
ශ්‍රී ලාංකික පක්ෂ දේශපාලන ඉතිහාසය තුළ ඉතාම කෙටි කාලයක් ඇතුළත රාජ්‍ය බලය තමා සතු කරගත් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එසේම මෑත ඉතිහාසයේ සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තහවුරු කර ගැනීමට සමත් වූ පක්ෂය ද එයයි. කෙසේ වෙතත් එම පක්ෂය මේ මොහොතේ ඉතිහාසයේ ආණ්ඩුකරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයක් මුහුණ නොදුන් ආර්ථික දේශපාලන අර්බුදයකට මැදි වී සිටියි. ඒ හේතුවෙන්ම දේශපාලන පක්ෂයක් ලෙස සිය බලය තහවුරු කර ගැනීමට ඔවුන් දියත් කරමින් සිටින මෙහෙයුම් අපි සමීපව නිරීක්ෂණ කරමු.
මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කරන විට පැහැදිලි වන මූලික කරුණු කිහිපයකි. එම පක්ෂ විසින් ගොඩනගාගත් දේශපාලන සන්ධානය බිඳ වැටී තිබේ. හවුල්කාර ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රුසක පිරිස් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වී සිටිති. අනෙක් පසින් පක්ෂයේම සාමාජිකයන් වූ මන්ත්‍රී කණ්ඩායමක් ද ස්වාධීනත්වය ප්‍රකාශ කර ඇත. එසේම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හට අමාත්‍ය තනතුරු ද අහිමි වී ඇති අතර පක්ෂයේ පසුපෙළ පිරිසක් ඉදිරියට පැමිණ සිටිති. මීට අමතරව තවදුරටත් පක්ෂය තුළ සහ ආණ්ඩුව තුළ රුඳී සිටින පිරිසක් අන්තර්වාර පාලනයකට නොයන්නේ නම් සිය කණ්ඩායම ද ස්වාධීන වන බව කියා සිටියි. එවන් වටපිටාවක් තුළ පාර්ලිමේන්තුවේ සරල බහුතරය ද අභියෝගයට ලක්ව සිටිති.
මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය දේශපාලන බලය සහ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ මෙහෙයුම් දියත් කරමින් සිටියි. රාජපක්ෂවරුන් කැබිනට්ටුවෙන් ඉවත්වීම සහ ජෙෂ්ඨයන් පසුපෙළට යෑම ඉන් එක් දේශපාලන මෙහෙයුමකි. එය උපක්‍රමශීලී පසුබෑමක් වුවද ඒ හරහා නව අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් ඇතිව තිබේ. නව කැබිනට්ටුව සඳහා තෝරාගත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනා තෝරාගැනීමට හේතු අමාත්‍ය ධූර අහිමිවූවන් විසින් ප්‍රශ්න කරන්නට පටන්ගෙන ඇතැයි දැනගන්නට ලැබේ. පසුපෙළින් පිරිසක් ඉදිරියට පැමිණෙන විට තවදුරටත් පසුපෙළ ඉතිරිව සිටින නවකයන්ගේ සිත් බිඳීමක් ද නිරීක්ෂණය වේ. ස්වාධීනත්වය ප්‍රකාශ කරන බවට තර්ජනාත්මක ලිපි ගනුදෙනුවකට මුල පුරා ඇත්තේ ඔවුන්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු තමන් වෙත ආකර්ශණය කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් සමත්ව සිටියි. එය ඔවුන් මේ වන විට සාර්ථකව සිදු කළ දේශපාලන මෙහෙයුමක් යැයි සඳහන් කළ හැකිය. ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරයේ පසුගියදා දිවුරුම් දීම, ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී සුරේන් රාඝවන් අධ්‍යාපන සේවා හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දිවුරුම් දීම සිදුවූයේ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසය. කෙසේ වෙතත් මෙම මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ දරමින් සිටියි.
මීට අමතරව අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපිත නොකරන්නේ නම් ඉවත් වන බව පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම සමඟ පක්ෂ සාකච්ඡා ආරම්භ කර ඇත. දොළොස් දෙනකුගෙන් පමණ සමන්විත මෙම කණ්ඩායමේ පස් දෙනකු පමණ නැවත තමන් සමඟ රඳවා ගැනීමට පිරිස සාර්ථකව උත්සාහයක් දරා තිබේ. කෙසේ වෙතත් සෙසු පිරිස ස්වාධීන වුවද ආණ්ඩුවට සරල බහුතරය අහිමිවීමේ අවදානමක් මතුව ඇත. ඒ අතර විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීමට වෙනත් පක්ෂවලින් එකතු වූ මුස්ලිම් සහ දමිළ මන්ත්‍රීවරුන් පිරිසක් ද ස්වාධීන වීමට පටන්ගෙන තිබේ. එම පිරිසක් පසුගිය සමයේ අණ්ඩුවට සහාය දක්වමින් සිටියහ.
එම පිරිස සේම ස්වාධීන වීමට හෝ පක්ෂ හැර යෑමට ඉඩ තිබූ පිරිස් වෙත විශේෂ අවධානයක් දක්වා රාජ්‍ය අමාත්‍ය ධූර බෙදා දීම සිදුවූ බව නිරීක්ෂණ වේ. ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම ද දේශපාලනික මෙහෙයුමක එක්තරා කොටසකි. කාදර් මස්තාන්, අරවින්ද් කුමාර්, ගීතා කුමාරසිංහ, ගයාෂාන් නවනන්ද යන පිරිස හට රාජ්‍ය අමාත්‍ය ධූර ලැබීම ඊට උදාහරණ කොට දැක්විය හැකිය. එහෙත් මෙම මෙහෙයුම් නියම ප්‍රතිඵලය ලබාගැනීම මේ මොහොතේ ආණ්ඩුවට පහසු දෙයක් නොවේ. උද්ගත දේශපාලන අර්බුදය අතිශය සංකීර්ණය. බලය දැරීම සඳහා විශ්වාසය තහවුරු කර ගැනීම, විශ්වාසය තහවුරු කර ගනිමින් බල දැරීම නම් සංකීර්ණ අභියෝගය පොදුජන පෙරමුණු ආණ්ඩුව හමුවේ පවතී.
මේ මොහොතේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා ඉකුත් සතියේ පොදුජන පෙරමුණ යොදාගත් උපක්‍රමයක් ගෙන හැර දැක්විය හැකිය. ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගැනීම එම උපක්‍රමයයි. ඒ අනුව ආණ්ඩුව අස්ථාවර බවට ගෙන යන වැරදි ප්‍රචාර තුළින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීමට යම් පිරිසක් කටයුතු කළත් කිසිසේත් එයට ඉඩ නොතබන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී අග්‍රමාත්‍යවරයාට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
මේ අතර බිම් මට්ටමේ පාක්ෂිකයන් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළකට ද පොදුජන පෙරමුණ ගමන් කරමින් සිටියි. බිම් මට්ටමේ සිය දේශපාලන නායකයන්ට ලක්ෂ 10ක පමණ ව්‍යාපෘතියකට ක්ෂණිකව ඉඩකඩ වෙන් කරන බව පවසමින් මේ දිනවල ආසන සංවිධායකවරු විසින් යෝජනා එකතු කරමින් සිටිති. ඉහත විශ්වාසය තහවුරු කර ගැනීම මෙහෙයුම්වල කොටසකි.
මේ අතර පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සඳහන් කර ඇත්තේ ආණ්ඩුව හැර ගිය පිරිස් සමඟ එකඟතාවලට යෑම අවශ්‍ය නොවන බවයි. බහුතරය ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුම් තමන් ඇතුළු කිහිප දෙනකු විසින් දියත් කිරීමට සූදානම් බව ඔවුන් පවසා ඇත. එසේම ඒ සඳහා යම් කණ්ඩායමක් සකස් කර ගැනීමටද ඔවුන් පියවර ගෙන ඇතැයි කියැවේ. කෙසේ වෙතත් පොහොට්ටුවෙන් තවත් පිරිසක් සජබ, ජවිපෙ කණ්ඩායම්වල හවුල්කාරීත්වයෙන් තොරව මේ වන විට සිය කණ්ඩායම හැර ගිය පිරිස එකඟ කරවාගෙන තවදුරටත් ආණ්ඩුව ආරක්ෂා කරගත යුතු බව සඳහන් කරමින් සිටිති. මාර්ග මෙහෙයුම්, උපාය මාර්ගික මෙහෙයුම් ඔවුන් විසින් දියත් කරමින් සිටින බව කියැවේ. කෙසේ වුවත් මෙම සියලු මෙහෙයුම්වල සාර්ථකත්වය ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය මත රැඳී ඇති බව අවසානයේ දී සඳහන් කළ යුතුය.
චමිඳු