
(අභාවප්‍රාප්ත වික්ටර් හෙට්ටිගොඩ මහතාගේ අභාවය නිමිත්තෙනි)
ගෙදරට එන වෙද මහත්තයා කී විට අපේ සිතට එන්නේ සිද්ධාලේප ය. සිද්ධාලේප මතක් වනවිට එහි නිර්මාතෘ වික්ටර් හෙට්ටිගොඩ නාමය මතකයට එයි. ශ්‍රාස්රාභිෂේක වෛද්‍යසූරී දේශමාන්‍ය ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ සිද්ධාලේප සන්නාමය සහිතව ලොවක් ජයගත් පුද්ගලයෙකි.
දකුණු පළාතේ, ගාලු කෝරළේ, හල්පේ පත්තුවේ පොල්අතුඔය ඉවුරේ පිහිටි වල්පොළ පිංගොඩ මාතර කනංකේ දී මීට වසර 85කට පෙර එනම් 1937 සැප්තැම්බර් 13 වැනිදා උපත ලැබීය. ඔහුගේ පියා වූයේ දක්ෂ වෛද්‍යවරයකු හා ජෝතීර් විද්‍යාඥයකු වූ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩය. ඔහු පසුව ලක්දිව ජ්‍යෝතිෂ සංගමයේ සභාපති තනතුරද හොබවා ඇත. නව දෙනෙකුගෙන් යුත් හෙට්ටිගොඩ පවුලේ පස්වැනියා වූ වික්ටර්ගේ මෑණියන් වූයේ දෝන කරලයින් වික්‍රමරත්න මාතාවය.
වික්ටර්ගේ පුංචි බාප්පා හෙවත් පියාගේ බාලම සොහොයුරා වූයේ කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, ධර්ම ශාස්ත්‍ර ශිරෝමනී, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, වල්පොළ ශ්‍රී රාහුල මහාචාර්යපාදයන්වහන්සේය. උන්වහන්සේ ගැන චරිත කතාව ලියූ ගුණදාස ලියනගේ සූරීන් දක්වා ඇත්තේ මෙසේය. පරගොඩ, ගාල්ල කොළඹ හරහා පැරිස් පුරවරයට පිවිස සෝබෝන් සරසවිය තුළින් සිය පාණ්ඩිත්‍යය ලොවට අඬගා කියා ලෝක බුද්ධිමතකු හැටියට හතර කරදිය වැල්ල සිසාරා සිය කීර්තිය නාමය පතුරුවා ලූ වල්පොළ රාහුල හාමුදුරුවෝ ලාංකික පුරවැසියකු වුවත් ලංකාවට පමණක් අයත් වස්තුවක් නොවේ. මුළු ලෝකයම සිය සෙවණ ලෙස සලකන ලෝක පුරවැසියෙකි. මුළු ලොවටම අයත් පොදු වස්තුවකි.
බුරුම රජය රාහුල හිමියන්ට අග්ගමහා පණ්ඩිත පදවිය පිරිනැමීමට 1991 පෙබරවාරි 27 වැනිදා රුන්ගුන් නුවර පැවැත්වෙන උත්සවයට ආරාධනා කිරීමට පැමිණි ස්වදේශ කටයුතු හා ආගමික කටයුතු බාර ඇමැති බුරුම රජයේ වියදමින් කැපකරුවන් දෙදෙනකු කැඳවාගෙන යාමට ඉඩකඩ සලසා දුන්නේය. රාහුල හිමියන් මේ සඳහා කැටුව ගියේ වෛද්‍ය ඩී.ඩී. රණසිංහ මහතා හා තම ඥාති පුත් වික්ටර් හෙට්ටිගොඩය. රාහුල හිමියන්ට දියවන්නා ඉවුරේ ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ලැබුණු ඉඩමේ මූලික වියදම් දරමින් ගොඩනැගිලි කටයුතු බාරව කටයුතු කළේ වික්ටර් හෙට්ටිගොඩ ඥාති පුත්‍රයා විසිනි.
මගේ පියාගේ ආභාසය පුංචි කාලෙම ඉඳලම මට ලැබුණා. මගේ ජීවිතයේ වීරයා තාත්තා. මගේ පියා වූ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ සුප්‍රසිද්ධ ජ්‍යෝතීර්වේදියකු මෙන්ම වකුගඩු රෝග විශේෂඥයෙක්. එතුමා ජ්‍යොතීර්වේදීන්ට අත්පොතක් වූ &ජීවිතය සහ ග්‍රහයෝ* පලාපල කියන හැටි වැනි ග්‍රන්ථ රුසක කතුවරයා. මම ඉගෙනුම ලැබුවේ මාතර රාහුල විද්‍යාලයේ. ඊටපසුව ගාල්ලේ විද්‍යාලයටත්, කොටහේනේ කුමාර විද්‍යාලයටත් ගියා. මම පාසල් යන කාලේ ඉඳලම කලාවට ආසා කළා. චිත්‍ර අඳින්නත් හැකියාව තිබුණා. මල් පෝච්චි පින්තාරු කිරීමටත් දක්ෂතාවක් තිබුණා. මම හිස් සිමෙන්ති මල් පෝච්චි මිලයට අරගෙන ඒවට ලස්සන රටා ඇඳලා විකුණනවා. මෙය දැකලා හික්කඩුවේ තානායමේ අයිතිකාර රාළහාමි මම මල් පෝච්චියක් පහකට අරන් එයා තානායමට එන සුදු ජාතිකයන්ට රුපියල් පනහ ගානේ විකුණනවා. ඒ කාලේ මට ලැබුණු රුපියල් පහ වටිනා එකක්. පසු කාලෙක මම සිද්ධාලේප ආයතනය පටන් ගත් විට මගේ කලා රුචිකත්වය ප්‍රයෝජනවත් වුණා. දැන්වීම් කලාව ගැනත් මම දැන හිටියා.දේශීය ව්‍යාපාරිකයන්ට දිරිදෙන තනිවම නැගිටීමේ කලාව හඳුන්වා දෙන්න මට අවශ්‍ය වුණා. ලංකාවේ හිටිය විශිෂ්ඨ පත්‍ර කලාවේදියකු වූ ප්‍රවීණ රංගවේදියකු වූ ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහතා මගේ හොඳ මිත්‍රයෙක් වගේම උපදේශකයකු වුණා. ඔහුගේ සංස්කාරකත්වයෙන් ව්‍යාපාරකයට ප්‍රයෝජනවත් සඟරාවක් ප්‍රකාශයට පත් කළා. (මගේ මතකය හරි නම් එම සඟරාව වෙළෙඳාම ය) මගේ ව්‍යාපාරයේ හැම නිෂ්පාදනයක්ම මගේ සැලසුම් මතයි කෙරුණේ. ඒවගේ ප්‍රතිඵල ලැබුණා. මම පළමුකොට කලා රසිකයෙක්. සිනමා රසිකයෙක්. කොටින්ම දොළොස් හැවිරිදි ළමයෙකු හැටියට කඩවුණු පොරොන්දුව හා සුජාතා චිත්‍රපට දහ දොළොස් වතාවක් බැලුවේ තාත්තාගෙන් ලැබූ ''පොකට් මනි'' ඉතුරු කරගෙන.* වරක් හෙට්ටිගොඩ මහතා පවසා තිබුණි.
සිද්ධාලේපය ඔහු නිෂ්පාදනය කළේ තමන්ගේ රහස් වෙද වට්ටෝරුවක් නිසා බව වරක් පවසා තිබුණි.
මම වෙදකම ඉගෙන ගත්තේ තාත්තාගෙන්. හිමාලයේ දක්ෂ යෝගීවරයකුගෙන් තම පියාට ලැබුණ වට්ටෝරුවකින් හැදූ මුළු ලොව හඳුනන සිද්ධාලේප ජාත්‍යන්තරයට ගියා. මගේ ව්‍යාපාරයේ දෙදහසකට වඩා පිරිසක් ඉඳීම ගැන සතුටු වෙනවා. මගේ නිෂ්පාදන රුසකට ජාත්‍යන්තර සහතික ලැබිලා තියෙනවා. සිද්ධාලේප ආයුර්වේද රෝහල් ඇති කළා. ජාත්‍යන්තර සඟරාවක නිදහසින් පසු මහා යුග පුරුෂයන් 50 දෙනාට මාත් ඇතුළත් වුණාට &බෙයා ෆුට් ඩොක්ටර්* (පාවහන් නොපළඳින වෛද්‍යවරයා) ලෙස හැඳින්වීම මට ලැබුණු ආභරණයක්.
වික්ටර් හෙට්ටිගොඩ මහතා සිදුකළ සමාජ සත්කාර අපමණය. ඒ අතර 1978 සිට ශ්‍රී පාද වන්දනා සමයේදී වන්දනා බැතිමතුන්ගේ යහපත සඳහා පැය 24 පුරාම වෛද්‍ය සේවාද දළදා මැඳුර, ගැටබරුව, සීනිගම, සමන් දේවාලය, මහියංගණය ආදී සිද්ධස්ථානවල දැක්වූ අනුග්‍රහය සදානුස්මරණීයයි.
වික්ටර් හෙට්ටිගොඩ මහතා වරක් ජනාධිපතිවරණයටද ඉදිරිපත් විය. මෙරට දේශීය වෙදකම රජකරවීමට සිහින මැවූ ඔහු එයට වටිනාකමක් දුන් පුරෝගාමිකයෙකි. සිද්ධාලේප සන්නාම තිබෙනතුරු හෙට්ටිගොඩ නාමයත් අමරණීය වෙයි.
■ ඒ.ඩී. රන්ජිත් කුමාර