2022 අප්‍රේල් 10 වන ඉරිදා

යුක්‍රේනය ඩොලරය සහ අපි

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 213

සමාජ, ආර්ථික, සංස්කෘතික ගැටලුවලින් පමණක් නොව තවද නිර්මාණය කරන ලද දේශපාලනික සහ යුද ගැටලුවලින් ද ඉතිහාසයේ සිටම මිනිසාව පීඩනයට ලක්කොට තිබේ. වර්තමානය වනවිට රුසියානු සහ යුක්‍රේන අර්බුදය ගෝලීය සමාජ, ආර්ථික ගැටලුවක් පමණක් නොව සමාජ සංස්කෘතික ගැටලු ද නිර්මාණය කරමින් ඉදිරියෙහි සිටින අනෙකා පිළිබඳව සහ එකිනෙක ජාතීන් අතර ද විශ්වාසය බිඳ දමන තත්ත්වය දක්වා ගමන් කොට තිබේ. යුක්‍රේන අර්බුදය නැගෙනහිර යුරෝපයට පමණක් සීමා වූ ගැටලුවක් ද නොවේ. නැගෙනහිර යුරෝපයෙන් බැහැර වනවිට වර්තමානයෙහි තවද ප‍්‍රබල අර්බුද දෙකක් ආසියානු කලාපය තුළ මේ වන විටත් නිර්මාණය කොට තිබේ. එනම් පාකිස්ථානයෙහි ආණ්ඩුව විශ්වාසභභංග යෝජනාවකින් බිඳවැටීමට ඉඩ සලසා තිබීම සහ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව අතර ද ඩොලරයෙහි ආධිපත්‍ය සහ එහි ස්වරෑප මත විශ්වාසය බිඳවැට්ටවීම සහ ජන පීඩනය ගොඩනගා තිබීමයි. ඩොලරයේ ආධිපත්‍ය සරල නොවන බවත් එයට ආණ්ඩු බිඳ දැමිය හැකි බවත්, සමාජ පීඩා ගොඩනැගිය හැකි බවත් පැහැදිලිය. එයට පිළිතුරු දිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයෙන් මිස වෙන කිසිවකින් නොවන බවත් අප තේරුම් ගත යුතුය. 

එය ඩොලරයෙහි ගැටලුවක් නොව, ඩොලරය මත පිහිටි ණය මගින් අප නිෂ්පාදන ආර්ථික සෙවීමකට වඩා යැපුම් හෙවත් පාරිභෝජන ආර්ථිකයකට ගමන් කිරීමෙහි ප‍්‍රතිඵලයයි. ණය මත ගොඩනැගෙන පරිභෝජනය කෙටිකාලීනව වින්දනයට හේතු වුවත්, දිගුකාලීනව නිෂ්පාදන ආර්ථිකය බිඳවැටීමටත්, ඒ තුළ ගොඩනැගෙන වේදනාව කෙරෙහිත්, ප‍්‍රබලව බලපාන බව පැහැදිලිය. ඕනෑම පුද්ගලයකුගේ හෝ සමාජයක පමණක් නොව සිතිවිල්ලක වුවද වටිනාකම ගොඩනැගෙන්නේ එහි පවතින නිර්මාණාත්මක ගුණය මතය. ඒ අනුව නිර්මාණාත්මක සහ නිෂ්පාදන හැකියා ගොඩ නොනැගෙන සමාජය පමණක් නොව සිතිවිල්ල වුවද මහා සමාජය තුළ අවලංගුය.

රුසියානු සහ යුක්‍රේන යුද්ධය යනු එම දෙපාර්ශවයට පමණක් සීමාවුවක් ද නොවන අතර එය අමෙරිකාවේ සහ නේටෝ සංවිධානයෙහි බල ව්‍යාප්තිය තුළ රුසියාව සමඟ ගොඩනැගුණු අර්බුදයෙහි ගොදුර බවට යුක්‍රේනය පත්වීමේ ප‍්‍රතිඵලයක් බවද පැහැදිලිය. යුක්‍රේනය වර්තමාන අර්බුදයට මුහුණපෑමේ ආරම්භක අවස්ථාව මෙයට වසර දශකයකට පමණ ඈතට, එනම් වසර 2013/ 2014 පමණ නිර්මාණය වූ බවත්, එය වර්තමානය වනවිට යුකේ‍්‍රනය විනාශ වීමේ තත්ත්වය දක්වා ගමන් කරවීමට අදාළ අර්බුදයක් ගොඩනංවා ඇති බවත් පැහැදිලිය. බටහිර සහ නේටෝවෙහි බලය සහ ආධිපත්‍යය මූලිකව රුසියාවෙහි යුද ශක්තිය සහ මූල්‍ය ශක්තියත් උරගා බලමින්, ආර්ථික ශක්තීන් දුර්වල කරමින් ඔවුන්ව භූ දේශපාලනික කාරණා තුළ හුදෙකලා කිරීමත්, වර්තමාන රුසියානු පාලන තන්ත‍්‍රයෙහි වෙනසක් ඇතිකිරීමත්, සමාජවාදය හා සම්බන්ධිත දේශපාලන අරමුණු බිඳවට්ටමින් බටහිර නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති තුළ දේශපාලනික අරමුණු ගොඩනගමින් සංස්කෘතික ජයග‍්‍රහණ සහ ඒ මත ආර්ථික ජයග‍්‍රහණ නිර්මාණය කර ගැනීමත් මෙහි ප‍්‍රබල අරමුණු වී ඇති බව පැහැදිලිය. 

රුසියාව පෙළඹෙන්නේද ඉතා කෙටි කාලයක් තුළ මෙම යුද්ධය අවසන් කරමින් රුසියානු හිතවාදී පාලනයක් යුක්‍රේනය තුළ ගොඩනැංවීමටයි. එහෙත් බටහිරට සහ යුක්‍රේනයට අවශ්‍ය වන්නේ යුද්ධය තවදුරටත් පවත්වාගෙන යමින් තම ඉලක්ක සම්පාදනය කර ගැනීමයි. දෙපාර්ශ්වයම ඒ සඳහා අවශ්‍ය පසුබිම් සකස් කර ගනිමින් සිටියත්, මෙය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා නම් ගමන් නොකරන බවත්, එවැනි තත්ත්වයක් සඳහා ගමන් කරවීමට බටහිර උපක‍්‍රමශීලීව සූදානම් නැති බවත් පැහැදිලිය. 

මෙම යුද්ධය නිසා ලෝක ආර්ථිකය බිඳවැටීම සරල නොවන අතර බිඳවැටෙන ආර්ථිකයක් තුළ ගොඩනැගෙන සමාජ අර්බුද විසඳීමෙහි පිළිතුර පවතින්නේද එම ආර්ථික වර්ධනය මතය. ඕනෑම රටක හෝ සමාජයක අර්බුදයක දිගුකාලීන බව යනු එම ආර්ථිකයෙහි බිඳවැටීමයි. මේ වන විටත් යුක්‍රේන යුද ගැටලුව තුළ බලශක්ති අර්බුදය, ආහාර ගැටලුව, සේවා පහසුකම් බිඳවැටීම, සරණාගත ගැටලුව, අවතැන්වීමේ ගැටලුව, ආදී ප‍්‍රශ්න රාශියක් සමාජයට එකතු වෙමින් පවතී. රුසියානු ගෑස් සහ බලශක්ති සඳහා ලෝක වෙළෙඳපොළෙහි පැනවෙන තහංචි සහ සම්බාධක නිසා ලෝකයෙහි සමස්ත ගෑස් පරිභෝජනයෙන් 30%කට පමණ ගැටලු නිර්මාණය වී තිබේ. රුසියානු තෙල් අපනයනයන්ටද තහංචි පැනවී තිබේ. ඉරාන සහ වෙනිසියුලානු තෙල් නිෂ්පාදන වැඩි කිරීමට උත්සාහ ගත්තද වෙනිසියුලානු අභ්‍යන්තර ගැටලු නිසා එම ඉලක්කවලට යාමට නොහැකි වී තිබේ. අමෙරිකාව 1974 පමණ සිට තෙල් සංචිත කරගත් අතර ඉන් මසකට බැරල් මිලියන 180ක් පමණ වෙළෙඳපොළට නිදහස් කිරීමට මේ වනවිට උත්සාහ ගනිමින් සිටී. රුසියානු සහ ඉරාන බොරතෙල් ලොව ඉහළම තත්ත්වයෙහි පවතින බවටද තහවුරු වී තිබේ. මෙම ගැටලුව තුළ බලශක්ති සම්බන්ධයෙන් අමෙරිකාව රුසියාවට ඉදිරියෙන් සිටින අතර ඒ තුළ යම් ස්වාධීනත්වයක් ද මේ වනවිට ඔවුහු හිමිකරගෙන සිටිති. මේ අනුව බලශක්ති වෙළෙඳපොළෙන් රුසියාව ඉවත් කිරීම පමණක් නොව ඔවුන්ගේ අන්තර්ජාතික වෙළෙඳ ගනුදෙනුවලටද බාධා සිදුකොට තිබේ.

යුක්‍රේනය ලෝකයෙහි ස්වයංපෝෂිත භූමි ප‍්‍රදේශවලින් තුනෙන් එකකට පමණ හිමිකම් කියයි. ගෝලීය ධාන්‍ය අපනයනයන්ගෙන් 1/3 ක් පමණ මෙම රටවල් දෙක සිදු කරයි. තිරිඟු අපනයනය ද මෙම දෙරට සීමා කොට ඇත්තේ එම යුද්ධ කාලය තුළ ඔවුන්ගේ යැපීම සඳහා අවශ්‍ය පහසුකම් ගොඩනගා ගැනීම සඳහාය. රාමසාන් උත්සව පැමිණෙන අවස්ථාවේදී මුස්ලිම්වරුන්ට මෙම තිරිඟු පිටි වැනි ආහාර ද්‍රව්‍යයන්ගේ සීමාසහිත බව නිසා ප‍්‍රබල ගැටලු ගොඩනැගෙන බවද පැහැදිලිය. ආහාර අර්බුදය ගෝලීය දකුණෙහි සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් නොව සංවර්ධිත රටවලට ද ප‍්‍රබල ලෙස බලපෑම් එල්ල කරයි. යුරෝපයේ සිට ආසියාව දක්වාත්, අප‍්‍රිකාවේ සිට මැදපෙරදිග දක්වාත් මෙම ආහාර අර්බුදය මේ වනවිට වර්ධනය වෙමින් පවතී. යුරෝපයෙහි ආර්ථික බලාගාරය ලෙස සැලකෙන ජර්මනිය තුළද 1990 දශකයට පසු වැඩිම ආහාර මිලක් වාර්තා වී ඇති අතර උද්ධමන අනුපාතය ද ඉහළට ගමන් කොට තිබේ.  

කළු මුහුද ආශ‍්‍රිත ප‍්‍රදේශද යුද ගැටලුවලින් අර්බුදයට පැමිණ ඇති අතර ලෝකයෙහි ආහාර අලෙවියේ 12%ක් පමණ මේ ආශ‍්‍රිතව සිදුවන නිසා එය ලෝක ආහාර සැපයුම් ජාලයන්ට ප්‍රබලව මේ වන විටත් දැනෙන්නට පටන්ගෙන තිබේ. යුරෝපයෙහි උද්ධමනය 5.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ආහාර මිල ද 7.5%කින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ වන විටත් යුක්‍රේනයෙහි යටිතල පහසුකම් බිඳවැටී තිබේ. යුකේ‍්‍රන සමස්ත ජනගහණය 43,503,431ක් පමණ වන අතර ඉන් 54%ක් පමණ කාන්තාවන් වන අතර පිරිමි ජනගහණය 46%ක් පමණය. මේ වන විටත් ලක්ෂ 40කට වැඩි පිරිසක් වෙනත් රටවලට පලා ගොස් සිටිති. මිලියන ගණනක් අවතැන් වී සිටිති. යුද්ධය මූලිකව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් ප‍්‍රබල රාජ්‍ය තාන්ත‍්‍රික ජාලයක් පමණක් නොව, ඔහුගේ ප‍්‍රතිරෑපයද බටහිර සහ යුරෝපියානු රවටවල ගොඩනගාගෙන තිබේ. එසේම රුසියානු ජනාධිපති පුටින් පිළිබඳ මෙම කලාපයන්හි රටවල ප‍්‍රතිරූපය බිඳවැටී ඇති බවක් දක්නට ලැබේ. රටවල් මට්ටමින් එසේ වුවද ලෝකයෙහි වැඩි ජනතාවගේ ජනප‍්‍රියත්වය තවමත් පුටින්ට ඇති බව පැහැදිලිය. යුරෝපයෙහි සහ බටහිර රටවල පාර්ලිමේන්තුව කිහිප වරක්ම සෙලෙන්ස්කි ඇමතූ අතර එහිදී තමන් සජීවීව යුද්ධය හා සම්බන්ධ වන බවට ඔහුගේ පරිසරයෙන් ඔහු පෙන්වා දෙයි. ඔහු විකට නළුවකු වූ අතර ප‍්‍රබල ශක්තිමත් චරිතයක් ලෙස මුලදී නොසැලකිණි. මොහු රුසියානු විරෝධියෙක් පමණක් නොව බටහිර හිතවාදියෙක් ද වෙයි. 

රුසියානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ද සමහර රටවලින් නෙරපා දැමීමට උත්සාහ කර තිබේ. එම රටවල් අතර බෙල්ජියම, චෙක් රාජ්‍ය, අයර්ලන්තය, පෝලන්තය සහ නෙදර්ලන්තය ආදී වශයෙනි. මේ වන විට සමූහ ඝාතන පිළිබඳ චෝදනාද රුසියාවට එල්ල වෙමින් පවතී. මෙම සමූහ මිනී වළ පිළිබඳ චෝදනාව බටහිරින් එල්ල වන අතර ඒත් සමඟින් රුසියානුවන් යුක්‍රේනයෙන් ඉවත් වන තෙක් සටන් කළ යුතු යැයි යන හැඟීම යුක්‍රේනුවන්ට බටහිර විසින් ඇතිකොට තිබීමත් දැකිය හැකිය. මේ පිළිබඳව ශ්‍රී ලංකාව ද ප‍්‍රබල ලෙස සිතිය යුතු වන්නේ යම් අයුරකින් හෝ මෙම ගැටලුමය අවස්ථාවේදී වෙඩි උණ්ඩය හෝ ඉන් මිය යාම යනු ගැටලුව උග‍්‍රවන තැනකට රුගෙන යාමක් ලෙස සැලකිය හැකි බැවිනි. මෙවැනි අවස්ථාවක උණ්ඩය යන්න අති භයානක විපර්යාස ඇතිකරන්නක් බව අප පැහැදිලි කරගත යුතුය. 

ශ‍්‍රී ලංකාවෙහි සියලු දේශපාලන නායකත්ව ප‍්‍රතිරූපද වේගයෙන් බිඳවැටෙමින් පවතින බවත් ඒවා යළිත් ප‍්‍රතිසංස්කරණය කිරීමට අපහසු අයුරින් බිඳවැටෙන බවත් දක්නට ලැබේ. මෙය ප‍්‍රතිසංස්කරණය කිරීමටත්, ජනතා ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒමටත් අපහසු වන්නේ මෙම ගැටලු ඇතිකිරීමට හේතු වන ඩොලර් ලබාගැනීම සඳහා නිෂ්පාදන ආර්ථික ශක්තිය ද බිඳවැටී ඇති බැවිනි. මෙම වර්තමාන ගැටලු සඳහා ප‍්‍රබල හැරවුම් ලක්ෂය බවට පත්වන්නේ කෘෂි ක්ෂේත‍්‍රය මූලික වූ පොහොර අර්බුදයයි. මෙම කාබනික පොහොර සංකල්පයට කිසිවකු විරුද්ධ නොවන අතර මෙය ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රමයෙහි ගැටලුව මගින් මෙතෙක් ගොවියාට ළං විය හැකි ඉලක්ක කරා ඔවුනට ළඟාවීමට නොහැකි වීමත්, නිෂ්පාදන ක‍්‍රියාවලියට ආර්ථික ගැටලු එකතුවීමත් මෙහි සිදුව තිබේ. එම අත්දැකීම් තමන්ගේ ඊළඟ පරම්පරාවටද එකතුවීමෙන් එම ක්ෂේත‍්‍රවලින් ඔවුන්ද ඉවත්වීමෙන් දිගුකාලීන අර්බුදයක් නිෂ්පාදන ක්ෂේත‍්‍රයට එකතු වීමත් සිදුවනු ඇත. මෙය සරල නොවේ. මෙහි බිඳවැටීම තුළ ඉඩම් මුඩු බවට පත්වුවහොත් ඒවා බහු ජාතික සමාගම්හි හිමිකාරීත්වයටද ගොදුරු වීම අනාගතයෙහි අනිවාර්ය සාධකයක් බවටද පත්වනු ඇත. 

මෙතෙක් ලෝකයෙහි ආණ්ඩු බිඳ දැමූ ක‍්‍රමවේද මෙම ගැටලුව තුළද නිර්මාණය කොට තිබේ. ඒ අනුව වර්තමානයෙහි යුක්‍රේනගැටලුව, පාකිස්ථාන අර්බුදය, සුඩානය තුළ ඇතිවී ඇති අර්බුදය සහ ශ‍්‍රී ලංකාවේ සමාජ, දේශපාලනික සහ ආර්ථික ගැටලුව සරල නොවන අතර එහි විසඳුම් කෙටිකාලීන ද නොවනු ඇත. තාරුණ්‍ය යනු මානව සමාජ ක‍්‍රියාවලියෙහි ජවසම්පන්නතම සාධකයයි. ඔවුනට සහ බුද්ධිමතුන්ට මෙම විශ්වය තුළ කළ නොහැක්කක් නොමැත. මිනිසුන් සක්‍රීය කරමින් නිෂ්පාදන ක‍්‍රියාවලියට නායකත්වය ලබාදීම අරමුණු කරගත් නිවැරදි සමාජ සැලසුම්කරණය අපගේ වේදනාවෙන් අපව ඉවත් කරනු ඇත.