2022 අප්‍රේල් 10 වන ඉරිදා

මේ වගේ සිවිල් අරගලවලදී විපක්ෂ එකතුවෙන්න ඕනෑ - ආචාර්ය දයාන් ජයතිලක

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 98

වර්තමාන ආර්ථික දේශපාලනික අර්බුද පිළිබඳ විද්වත් සංවාදයකට ඉඩහසර වෙන් කිරීමට අපි තීරණය කළෙමු. ඒ සඳහා මෙවර අප කැඳවා ගත්තේ ආචාර්ය දයාන් ජයතිලක මහතාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රාජ්‍යතාන්ත්‍රිකයෙක් සහ දේශපාලන විචාරකයකුද වන දයාන් ජයතිලක මහතා අර්බුද පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. එම සංවාදය සංක්ෂිප්ත සටහනක් අපි ඔබ හමුවේ තබමු.

''මෙම අර්බුදය සම්බන්ධව ජනතා ව්‍යාපාරයට ඇති අර්ථ කථනය සමඟ මම සම්පූර්ණයෙන්ම එකඟයි. මහජනතාව මේ අරගලයේදී කේන්ද්‍රීය සටන් පාඨය විදිහට තෝරාගෙන තිබෙන්නේ ''ගෝඨා ගෝ හෝම්'' කියන සටන් පාඨයයි. මෙයින් පෙනී යන්නේ මේ ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වී සිටින ජනතාව තේරුම් ගෙන තිබෙනවා මෙය විසඳන්න නම් මෙම අර්බුදය උත්සන්න කරවූ, අර්බුදය කළමනාකරණය කිරීමේ නොහැකියාව පෙන්වූ පාලකයා ගෙදර යැවිය යුතු බව. සමහරුන්ට මෙය ප්‍රහේළිකාවක්. මේක ආර්ථික අර්බුදයක් නේද? අපි ඔක්කොම එකතුවෙලා මේක විසඳන්න ඕනේ නේද? කියලා ඔවුන් අහනවා. එය යථාර්ථවාදී නොවන දෙයක්. එය මේ සිවිල් ව්‍යාපාරය හොඳ හැටි තේරුම් ගෙන තිබෙනවා.''

දයාන් ජයතිලක මහතා උදාහරණයක් සපයයි. කඩාවැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටින පුද්ගලයකු මුදාගැනීමට නම් කොන්ක්‍රීට් තට්ටුව ඉවත් කළ යුතුය. එදිනෙදා ජනතාව විදින විශාල ආර්ථික පීඩනය මෙම ගොඩනැගිල්ල යට සිර වී සිටින පුද්ගලයාට සමානය. කොන්ක්‍රීට් තට්ටුව ගෝඨාභය රාජපක්ෂ නම් පාලකයා සහ ඔහුට ඇති අසීමාන්තික බලයට සමානය. ඒ අනුව ජනතාව ආර්ථික පීඩනයෙන් මුදාගැනීමට නම් පාලකයා සහ ඔහුට ඇති අසීමාන්තික බලය ඉවත් කළ යුතුවේ. අසීමාන්තික බලය යනුවෙන් යනුවෙන් ඔහු මෙහිදී අරුත් ගන්වන්නේ වර්තමාන ජනාධිපතිවරයාට විසිවැනි සංශෝධනය ඔස්සේ ලැබුණු බලතලයි.

''මේ මොහොතේ ජනතා ව්‍යාපාරයට සිදුකළ හැකි දේවල් තිබෙනවා. පාර්ලිමේන්තුවට සිදුකළ හැකි දේවල් තියෙනවා. ජනතා ව්‍යාපාරයට තියෙන්නෙ මේ පීඩනය වඩ වඩාත් පුළුල් කරන එක. මේක නිර්පාක්ෂික ජනතා ව්‍යාපාරයක්. මේක සිවිල් විප්ලවයක්. ප්‍රජා විප්ලවයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ මොහොතේදී දේශපාලන ව්‍යාපාරවලටත් තියෙන්නේ හැකි පමණ එක්සත් වෙන්න. උදාහරණක් ලෙස ලංකාවේ වාමාංශික ව්‍යාපාරය කොටස්වලට බෙදිලා තියෙන්නේ. මේ මොහොතේදී ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පුළුවන් නම් එකඟතාවක් ඇති කරන්න. ඒක ඉතා හොඳ ආදර්ශයක්. මම කියන්නේ පක්ෂ දෙකම එකක් වීම නොවෙයි. එක වේදිකාවට පැමිණීමක්, සම්බන්ධීකාරක කමිටුවක් වගේ දෙයක්. එවැන්නක් පෙනේ නම් එය මහජනතාවට විශාල ශක්තියක්.''

ආචාර්ය දයාන් ජයතිලක මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ මෙවන් අර්බුදවලදී එම රටවල ප්‍රධාන විපක්ෂය සහ වාම විපක්ෂය තාවකාලිකව හෝ එක්ව කටයුතු කරන බවයි. එහෙත් අරගලය සඳහා ලංකාවේ එවැන්නක් සිදු නොවන බව ජයතිලක මහතා පෙන්වා දෙයි. ඊට හේතුව ජනතා විමුක්ති පෙරමුණ සමගි ජනබලවේගයට පුළුවන් උපරිමයෙන් දෝෂාරෝපණය කිරීම බව ඔහු කියා සිටියි. එය විශාල අඩුපාඩුවකි.

''මහජන ව්‍යාපාර හෝ දේශපාලන විපක්ෂ වේවා කවමදාවත් හිතන්න නරකයි පාලකයන් සතුව අවි ආයුධ ඇත්තේ නෑ කියලා. පාලකයා සතුව සන්නද්ධ බලය තියෙනවා. ඕනෑම මොහොතක ඔහුට එය ක්‍රියාත්මක කළ හැකියි. එය වළක්වා ගන්න නම් අනික් පසින් විශාල සමගි සම්පන්න මහජන ව්‍යාපාරයක් සහ දේශපාලන ව්‍යාපාරයක් තිබෙන බව පාලකයාට පෙන්විය යුතු වෙනවා. එහෙම තත්ත්වයක් තවම නෑ.''

මේ මොහොතේදී පාර්ලිමේන්තුවේ සිදුවන වාද විවාදවල අවුල් සහගත බව පුදුම සහගතය යැයි ආචාර්ය දයාන් ජයතිලක මහතා වැඩිදුරටත් සඳහන් කරයි. පාර්ලිමේන්තු මෙම අවස්ථාවේදී එකඟ විය හැකි දෙයකට එකඟ විය යුතු බව ඔහු පෙන්වා දෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත්කිරීමට සියලු දෙනා එකතුවිය හැකි නම් එය යහපත් බව පවසන හෙතෙම එහෙත් එය ප්‍රායෝගිකව අපහසු බව කියා සිටියි. එසේම විධායකය අහෝසි කිරීමටද පහසු නැති බවත් ඊට ශ්‍රීලනිප ඇතුළු සැලකිය යුතු පිරිසක් විරුද්ධ වන බවත් ඔහු කියා සිටියි. පාර්ලිමේන්තුව වලංගු ආයතනයක් ලෙස තවදුරටත් රටේ පැවැත්වීමට නම් මේ මොහොතේදී එකඟ විය නොහැකි දේ සම්බන්ධව වාද විවාද නොකළ යුතු බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා අවධාරණය කරයි.

''මොකක්ද එකඟ වෙන්න පුළුවන් දෙය. පාර්ලිමේන්තුවට සමූහයක් ලෙස සාර්ථකව සිදුකළ හැකි එක දෙයක් තියෙනවා. විසිවැනි සංශෝධනය අහෝසි කරලා විසි එක් වැනි සංශෝධනය විදිහට දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධිත පිටපතක් ඉදිරිපත් කළ හැකියි. පැහැදිලිව කියනවා දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධිත පිටපතක්. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කළ කමිටුව ව්‍යවස්ථාව සම්බන්ධ තමන්ගෙ කෙටුම්පත. එහි පැහැදිලිව තිබෙනවා 19 වැනි සංශෝධනයේ දුර්වලකම් සකස් කොට නැවත ඉදිරිපත් කළ යුතු ආකාරය.''

තමා සිතන ආකාරයට මේ ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කොට ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් තිබේ. පොදුජන පෙරමුණේද බුද්ධි මට්ටමින් යමක් අවබෝධ කරගත හැකි අය ඊට එකඟ වනු ඇති බව ඔහු සඳහන් කරයි. එය එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ නම් ජනාධිපතිවරයා මේ ආකාරයට රැඳී සිටින මුත් ඔහුගේ බලතල අඩුවේ.

''එතකුත් ඔහුට සරල ජනාධිපති කෙනෙක් විදිහට ඉන්න පුළුවන්. ඊට වඩා හොඳයි බැහැලා යන එක. කොටින් කියනවා නම් කියනවා නම් ජනාධිපතිවරයා පඹයකුගේ තත්ත්වයට පත්කරන්න පුළුවන් විසි එක් වැනි සංශෝධනය ගෙනැල්ලා. ඔහු මේ වෙලාවේ යන්නේ නැහැ කියලා මහ උජාරුවට කියනවා. පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් දේ ඔහුව හකුළුවන එක. ඔහුව චූටි ගොඨා කෙනෙක් බවට පත්කර එක. මගේ සූත්‍රය තාවකාලිකව ඔහුව චූටි ගෝඨා කෙනෙක් බවට පත් කිරීම.''

(දයාන් ජයතිලක මහතා සමඟ පැවැති සංවාදයේ ඉතා සමීප සංක්ෂිප්ත සටහනකි.)

 සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා