පසුගිය මාස කිහිපය පුරාම ආහාර, කිරිපිටි, සීනි, ගෑස්, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයෙන් හා විදුලිය කප්පාදුවෙන් දැඩිව පීඩා විඳි ජනතාව අවසානයේ වීදි බසින්නට තීරණය කළෝය. රටේ තැනින් තැන උද්ඝෝෂණ ආරම්භ වූ අතර එහි උච්ඡතම අවස්ථාව වූයේ පසුගිය මාර්තු 31 දින රාත්‍රියේ මිරිහානේ පැඟිරිවත්ත මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයයි. ඉතා සාමකාමී ලෙස ආරම්භ වූ එම විරෝධතාව රාත්‍රිය වනවිට තරමක් කලහකාරී තත්ත්වයක් පෙන්නුම් කළේය. එතැනින් ඇරඹි එම ක්‍රියාදාමය මේ වනවිට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් රටපුරා ව්‍යාප්ත වී තිබේ.
මිරිහානේ සිදුවීමෙන් පසු ජනාධිපතිවරයා අප්‍රේල් 1 සිට බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගතව ඇති බැවින් මහජන ආරක්ෂාව සහ රටේ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් මහජන ආරක්ෂක පනතේ දෙවැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් විය. ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරිණි.
ජනාධිපතිවරයා විසින් මින් ඉහත එනම්2021 අගෝස්තු 30 වැනි දිනද හදිසි නීතිය පැනවීමට පියවර ගත්තේය. ඒ සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහාය. රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට එය ක්‍රියාත්මක කර තිබිණි. එහෙත් මෙවර තත්ත්වය වෙනස්ය. මෙවර රටපුරා නැඟෙන විරෝධතා පාලනය සඳහා හදිසි නීතිය පැනවිණි.
හදිසි නීතිය පැනවීමේ බලය ඇත්තේ විධායක ජනාධිපතිවරයාටය. හදිසි නීතිය යනු රටේ ආරක්ෂාව, පැවැත්ම සහ සාමය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් පැන නැඟී ඇතැයි විශ්වාස කරන අවස්ථාවක 1959 මහජන ආරක්ෂණ පනතේ දෙවැනි වගන්තියේ දැක්වෙන අයුරින් පවතින නීතිය අභිබවමින් නියෝග දීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවැරෙන අවසරයකි. මහජන ආරක්ෂාව වෙනුවෙන් හෝ මහජන සාමය පවත්වාගෙන යෑම සහ කැරුල්ලක් මැඬපැවැත්වීමට හෝ ජනජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් සහ සේවා පවත්වාගෙන යෑම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ විශේෂ බලතල සමූහයක්ද ජනාධිපතිවරයාට පැවරෙන අතර යම් යම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීමේ බලයද ජනාධිපතිවරයා වෙත පැවරේ.
මහජන ආරක්ෂක පනත මුලින්ම හඳුන්වා දෙන ලද්දේ 1947 දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසිනි. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය මගින් මහජන ආරක්ෂක පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ කොටසක් බවට පත්කරන ලදී. ඒ අනුව ජනාධිපතිවරයාට හදිසි අවස්ථා නියෝග ලබාදීමේ අවසරය හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන් මගින් හිමිවන අයිතීන් ගණනාවක් හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කෙරේ.
හදිසි නීතිය යටතේ හිමිවන බලතල අනුව හදිසි නීතිය පවතින අවස්ථාවක නිවෙසකට ඇතුළු වී සෝදිසි කිරීමට කිසිදු අධිකරණමය සෝදිසි වරෙන්තු අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට බලය ඇත්තේ පොලීසියට වුවද හදිසි නීතිය යටතේ ආරක්ෂක හමුදාවටද වරෙන්තු නොමැතිව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට බලය හිමි වේ. එමෙන්ම සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, නිවෙසක් සෝදිසි කිරීමට, සැකකරුවන්ගේ පාපෝච්චාරණ සාක්ෂි ලෙසින් යොදාගැනීමට, නිශ්චල සහ චංචල දේපළ රජයේ පාලනයට ගැනීමට, රැස්වීම් පැවැත්වීම සීමා කිරීමට, නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ආරක්ෂක හමුදාවලට බලය හිමිවීම, නීතිපතිවරයාගේ අවසරයකින් තොරව අත්අඩංගුවට පත් පුද්ගලයන්ට ඇප ලබාදීමට හෝ නිදහස් කිරීමේ බලය අධිකරණයට අහිමි වීම, ආරක්ෂක ඇමැතිවරයා නිකුත් කරන රඳවාගැනීමේ නියෝග මත සැකකරුවන් රඳවාගැනීම, පවතින පොදු නීතිය අභිබවා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට හා විශේෂ අධිකරණ පිහිටුවීමටත් හැකියාව සැලසේ.
ජනාධිපතිවරයා හදිසි නීතිය ක්‍රියාත්මක කරන බවට නිවේදනය කළ පසු එය පාර්ලිමේන්තුවට දැනුම් දියයුතු වන අතර පාර්ලිමේන්තුව කැඳවා දින 14ක් තුළ ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ.
හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අධිකරණයකදී අභියෝගයට ලක්කළ නොහැකිය. හදිසි නීතිය මාසයක කාලයකට වලංගු වන පරිදි පැනවීමට ජනාධිපතිවරයාට බලය ඇත. මාසයක් අවසන් වීමට පෙර එය අවලංගු කිරීමටද ඔහුට බලතල ඇත. දින 14ක් තුළ හදිසි නීති නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ. එසේ නොවුවහොත් එම නිවේදනය අවලංගු වේ. සෑම දින 30කට වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකිය. නමුත් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතිය යටතේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා:

''මෙම ගැසට්ටුව අනුව මෙම ප්‍රකාශනය වලංගු වන්නේ දින 14ක කාලයකටයි. එහෙත් මාසයක් දක්වා පවත්වාගෙන යා හැකියි. තවත් ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නම් මෙය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට බහුතර ඡන්දයෙන් සම්මත කිරීමෙන් පසු ඉදිරියට පවත්වාගෙන යා හැකියි. එහෙත් මෙම හදිසි අවස්ථාව වැදගත් නොවන බවට පාර්ලිමේන්තුවට හැඟෙන්නේ නම් එය පරාජයට පත් කළ හැකියි. මෙහිදී මතුවන වැදගත්ම කාරණය තමයි පවතින අනෙකුත් සියලුම නීති, සියලුම රෙගුලාසි, සියලුම අනුනීති යන සියල්ලම අභිබවා මේ මහජන ආරක්ෂක පනත ඉදිරියට පැමිණීම. එහෙත් එයට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති අයිතීන් උල්ලංඝනය කළ නොහැකියි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව අනුව ජනතාවට භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස සාමකාමී උද්ඝෝෂණ කිරීමේ නිදහස තහවුරු කර තිබෙනවා. ඒ නිසා සාමකාමී වාතාවරණයක් තුළ සාමකාමි උද්ඝෝෂණ, භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ජනතාවට හිමි වෙනවා. එහෙත් මෙම අයිතීන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම 15 වැනි ව්‍යවස්ථාවෙන් යම් කිසි අයුරකින් සීමාකර තිබෙනවා. ඒ තමයි ජාතික ආරක්ෂාවට, රාජ්‍ය ආරක්ෂාව හා ජාතික ආර්ථිකය වැනි කරුණු සම්බන්ධයෙන් පැනවී ඇති සීමා. 1979 අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී ඔහුට විරුද්ධව ඇති චෝදනා ඉදිරිපත් කළ යුතුයි. එහෙත් හදිසි නීතිය යටතේ කිසිවකු අත්අඩංගුවට ගන්නා විට කිසිදු චෝදනාවක් දැනුම්දීම අවශ්‍ය නැහැ. අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසියට මෙන්ම හමුදාවන්ටද ලැබෙනවා. එහෙත් එම පුද්ගලයන්ට අමානුෂික ලෙස සැලකීම, වධහිංසා පැමිණවීම වැනි මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ නොහැකියි.'' යනුවෙන් සඳහන් කළේය.
මෙලෙස හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ. සමගි ජනබලවේගයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ ''සාධාරණත්වය ඉල්ලා පාරට බසින්නට මිනිසුන්ට අයිතිවාසිකමක් තිබෙනවා. ඒ අයිතිවාසිකම වැළැක්වෙන අයුරින්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් සීමාවන ආකාරයට යම් කිසි රෙගුලාසියක් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන්නේ නම් එම රෙගුලාසිය නිත්‍යනුකූල නොවන නීති විරෝධී රෙගුලාසියක්'' යනුවෙනි.
ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පෙන්වා දෙන්නේ හදිසි නීතිය මගින් මහජනතාවගේ එක්රුස්වීම් සීමා වන බවටය. හදිසි නීතිය මගින් විධායකයට යම් යම් බලතල හිමිවීම මත කිසියම් පුද්ගලයකු අත්අඩංගුවට ගත් පසු ඔවුන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමේ හැකියාව හිමි වේ. ඉතා දරුණු නීති හදිසි නීතියත් සමඟ බැඳී පවතී. එහෙයින් යම් නීති විරෝධී ක්‍රියාවක් ඇතිවේ නම් නීතීඥ ප්‍රජාව ලෙස තමන් ඊට එරෙහිව නැඟී සිටින බවද ඔහු සඳහන් කළේය. ''රටේ මේ වනවිට ඇතිවී තිබෙන අර්බුදයේ රෝග නිධානය සෙවිය යුතුයි. හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට තරම් පරිසරයක් රටේ නිර්මාණය වෙලා නැහැ. මේ හදිසි නීතිය පැනවීමෙන් ජනතාවගේ ජීවිතය තවත් කැළඹීමට පත් වෙයි. එහෙයින් මෙම හදිසි නීතිය අස්කරගන්නා ලෙස අප ඉල්ලා සිටිය යුතුයි.'' යනුවෙනි.
හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ හදිසි නීතිය පැනවීමේ තීරණය අවලංගු කරන ලෙසටය. හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම රටේ වත්මන් ගැටලු සඳහා විසඳුමක් නොවන බවත්, මූලික අයිතීන් වන සාමකාමි රැස්වීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ හා පළකිරීමේ නිදහස සුරක්ෂිත කළ යුතු බවත් එම සංගමය නිවේදනයක් මගින් ඉල්ලා තිබිණි..
හදිසි නීතිය බලාත්මක කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ සුමන්තිරන් මහතා පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. ''හදිසි නීති රෙගුලාසි ලියවිල්ල අපේ මේසය මත තිබෙනවා. ව්‍යවස්ථාවට අනුව අනුමැතිය ලබා දිය හැකි මුල්ම අවස්ථාවේ මෙය ඉදිරිපත් කළ යුතුයි. එය හෙට දිනයේම පාර්ලිමේන්තුවේදී තීරණය කරන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මෙය බලය අනිසි ලෙස භාවිත කිරීමක්. අපට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා හෙට පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්විය හැකියි.'' යනුවෙන් ඔහු පැවසීය.
කෙසේ නමුදු පසුගිය අප්‍රේල් 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
■ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා