්පාදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කළේ බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව ලබා දුන් පොරොන්දුව අනුවය. යළි පසුගිය සඳුදා සිට විදුලිය කැපීමට තීරණය කෙරුණු අතර එය පැය තුනහමාරකට පමණ සීමාවිය. එහෙත් නුදුරේදීම යළි දිගු විදුලිය කප්පාදුවකට යාමට සිදුවේද යන සැකය මතුවන්නේ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නෞකා නිදහස් කර ගැනීමට ඩොලර් නොමැති බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කරන අනාවරණයත් සමඟිනි. ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකා දෙකකට ගෙවිය යුතු ඩොලර් මිලියන 34ක් මෙතෙක් ගෙවා නොමැති බැවින් විශාල අර්බුදයක් නිර්මාණය විය හැකියැයි එම සංගමය ප්‍රකාශ කර තිබේ. එම නෞකා පසුගිය අප්‍රේල් 12 වැනිදා සිට නොරොච්චෝල ආශ්‍රිත මුහුදේ නැංගුරම් ලා තිබේ. දැනට ලක්විජය බලාගාරය සතුව ඇත්තේ ලබන සැප්තැම්බර් මාසය දක්වා විදුලිය නිපදවීමට අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණයක් පමණි. ඉදිරියේ ඇතිවන මෝසම් සුළං හේතුවෙන් අප්‍රේල් අවසානයට පෙර එම ගල් අඟුරු තොග ගොඩ බා ගත යුතුවන අතර එසේ නොවුණහොත් මුහුදේ රථ ස්වභාවය හේතුවෙන් යළි ගල් අඟුරු ගොඩබෑමට හැකිවන්නේ ලබන සැප්තැම්බරයෙන් පසුව බව එම සංගමය පෙන්වා දෙයි.
මේ වනවිට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 58ක් අතරමග නැවතී ඇතැයි නව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීමේ සහ ඇගයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මේ වසරේ පෙබරවාරි මාසයේ නිකුත් කරන ලද විගණන වාර්තාවක් මගින් හෙළි කර තිබේ. මෙලෙස අතරමඟ නතර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇති මෙගාවොට් ගණන 129.75කි. මෙගාවොට් 23ක ව්‍යාපෘති 13ක් මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව මගින් කලින් ලබාදුන් අනුමැතියේ කාලය දිගු නොකිරීම මත අත්හිටුවා තිබේ. ඉඩම් අත්පත් කර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් මෙගාවොට් 13ක ව්‍යාපෘති 12ක්ද, ලංකා විදුලිබල මණ්ඩලය බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් නොකිරීම හේතුවෙන් මෙගාවොට් 80ක ව්‍යාපෘති 25 ද ඇණහිට තිබේ. වෙනත් හේතූන් මත තවත් මෙගාවොට් 14ක ධාරිතාවෙන් යුතු ව්‍යාපෘති 8ක් ඉදිකෙරී නැත.
මේ වනවිට දිනකට මෙගාවොට් 2900ක විදුලිය ඉල්ලුමක් පවතී. මෙම ධාරිතාව සැපයීම සඳහා ප්‍රමාණවත් බලාගාර පැවතිය යුතුය. නඩත්තු කටයුතු, බිඳවැටීම් සහ ඉන්ධන නොමැතිකම වැනි කරුණු මත දැනට පවතින සියලුම බලාගාර එකවර ක්‍රියාත්මක කළ නොහැකිය. සෑම වසරකම මෙගාවෙට් 150ක 200ක පමණ ඉල්ලුමක් අලුතින් නිර්මාණය වේ. මෙම ඉල්ලුම සපුරාලීම සඳහා සෑම වසරකම පාහේ නව විදුලි බලාගාර ඉදිවිය යුතුය. එහෙත් පසුගිය පස්වසර පුරා එකදු විදුලි බලාගාරයක් හෝ ඉදිවූයේ නැත.
මේ අතර ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල යළි රුපියල් 40කින් ඉහළ දමා අැති අතර කිරිපිටි හා සිෙමන්ති මිලද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා