2022 අප්‍රේල් 10 වන ඉරිදා

බැම්මක් මත ඇවිදින්න බැරි තරුණයෙක්

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 334


අත්දෙක මතුපිට හිරිවැටෙයි

මම එක්දරු පියෙක්මි. වයස අවුරුදු 56ක් වන මට දිගු කාලයක සිට ගැටලු කිහිපයක් ඇත. වසර 6ක සිට කොලෙස්ටරෝල් සහ ප්‍රෙෂර් සඳහා ATOVA 10 සහ lOWPRES 50  පෙති දෙකක් රාත්‍රියට ගනිමි. අත්දෙක මතුපිට හිරිවැටෙන අතර නිතරම නිදිමත ගතිය දැනේ. ඇතැම් අවස්ථාවලදී කතාකරන විට වචන පටලැවෙන ස්වභාවයක් ඇත. ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වීමද නොමැත. උස හා බර පිළිවෙළින් අඩි 5.5 සහ 84KG වෙයි. ළඟකදි ඉඳන් උදේටද ඉහත පෙති ලබාගනිමි. සිංහල සහ ඉංග්‍රීසි වෛද්‍යවරුන් දෙදෙනකුගෙන්ම බෙහෙත් ගත්තත් සුවයක් නොමැත. වෛද්‍යතුමනි, ඉහත රෝගාබාධ සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පින් අත්වෙයි.

අමිත් - බද්දේගම 

උපදෙස:

ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය වැඩියි. අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් සඳහා ගන්නා බෙහෙත් නිවැරදියි. එහෙත් වරින්වර පරීක්ෂා කර බැලිය යුතුයි. අධි රුධිර පීඩනය තිබෙනවා නම් සාමාන්‍ය කොලෙස්ටරෝල් තත්ත්වය තිබුණත් අපි දිගටම කොලෙස්ටරෝල් අඩු කිරීමේ ඹෟෂධයක් ලබාදෙනවා. එයින් බලාපොරොත්තු වෙන්නේ රුධිර නාලවල බැඳුණු කොලෙස්ටරෝල් පිරිසිදු කර කොලෙස්ටරෝල් අඩු තත්ත්වයේ පවත්වාගෙන යාමයි. මෙම රෝගවලට ප්‍රතිකාර කිරීමේ අරමුණ වන්නේ ඉන් ඇතිවන අතුරු ආබාධවලින් වැළකීමයි. මෙය පාලනය නොකර කාලයක් තිස්සේ පැවතියොත් අංශභාගය, හෘදයාබාධ, වකුගඩු රෝග ආදිය එන්න පුළුවන්. ඕනෑම අතක හෝ කකුලක හිරිවැටීමකින් අදහස් කරන්නේ ස්නායු සම්බන්ධ ගැටලුවක් විය හැකියි. අත්වල සංවේදන දැනෙන ස්නායුවල ඇති දුර්වලතාවක් නිසා විය හැකියි. එහෙම වෙන්නත් ගොඩක් හේතු තිබෙනවා. අතට ගමන්කරන ස්නායුව තෙරපීම නිසා හිරිවැටීම් වෙන්න පුළුවන්. බෙල්ලෙහි ස්නායු තදවීමක් වෙන්නත් පුළුවන්. ශල්‍යකර්මයකින් එය සුව කරගත හැකියි. හිරිවැටීම සම්බන්ධයෙන් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරගන්න. 

මහත අයට තිබෙන රෝගයක් තමයි නින්දෙන් ගෙරවීම. සාමාන්‍ය නින්දකදී නොගැඹුරු සහ ගැඹුරු නින්ද ලෙස කිහිප වාරයක් යනවා. හුස්ම ගනිද්දී මහත අයගේ මස්පිඬු ලිහිල් වීමේදී උගුරේ දෙදරීමෙන් ශබ්දය ඇතිවෙනවා. ඇඟට ඔක්සිජන් අඩුවූ විට මොළයෙන් ගැඹුරු නින්ද නොගැඹුරු නින්දට ගන්නවා. මෙවැනි අයට සම්පූර්ණ හොඳ නින්දක් ලැබෙන්නෙ නැහැ. මේ නිසා උදේට ගොඩක් ගැටලු ඇතිවිය හැකියි. නිදිමත ගතිය, අප්‍රාණික ගතිය, ලිංගික දුර්වලතා එන්න පුළුවන්. මේ නිසාම රුධිර පීඩනය වැඩි වෙන්නත් පුළුවන්. මේ සියලුම රෝග ඇතිවීමට හේතු සොයාගැනීමට සර්වාංග රෝග වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි. 

ඇඟේ තෙල් නැතිකරන්න මෝර තෙල් හොඳද? 

මම 50 හැවිරිදි අවිවාහක කාන්තාවක් වෙමි. කාලයක සිට කොලෙස්ටරෝල් රෝගයට ඖෂධ ලබාගනිමි. මාගේ හොඳම මිතුරකු මට මෝර තෙල් විටමින් බෝතල් දෙකක් ගෙනැවිත් දෙමින් පැවසූයේ කොලෙස්ටරෝල් නැතිකරන්න මේ තරම් වෙන කිසිදු බෙහෙතක් නෑ කියාය. වෛද්‍යතුමනි, මට දැනගැනීමට අවශ්‍ය වන්නේ මෝරතෙල් බිව්වාම කොලෙස්ටරෝල් නැතිවෙනවා කියන්නේ ඇත්තද?

දමයන්ති - ගම්පහ

උපදෙස:

ඔබේ මිතුරා ඕස්ට්‍රේලියාවේ වෙසෙනවාදැයි මම නොදනිමි. මා එසේ පැවසුයේ මෝර තෙල් (Fish oil) ආදී බොහෝ මෙවැනි විටමින් තෙල් වර්ග ඕස්ට්‍රේලියාවේ සුලබව දැකිය හැකි නිසයි. කොලෙස්ටරෝල් අධික අයට මෝර තෙල් භාවිත කළත් එය ඖෂධයක් තරමට ක්‍රියාකාරී නැත. මෙය ලබාගැනීමෙන් ශරීරයට ලොකු සහනයක් බලාපොරොත්තු විය නොහැකියි. මෙලෙස මෝර තෙල්වලට වැයකරන මුදලින් හොඳ සමබර ආහාරයක් ගැනීමට හැකිනම් කොලෙස්ටරෝල් පාලනයට එය වඩා ප්‍රතිඵලදායක වනු ඇත. ඒ වගේම මෙවැනි විටමින් බෝතල් පානයට වඩා  නියමිත ඖෂධ ලබාගැනීමෙන් පවතින අසනීප තත්ත්ව නිසියාකාරව සුවකර ගත හැකිය. එය ඔබේ මිතුරාටත් පහදා දෙන්න. නිසි වෛද්‍ය නිර්දේශ නොමැතිව මිතුරන් දෙන විටමින් හිතුමතේ පානය කිරීමට යාම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරයි.

ගුද මාර්ගයේ ප්‍රශ්නයක්

මාගේ වයස අවුරුදු 75 කි. මට ඇත්තේ ගුදය සම්බන්ධ රෝගයකි. මා හට මළබද්ධය නැත. හොඳින් මළපහ පිටවීම සිදුවෙයි. එම කාර්යය නිම වූ පසු ගුදයේ වම්පස පිටතින් තොලපට ඉදිමුණා සේ ඉදිමී පවතියි. බඩවැල පිටතට නොපැමිණි නමුත් පහතට ඇවිත් ඇතැයි සිතේ. පසුව බඩවැල තිබූ තැනට ගිය බවක් දැනේ. ඉදිමුණු කොටසද ඒ සමඟම අභ්‍යන්තරයට යොමුවෙයි. ඉන්පසු වේදනාවක් නැත. මෙය වසර දෙකක පමණ සිට පවතී. ආයුර්වේද බෙහෙත්ද බටහිර බෙහෙත්ද ගතිමි. එහෙත් තිබූ තත්ත්වය නොවෙනස්ව පවතී. දැනට දෙවරක් පමණ රුධිරය පිටවී ඇත. දැනට මාසයක සිට ආයුර්වේද අර්ශස් තෙලක් පාවිච්චි කරමි. වෙනත් අමාරුවක් නැතත් ඉහත කී ඉදිමුම සමහර දිනවලට තිබේ. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලමි. 

විජිත - මහව 

උපදෙස:

විස්තර කර ඇති රෝග ලක්ෂණ අනුව නිගමනය කළ හැකි වන්නේ මෙය අර්ශස් රෝගයේ මූලික අවස්ථාවක් බවයි. මළබද්ධය නැතුවත් මෙය ඇතිවී තිබෙන නිසා සහ අවස්ථා කිහිපයකදී රුධිරය පිටවූ බව කියා තිබෙන නිසාත් අනිවාර් යෙන්ම ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු වී අධෝ මාර්ගය සහ මහ බඩවැළ කොටස පරීක්ෂා කර ගැනීම සුදුසුයි. අර්ශස් රෝගයේ ලක්ෂණයක් වන්නේ දින කිහිපයකදී අඩුවී නැවතත් වැඩි වීම. මෙයට ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා. ගෙඩි වගේ තිබෙනවා නම් එයට එන්නතක් ලබාදෙනවා. නූලක් භාවිතයෙන් කරන ප්‍රතිකාර ක්‍රමයකුත් තිබෙනවා. ප්‍රමාණය අනුව තීරණය කරනවා කපා ඉවත් කළ යුතුය යන්න. ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර අනුව පහසුවෙන් සුවකරගත හැකියි. දීර්ඝකාලීනව ප්‍රතිකාර නොකළොත් ඇඟෙන් රුධිරය පිටවී නීරක්තිය වැනි තත්ත්ව ඇතිවිය හැකි නිසා ප්‍රමාද නොකර වෛද්‍යවරයකු හමුවෙන්න. 

සෙම සුවයි: හුස්ම ගන්න අමාරුයි

මම 80 හැවිරිදි විශ්‍රාමිකයෙකි. සෙම සහ කැස්ස සෑදී හුස්ම ගැනීම අපහසුය. සෙම සහ කැස්ස සුව වුණත් හුස්ම ගැනීමේ සුවයක් නොමැත. ඒ වගේම ආතරයිටිස් රෝගය නිසා දණහිසෙන් පහළ දෙපයේ නහර හිරවීමක් ඇති වී සමහර විට කකුල් දෙකම එකවිට වේදනාව ඇතිකරයි. රෑට නිදාගැනීම අපහසුය. වෛද්‍යතුමනි, මෙම ප්‍රශ්න දෙකටම මට උපදෙස් ලබාදෙන්න.  

සෝමදාස - දෙහිවල

උපදෙස:

වැඩිහිටි වියේදී අස්ථිවල කාටිලේජ දුර්වල වීම නිසාත් මස්පිඩුවල දුර්වල වීම නිසාත් යම්කිසි වේදනාකාරී තත්ත්වයක් පාදවල පවතින්න පුළුවන්. කෙටිකාලීනව වේදනාව මර්දනය කරන්න ඖෂධ ලබාදෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව වෙනත් රෝගවලට ඖෂධ ලබාගෙන තිබෙනවා නම් ඒ නිසා අතුරු ආබාධ පවතීද යන්න සොයාබැලිය යුතුයි. වෙහෙස තත්ත්වය තිබෙනවා නම් එය හෘදය සම්බන්ධ තත්ත්වයක්ද රුධිරය අඩු වීම නිසා ඇතිවූ තත්වයක්ද යන්න පරීක්ෂා කර බැලිය යුතුයි. අවුරුදු 80ක් වුවත් සෙම නොමැතිව වෙහෙසක් දැනෙනවා නම් අනිවාර්යයෙන් එම පරීක්ෂණ කළ යුතුයි. කායික රෝග වෛද්‍යවරයකු හමුවී නියමිත පරීක්ෂණ කර අවශ්‍ය ප්‍රතිකාරවලට යොමුවන්න. 

උස ගල් බැමිවල ඇවිදින්න බෑ

28 හැවිරිදි මාගේ උස සහ බර පිළිවෙළින් 5’5ක් සහ 72KG වෙයි. මා හට අඩි බාගයක පමණ පළල සාමාන්‍ය උස් බැම්මක එක දිගට ඇවිදීමට අපහසුතාවක් ඇත. නියරවල එකදිගට ඇවිද යාමට නොහැකිය. උස ස්ථානවල දිගටම ඇවිදීමේදී අසමබරතාවක් ඇතිවෙයි. දෙපාවල ඇතුළු පැත්තේ වක්‍රයක් වෙනුවට කුඩා ප්‍රමාණයක් ඉදිරියට නෙරා ඇවිත් තිබේ. මා හට දැනගැනීමට අවශ්‍ය වන්නේ මෙය රෝගී තත්ත්වයක්ද? ප්‍රතිකාර කිරීමට අවශ්‍යද?

නෙරංජන් - පන්නිපිටිය  

උපදෙස:

පළමුව කිවයුතු වන්නේ ඔබ අවුරුදු 28ක තරුණයකු නම් වෙනත් කිසිදු අසනීපයක් නැතිනම් තනි කකුලෙන් වුණත් බැම්මක් උඩ ඇවිදින්න පුළුවන් වෙන්න ඕනෑ. ස්නායු දුර්වලතාවක්, මස්පිඬු හෝ පාදවල දුර්වලතාවක් තිබෙනවා නම් ඇවිදින්න පටන්ගත් කාලයේ සිටම රෝග ලක්ෂණ තිබිය යුතුයි. දුම්පානය කරන අයට තිබෙන ලක්ෂණයක් තමයි ටිකක් දුර ඇවිදිද්දී රිදුම්දීම. දුම්පානය කරනවාද නැද්ද ගැන සඳහනක් නොමැති නිසා ඒ ගැන නිගමනය අපහසුයි. මස්පිඬුවලට ගමන් කරන රුධිර නාල සිර වී රුධිර ගමනාගමනය අඩු වූ විට වේදනාවක් ඇති විය හැකියි. ස්නායුගත රෝගයක් හෝ ශරීරයේ සමතුලිතතාව පිළිබඳ ගැටලුවක් නම් මුල් කාලයේ සිටම තිබිය යුතුයි.  

ඔබේ ප්‍රශ්න  යොමු කරන්න
කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරැ පළවිය යුතු නමද සඳහන් කරන්න.
සංස්කාරක
විශේෂඥ වෛද්‍ය හමුව 
''දොස්තරට කියන්න''
දේශය පුවත්පත,
නො: 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02

 

♦ සසංක චලන ගිම්හාන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00