2022 අප්‍රේල් 10 වන ඉරිදා

අවුරුදු කාලෙදි පරෙස්සම් වෙන හැටි: පොලීසියෙන් උපදෙස්

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 60

එදා සිට 35 වසරක් ගෙවී ඇතත් ^87 කැරුල්ල මතක ඇති අය බහුතරයකි. ඊට පෙරාතුව 51 වසරකට පෙර වූ ^77 කැරැල්ල අත්දුටු අයට 87 – 88 වසර ගැන මතක් කළ යුතු නැත. එවැනි කැරලි, ජන අරගල, උද්ඝෝෂණ පිරුණු ඉතිහාසයක් ඇති රටේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරන ජනතා විරෝධතා රට පුරා තැන තැන පැවැත්වෙමින් තිබේ.

ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන තැනට පත්ව ඇතත් එම ජන අරගලවල නිමක් හෝ ඉල්ලීම්වලට සහනයක් තවම නැත. අර්බුදකාරී වාතාවරණය හමුවේ සිංහල අවුරුද්ද උදාවන අදින් ආරම්භ වන සතිය ඇතුළු ඉදිරි දීර්ඝ නිවාඩු දින කිහිපයේදී රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් විමතියක් පවතී. රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මහජන ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. 

පවතින ආර්ථික අර්බුදය සහ ජනතා ගැටලු හමුවේ දිවා රාත්‍රී දෙකෙහිම විරෝධතා උද්ඝෝෂණ පැවැත්වේ. සාමකාමී උද්ඝෝෂණ, ජනරුලි, විරෝධතා පෙළපාළිවලට නීතියේ තහනමක් නැත. එවැනි අවස්ථා මැද පෞද්ගලික දේපළ හෝ පොදු දේපළවලට හානි කිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවීම බරපතළ වරදකි. එවැනි අකටයුතුකම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පොලිසිය කටයුතු කරයි. මේ හැර ඇවැසි ඕනෑම මොහොතක සහාය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව කැඳවීම සඳහා පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

රටේ පවතින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු කෙසේ වෙතත් අලුත් අවුරුද්ද චාරිත්‍රානුකූල වශයෙන් හෝ සැමරීමට ජනතාව උත්සාහ ගනිති. මේ හේතුවෙන් බහුල වශයෙන් ජනතාව නගරයට හා වෙළෙඳපොළ වෙත පැමිණෙති. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා නිමිඇඳුම් මිලට ගැනීම උත්සව සමයේ කැපී පෙනෙයි. මේ ආකාරයෙන් බහුල ලෙස නගරයට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළ රුසක් ක්‍රියාත්මක කොට ඇත. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගැලපෙන හා නාගරීකරණය අනුවද සුදුසු ආරක්ෂාව සැලසීමට පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයිද නිලඇඳුම් සහිත පොලිස් නිලධාරීන්ට අමතරව බුද්ධි නිලධාරීන් වැඩි වශයෙන් අනුයුක්ත කොට ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඉකුත් සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හා ඒ හා සම්බන්ධ සැකකරුවන් රුසක් පොලිස් අත්අඩංගුවට ගැනිණි. මේ හේතුවෙන් පොලිසිය තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවන අතර මහජනතාව වෙත දන්වන්නේ උත්සව සමයේදී රු. 1000 සහ රු. 5000 නෝට්ටු පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් ගනුදෙනු කරන ලෙසය. එසේම භාණ්ඩ මිලට ගැනීමේදී කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට අවස්ථාව ඇති බවද පෙන්වා දෙයි. එසේම ඇතැම් භාණ්ඩ වෙනුවෙන් ව්‍යාජ භාණ්ඩ අලෙවි කිරීමේ ජාවාරම් සිදුවන බැවින් ජනතාව අවබෝධයෙන් පසුවිය යුතුය. එසේම පොළ හා සේල් පැවැත්වෙන ස්ථානවලදී භාණ්ඩ මිලට ගැනීමේදී ප්‍රවේශම් විය යුතුය. එබැවින් දන්නා හඳුනන ස්ථානවලින් පමණක් භාණ්ඩ මිලදී ගැනීම සුදුසුය.

උත්සව සමයේ ගැටකපන්නන් හා සොරුන් බහුලව ගැවසෙන බවට වාර්තා වී ඇත. එබැවින් මුදල් පසුම්බි, ස්වර්ණාභරණ පරිස්සම් කරගත යුතුය. නිවෙසින් බැහැරව යන අවස්ථාවලදී ඒ බව සමාජ මාධ්‍ය වෙත ඡායාරෑප සමඟ පළකිරීම සොරුන්ට හා ජාවාරම්කරුවන්ට මගපෙන්වීමක් වැනිය. එවැනි කටයුතු සිදුකිරීමෙන් වැළකිය යුතු බව පොලීසිය අවධාරණය කරයි. එමෙන්ම කුලී රථ රියැදුරන් හෝ පිටස්තර පිරිස් සමඟ සිය පෞද්ගලික තොරතුරු, දුරකථන අංක හුවමාරු කිරීම අනවශ්‍ය අනතුරක වැටීමට හේතුවක් බව පොලීසිය පෙන්වා දෙයි

උද්ගතව තිබෙන බරපතළ ආර්ථික අර්බුදය හමුවේ සොරුන් හා කොල්ලකරුවන් බහුල වී ඇති බවට වාර්තා වී ඇත. දිවයින පුරාම මේ තත්ත්වය දකින්නට ලැබෙන අතර ඇතැම් පොලිස්ථාන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් සිටියි. රථවාහන නතරකොට යාමේදී ඇන්ජිම අක්‍රීය කර තබන ලෙසද ආරක්ෂිත අගුල් ක්‍රියාත්මක කොට යතුර සන්තකයේ තබාගන්නා ලෙසද යතුරුපැදිවලට හිස්වැසුම් ළඟ තබා හැඬලය අගුලු දමා තබන ලෙසද පොලීසිය දන්වයි.
ව්‍යාපාරික ස්ථානවල ජනතාව බහුලව ගැවසෙන අතර ගැටකපන්නන් හා සොරුන්ද ගැවසිය හැකිය. එවැනි ස්ථානවල ආරක්ෂක නිලධාරීන් හෝ නිරීක්ෂණය සඳහා යම් පිරිසක් යෙදවීම සුදුසු ක්‍රියාවකි. සී.සී.ටී.වී සවි කරන්නේ නම් ඒවා නිශ්චිතව නාභිගත කොට තැබිය යුතුය. එසේම ඒවා ක්‍රියාත්මක තත්ත්වයේ පැවතිය යුතුය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම වැදගත්ය. 

ශබ්ද විකාශන යන්ත්‍ර අනවශ්‍ය ලෙස භාවිත නොකළ යුතුය. පොලීසියට ඊට එරෙහිව පියවර ගත හැකිය. පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය නිකරුණේ මුදාහැරීම නිසා පරිසර දූෂණය සිදුවෙයි. ඒ පිළිබඳ නිරීක්ෂණය සඳහා පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.
රථවාහන පැදවීමේදී වඩාත් පරීක්ෂාකාරී විය යුතුය. නගරයේ ජනතාව බහුලව ගැවසෙන නිසා තහනම් ස්ථානයක වුවද මිනිසුන්ට මාර්ගය හරහා ගමන් කිරීමට හැකිය. මේ නිසා අධික වේගය අනතුරකට හේතු විය හැකිය. මත්පැන් පානය කොට රථවාහන පැදවීමෙන් වළකින ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි. එය සිය ඥාති හිතවතුන් අහිමිවීම දේපළ හානිය මෙන්ම අනාගත සිහින බලාපොරොත්තු මැකී යාමට හේතුවකි. මේ නිසා එවැනි රියැදුරන් සමඟ ගමන් කිරීම හා අනතුරකට පත්වීමේ අවස්ථාවක් ඇතැයි යන හැඟීම කෙනකුට දැනිය යුතුය. එම සංජානනය තුළ අනතුරක් වැළකීමට අවස්ථාව පවතී.

අලුත් අවුරුදු සමයේ පිටස්තර ඥාති නිවෙස් හා වෙනත් පරිසරයන් වෙත ගමන් කිරීම සුලභය. එබැවින් ගංගා, දියඇලි, ළිං වැනි ස්ථානවල ගැවසීමේදී දරුවන් හා බීමත් පිරිස් පිළිබඳවද අවබෝධයෙන් පසුවිය යුතුය.

රටේ උද්ගතව තිබෙන දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ මහජනතාව නොසන්සුන්ව හැසිරෙති. මේ නිසා අවුරුදු සමයේ වෙනදාට වැඩියෙන් පොලිස් ආරක්ෂාව යොදවා ඇත. ඊට බුද්ධි නිලධාරීන් බහුලව යොදවා සිටී. එබැවින් උද්ඝෝෂණ හා විරෝධතාවලට ජනතාවට අවසර ඇතත් ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි. යම් අවස්ථාවක ප්‍රචණ්ඩතාවලට යොමුවන පිරිස් අයුතු ජන රාශිය, පහරදීම, බරපතළ තුවාල කිරීම, දේපළ අලාභහානි කිරීම, අනර්ථය සිදුකිරීම වැනි අවස්ථානුකූල චෝදනා යටතේ දණ්ඩනීති සංග්‍රහය අනුව අත්අඩංගුවට ගැනීමට හැකිය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර