
මේ ලියන මොහොත වනවිට අපේ ව්‍යවස්ථාදායකයේ විවිධ වෙනස්කම් සිදුවෙමින් පවතී. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ බල තුලනය පිළිබඳ උත්සාහයක නිරත වන බව පෙනේ. යම් ලෙසකින් පවතින ආණ්ඩුව වෙනස් වී අලුත් කණ්ඩායමකගෙන් යුතු නව ආණ්ඩුවක් ඇතිවනු ඇතැයි ඇතැම්හු විශ්වාස කරති. තවත් සමහර දෙනා පවසන්නේ එසේ නොවී පවතින ආණ්ඩුව තම බලය රැකගනු ඇත යනුවෙනි. ඒ සඳහා අනාවැකි පැවසීමට තව කල් වැඩිය. කෙසේ වුවද ආණ්ඩුවේ අමාත්‍යාංශ සහ ඇමැති ධූරවල යම් ප්‍රමාණයක හෝ වෙනස්කම් සිදුවනු ඇති බව උපකල්පනය කළ හැකිය. මෙලෙස සිදුවූ හෝ සිදුවෙමින් පවතින වෙනස රටේ කඩා වැටී ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට හේතු වේද යන්න පිළිබඳ සාකච්ඡා කළ යුතුය. උණුසුම්ව තිබූ දේශපාලන වාතාවරණය යළි සිසිල් වී යථා තත්ත්වයට පත්වුවහොත් එහි ප්‍රතිඵලය රටේ ආර්ථික තත්ත්වයට කෙසේ බලපායිද යන්න පිළිබඳ විවිධ අපේක්ෂා ඉදිරිපත් වෙමින් තිබේ. මෙයින් යම් ධනාත්මක වෙනසක් සිදුවේද? නැතිනම් තිබූ පරණ තත්ත්වය තවත් අයහපත් බවට පත්වේද යන්න පිළිබඳ වැඩිදෙනා පසුවන්නේ දෙගිඩියාවෙනි.
අපේ රටට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණා නම් ආණ්ඩු හෝ ඔලු ගෙඩි මාරු වූ විට එහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැත. බලයට පත්වන කුමන ආණ්ඩුවක් වුවද, පත් කරන කුමන රජයක් වුවද එම ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට නිරායාසයෙන් බැඳී සිටී. එහෙත් අවාසනාවකට අපට එවැනි ජාතික ප්‍රතිපත්තියක් නැත. නිදහස ලැබී වසර හැත්තෑවකට අධික කාලයක් තිස්සේ බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම කළේ ආර්ථික ටියුබයට පැච් දැමීම පමණකි. ඒ ඒ වෙලාවට ගැටලුවලින් බේරීමට පැලැස්තර ඇලවූවා මිස ස්ථිරසාර විසඳුමක් දුන්නේ නැත. බොහෝ මැදහත් ආර්ථික විශ්ලේෂකයන් මෙහි ඇති වැදගත්කම සන්නිවේදනය කළද බලවතුන් කිසිවකුත් එයට ඇහුම්කන් දුන් බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇතැම් ආණ්ඩු ජාතික ආර්ථිකයක් තනන බවට සිය මැතිවරණ ප්රකාශනවල දැක්වුවද බලය ලැබුණු පසු කටයුතු කළේ ඒ සියල්ල අමතක කරමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පුරා අවුරුදු 70ක්ම අපේ ආර්ථිකය එක තැන පල්වෙමින් පවතී.
යම් ආණ්ඩු වෙනසක් හෝ බල තුලනයක් සිදුවුවද එයින් ලැබෙන්නේ දේශපාලන විසඳුමක් මිස ආර්ථික විසඳුමක් නොවන බව පෙනෙන්නට තිබේ. එයට හේතුව සැමදෙනාම ආර්ථික ශක්තිය දෙවැනි තැනට දමා දේශපාලන බලයට ප්‍රමුඛස්ථානය දී තිබීම හේතුවෙනි. ඒ නිසා අද පවතින තත්ත්වයට විසඳුමක් පෙනෙන තෙක් මානයක හෝ දක්නට නැත. පත්වන ආණ්ඩුව හෝ වෙනස් වන ආණ්ඩුව අද පවතින දැවෙන ආර්ථික ප්‍රශ්නවලට එක්තරා විසඳුමක් දුන්නද හුදෙක් එය තාවකාලික පැලැස්තරයක් වෙනවා ඇත. යළිත් කෙටි කාලයකින් ඒවා සියල්ල අදට වඩා ප්‍රබල ලෙස මතුවන බව කිව හැකිය.
රටේ ආර්ථික ප්‍රශ්න පැවතීම දේශපාලනඥයන්ට හොඳ යැයි අදහසක් තිබේ. එයට හේතුව එම ප්‍රශ්න දඩමීමා කරගෙන ඔවුන්ට බලයට ඒමට පහසු වන නිසාය. එය හරියට හිඟන්නාගේ තුවාලය මෙනි. දැනට අඩසිය වසක කාලයේ සිදුවීම් ගැන සලකා බැලූවිට දේශපාලනඥයන්ට බලයට පත්වීම සඳහා පාන් ගෙඩියේ මිල, හාල් සේරු දෙක දීම, නොමිලේ ආහාර සලාක දීම ආදී පොරොන්දු ඉමහත් පිටිවහලක් වූ බව පෙනෙන්නට තිබේ. අපේ ප්‍රධාන ආහාරවේල් ගැටලු නිසා බලයට පත්වූ ආණ්ඩු කීයක් බලයෙන් පහවී ගොස් තිබෙනවාද? එම පොරොන්දු දඩමීමා කරගෙන ආණ්ඩු කීයක් බලයට පත්වී තිබේද යන්න පිළිබඳ පසු විපරමක් කළ යුතුව ඇත. ඒ අනුව පෙනී යන්නේ දේශපාලනඥයන් ජනතාවට ආර්ථික ප්‍රශ්න ඇතිවන තරමට කැමැති බවය. ඒ අනුව ඔවුන් ස්වකීය කතිර බලය ලබාගැනීමට වාසනාවන්ත වෙනවා ඇත.
අදද රටේ ජනතාව කැළඹීමට පත්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආර්ථික ප්‍රශ්නයි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟවීම, ඒවායේ මිල අසාධාරණ ලෙස ඉහළ යාම හැරුණුවිට ඉන්ධන, ගෑස්, විදුලිය ආදී අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහ සේවා හිඟවීමද අහිතකරව බලපා ඇත. අද ජනතාව පාරට බැස පවතින ආණ්ඩුවට එරෙහිව අවි අමෝරාගෙන සිටින්නේ තම දැවෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් ලබාගැනීමටය. නිවෙස් තුළ ඒවා පැවසීමෙන් ප්‍රතිඵලයක් නොවන තැන ඔවුහු වීථිවලට බැස සිටිති. යම් ආකාරයකින් කවරකු හෝ මෙම ආහාර ආදී ගැටලුවලට විසඳුමක් ලබා දුනහොත් ඔවුන් ආපසු නිවෙස් තුළට රිංගා ගන්නවා ඇත.
තුනෙන් දෙකක ස්ථාවර ආණ්ඩුවක් තිබුණද අපේ ආර්ථික ප්‍රශ්න උග්රවනු විනා ඒවායින් සැනසීමක් ලැබුණේ නැත. මෙම වසර දෙකහමාර තුළ බලධරයන් කටයුතු කළේ ඒවාට පැලැස්තර විසඳුම් සෙවීමට මිස ඒවා සදාකාලිකවම නිවාරණය කිරීමේ ප්රතිපත්තියකට යොමුවීම නොවේ. අද පවතින ආර්ථිකය කඩා වැටීම පිළිබඳ දේශපාලනඥයන් පමණක් නොව උසස් රාජ්‍ය සේවකයන් ගණනාවක්ම වගකිව යුතු බව කිව යුතුය. ඔවුන් උත්සාහ කළේ දේශපාලනඥයන් සතුටු කර තම වරප්‍රසාද ලබාගැනීමට මිස පවතින තත්ත්වය යහපත් කිරීමට නම් නොවේ.
රට ආර්ථික අතින් අවපාතයට ගමන් කරන මුල් අවස්ථාවේ ඇතැම් මැදහත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් එහි සහාය ලබාගත යුතු බවය. එහෙත් රජයේ ඇතැම් උසස් නිලධාරීන් එය වැළැක්වීමට කටයුතු කළ බව අපට මතකය. මහ බැංකු අධිපතිවරයා පුන පුනා කීවේ මේ අවස්ථාවේ මූල්‍ය අරමුදලට යාම අවශ්‍ය නැති බවය. ඔහු පැවසුවේ අපට අවශ්‍ය තරම් විදේශ සංචිත ඇති බවය. ගෙවීමට අත ළඟ ඇති සංවර්ධන බැඳුම්කර ගෙවීමට පවා ඇති තරම් මුදල් තිබෙන බවට උදම් ඇනීය. පිට පිට විදේශ ණය ගෙවීම නිසා අපේ විදේශ මුදල් බින්දුවටම බැස්ස අතර එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පවා විදේශ විනිමය නොමැති විය. ආහාර ගෙනා කන්ටේනර් ගොඩගත නොහැකිව මාස ගණන් වරායේ පල්වීම සිදුවිණි. විශාල ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවූ අතර රට තුළ විශාල ආර්ථික අර්බුදයක් ඇතිවිය. මේ සියලු ගැටලුවලට මුල වූයේ විදේශ සංචිත නිසි පරිදි කළමනාකරණය කිරීමට අපොහොසත් වීමය. අද වනවිට ඒ අමනෝඥ තීරණවල ප්‍රතිඵල අපට ඇස් පනාපිට සනාථ වී ඇත.
අනාගතයේදී හෝ මෙවැනි තත්ත්වයක් උද්ගත නොවීම සඳහා දැන්වත් වගකිවයුත්තන් නිසි පියවර ගත යුතුව ඇත. නියපොත්තෙන් කඩන්නට හැකි දෙය පොරොවෙන් කපන්නට සිදුවන තුරු බලා සිටීමේ ප්‍රතිවිපාකවලට අපට අද මුහුණ දීමට සිදුව තිබේ. මෙම තත්ත්වය අපේ බලයට කෑදර දේශපාලනඥයන්ට මෙන්ම ආර්ථික ඔස්තාර්ලාටද හොඳ පාඩමක් ඉගැන්වීමකි.
මේ පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසනුයේ මේ වනවිට පාලක පක්ෂය කටයුතු කරනුයේ තම තනතුරු රුකගැනීමට මිස රටේ ආර්ථික තත්ත්වය ගොඩනැගීමට නොවන බවය. මෙයට පෙර 2/3 බලයක් තිබූ රජයක් පැවතියද කිසිවෙක් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රටේ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කර නැති බව ඔහු අවධාරණය කරයි.
''ඒ සියලු දෙනා කටයුතු කළේ රටේ පොදු ප්රශ්නය අමතක කර ඒ අයගේ ගැටලු පිළිබඳ පියවර ගැනීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වනවිට ආර්ථික ගැටලුව උග්‍රවෙලා ජනතාවට කෑම, ඇඳීම, බෙහෙත් වගේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. අද වුණත් බොහෝ දේශපාලනඥයන් බලාපොරොත්තු වන්නේ මෙම සිදුවෙමින් පවතින වෙනස තුළින් ස්වකීය පටු අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණයි. අද ඔවුන්ගේ තනතුරු අභියෝගයට ලක්වෙලා තියෙන නිසා ඒවා ආරක්ෂා කර ගැනීමටයි උපරිමයෙන් ක්‍රියා කරන්නේ.
එක අතකින් රටේ අද පවතින තත්ත්වය සමනය වෙලා යම් දේශපාලන ස්ථාවරභාවයක් ඇතිවුණොත් එය යහපත්. එවිට ආර්ථික අර්බුදයට ආමන්ත්‍රණය කළ හැකියි. එහෙත් ඉතිහාසය ගැන කල්පනා කර බලන විට දේශපාලන ස්ථාවරභාවය තිබුණා යැයි ආර්ථික වර්ධනයක් ඇතිවෙලා නැහැ. මෙවර හෝ එම තත්ත්වය වෙනස් විය යුතුයි. අපට තිබුණේ ආණ්ඩු මාරුවෙනකොට සිදුවූ ආර්ථික වෙනසක් පමණයි. එය මතුපිටින් සිදුවූ දෙයක් මිස ගැඹුරු ලෙස ඇතිවූවක් නොවෙයි. අද මේ ප්‍රශ්න ඇතිවී ඇත්තේ එනිසායි. ඒ නිසා අද තත්ත්වය ගැන සලකා බලලා යම් වෙනසක් කළ යුතු වෙනවා.
අපි අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා යැයි ගැටලුව සහමුලින්ම ඉවර වෙන්නේ නැහැ. ඒත් ඒ අයගෙන් යම් සහයෝගයක් ලබාගත හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතැයි ආණ්ඩුවට මුලදී තිබූ දැඩි ස්ථාවරය මේ වනවිට වෙනස්ව තිබීම හොඳයි. එහෙත් මුල් කාලයේ මූල්‍ය අරමුදලේ උපදෙස් ගත්තා නම් ප්රශ්නය මෙතරම් උග්‍ර වෙන්නේ නැහැ. මූල්‍ය අරමුදල සක්‍රියව මෙම ප්‍රශ්න මැදිහත් වීම කවදා සිදුවේදැයි කිව නොහැකියි. මූල්‍ය අරමුදලට යනවා නම් එම ආර්ථික ප්‍රතිසංස්කරණ දැන් සිට ආරම්භ කිරීම හොඳයි. මූල්‍ය අරමුදලට අපේ රටේ කුමන ආණ්ඩුවක් තිබුණත් ඒ ගැන සැලකිල්ලක් නැහැ. ඒ අයට අවශ්‍ය ඒ අයගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරවීමටයි. ඒ නිසා අරමුදල අපට කොන්දේසි දමන තුරු බලා සිටිය යුතු නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට නොවෙයි රටටයි සහාය දෙන්නේ. ඒ නිසා අපේ ආණ්ඩු වෙනස් වනවිට බලය ගිලිහිලා වෙන කණ්ඩායමක් අතට ගියත් කිසිම ගැටලුවක් නැහැ. මූල්‍ය අරමුදලේ වගකීම වන්නේ සාමාජික රටවල ගෙවුම් ශේෂ ගැටලුවලට මැදිහත් වීමයි. මොන ආණ්ඩුව බලයේ සිටියත් ඒ ගැන තකන්නේ නැහැ.
බලයට පත්වන කණ්ඩායම මෙම ගැටලුවලින් මිදීමට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් සකස් කළ යුතු වෙනවා. මූලික පරමාර්ථ ඉටුකර ගැනීමට එම ප්‍රතිසංස්කරණ කරනවා නම් ඒකට අරමුදලේ උපදෙස් ලැබෙන තුරු බලා සිටිය යුතු නැහැ. එවිට වෙන්නේ විසඳුම්වලට යාමට තවත් ප්‍රමාද වීමයි. අයි.එම්.එෆ්. උපදෙස් ලැබෙන තුරු බලා සිටිනවාය කියනවා නම් එය ප්රශ්නය විසඳීම කල් දැමීමට කරන උත්සාහයක් පමණයි.
බොහෝ දේශපාලනඥයන් කියන දෙයක් තමා අපි අයි.එම්.එෆ්. එකට නොගියේ ඒ අයගේ කොන්දේසි ජනතාවට අහිතකර නිසා බවයි. ජනතාවගේ සහනාධාර කපන්න වෙනවා. බඩු මිල ඉහළ යනවා. ජනතාවගේ ජීවන ගැටලු උග්‍ර වෙනවා කියන එකයි ඒ අය නිදහසට පැවසූ කරුණු වන්නේ. එහෙත් අරමුදලට නොගියාය කියලා අපට ප්‍රශ්න ආවේ නැතිද? මේ වනවිට සහනාධාර කපලා නැද්ද? බඩු මිල වැඩිවෙලා නැද්ද? ජීවන වියදම උග්‍රවෙලා ජනතාව පීඩාවට පත්වෙලා නැද්ද? දැන් ඒ සියල්ල සිදුවෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම් ඒ අයගේ කොන්දේසිවලට එකඟ වීමෙන් ජනතාවට මුලදී යම් හිරිහැරයක් සිදුවන්න පුළුවන්. ඒත් එය කෙටි කාලයකටයි. වසර 3 – 4කින් රටේ ආර්ථිකය සවිමත් වූ විට මුලින් අත්හිටවූ සහන දෙන්න පුළුවන්. එහෙත් අද පවතින උග්‍ර තත්ත්වයේ හැටියට ජනතාව සදාකාලිකවම පීඩාවට පත්වෙලයි ඉන්නේ. අද පවතින තත්ත්වය කවදා අවසන් කරගත හැකිදැයි කියන්න බැහැ. ඒ තරමට අර්බුදය උග්‍රයි. පසුගිය අවුරුදු 74ක කාලය තුළ පාලකයන් ගත් අමනෝඥ පියවර නිසා අපේ ආර්ථික ගැටලු උග්රවෙලයි තියෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගියාය කියලා අපට සිදුවූ යහපතක් නැහැ. අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ පටු තීරණ නිසා ජනතාව අමාරුවේ වැටුණා පමණයි.
අදත් ඒ අය උත්සාහ කරන්නේ තම බලය රුකගැනීමට මිස ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් දීමට නොවෙයි. ඒ නිසා පවතින ආණ්ඩුව වෙනස් වුණත් ජනාධිපති වෙනස් වුණත් ඔලු ගෙඩි මාරුවුණත් ජනතාවගේ ආර්ථික ගැටලුවලට යහපතක් නොලැබෙන බව කිව යුතුයි. මෙතෙක් කල් දේශපාලනඥයන් උත්සාහ ගෙන ඇත්තේ දේශපාලන බලය රුකගැනීමට මිස ආර්ථික බලය ගොඩනැගීමට නොවෙයි. මේ අද සිදුවෙමින් පවතින වෙනසින්ද රටට ආර්ථික සහනයක් ලැබේ යැයි කිව නොහැකියි.''
I යසවර්ධන රුද්රිගූ