2022 අප්‍රේල් 24 වන ඉරිදා

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම පැහැර හැරියේ නිලන්ත ජයවර්ධනද?

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 127

පුද්ගලයන් දෙසීය පනහකට අධික පිරිසකගේ ජීවිත අහිමි කරමින්, තවත් පිරිසකගේ ජීවිත සදහටම අඳුරු කරමින් 2019 අප්‍රේල් 21 වැනි ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මේ වනවිට වසර තුනක් ගතවී තිබේ. තමන්ට වූ අසාධාරණයට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන ලෙසට වින්දිතයන් සහ කතෝලික සභාව නොනවත්වාම හඬ නැඟුවද තවමත් ඔවුන්ට සාධාරණය ඉටු වී නොමැත.

2022 අප්‍රේල් 16 දින පැවැති ආලේලුයියා සෙනසුරාදා පැවැති දේව මෙහෙයේදීද කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ ''මිනිසුන්ගේ ආත්මාර්ථකාමීත්වය දැඩිව මතු වී ඇත. අපි පාස්කු ප්‍රහාරයේදී විනාශය, වංකභාවය, බොරුව සහ වංචාවට මුහුණ දුන්නා. මේ වනවිට ශ්‍රී ලංකාව මුලාකරන්නන්ගේ දේශයක් බවට පත්ව තිබේ. පාස්කු ප්‍රහාරයට සත්‍ය වශයෙන්ම සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විමර්ශනවලදී සත්‍ය සොයා යන විටත් අප එම අත්දැකීමට මුහුණ දුන්නා. අපි අපවම මුලාකරගත්තා.'' යනුවෙනි.
පාස්කු ප්‍රහාරයට වසර තුනක් සම්පූර්ණ වූ 2022 අප්‍රේල් 21 දින කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේව්මැඳුරේ පැවැති සිහිපත් කිරීමේ උත්සවයේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙලෙස ප්‍රකාශ කළේය. ''වත්මන් රජය හිටපු ජනාධිපතිතුමන් ආරක්ෂා කරන්නේ රජයට සම්බන්ධ උසස් අය හරහා පාස්කු ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් පිළිබඳව හෙළිදරව් වේදැයි යන බිය නිසාදැයි මේ රටේ පොදු ජනතාව හා අප තුළ බරපතල සැකයක් මතුවී තිබේ. ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති නඩු පැවරීම් සිදු නොකොට පවරා ඇති නඩුද දුර්වල ලෙස මෙහෙය වන්නට කටයුතු කරමින් නීතිපති දෙපාර්තමේන්තුව නීතියේ උත්තරීත්වය කෙලසන්නට කටයුතු කිරීම නින්දා සහගතය. වත්මන් පොලිස්පතිවරයා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ රුධිරයට වගකිවයුතු බව මම ප්‍රකාශ කරන්නට කැමතියි. මේ ප්‍රහාරයේ පළමු පෙළේ කර්තෘවරුන් වූ සහරාන් හෂීම් හා ඔහුගේ පිරිස හා ඔවුන්ට අනුබල දුන් බවට පැවසෙන මුස්ලිම් පිරිස පමණක් ප්‍රහාරයට වගකිව යුතු බවට ප්‍රකාශ කරන රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉන් ඔබ්බට නොයා මේ මිනිස් ඝාතනය සිදු වීමට පෙර දැන දැනත් ඕනෑකමින් ඒ පිළිබඳව ක්‍රියා නොකළ දේශපාලන නායකයන්, බුද්ධි අංශ නිලධාරින්, පොලිසියේ උසස් නිලධාරින් ජනාධිපති කොමිසමේ නිර්දේශද නොතකා සුදනන් සේ දැක්වීමට ගෙන යන ප්‍රයත්නය ඉතා නින්දිතයි.

2019 නොවැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වූ අපේක්ෂකයකුගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා රටතුළ කැළඹිලි ඇති කර ජනතාව එකිනෙකා කෙරෙහි බියගැන්වීම තුළින් එක් අපේක්ෂකයකුට වැඩි වාසියක් අත්කර දීමට පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබී තිබූ තොරතුරු එවක බලයේ සිටි ජනාධිපතිවරයා, බුද්ධි අංශ සහ පොලිසිය හිතාමතාම ජනතාවගෙන් සඟවා එම ප්‍රහාරය වැළැක්වීමට දරන ලද සියලු උත්සාහයන් පරදවා ප්‍රහාරයට ඉඩ සලසා දෙමින් ජාතීන් එකිනෙකා කොටවමින් එක්තරා පාර්ශ්වයකට බලය අත්පත් කර දීමට උත්සාහ කළ බව පෙනී යනවා.'' යනුවෙන් සඳහන් කළේය.

අවසානයේ තමන්ට සාධාරණය ඉටුකරන ලෙසට ඉල්ලා එතුමන්ට ජාත්‍යන්තරයට පවා යෑමට සිදුවිය. පසුගිය පෙබරවාරි 28 දින උන්වහන්සේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රුන්සිස් පාප්වහන්සේ හා පසුව ජිනීවාහි මානව හිමිකම් කොමිසම හමුවූයේද ඒ අනුවය.

පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කළේය. එම කොමිසමේ අවසන් වාර්තාව 2021 පෙබරවාරි මාසයේ වත්මන් ජනාධිපතිවරයාට බාර දීමට පියවර ගැනිණි. මේ සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීම සඳහා ජනාධිපති කොමිෂන් සභාව දින 214 කාලයක් මුළුල්ලේ 457 දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබිණි.

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 8 දෙනෙකු මෙම ප්‍රහාර මාලාව සිදුකළේ කතෝලික දේවස්ථාන හා සුඛෝපභෝගී හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමිනි. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් හා මඩකලපුව සියොන් දේවස්ථානයත් ෂැන්ග්‍රිලා, කින්ස්බරි හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් තුළදීත් දෙමටගොඩ හා දෙහිවලදීදීත් බෝම්බ පුපුරුවාගෙන තිබිණි. එම ප්‍රහාරවලින් 269 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. පාස්කු ප්‍රහාරයට අදාළව පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉන් 202ක් බන්ධනාගාරගත කර ඇති බවත් තවත් 66 දෙනෙකු රඳවා තබාගෙන විමර්ශනය කෙරෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසා තිබිණි. පසුව ඉන් 408 දෙනෙක් ඇප මත නිදහස් කළ අතර ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශනය කෙරෙන බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන තුනක් වන ජාතික තව්හීඩ් ජමාද්, ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම් හා විල්ලයාත් අස් සේලානි යන සංවිධාන ප්‍රහාරයන් පසු තහනම් කෙරිණි.

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවට සෘජුව හෝ වක‍්‍රව ආධාර අනුබල දීම, දායකත්වය දැක්වීම ඇතුළු අධිචෝදනා යටතේ නවුෆර් මවුලවි, සජිත් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ හෙවත් ජවුෆර් ඩාමා ඇතුළු 25 දෙනකුට එරෙහිව අධිචෝදනා 23,270ක් යටතේ නඩු පැවරීමට පියවර ගෙන තිබූ අතර මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ විත්තිකරුවන් 25 දෙනාට අධිචෝදනා පත්‍ර බාරදෙන ලදී.

ජනාධිපති කොමිෂන් සභාව විසින් කළ විමර්ශනයෙන් අනතුරුව පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගත් බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන වැනි පිරිසකට චෝදනා එල්ල විය.

එහෙත් නඩු පැවරුණේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට පමණි. අධි චෝදනා 855 බැගින් නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව අධිචෝදනා ගොනුකර පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නඩු පවරනු ලැබූ අතර පසුව මෙම නඩු දෙකෙන් ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ අධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් හා වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට අපරාධ චෝදනා මත නඩු පැවරිය යුතු බවට එම කොමිෂන් සභාව නිර්දේශ කර තිබූ අතර හිටපු නීතිපවරයාද ඔහුට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය සියලු නිර්දේශ නිකුත්කර තිබිණි. එහෙත් සිදුවූයේ වෙනකකි. නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකරුවකු බවට පත් කෙරිණි.

පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු නිදහස් කෙරුණු අවස්ථාවේ මහාධිකරණ විනිසුරු මඬුල්ලේ එක් විනිසුරුවරයකු වූ ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බවයි.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් 2022 වසරේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ 07 පුද්ගල විනිසුරු මඩුල්ල විසින් 2021 නොවැම්බර් 16 දින නියම කරන ලදී. 2019 අප්‍රේල් 21, පාස්කු ඉරු දින ප්‍රහාර වළක්වා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් 12 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ගොනුකර තිබිණි. පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, පසුගිය යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩලය, නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

කාදිනල් හිමිපාණන්ගේ සැකය සනාථ කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තබා ලද තොරතුරුවලට අදාළව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වගකිව යුතු බවට 2022 අප්‍රේල් 19 වැනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා අනාවරණ කළේය. මෙම මාධ්‍ය හමුවට ජනාධිපති නීතීඥ යූ.ආර්. සිල්වා මහතාද සහභාගී වී සිටි අතර මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව දැනුම්වත් කිරීම සඳහාය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා

''මෙම විමර්ශනයේදී සාක්කි දුන් නිලන්ත ජයවර්ධන කියා සිටියේ 2019 අප්‍රේල් 4 වැනිදා ඔහුට ඉන්දියානු බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරතුර සාමාන්‍ය තොරතුරක් පමණක් බවත් බුද්ධි තොරතුරක් නොවන බවත්ය. ඔහු ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට ඒ සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 7 වැනිදා ලිපි යවා තිබෙනවා. අප්‍රේල් 9 වැනිදා ජාතික බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පොලිස්පතිවරයාට. මෙම වාර්තාව සමඟ ලිපියක් යවා තිබෙනවා. ඒ අනුව හිටපු පොලිස්පතිවරයා නිසි තැන්වලට ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා. මම ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී නිලන්ත ජයවර්ධන කියනවා එය බුද්ධි තොරතුරක් බවට පත්වුණේ අප්‍රේල් 20 වැනිදා සවස 4.02ට කියලා. එය බුද්ධි තොරතුරක් බවට තහවුරු කර ගත්තේ කෙසේදැයි මා ඔහුගෙන් ප්‍රශ්න කළ විට අප්‍රේල් 4 දින තොරතුර ලබාදුන් පුද්ගලයා විසින් තවත් වට්ස්ඇප් පණිවිඩයක් එවූ බැවින් යැයි ඔහු ප්‍රකාශ කළා. එවිට මා ඔහුගෙන් ප්‍රශ්න කළේ අප්‍රේල් 04 වැනිදා සිට අප්‍රේල් 20 දා දක්වා එම තොරතුර තහවුරු කර ගැනීමට ඔබගේ නිලධාරී කණ්ඩායම ලවා කිසියම් පරීක්ෂණයක් කළාද යන්නයි. එයට ඔහු දුන් පිළිතුර වූයේ ''නැත'' යන්නයි. අප්‍රේල් 9 දින පැවැති බුද්ධි සමාලෝචන මණ්ඩලයේදී එම තොරතුර සම්බන්ධයෙන් හෙළිදරව් නොකළේ මන්දැයි මා ඇසූ විට ඔහු කියා සිටියේ එය බුද්ධි සමාලෝචන මණ්ඩලයට යොමු කරන ලෙස ජාතික බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට දැන්වූ බවයි. බුද්ධි මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කරන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසිනුයි. නිලන්ත ජයවර්ධන තම වගකීම ඉටුකළේ නැහැ. තමන් බැරිවෙලාවත් මේ ගැන ප්‍රකාශ කොට ඇඳිරි නීතිය පනවා රට වසා දැමූ පසු බෝම්බ ප්‍රහාරයක් සිදු වූයේ නැතිනම් තමන්ට ගෙදර යන්න සිදුවන බව ඔහු ප්‍රකාශ කළා. එක නිලධාරියකුගේ වරදක් නිසා මේ රටේ ජීවිත 250ක් පමණ අහිමි වුණා. පන්සියයකට වැඩි පිරිසක් තුවාල ලැබුවා. එදා ලැබුණු තොරතුර නිලන්ත ජයවර්ධන බුද්ධි තොරතුරක් ලෙස ගණන් නොගැනීම නිසයි මෙම ඛේදවාචකය සිදුවුණේ. ඒ නිසා එම ඛෙදවාචකයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තා නිලන්ත ජයවර්ධනයි. ඔහු එම තොරතුරු එවක සිටි ජනාධිපතිවරයාට දැන්වූවාද නැද්ද යන්න මා දන්නේ නැහැ. අප සතුව ඇති විමර්ශන සටහන්වලට අනුව මට හැඟෙන්නේ ඔහු ජනාධිපතිවරයාට එවැන්නක් දන්වා නොමැති බවයි. ඔහු මේ සියල්ල කළේ තම රුකියාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින්. එවැනි බුද්ධි අධ්‍යක්ෂවරයෙක් යටතේ තමයි අපේ රටේ බුද්ධි සේවය පැවතුණේ.'' යනුවෙන් සඳහන් කළේය.

නිලන්ත ජයවර්ධනට වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින මූලික අයිතිවාසිකම් 12 බාධාවක් නොවන බව ජනාධිපති නීතීඥ යූ. ආර්. සිල්වා මහතා ප්‍රකාශ කරයි. ''අපරාධ නඩුවක සහ සිවිල් නඩුවක ඇති තත්ත්වය වෙනස්. සිවිල් නඩුවෙන් ඔහුගේ නොසැලකිළිමත් භාවයක් තිබුණා කියා තීරණය කළොත් එය අපරාධ නඩුවට සෘජුවම බලපාන්නේ නැහැ. එහෙත් මෙතරම් සාක්ෂි තිබියදීත්, මහාධිකරණය බොහෝ කරුණු සොයා බලා තිබියදීත්, නිලන්ත ජයවර්ධනට නඩු නොපැවරුවේ මන්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය විමසා සිටියහොත් එවිට එය රජයේ වගකීමට යටත් වෙනවා. මෙහිදී රජය ලෙස සැලකෙන්නේ පොලිස්පතිවරයා.'' යනුවෙන් සඳහන් කළේය.

මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතු කරුණ වන්නේ ජනාධිපති කොමිෂන් සභාව විසින් නඩු පැවරිය යුතු බවට නිර්දේශ කළ නිලන්ත ජයවර්ධනට විරුද්ධව ක්‍රියා නොකර ඔහු සාක්ෂිකරුවකු කොට ආරක්ෂා කළේ කාගේ වුවමනාවටද යන්න හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනුණේ මන්ද යන්නයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම් වාර්තාවේ තවත් වෙළුම් කිහිපයක් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අති සංවේදී තොරතුරු ඇතුළත් යැයි සඳහන් කරමින් ජනාධිපතිවරයා යටතේ පවතී. එම තොරතුරු හෙළිදරව් කළහොත් මෙම ප්‍රහාරයේ මහමොළකරුවා හඳුනා ගැනීම දුෂ්කර නොවනු ඇත.

කෙසේ නමුදු පාස්කු ප්‍රහාරයට වසර තුනක් ගතව තිබියදීත් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් කටුවපිටිය, ගම්පහ, පූගොඩ, රාජගිරිය, කොටහේන්, කොච්චිකඩේ වැනි බොහෝ ප්‍රදේශවල කතෝලික ජනතාව නිහඬ විරෝධතාවල යෙදී සිටිනු පසුගිය පාස්කු ඉරුදිනයේද දකින්නට ලැබිණි. සත්‍ය වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු වන්නේ කවදාද?

■   ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා