
මේ වනවිට රට ඉතා අර්බුදකාරී ඖෂධ හිඟයකට සහ මිල ඉහළ යාමේ විශාල අර්බුදයකට මුහුණ පා සිටී. ලංකාව තුළ බෙහෙත් හිඟයක් පමණක් නොව සෞඛ්‍ය සේවාවේද බරපතළ අර්බුදයක් පවතී. ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ඖෂධවලින් බොහෝමයක් විදෙස් රටවලින් ගෙන්වනු ලබන්නේ පෞද්ගලික සමාගම් මඟිනි. එපමණක් නොව ඇතැම් පෞද්ගලික සමාගම්වලින් මෙරට ඖෂධද නිෂ්පාදනය කරන අතර ඒ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්වනු ලබන්නේ විදෙස් රටවලිනි. මේ අනුව සියයට අසූවක් වැනි වැඩි ප්‍රතිශතයක් ඖෂධ ගෙන්වනු ලබන අතර අඩු ප්‍රතිශතයකින් යුක්තව අමුද්‍රව්‍ය ගෙන්වා මෙරට ඖෂධ නිෂ්පාදනය කෙරේ.
''ලංකාවේ පවතින ආර්ථික වටපිටාවත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය නිසි පරිදි අවශ්‍ය සැලසුම් හැදුවේ නැහැ. එහෙම නිසි පරිදි සැලසුමක් හැදුවා නම් ගිය වසරේ දෙසැම්බර් මාසය වෙද්දී මේ වසරට අවශ්‍ය කරන ඖෂධ සියල්ලම සැපයුම් කරගෙන තියාගන්න තිබුණා. ආර්ථික අර්බුදයේ උග අවස්ථාවට දැන් පැමිණ තිබුණට ඒ නිසි වැඩපිළිවෙළක් හැදුවා නම් මේ තත්ත්වය මෙලෙස උදාවෙන්නේ නැහැ. නිසි පරිදි සෞඛ්‍ය ලේකම් ඇතුළු ඒ නිලධාරීන් ක්‍රියා කළා නම් අපිට මොන ආර්ථික අර්බුදය ආවත් ලබන වසරේ ජනවාරි මාසය වෙනතුරු ඖෂධ හිඟයක් නොවෙන්න තිබුණා. මේ නිසා ආර්ථික අර්බුදයටත් වඩා සෞඛ්‍ය අමාත්‍යංශයේ කළමනාකරණයේ වැරැද්ද නිසා අද වෙද්දී මේ අර්බුදය දෙගුණයකින් වැඩි කරගෙන තිබෙනවා.'' යැයි වෘත්තීයවේදී සමිති සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා දේශයට පැවසීය.
පවතින ඖෂධ හිඟය හේතුවෙන් රෝහල් රැසකට දැඩි බලපෑමක් ඇති වී ඇත. ඒ අතර ශල්‍යකර්ම වෙනුවෙන් අවශ්‍ය කරන ඖෂධ වර්ග හිඟය හේතුවෙන් බොහෝ රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය. පවතින ඖෂධ හිඟයට නිසි විසඳුමක් ලබාදෙන ලෙස ඇතැම් රෝහල්වල කාර්ය මණ්ඩල ඇතුළු ජනතාව උද්ඝෝෂණ පවත්වති.
කලට වෙලාවට අවශ්‍ය කරන ඖෂධ සම්බන්ධයෙන් ඇස්තමේන්තු ගත නොකිරීම හේතුවෙන් අද වනවිට ඖෂධ නිෂ්පාදන ආයතනවලට ඖෂධ ගෙන්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. වෘත්තීයවේදී සමිති සම්මේලනයේ මෙන්ම වෙනත් වෘත්තීය සංගම් චෝදනා කරනු ලබන්නේ මෙම අර්බුදය සම්බන්ධයෙන් පෙර සිටම කරුණු ඉදිරිපත් කළද අමාත්‍යංශය විසින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවය.
''මීට පෙර අපි ඉදිරියේදී ඖෂධ හිඟයක් ඇතිවෙන බව කිව්වාම ඇතැම් වෛද්‍ය සංගම් පවා අපිත් එක්ක ඒ සම්බන්ධයෙන් විවාද පවා කළා. ඔවුන් පවා ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා ඒ සඳහා උපදෙස් ලබාදුන් අය පවා අද උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට වගකියන්න ඕනේ. ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වනවා කියලා කිව්වට තවමත් ඒ රටේ බැංකු පවා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙලා නැහැ. ඒ වගේම ඉන්දියාවෙන් විතරක් අපිට ඖෂධ ගේන්න බැහැ. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන්නේ බොහෝ වෙලාවට අනුකරණ ඖෂධයි. (සාමාන්‍ය ඖෂධය) මීට අමතරව සුවිශේෂී වූ ඖෂධ බොහෝමයක් වෙනත් රටවල්වලින් මෙරටට ගෙන්වනවා. අනුකරණ ඖෂධවලින් විතරක් සෞඛ්‍ය සේවාව ගෙන ගියොත් අපි 1980 වගේ වසරවල් දක්වා සෞඛ්‍ය සේවාව නැවත පල්ලම් බහින්න වෙනවා. එහෙම වුණොත් එයින් ඇතිවන මරණ සංඛ්‍යාව වැඩිවේවි.'' යැයි රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වනවිටත් බොහෝ රටවල්වලින් ගෙන්වනු ලබන විශේෂ ඖෂධ බොහෝමයක හිඟයක් පවතී. හදවත් රෝග සම්බන්ධයෙන් සැකසහිත රෝගීන්ටහදිසි සැත්කමකට හෝ ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකරන තෙක් ලබාදෙනු ලබන ඖෂධය මේ වනවිට හිඟයක් පවතී. එම ඖෂධය ආනයනය කරනු ලබන්නේ ජර්මනියෙනි. මෙම ඖෂධය ලබාදීමෙන් හදවත් රෝගයක් ඇති වී මිය යන පිරිස අඩුකරන්නට සමත් වුවද මෙම ඖෂධ හිඟය හේතුවෙන් අද වනවිට එම රෝගීන් පත්ව ඇත්තේ විශාල අනතුරකටය. ජීවිත අවදානමකටය. මෙවැනි ඖෂධ හිඟය හේතුවෙන් සෞඛ්‍ය සේවාව රෝගීන්ට දියයුතු ප්‍රතිකාර ලබාදීම වෙනුවට දිය හැකි ප්‍රතිකාරය ලබා දෙන්නට උත්සාහ ගනී. නමුත් එය රෝගීන්ගේ ජීවිත අවදානමකි.
''සෞඛ්‍ය ලේකම්තුමා ඇතුළු අදාළ නිලධාරීන්ගේ වගකීම වන්නේ මේ අර්බුදයේ ගැඹුර පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමයි. ගැටලුවක් නැහැ.'' කියලා රටේ මිනිස්සුන්ට බොරු නොකියා මේ ගැටලුවට විසඳුමක් කඩිනමින් සෙවීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය සේවාව තුළ පවතින මුදල් කළමනාකරණය කිරීම මෙන්ම හදිසි ආපදා තත්ත්වයක් නම් කොට තීරණ ගැනීමේ ක්‍රියාවලිය මීට වඩා ශක්තිමත් කළ යුතු වෙනවා. එමෙන්ම ඒ හරහා කරනු ලබන අධ්‍යයනයත් සමඟ අවශ්‍ය වූ විට මානුෂීය ආධාර ඉල්ලීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් විසඳුමක් ලබාගත හැකි වෙනවා. එසේ නොමැති වුවහොත් මේ රටේ අහිංසක අසරණ රෝගීන්ගේ ජීවිත අවදානමේ.'' යැයි රවි කුමුදේශ් මහතා දේශයට වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසන්නේ ඖෂධ ආනයනය කිරීමට රුපියල් බිලියන හැටපහක් වෙන්කර ඇති අතර ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඖෂධ සහ ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බවය. මේ අනුව තවත් අතිරේක රුපියල් බිලියන පහළොවක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවත්ය. කෙසේ වුවද ඖෂධ හිඟය සහ මිලෙහි ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාව පත්ව ඇත්තේ ඉතා අසීරුතාවයකටය.
දිශානි ජයමාලි කරුණාරත්න