2022 අප්‍රේල් 10 වන ඉරිදා

මිරිහානෙන් ඇරැඹි රටටම ගිය අරගලය

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 261

මේ දිනවල නගරයක් නගරයක් පාසා ගමක් ගමක් පාසා උද්ඝෝෂණ, පෙළපාලි සහ විරෝධතාය. ඒ සෑම විරෝධතාකරුවකුගේම සටන් පාඨය වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමය. විශේෂයෙන් පවතින ආර්ථික අර්බුදයට වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිවයුතු බව විරෝධතාකරුවන්ගේ මතය සහ අදහස වී ඇත. ඒ නිසාම එකහෙලාම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීම ඔවුන්ගේ මූලික අදහස වී තිබේ.

මෙම විරෝධයේ පළමු වෙඩිල්ල පත්තු වුණේ පසුගිය සතියට පෙර සතියේය. ඒ ජුබිලි කණුවෙන් ආරම්භ වුණු විරෝධතා පෙළපාලියක් හරහාය. එදා ආණ්ඩුවට එරෙහිව සිදුකළ විරෝධය අවසානයේ ජනාධිපතිවරයා දක්වා දිගු කිරීම සඳහා අරගලකරුවෝ පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස වෙත ගියෝය. අවසානයේ එම ස්ථානයේ ඇතිවූ නොසන්සුන්තාවය රුය පහන් වන තෙක්ම සිදුවූ නිසා එදින අලුයම පොලිස් ඇඳිරි නීතිය කොළඹ ප්‍රදේශයේ ස්ථාන කීපයකට පැනවීමට පොලීසියට සිදුවිය.

විශේෂයෙන් එම ස්ථානයේ රැඳී සිටි පිරිස පලවා හැරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය විසින් එල්ල කළ ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් හේතුවෙන් උද්ඝෝෂකයන් සහ පොලීසිය අතර ගැටුම උත්සන්න විය. අවසානයේ උද්ඝෝෂකයන් මාර්ග බාධක කඩා බිඳ දමමින් ජනාධිපතිවරයාගේ නිවසට ඇතුළු වීමටත් පොලීසියට පහර දීමටත් උත්සහ කිරීම සමඟ ආරක්ෂ අංශ කැඳවා උද්ඝෝෂකයන්ට පහර දී ඔවුන් පලවා හරින ලදී. මේ අතර යුද හමුදාවට අයත් බස් රථයක්ද උද්ඝෝෂකයන් අතර සිටි අයකු විසින් ගිනි තැබීමත් සමඟ පොලීසියේ අවම බලය උපරිම බලය දක්වා මාරු විය. උපරිමයටත් වඩා ආරක්ෂක අංශයේ පිරිස් උද්ඝෝෂකයන් සොය සොයා පහර දෙන තැනට පත්විය.

කෙසේ වෙතත් මෙම බස් රථය ගිනි තැබීම සම්බන්ධයෙන් ආණ්ඩුව උද්ඝෝෂකයන්ට ඇඟිල්ල දිගු කළ අතර විපක්ෂයේ අය කීවේ මෙය ආණ්ඩුවේම පිරිසක් විසින් කරන ලද ගිනි තැබීමක් බවය. එයට හේතුවුණේ ඊට පසුදින ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම නිසාය. හදිසි නීතිය දැමීමේ අරමුණින්ම මෙම ගිනි තැබීම සිදුකළ බව ඔවුන්ගේ චෝදනාව විය. මේ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී නැවතත් කතාව ඉස්මතු වූ අතර එහිදී ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයා නැගිට කීවේ උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ඝාතනයට පැමිණි බවත් ඒ කැරුල්ල මෙහෙයවූයේ ජවිපෙ කණ්ඩායමක් විසින් බවත්ය. ඒ සඳහා සාක්ෂි පෙන්වමින් ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු පෙන්වීය. ඔහු මාධ්‍යවේදියෙක් ද වේ.

එහෙත් ජවිපෙ නායක අනුර කුමාර නැගිට එය ප්‍රතික්ෂේප කරමින් වෙනත් කතාවක් කීවේය. එනම් ආරක්ෂක කමිටුව රුස්වූ අවස්ථාවේ මුහුදු ආරක්ෂක සේවයට සම්බන්ධ ව්‍යාපාරිකයකු සම්බන්ධ වූ බවත් ඔහු විසින් වැඩේ මෙහෙයවීම සඳහා 200ක පිරිසක් එම ස්ථානයට යැවූ බවට එම කමිටුවේදී ප්‍රකාශ කළ බවත් කියාය. එහෙත් ආණ්ඩුව ඊට නිසි පිළිතුරක් දුන්නේ නැත. එකී කැරුල්ල වෙනුවෙන් 54 දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම අරගලකරුවන් අත් අඩංගුවට ගැනීමත් සමඟ සමාජ මාධ්‍ය පුරාම ඔවුන් කළ අරගලය සාධාරණීකරණය කෙරිණි. ඇතැම් නීතීඥයෝ තමන්ගේ සේවාව ලබාදීමට ඍජුව කැමැත්ත පළකරන්නට වූහ. එම ආරම්භය ඉතිහාසයේ අමුතුම රුල්ලක් බවට පත් කරමින් නීතීඥයන් සිය ගණනක් අරගලකරුවන් බේරාගැනීම සඳහා මැදිහත් වීම පුදුම සහගතය. මේ අතර සුවිශේෂී කැපී පෙනෙන සිද්ධියක් වුණේ සැකකරුවන් සඳහා පෙනී සිටීමට නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස්ද පැමිණ තිබීමය. ඔහුට ජනතාව වඳින අයුරු සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වන්නට විය. කෙසේ වෙතත් එදින මධ්‍යම රාත්‍රිය වනතෙක්ම නීතීඥවරු අධිකරණ භූමියේ රැඳී සිටින්නට වූහ.

මෙම සිදුවීමෙන් හයදෙනකුට හැර අනෙක් සියලුදෙනාටම අධිකරණය විසින් ඇප ලබාදුන්නේ සැකකරුවන්ට අදාළව පොදු දේපළ චෝදනා නිසිලෙස ගොනු නොකර ඇති බව දන්වමිනි. මෙම සිදුවීමෙන් පසුව සමාජ මාධ්‍ය හරහා මෙම ජන අරගලය වෙනත් මුහුණුවරකින් කොළඹදී පැවැත්වීමට කණ්ඩායමක් ඉතාමත් සංවිධානය වෙමින් කටයුතු කරන්නට විය. ඒ සඳහා වට්සැප් ග_ප් මෙන්ම ටෙලිග්‍රෑම් ගෲප් කිහිපයක්ද සකස්වුණු අතර අවසානයේ අරගලකරුවන්ගේ සටන් පාඨය වුණේ ගෝටා ගෝ හෝම් යන්නය. මේ සටන් පාඨයත් සමඟ අරගලකරුවන් සූදානම් වූයේ අප්‍රේල් 3 වැනිදා විශාල අරගලයක් රට පුර සිදුකිරීමටය. උදෑසන 9ට රට පුරාත් සවස 3ට කොළඹත් එය පැවැත්වීමට තීරණය කරනු ලැබුවේය. එය කෙතරම් විශාල ලෙස ප්‍රචාරය වූවාද කියතොත් පැය කිහිපයකදී එම සංවිධාන ගෘෘප් දහස් ගණනින් පිරීගොස් තිබුණේය.

එහෙත් කෙතරම් සංවිධානය වුණත් එය සිදුකිරීමට ඉඩ ලැබුණේ නැත. ඒ ජනාධිපතිවරයා විසින් 2 වැනිදා සවස සිට 4 වැනිදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය දැමීම නිසාය. මේ තත්ත්වය අරගලකරුවන් සේම බොහෝ දෙනා කැළඹීමට පත්වූ සිදුවීමක් විය. ඒ මේ ආකාරයෙන් ඇඳිරි නීතිය දමා ජනජීවිතය ගැටලුවට පත් කිරීමත් නිසාය. මෙය බොහෝදෙනාගේ දැඩි විරෝධය එල්ල වූ අවස්ථාවක් විය. කෙසේ වෙතත් එපමණක් නොව ජනාධිපතිවරයා තවත් ගැසට්ටුවක් පළ කළේය. ඒ ප්‍රසිද්ධ ස්ථානවල එක් නොවන ලෙස දන්වාය. මේ නිසා 3 වැනිදා එක්වීම බොහෝ දෙනකුට ගැටලුවක් විය. කෙසේ වෙතත් මෙම ඇඳිරි නීති සහ ගැසට් මැද ඇතැම් ජනතාව තමන්ගේ විරෝධය පෑම සඳහා වීදී බැස්සෝය. මේ අතර 3 වැනිදා උද්ඝොෂණය 4 වැනි සඳුදාට සූදානම් විය. ඒ බොහෝදෙනා එදින කොළඹටත් රාජකාරිවලටත් යන නිසාය. ඒ නිසා සඳුදා උදෑසන නගරවල විරෝධතා සිදුකිරීමට සූදානම් විය.

සඳුදා උදෑසන වනවිට රාජකාරි දුම්රියත්, බස් රථත් අඩුවක් දක්නට තිබුණේය. ඒ උදාසන 6ට ඇඳිරි නීතිය ඉවත් කළ නිසාය. මේ නිසා බස්වල, දුම්රියපළවල රස්තියාදු වූ ජනතාව බෝඩ් රුගෙන පාරට ආවේ ආණ්ඩු විරෝධී සටන සඳහාය. ඒ පැමිණි බොහොමයක් දෙනා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී සිටියේ තම ජීවන බර නිසාය. එම විරෝධතාකරුවන් ඉතාම වේදනාවෙන් සිටි අතර ඔවුන්ගේ මතය වූයේ වහාම මේ ආණ්ඩුව ඉවත් වී පුළුවන් අයට රට බාරදෙන ලෙසය. කෙසේ වෙතත් රුකියාවලට පැමිණි ඇතැම් අය රුකියා නිමවී ළඟම ඇති උද්ඝෝෂණයට එකතු වූහ. අවසානයේ මේ විරෝධතා රාත්‍රිය වන තෙක්ම පැවැත්විණි.

කෙසේ වෙතත් රාත්‍රියේදී ඇතැම් පළාත්වල පුවත්වලින් දැනගන්නට ලැබුණේ ඇතැම් බීමත් පුද්ගලයන් ඉතාම නරක ලෙස හැසිරෙන්න පටන් ගෙන ඇති බවය. ඔවුන් සංවිධානය වී ප්‍රදේශයේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ නිවෙස් වැටලීමටත් පහර දීමටත් උත්සහ කළ බව දැනගන්නට විය. ඒ තොරතුරු සමඟ එදින රාත්‍රියේ ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ පිළියන්දල නිවෙසටත්, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ පොළොන්නරුව නිවෙසටත් ප්‍රහාර එල්ල වෙන්නට විය. ගාමිණි ලොකුගේ නිවෙස ඉදිරිපිට විශාල බැනරය ගිනි තබා තිබිණි. රොෂාන් රණසිංහගේ ගෙට සහ වාහන වලට පහරදීමත් සිදුකළේය. එය දැඩි ප්‍රහාරයක් විය. සැබවින්ම සාමකාමි විරෝධයට පිටින් සිදුකළ දැවැන්ත ප්‍රහරයක් විය. එය බොහෝ දෙනා අනුමත කළේ නැත.
මේ අතර එස්.එම්. චන්ද්‍රසේන, නිමල් ලංසා වැනි දේශපාලනඥයන්ගේගේ නිවෙස්ද එදින රාත්‍රියේ වට කෙරිණි. මෙහි උච්චතම අවස්ථාව වන්නේ ඊට පසුදින කාල්ටන් නිවස වට කිරීමය. පොලිස් මාර්ග බාධක යොදා කාල්ටන් නිවස ආරක්ෂා කරන්න උත්සාහ කළත් එය හරි ගියේ නැත. මහා ජනගඟක් බාධා බිඳගෙන කාල්ටන් නිවෙස ඉදිරිපිටට ගියහ. කෙසේ වෙතත් එතැනින් පසුව දිනෙන් දින වීදියක් පාසා මේ ජන අරගලය ඇදගෙන යාමට ජනතාව සටන් කරන්නට වූහ. මෙහිදී විශේෂයෙන් කලාකරුවන් විශාල ප්‍රමාණයක් අරගලය සඳහා සහභාගි වීම දකින්නට හැකිවිය. ඔවුන් බොහෝ දෙනා මේ රජය පිහිටුවිමට මැදිහත් වූවන්ය. ඔවුන් එක හෙළා කීවේ ජනමතයට විරුද්ධව නොයන ලෙසය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, නීතිඥ සංගමයත් ඉල්ලා සිටියේ හදිසි නීතිය ඉවත්කරන ලෙස කියාය. ඒ හරහා රටට අපකීර්තියක් සිදුවන බවත් විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේදී ගැටලුවක් විය හැකි බවත් බොහෝ දෙනා කීහ. අවසානයේ ජනාධිපතිවරයා එම ගැසට්ටුව ඉවත් කරගත්තේය.

එසේ ඉවත්කළ ජනාධිපතිවරයා භාරකාර ආණ්ඩුවක් හෝ බහුතර බලය ගෙන ආණ්ඩුවක් පිහිටුවන ලෙස විපක්ෂයට ආරාධනා කළේය. එහෙත් විපක්ෂය එය ප්‍රතික්ෂේප කළ අතර ජනාධිපතිවරයා යටතේ හෝ අග්‍රාමාත්‍යවරයා යටතේ ආණ්ඩු කිරීමට අකැමැති බව ප්‍රසිද්ධියේ කීහ.

විශේෂයෙන් ජනතාවගේ බලපෑම වූයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීම බැවින් ජනතාවගේ මතයට එරෙහිව යාම බොහෝ දෙනා ප්‍රතික්ෂේප කළහ.

කෙසේ වෙතත් මේ වනවිට මෙම ජන අරගලය සඳහා විවිධ දේශපාලන මුහුණුවර දේශපාලන මැදිහත්වීම් පෙන්වමින් ඇත. එසේ ඇති බවට දේශපාලන පක්ෂ චෝදනා කරති. එහෙත් තවමත් ඒ චෝදනා කරන කිසිවකු මේ ජනතා අරගලය නිමකළ හැකි විසඳුමක් කියන්නෙ නැත. ඇතැම් ඇමතිවරුන් විරෝධතා කරන ජනතාව විවිධ අයගේ රෑකඩ බවත් තමන්ගේ නිවසට ආවොත් සලකන බවත් කීවත් ඒ කිසිවකු ජනතාවගේ දුක ගැන කතා කළේ නැත. විසඳුමක් කියන්නේද නැත. ඇත්තටම ජනතාව අරගල කරන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න මැදය. ඒ නිසා මේ අරගලය ඇතැම් විට අත්හැරෙනු ඇත. නැතහොත් දරුණු තැනකින් නතර විය හැක. එසේ නොවන තැනට වග බලා ගැනීම පාලකයන් සතු වගකීමකි.

 ගයාන් ගාල්ලගේ
   සේයා රූ - ඒ්.එෆ්.පී.