2022 අප්‍රේල් 10 වන ඉරිදා

එදා ඇසුණු - අද නෑසෙන අවුරුදු කවි - ගී

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 2163

දැනට දශක කිහිපයකට පෙර 1980- 90 දශකවල අප සිත් සිංහල අවුරුදු උදාව ගැන අවදි වුණේ රේඩියෝවේ යන අවුරුදු ගීතවලිනි. පසුව එම අවුරුදු පණිවුඩය දැනුම් දුන්නේ රූපවාහිනියේ විකාශය වන අවුරුදු ගීතවලිනි. නමුත් පසුව ගුවන්විදුලියේ මෙන්ම රූපවාහිනියේ ද කොන්ත්‍රාත්තුව බාරගත්තේ දැන්වීම්කරුවන් විසිනි. අද මුලින්ම කොහෝ හඬ ඇසෙන්නේ අවුරුදු සේල් ගැන ප්‍රචාරය වන දැන්වීම්වලිනි. මේ කාලේ නම් ගෑස්, තෙල් ඇතුළු බොහෝ දේ ලබාගැනීමට පෝලිම්වල සිටින ජනතාවට අවුරුදු ''සේල්'' ඇහෙන විටම ''මල පනින'' බව සැබෑවකි.

සිංහල ගීත සාහිත්‍යයක් බිහිවීමට පෙර පටන්ම අවුරුද්ද ගැන ලියවුණු කවි ගැන අපට අසන්නට ලැබේ. 1891 දී පමණ ටී. බස්තියන් ද සිල්වා රචනා කරන ලද අවුරුදු මාලය නම් කවි පොත ගීතවලට ආසන්න රචනාවලින් යුක්තය. එහි කවි 79ක් අඩංගුය. බස්තියන් පවසන්නේ සුද්දන්ගේ කාලෙ සංකර වූ අවුරුද්දක් ගැනය.  

“සාදුකාර දෙති සුදනෝ කුසල්කර
සූදු කෙළිති පමණක් තරුණෝ අතර
වාද වෙලා උනුනුන් අඩ දබර කර
සූදු කෙළිති තව තැන්වල දනෝ මැර”

අවුරුදු ප්‍රීතිය සැමරීමට සුද්දන්ගේ බලපෑමෙන් පැමිණි මත්පැන් ගැන ඔහු අවුරුදු මාලයේ උපහාසයෙන් සඳහන් කරයි. 

“පොටර් බීර විස්කිද රොන් අරක්කු ද
වාකර බීම බ්‍රුන්ඩි ද මත් වෙනා තද
කෑදර වෙලා බීමට තරුණයන් සොඳ
ආදරයෙන් අරන් යති වරුසේ ගැනද”

සිංහල අවුරුද්ද ළඟාවෙද්දී ගැමි පරිසරය වෙනස් වෙයි. අද නම් ඒ වෙනස දැකගැනීමටවත් වැඩි දෙනකුට වෙලාවක් නැත. පරිසරය සමඟ වෙලී පැවතුණු සිද්ධියක් වන අවුරුද්ද 1950 දශකයෙන් පසුව අපගේ ගීත රචකයන්ට අපූරු තේමාවක් සැපයීය. මේ නිසා ගුවන්විදුලි සරල ගීත වශයෙන් අවුරුද්ද තේමා කරගත් ගීත රාශියක් බිහි විය. ඒවා සෑම අවුරුද්දකම ශ්‍රාවක සිත් අවුරුදු මිහිරෙන් උද්දාමයට පත් කරවීමට සමත් විය.

ඒ ගීත අතරින් අප තුළ අපූරු සෞන්දර්ය හැඟීමක් උපදින ගීයක් අවුරුදු කාලයට අද පවා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකාවල ප්‍රචාරය වේ. අවුරුද්දට පමණක් මතක් වන මේ ගායකයා සංගීත ගුරුවරයෙක් වන පියසිරි විජේරත්නය. 1970 දශකයේ නිර්මාණය වුණු හෙන්රි තෙන්නකෝන් ලියූ එම ගීතය මනා රෑපකාර්ථවත් භාෂාවක් භාවිත කරමින් ගම පිළිබඳ වදන් චිත්‍රයක් මවයි.

“බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද 
ඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද
නැද්ද කනෙයියනෙ රොන් ඉසිලා

බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ මත ඒ මල් ඉහිලා
පාර වටේ ඇති සේරම ගස්
සරුසාර හැඩයි ගෙඩි හට ගැනිලා

වසන්තයේ සිදුවන ගමේ පාරිසරික වෙනස්කම් රුසක් මේ ගුවන්විදුලි සරල ගීයෙන් කදිමට අපට කියා දෙයි. ඉද්ද පනා මල් පිපෙන දසතින් කෝකිල කූජන නැගෙන සොබාදහම බක්මහ අසිරිය සමඟින් එකම මංගල්‍යයක් බවට පත්ව ඇත. කජු ගස්වල මල් පිපී දසතම සුගන්ධය පතුරයි. එරබදු මල් ගස් අලුත් ඇඳුම් ඇඟලා ගත් සේ මලින් බරව පවතී.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ කුසුම් පිපේ අතු පතරේ ගීතය 1960 දශකයේ නිර්මාණය වූවකි. බක්මහ වසන්තයේ කොවුලාගේ නාදය, පිපිණු මල් දනවන හැඟුම් මිහිරිය.

කුසුම් පිපේ අතු පතරේ
සතර දිගන්තේ
කෝකිල කූජනය නැ‍ඟේ
මදුර වසන්තේ

එම්. මස්තාන් අධ්‍යක්ෂණය කළ එම්.කේ. රොක්සාමි සංගීතය නිර්මාණය කළ ධීවරයෝ චිත්‍රපටය තිරගත වූයේ 1964 අප්‍රේල් මස 10 දාය. එම චිත්‍රපටයට ඇතුළත් වූ පහත සඳහන් ගීතය අදටත් අවුරුද්ද මතක් කරවන මිහිරි ගීතයකි. කරුණාරත්න අබේසේකර පද රචනා කළ එය ගායනා කළේ අල්හාජ් මොහිදීන් බෙග්, ලතා වල්පොල සහ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා විසිනි. 

ඇවිල්ල ඇවිල්ලා සිංහල
අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු
රන් ඔංචිල්ලා
කොවුලා බටලී පිඹිනව
කොට්ටෝරුව බෙර ගහනව
ලේන ගසයි කයිතාලම
අවිච්චියා එහි නටනවා


කැවුම් කොකිස් මුං අළුවා
කිරිබත්වල රස බැලුවා
ගමේ ළඳුන් කොමළ පපා
උදේ රබානක් පැලුවා

1981 දී තිරගත වුණු චංචල රේඛා චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය විය. එහි මිල්ටන් මල්ලවආරච්චි සමඟ නීලා වික්‍රමසිංහ ගායනා කළ අජන්තා රණසිංහ ලියූ අවුරුද්ද සිහිපත් කරවන මේ ගීතය සංගීතවත් කළේ සරත් දසනායකයි. 

“මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹපන් කොහෝ කොහෝ”

සුනිල් ශාන්ත සංගීතවේදියාණන් ගැයූ සිංහල අවුරුද්දේ- මංගල ගී සද්දේ 1960 දශකයේ අසන්නට ලැබුණු ජනප්‍රිය අවුරුදු ගුවන්විදුලි ගීතයකි. ආචාර්ය අමරදේව සංගීතය නිර්මාණය කරමින් ගැයූ මහගමසේකර විසින් රචනා කළ 1960 දශකයේ ඉතා ජනප්‍රිය වූ මධුර ගීතයක් ලෙස නීල කොබෙයි රූන ඇදී ගීතය සඳහන් කළ හැකිය. පරිසරය සමඟ අවුරුද්ද බද්ධ වී ඇති අන්දම දැක්වෙන විශිෂ්ඨ පද රචනාවක් එහි අඩංගුය. 

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරව් පේළි ගැසීල
නව අවුරුදු ගීත ගයනවා
වක්කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කල බලයේ
ඒ තාලෙට වරල් සලාලා
නව අවුරුදු නැටුම් නටනවා

ගුවන්විදුලිය විශේෂ අවුරුදු වැඩසටහන් සඳහා මහගමසේකර විසින් ලියන ලද මෙවැනි අගනා ගීත අද නම් ඇසීමට ලැබෙන්නේ නැත.

වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ
වසන්ත සමයේ සුරංගනාවියනේ
සිරියාවෙන් කෙත් වතු පිටි සරු කර
මිටියාවත් කඳු හෙල් දෙණි පහු කර
සන්තෝසය ගෙන ගෙට පතුරා හැර
සෞභාග්‍යය සව්සතට උදා කර
සේද වලා සුදු පිරුවට පටලා
ලා දලු වල් විදුනාවට ලෙළවා

මහාචාර්ය සනත් නන්දසිරි හා විශාරද සුජාතා අත්තනායක විසින් ගැයූ ආචාර්ය අජන්තා රණසිංහ පද රචනා කළ පහත සඳහන් ගීතය ද 1970- 80 දශකවල අවුරුද්ද මතක කරවන ජනප්‍රිය ගීතයකි. 

කොහෝ කොහෝ 
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ 
ඔබට දැනෙනවදෝ
කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා

අදටත් ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාලගේ ගීත ද අවුරුදු කාලෙට අමතක කළ නොහැකිය. ඔහු 1970 දශකයේ දී ගායනා කළ චිත්‍රානන්ද අබේසේකර පද ලියූ මේ ගීතය අදත් සමහර ගුවන්විදුලි සේවාවලින් අවුරුදු කාලෙට අපට ඇසේ. වචන හරඹයකින් අවුරුද්ද ගැන පවසන මෙහි විශිෂ්ඨ පද රචනාවක් දැකගත නොහැකි වුණත් මේ ගීතය නම් අදත් ජනප්‍රියව පවතී.

කිරි ඉතිරේවා නව වසරේ
සාමයේ ගීතයේ රුව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ

දුක් දොම්නස නැති වුණා
නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්‍රීති වන්න
මතුකරමින් මල් හිනා

ඩබ්.ඒ. අබේසිංහ කවියා සහ ගී පද රචකයා විසින් ලියන ලද මේ අවුරුදු ළමා ගීතය වසන්ත අවුරුදු උදාව ගැන ළමා සිත්වල අපූරු චිත්‍රයක් මැවීමට සමත්ය. 

අඹ රඹුටන් ජම්බු ඉදෙන
අවුරුදු කාලේ
ජම නාරන් දොඩම් පැහෙන
අවුරුදු කාලේ
දොඹ ගස් යට මල් වැටිලා
අවුරුදු කාලේ
අපේ ගමට ඔන්න ඇවිත්
අවුරුදු කාලේ

දැන් නම් අවුරුදු ගීත නිර්මාණය වන්නේ ඉතා කලාතුරකිනි. අද මුදලම මුල් තැන ලා සලකන සමාජයක අවුරුදු ගීතවල වෙළෙඳ වටිනාකමක් නැත. එවන් කාලයක් ලයනල් රන්වල සංගීතවේදියා විසින් ගම අවුලඤ්ඤම් ජන ගී ආරේ සමුච්චයෙන් අවුරුදු ගීත පෙරළියක් ඇති කළේ 2000 වසර කාලයේදීය. එම ගීත අදත් අපට ගුවන්විදුලියෙන් මෙන්ම රෑපවාහිනී නාලිකාවල ද අවුරුදු කාලෙට අසන්නට ලැබේ. ගම අවුලඤඤම්, කිරිවදිනා ගොයම, කජු වාරේ, වන්නම් සවුදම් ආදී ඒ ගීත අතරින් ජයතිස්ස බොරලුගොඩ විරචිත ලයනල් රන්වලයන් සංගීතය සපයා ගායනා කළ මෙම ගීතය ඉතා ජනප්‍රිය වී ඇත.

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි 

මෑත අවුරුදු කිහිපයකට පෙර නිර්මාණය වුණු එකම අවුරුදු ගීතය වන්නේ ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහ ගැයූ රත්න ශ්‍රී විජේසිංහ ලියූ ලන්දේ උකුල උඩ ගීතයයි.

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා...
අන්න හිනා වෙනවා

නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
රත්තරන් පාට කමතට ඉහළින්
කන්ද උඩින් එන ගෝමරියේ
දැන් ගමට වරෙන් 

සුනිල් සරත් පෙරේරා, මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර ඇහැළියගොඩ, රත්න ශ්‍රී විජේසිංහ විශිෂ්ඨ අවුරුදු ගීත සාහිත්‍යයක් උදෙසා පසුගිය කාලයේ නිර්මාණ එක් කළහ.  නමුත් ඒ ගීත අතරින් වැඩි සංඛ්‍යාවක් අද අසන්නට නම් ලැබෙන්නේ නැත. සුභාවිත ගීතය වෙනුවට වෙනත් ගීත රූපවාහිනිය මෙන්ම ගුවන්විදුලිය ද ආක්‍රමණය කිරීම එයට හේතුවයි. මේ නිසා පසුගිය අවුරුදු කිහිපයේ අවුරුදු ගීත නිර්මාණය වුණේ ද නැත. මේ නිසා අවුරුදු කාලෙ දී පැරණි එකම ගීතය පැයක් තුළ කිහිප වරක්ම ප්‍රචාරය කිරීමට ගුවන්විදුලි එෆ්.එම් නාලිකාවලට සිදුව ඇත. 

 කුසුම්සිරි විජයවර්ධන