2022 අප්‍රේල් 24 වන ඉරිදා

මහමග පුපුරාගිය රඹුක්කන තෙල් කැරැල්ල

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 79

''කිරිසුද්දා හෙල්මට් එකකුත් අතේ තියාගෙන හිටියේ. එකපාරටම වෙඩි ශබ්දයක් ඇහුණා. එතකොටම සුද්දා බඩ අල්ලාගෙන බිම වැටුණා. බඩවැල් එළියට ආවා. අපි වෙඩි තියන්න එපා කියලා කෑගැහුවත් පොලීසිය දිගටම වෙඩි තිබ්බා...''
රඹුක්කන නගරයේ පැවති විරෝධතාවට එක්ව සිටියදී පොලිස් වෙඩි පහරට ලක්ව මියගිය කිරිසුද්දා හෙවත් චමින්ද ලක්ෂාන්ට වෙඩි ප්‍රහාරය එල්ලවීම සියැසින් දුටු පුද්ගලයෙක් මාධ්‍ය වෙත එසේ පැවසීය.

වෙඩි ප්‍රහාරයට ලක්වී එක් අයකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තුවාල ලැබූ සිවිල් වැසියන් 13 දෙනෙක් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සෙසු තුවාලකරුවන් දසදෙනා නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය. මේ අතර මහජනතාවගේ ගල්මුල් ප්‍රහාරවලට ලක්වූ පොලිස් නිලධාරීන් 14 දෙනකුද තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කළේය. ඔවුහු මහනුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

දින කිහිපයක් තුළදී දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම හා දිවයින පුරාම ඉන්ධන බෙදාහැරීමේ ගැටලු හේතුවෙන් දිවා රෑ නොබලා ජනතාවට ඉන්ධන පෝලිම්වල සිටීමට සිදුවීම ඇතුළු ගැටලු රැසක් නිසා රටපුරාම විරෝධතා උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබිණ. ප්‍රධාන නගර හා මංමාවත් ආශ්‍රිතව මාර්ග හරස් කරමින් ප්‍රදේශවාසී ජනතාව පාරට බැස විරෝධතාව පෑවේ මේ ගැටලුවලට විසඳුම් ඉල්ලමිනි. කිසිදු පාර්ශ්වයක බලකිරීමක් හෝ මඟ පෙන්වීමකින් තොරව ජනතාව මෙසේ වීදි බැස විරෝධතාවල නිරත වූහ. රටපුරා නගරවල තත්ත්වය මෙසේ වෙද්දී ඉකුත් 19 වැනිදා උදෑසන පටන් රඹුක්කන නගරයේ විරෝධතා ආරම්භ වී තිබිණ. ප්‍රදේශවාසී ජනතාව රුස්වූ විරෝධතාව පුරා පැය 15කට වැඩි කාලයක් පැවතී තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට ජනතාවට සාමකාමීව විරෝධතා සිදුකිරීමට අවස්ථාව ඇත. එම අයිතිය අනුව රැස්වූ ජනතාව උද්ගතව තිබෙන ආර්ථික අර්බුද මැද ආණ්ඩුව විවේචනය කරමින් විවිධ සටන් පාඨ කියන්නට වූහ. ඒ අතර පාලකයන්ට එරෙහිව විවිධ වැකි ප්‍රදර්ශනය කරන්නට වූහ. මෙසේ රැස්වූ ජනතාව ඊට පෙරදින එනම් අප්‍රේල් 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් කෝපයෙන් පසුවී සිටියහ. විරෝධතාව අතරමැද ඔවුහු බස් රථ, ත්‍රිරෝද රථ හා ලොරි රථ හරස් කරමින් රඹුක්කන නගරයේ ප්‍රධාන මාර්ග අවහිර කර තිබුණි. මේ නිසා ගමන් බිමන් ඇණහිට තිබුණු හෙයින් පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටියහ. මේ අතර මහනුවර - කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් සිල්පර කොටන් ඇතුළු ලී කොට දැමීම නිසා දුම්රිය ධාවනයද ඇණහිට තිබුණි.

රඹුක්කන නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකි. එය සමුපකාර ඉන්ධනහල ලෙස ප්‍රසිද්ධය. දිනපතා පෙරවරු 4 සිට රාත්‍රී 10 දක්වා මෙය විවෘතව තැබෙන අතර පවතින ඉන්ධන හිඟය නිසා 18 වැනිදා දවස පුරාම එහි දිගු පෝලිමක් පැවතී ඇත. එදින සන්ධ්‍යාවේ ඉන්ධන තොග අවසන්වීමත් සමඟ ඉන්ධන හල වසා දමා තිබුණු අතර පෝලිමේ සිටි ජනතාවට එහි කාර්යමණ්ඩලය පවසා තිබුණේ රාත්‍රියේ ඉන්ධන බවුසරයක් පැමිණීමට නියමිත බවකි. මේ නිසා පෝලිමේ සිටි වැඩි පිරිසක් රාත්‍රිය පෝලිමේ ගතකර ඇතැයි පැවසේ.

18 වැනිදා මධ්‍යම රාත්‍රියේදී දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පෝලිමේ සිටි ජනතාව උරණ වී ඇත. එම ඉන්ධනහල වෙත රාත්‍රී කාලයේදී ලබාගත් ඉන්ධන තොගයක් පසුදින වැඩි මිලට අලෙවි කරන බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරමින් බස්රථ රියැදුරන්, ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු පිරිස් 19 වැනිදා උදෑසනට රැස්වී තිබුණේ විරෝධතාවක් ආරම්භ කිරීම සඳහාය. එසේ ආරම්භ වූ විරෝධතාවයට නගරයේ වෙළඳසල් වසා දමා ඔවුන්ගේ සහායද ලබාදී තිබුණි. මේ අතර මහාමාර්ග අවහිර කරමින් ටයර් පුලුස්සා ආණ්ඩුවට පවතින මහජන විරෝධය පෙන්වමින් ජනපතිට ආණ්ඩුවට ගෙදර යන්නැයි උද්ඝෝෂණ ආරම්භ විය. මෙසේ ආරම්භ වූ විරෝධතාවට පැය 12ක් 15ක් පමණ කාලයක් ගතව තිබියදී රඹුක්කන සමුපකාර ඉන්ධනහල වෙත ඉන්ධන රැගෙන පැමිණි බවුසර් රථයකි. විරෝධතාවයේ නිරතව සිටි පිරිස එම බවුසර් රථය නවත්වාගෙන තිබුණේ උඩරට දුම්රිය මාර්ගය අවහිර වන ලෙස රඹුක්කන දුම්රිය හරස් මාර්ගය මතදීය. එම ඉන්ධන රැගත් බවුසර් රථයට ඉන්ධන හල වෙත ළඟාවීමට ඉඩ ලබාදෙන ලෙස පොලීසිය විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටි නමුත් පීඩනයෙන් හා කේන්තියෙන් පසු වූ පිරිස් ඊට අවස්ථාවක් ලබාදී නැත.

පොලීසියත් මහජනතාවක් අතර මේ මොහොතේ ආරම්භ වූ ගැටුම අතර ජනතාව පළවාහැර බවුසර් රථය පිටත් කිරීම සඳහා පොලීසිය ජනතාව දෙසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත. මේ අවස්ථාවේ රුස්ව සිටි පිරිස අතරින් කිහිප දෙනකු බවුසර රථයට ගිනිතැබීමට උත්සාහ ගත් බව පොලීසිය කියා තිබිණි. කඳුළු ගෑස් ප්‍රහාරයත් සමඟ ප්‍රකෝප වූ ජනතාව දුම්රිය මාර්ගයේ තිබූ ගල්කැට රැගෙන පොලිස් නිලධාරීන්ට පහරදී ඇත. පොලීසිය පවසන්නේ එම බවුසර් රථයේ ඉන්ධන ලීටර් 33,000ක් පමණ අඩංගුව පැවති බවත් එය ගිනි ගැනීමට ලක්වූයේ නම් ආර්ථික මෙන්ම පාරිසරික වශයෙන් පළාතටම විශාල හානියකට ලක්වීමට ඉඩ තිබූ බවය. එබැවින් පොලිස් නියෝග නොතකා ඊට ගිනි තැබීමට උත්සාහ කළ පිරිස වෙත බැටන් පොලු ප්‍රහාර එල්ල කරන අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ බව පොලීසිය කරුණු දක්වමින් පවසයි.

කෙසේ නමුත් නිරායුධ මිනිසුන් ඉලක්ක කොට වෙඩි වරුසාවක් එල්ල කරනු වෙනුවට ජල ප්‍රහාරයකින් හෝ කඳුළු ගෑස් ප්‍රහාරයකින් ගැටුම සමථයකට පත් කිරීමට අවස්ථාව නොතිබුණේද යන්න ගැටලුවකි. එවැනි පසුබිමක විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සඳහා අණ දුන්නේ කවුරුන්ද විමසිය යුතුය. මෙම විරෝධතාවට සහභාගි වී සිටියදී පොලිස් වෙඩි පහරට ලක්ව අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කුරුවිටගේ චමින්ද ලක්ෂාන් (42) නැමැති දෙදරු පියෙකි. ඔහු රඹුක්කන නාරංබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා දරු දෙදෙනකුගේ පියකුවන අතර පින්නවල ප්‍රදේශයේ පදිංචිව සිටි බව කියයි.

රටේ උද්ගතව තිබෙන අර්බුද රැසක් හමුවේ ජනපතිවරයාගේ නිවස වටලමින් මහජන උද්ඝෝෂණයක් ආරම්භ වූයේ මාර්තු 30 වැනිදා රාත්‍රියේදීය. එතැන් පටන් පැවති විරෝධතා රැසක් හමුවේ රටම කැළඹූ විරෝධතාව රඹුක්කන බවට පත්වූයේ පොලිස් වෙඩි තැබීම හා අයකු ඝාතනය කිරීමත් තවත් පිරිසක් තුවාල ලැබීමත් නිසාය. මියගිය පුද්ගලයා එජාපයේ හිටපු ක්‍රියාකාරිකයකු බව පැවසේ. ඔහුට එරෙහි මිනීමැරුම් චෝදනාවක් ඇතුළු බල අපරාධ චෝදනා දෙකක් පවතින බව ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබිණි. කෑගල්ල ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි දේශපාලනඥයකුගේ ලේකම්වරයකු ඝාතනය කිරීමේ සැකකරුවකු බවත් කියයි. මේ අතර වාර්තා වන්නේ දේශපාලනඥයකු විසින් කිරිසුද්දා නැමැත්තා විරෝධයට සහභාගි වී සිටින බවට කෑගල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකුට ලබාදුන් උපදෙස් මත වෙඩිතැබීම සිදුකර ඇති බවකි.

විරෝධතාව අතරතුර ප්‍රධාන මාර්ගය අසල නවත්වා තිබූ ත්‍රිරෝද රථයක් ගිනි තබා තිබුණි. ප්‍රදේශවාසීන් පවසන්නේ එම ක්‍රියාව පොලිස් නිලධාරියකු විසින් සිදුකළ බවට ඇතැම් පිරිස් දැක ඇති බවකි. එමෙන්ම ඉන්ධන හලේ ඉන්ධන පුරවන යන්ත්‍රයකටද ගිනි තබා තිබුණි. මේ හැර මාර්ගය පසෙක වූ යතුරුපැදි ඇතුළු රථවාහන රැසකටද හානි සිදුකර තිබිණ. පැවති තත්ත්වය පාලනය සඳහා පොලිස් කැරලි මර්දන ඒකක කැඳවා තිබුණු අතර පොලිස් ඇඳිරි නීතිය පැනවීමටද කටයුතු කෙරිණ. ඇඳිරි නීතිය පනවා තිබුණු මොහොතක වුවද පසුදිනයේද පොලිස් වෙඩි ප්‍රහාරයට විරෝධය පළකරමින් සාමකාමී විරෝධතාවක නිරතවීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. එමෙන්ම මහජන ආරක්ෂක ආමාත්‍යංශය මගින්ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත. සිදුවීම සම්බන්ධව එක් සැකකරුවකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර දේපළවලට හානි කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි. එම පුද්ගලයා වෙනුවෙන් කෑගල්ල අධිකරණය 20 වැනිදා නීතිඥවරු සියයකට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම විශේෂත්වයකි.
මෙම උද්ඝෝෂණය සිදුකළ වෙඩි ප්‍රහාර හමුවේ අයකු මියයාම හා තවත් පිරිසක් තුවාල ලැබීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. මහජන ආරක්ෂක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ උද්ඝෝෂකයන් පාලනය කිරීම සඳහා ගතහැකි සියලු පියවර ගැනීමෙන් පසුව වෙඩි තැබීම සිදුකළ බවය. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් 6 දෙනකු මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණි. මේ අතර රඹුක්කන විරෝධතාව අතර සිදුකළ වෙඩි තැබීමෙන් සිදුවූ ඛේදවාචකයට හේතු වූ සිදුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දන්වා ඇත.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර