2022 අප්‍රේල් 24 වන ඉරිදා

ලන්ඩන් ඉඳන් ගෝල්ෆේස් ආ ජගත් සම්මාන දිනූ ලංකාෙව් නළුවා

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 240

2022 වසරේ හොඳම නළුවාට පිදෙන ඔලීවියර් සම්මානය දිනාගත් හිරාන් අබේසේකර නොබෝදා දිවයිනට පැමිණියේය. ඔහු පිළිගන්නට කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගියේ කෝට්ටේ සෝමලතා සුබසිංහ ළමා හා යොවුන් රංග පීඨයේ සෙවණලත් කෞශල්‍යා ප්‍රනාන්දු ඇතුළු පිරිසයි. ඔහුව උණුසුම් අන්දමින්, ආදරයෙන් එහිදී පිළිගත් සජීවී දර්ශන මා දුටුවේ රංග ශිල්පී මයුර කාංචන පෙරේරාගේ ජංගම දුරකථනය හරහා මුහුණුපොත තුළින් විනා, රූපවාහිනී චැනලයක් ඔස්සේ නොවේ. සිය රංගන ශිල්පය ප්‍රගුණ කිරීමට විනා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීම හඹා නොගිය හිරාන් දිනාගත්තේ බ්‍රිතාන්‍යයේ ඔස්කා සම්මාන සේ ගැනෙන නාට්‍ය හා රංග කලාවේ ප්‍රවීණයන් උදෙසා පිදෙන ඉහළම සම්මානයකි. සරලව ඔලීවියර් සම්මාන යනුවෙන් හඳුන්වන එම සම්මාන නම්කොට ඇත්තේ කෘතහස්ත රංග ශිල්පියකුව සිටි සර් ලෝරන්ස් ඔලීවියර්ගේ නාමයට ගෞරව පුද පිණිසයි. 

ලෝරන්ස් ඔලීවියර්, 20 වැනි සියවසේ බ්‍රිතාන්‍යයේ නාට්‍ය හා රංග කලාව දිග්විජය කළ ජෝන් ගිල්ගඩ්, රැලිෆ් රිචඩ්සන් හා ලෝරන්ස් ඔලීවියර් යන තුන් කට්ටුවෙන්, තුන්වැනිව කී රංගවේදියාය. පසුව හොලිවුඩ් සිනමාවට පිවිසි ඔහු විලියම් ශේක්ෂ්පියර් රචනා කළ නාට්‍ය සෑම එකකම පාහේ ප්‍රධාන චරිත රඟපා විශ්ව රංග කලාවට බොහෝ දෑ ඉතිරි කොට දිවියෙන් නික්ම ගියේය. ලෝරන්ස් ඔලීවියර් සම්මාන බ්‍රිතාන්‍යයේ සොසායටි ඔෆ් ලන්ඩන් තියටර් මගින් නාට්‍ය හා රංග ශිල්පයේ වෘත්තීය ප්‍රවීණයත් උදෙසා වාර්ෂිකව ප්‍රදානය කෙරේ. 1976 පටන් ඇරඹුණු මෙම සම්මාන ප්‍රදානයන් උදෙසා ශිල්පීන් තෝරාගනු ලබන්නේ එම ක්ෂේත්‍රයේ අද්විතීය දස්කම් පෑ අය අතරින් විශේෂයෙන් තෝරාගත් අතිදක්ෂ ප්‍රවීණයන් සමූහයක් විසිනි. මෙම සම්මාන ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් නාට්‍ය නිෂ්පාදන හා වෙනත් වාණිජමය නොවන නාට්‍යවල නියැලි ශිල්පීන් උදෙසා පිදෙන අතර, සංගීතමය නාට්‍ය, ඔපෙරො, හා නෘත්‍ය ඇතුළු පුළුල් පරාසයක වූ කෘති ඒ සඳහා තෝරාගැනේ. බ්‍රිතාන්‍ය නාට්‍ය හා රංග කලාව උදෙසා පිදෙන ඉහළම සම්මානය ලෙසත්, අන්තර්ජාතික වශයෙන් අතිශය අගයකින් යුතුවත් මෙම සම්මානයන් පිළිගැනීමට ලක්වේ. ලන්ඩනයේ රාජකීය ඇල්මටි ශාලාවේදී තම සම්මානය පිළිගත් හිරාන් අබේසේකරට එසැණින්ම සිහියට ආවේ සිය මෘතෘ භූමියේ ජනයාය.

''මේ වනවිට මගේ මාතෘ භූමිය අතිශය දුෂ්කර කාලයක් ගෙවමින් සිටිනවා. මම ඔබ ගැන සිතමින් පසුවෙනවා. ඔබ සමඟ මට ඉන්නට ලැබේ නම් කියා මට සිතෙනවා. මචංලා මම ඔයාලට ආදරෙයි..'' අවසාන වැකිය ඔහු සුපුරුදු සිංහලෙන්ම කියා දැමුවේය. ගුවන් තොටුපළේදී සිය මිතුරන් විසින් පිළිගත් සැණින් හිරාන් කියා සිටියේ තමා අරගල බිමට යෑම සඳහාම මෙරටට පැමිණි බවයි. ඒ අනුව පසුගියදා අරගල බිමේ ඉන්නා ශ්‍රී ලාංකික තරුණයන් සමඟ ඔහු එක් වූයේය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හිරාන් අබේසේකරට රංගනයේ පදනම වැටුණේ කෝට්ටේ (සෝමලතා සුබසිංහ) ළමා හා යොවුන් රංග පීඨයෙනි. එම රංග පීඨයෙන් නිෂ්පාදනය වූ මහාචාර්ය චන්දන අලුත්ගේ නිර්මාණය කළ (වලස් පවුල) කෞශල්‍ය ප්‍රනාන්දු නිෂ්පාදනය කළ (සඳ ළඟ මරණය( සෝමලතා සුබසිංහගේ විකෘති යන නාට්‍යයන්ට ඔහු රංගනයෙන් දායක වූයේය. ටයිම්ස් පුවත්පතට හිරාන්ගේ පසුබිම විස්තර කළ මහාචාර්ය චන්දන අලුත්ගේ මෙතෙක් අප්‍රසිද්ධියේ සිටි හිරාන් ගැන මෙසේ කීවේය.

''හිරාන් උපත ලබා ඇත්තේ සමාජ ක්‍රියාකාරීන්ගෙන් සහ කලා කුසලතාවකින් හෙබි අයගෙන් සමන්විත පවුලකින්. ඔහුගේ සීයා, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සමාරම්භකයකු වූ අරියනන්ද අබේසේකරයි. ඔහුගේ මව ඌෂා සරවනමුත්තුගේ බැලේ ශිෂ්‍යාවක වූ සෝබනා ඉද්දමල්ගොඩයි.''

කෞශල්‍ය හිරාන් ගැන කී විස්තර මෙසේය.

''මගේ මව සහ පියා නිතරම ඔවුන්ගේ කාර්යබහුල කටයුතු උදෙසා නිවෙසින් පිටමංව යන විට අපව තබා ගියේ හිරාන්ගේ ආච්චි ළඟයි. අපේ පවුල් එකිනෙකාට ඉතා සමීපයි. හිරාන් කුඩා කාලයේ පටන්ම අපගේ නිවෙසට යන එන පුරුද්දක් තිබුණා. ඔහු ගණිතය සහ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියත් ඔහුට විශ්වවිද්‍යාල වරම් නොලැබුණු නිසා, නැවත කලා විෂය ධාරාවෙන් ඔහු විභාගයට පෙනී සිටියා. නාට්‍ය හා රංග කලා ආදී කලා විෂයන් කියා දී මා ඔහුට ස්වේච්ඡාවෙන් උදව් කළා. ඔහු වඩාත් සුපරීක්ෂාවෙන් තමන්ට භාර කටයුතු කළා. නාට්‍ය නිෂ්පාදනවල කටයුතු ඔහු අතිශය සැලකිල්ලෙන් කටයුතු කළා. එක් නාට්‍යයක රංග භාණ්ඩ ඔහු රැයක් නිදිමරාගෙන සකස් කළ ආකාරය මට තවම මතකයි.''

2003 පමණ කාලයේ යොවුන් හා රංග පීඨයෙන් නිෂ්පාදනය වූ වලස් පවුල නාට්‍යයට ඔහු මුලින්ම දායක වුණා. ඔහු එහි ගිරවාගේ චරිතය රඟපාමින් පළමු ප්‍රසිද්ධ රංගනය ඉදිරිපත් කළ බව මහාචාර්ය චන්දන අලුත්ගේ කියා සිටියේය. පසු කලෙක ඔහු චමිල ප්‍රියංකරගේ නාට්‍යයක චරිතයක් රඟපාමින් කොළඹ විශ්වවිද්‍යාලයෙන් (හොඳම නළුවාට) හිමි සම්මානය දිනා ගත්තේය.

අනතුරුව ඔහු ස්ටීව් ඩි ලා සිල්වාගේ (Steve De La Zilva) ඊක්වස් නම් (Eques) නම් ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනයේ චරිතයකට පණ දුන්නේය. එය බ්‍රිතාන්‍ය කවුන්සලයේ අනුග්‍රහයෙන් කළ නාට්‍ය නිෂ්පාදනයක් වූ අතර එක්සත් රාජධානියේ නාට්‍ය විද්‍යායතනයකට පිවිසීම සඳහා වූ රංගන කුසලතා පරීක්ෂණයකට පෙනී සිටින්නට එම නාට්‍ය ඔහුට බොහෝ සෙයින් ඉවහල් වූයේය. සෑම නාට්‍ය විද්‍යායතනයක්ම ඔහුව භාරගන්නට කැමති විය. ඉන් අනතුරුව රාඩා ආයතනය හෙවත් රාජකීය නාට්‍ය කලා ඇකඩමියේ (Royal Academy of Dramatic Art) ශිෂ්‍යත්වය ඔහු තෝරා ගත්තේය. එහි උපාධිය ඔහු දිනාගත්තේ 2011 වසරේදීය. එවැනි රංග කලා උපාධියක් දිනාගත් ශ්‍රී ලංකාවේ දෙවැන්නා හිරාන්ය. (පළමුවැන්නා තුසිත ජයසුන්දරයි.) 
හිරාන් ඔලීවියර් සම්මාන 2022 උදෙසා හොඳම නළුවා සම්මානය දක්වා පැමිණි ගමනේ සන්ධිස්ථානය පිළිබඳ මතක් කරමින්, ශ්‍රී ලංකාවේ තවත් (ඉංග්‍රීසි නාට්‍ය) නිෂ්පාදකවරයකු හා පුහුණුකරුවකු වූ ජෙරොම් ද සිල්වා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් දී තිබිණි.

''වඩාත් විශිෂ්ට දේ කරා යන්නට ඔහු තුළ අභිප්‍රායක් තිබූ බව අප දැන සිටියා. ඒ නිසා ඔහු රාඩා ආයතනයට ඇතුළත් වුණා. අතිශය දක්ෂයකු වූ ඔහු වෙස්ට් එන්ඩ් වෙත අමුත්තකු වූයේ නෑ. ඉන් පසු (ලයිෆ් ඔෆ් පයි) නාට්‍යයේ පයි චරිතය ඔහුට ලැබුණා. ඔහු අතිශය දස්කම් ඇති අයෙක්. ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන යම් විශ්ෂ්ට කාර්යයක් ඔහු කරන බව අප දැන සිටියා. දැන් ඔහු අත්ලන්තික් සාගරය පසුකොට ටෝනි දෙසට යන අයුරු මට මැවී පෙනෙනවා.'' ඔහු ටෝනි යනුවෙන් නම් කළේ බ්‍රොඩ්වේ රංග කලාවේ (අමෙරිකාවේ) විශිෂ්ටයන් සඳහා පිරිනැමෙන ඇන්ටොයිංනට් පෙරී (Antoinette Perry) සම්මානයයි.

හිරාන්ට හොඳම නළුවා සම්මානය ලැබුණු (Life of Pi) නාට්‍ය ලොලිටා චක්‍රබාර්කීගේ නාට්‍ය නිෂ්පාදනයකි. ඊට පාදක වූ මුල් කෘතිය වන්නේ යාන් මාර්ටෙල් (Yann Martel) ගේ එම නමින් යුතු නවකතාවයි. එම නවකතාවට බුකර් සම්මානය හිමි විය. එම කතාවම ඉවහල් කරගෙන Ang Lee විසින් අධ්‍යක්ෂණය කළ (Life of Pi) සිනමා නිර්මාණයට ඔස්කා සම්මාන හිමිවූයේය. හිරාන් සම්මාන දිනුවේ Pi චරිතය රංගනය උදෙසාය. Pi යනු පොස්ඩිචෙරියේ සත්වෝද්‍යාන භාරකරුවකුගේ පුත්‍රයෙකි. ඔහු නැවකින් සතුන් ගෙන යමින් සිටියදී, නැව කුණාටුවකින් බිඳී ගොස් පයි බෙංගාල ව්‍යාඝ්‍රයකු සමඟ ජීවිතාරක්ෂක පහුරක තනි වේ. එම නාට්‍යයේ ව්‍යාඝ්‍රයා සඳහා ඉවහල් කරගෙන තිබුණේ විශාල මපට් රෑකඩයකි. රළ නැගෙන බිඳෙන අයුරු වේදිකාවේ නිරෑපණය කිරීමට එහිදී අති නවීන (විශේෂ) ප්‍රයෝග භාවිත කෙරිණි.

හිරාන් මෙන් රංගනයට ඉතා දක්ෂ තරුණයන් තවත් මෙරට ඉන්නා බව රහසක් නොවේ. ජාත්‍යන්තර තලයට යා යුතු එක් මඟක් හිරාන් ඔවුනට කියා දී තිබේ. නාට්‍ය මගින් ඉංග්‍රීසිත්, ඉංග්‍රීසි තුළින් නාට්‍ය දැනුමත් වර්ධනය කරගත යුතු බව ඔහු කියා දී ඇති එක් පාඩමකි. ප්‍රසිද්ධිය පසුපස නොයා කැපවීමෙන් රංග කාර්යය හැදෑරිය යුතුය. එවිට මාධ්‍ය රංග ශිල්පියා පසුපස හඹා එනු ඇත. දැන් ජාත්‍යන්තර වේදිකාව හිරාන් අබේසේකර හට විවෘතය.

 සමන් පුෂ්ප ලියනගේ 

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05