
නාට්‍යකරුවකු, කෙටිකතා සහ නවකතා ලේඛකයකු මෙන්ම තිර පිටපත් රචකයකු ලෙසද නමක් දිනූ කපිල කුමාර කාලිංගගේ අලුත්ම කෘතිය විදෙස් කවි උයන අගහස් ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් විය. ඔහු ලියූ පියැසි කවුළුව නවකතාවට 2012 දී විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමි වූ අතර අදිසි නදිය නවකතාව 2019දී ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය. පසුගිය ජනමාධ්‍ය සම්මාන උළෙලේදී 2020 විශිෂ්ටතම තීරු ලිපියට හිමි සම්මානය හිමි වුණේ ඔහු දේශයට ලියන හීසැරය තීරු ලිපියටයි.
• විදෙස් කවි උයන කෘතිය ගැන හඳුන්වාදීමක් කළහොත්?
ලොව පුරා විසූ සහ වෙසෙන, අපට ආගන්තුක කවි කිවිඳියන් හඳුනා ගැනීමට, අන්තර්ජාලය තුළින් විශාල අවකාශයක් බිහිවුණා. දිනකට කවි දහස් ගණනක් සයිබර් සාහිත්‍යයට එක් වෙනවා. අන්තර්ජාලය තුළින් මගේ විශේෂ අවධානය දිනාගත්, කවි කිවිඳියන් 30කට වැඩි පිරිසක් සහ කවි ලොව නව ප්‍රවණතා, හඳුන්වා දීමයි මගේ අරමුණ වූයේ.
• නිර්මාණශීලී ලේඛනයට නැඹුරු ඔබ කවි පරිවර්තනයට පෙළඹුණේ ඇයි?
මා මෙරට කාව්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරී හෝ ප්‍රකට කවියෙකු නොවෙයි. කලකට ඉහත &දුඹුරු වලාකුළු* (2009) නමින් පාරිසරික කවි එකතුවක් පළකර තිබුණද, ඉන්පසු කාව්‍යකරණයෙහි උනන්දු වූයේ නැහැ. එහෙත් මා නිතර දෙස්, විදෙස් කවි කියවන්නෙක්. ඉන් ලද ආස්වාදය හා දැනුම, මේ ලිපි තුළින් පිළිබිඹු කරනවා.
• මෙම කෘතියට ලැබුණු ප්‍රතිචාර ගැන කිව්වොත්?
සාහිත්‍යයික තීරු ලිපියක් වශයෙන් ලියූ ලිපි පෙළකට ඇතුළත් වූ කවිය පිළිබඳ ලිපි අතුරින් තෝරාගෙන යාවත්කාලීන කළ ලිපි 30ක් මේ කෘතියට අයත් වෙනවා. ඒ ලිපි පළවන කාලයේ සිටම පාඨකයින්ගෙන් මෙරට කවි කිවිඳියන්ගෙන් ලද ඉල්ලීම මතයි මා මෙය මුද්‍රණයට පෙළඹුණේ. ඒ පිළිබඳව ලැබෙන ප්‍රතිචාර මා දිරිගන්වන සුළුයි. නාඳුනන කවීන් රුසක් හඳුන්වාදීම ගැන මෙරට ප්‍රවීණ කවීන් පවා මා පැසසුමට ලක් කළා. කොළඹ මහජන පුස්තකාලයේ පාඨක සමාජය, මෙම කෘතිය හඳුන්වාදීමට සූම් තාක්ෂණික කතිකාවක්ද පැවැත්වූවා.
• අන්තර්ජාලයේ බහුලව ජාත්‍යන්තර කාව්‍ය නිර්මාණ පළවෙනවා නේද?
ඔව්. අන්තර්ජාලයේ ඇස ගැසෙන බොහෝ කවි කියැවීම කාලය කා දැමීමක්. හොඳ කවි හා කවීන් මෙන්ම විවිධ නව ප්‍රවණතා හඳුනා ගැනීමට කිසියම් දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි. ඇත්තෙන්ම මගේ අවධානය දිනා ගන්නේ සයිබර් කවි නොව අන්තර්ජාලයේ පළවන කවීන් හා කව් එකතු පිළිබඳ ලිපි හා විචාර. මා අදාළ කවියා ලුහුබැඳ යන්නේ ඉන්පසුව. අන්තර්ජාල දොරටුව යොදාගත යුත්තේ ලෝකයේ පළවන උසස් කාව්‍ය සාහිත්‍යය සොයා යාමටයි. ෆේස්බුක් කවිය තුළ උසස් කවි හමුවන්නේ කලාතුරකින්. එය සමාන වන්නේ පුවත්පත් කවි පිටුවලටයි.
• ඔබ අපේ කවි හා ජාත්‍යන්තර කවි සැසඳුවොත්?
අපේ කවි, වෙනත් රටවල කවි සමඟ සංසන්දනයට යාම අසාධාරණයි. විදෙස් කවියක් ගැඹුරින් විමසා බැලීමට නම්, ප්‍රමාණවත් සන්දර්භ අධ්‍යයනයක් අවශ්‍යයි. කවියාගේ ජීවිතය ඔහුගේ දෘෂ්ටිය, ඔහුගේ සමාජ-දේශපාලන පසුබිම, ඔහු ජීවත් වූ යුගය, ඔහුගේ භාෂාව, සම්ප්‍රදාය හා ප්‍රවණතා යනාදිය ගැන අප දැන සිටීම වැදගත්. කවියක් බිහිවන්නේ එම පසුබිම තුළින්.
මා මේ කියන කරුණට නිදසුන් වශයෙන් ඉරානයේ ෆොරෝ ෆොරොක්සාද් හෝ දකුණු ඉන්දියාවේ මීනා කන්දසාමි, පලස්තීනයේ මොහොමඩ් ඩාවින් වැනි කවීන් පිළිබඳව &විදෙස් කවි උයනේ* ඇති ලිපි දැක්විය හැකියි. කවීන් වශයෙන් ඔවුන්ගේ හෘද ස්පන්දනය සමාන වුවත්, දේශපාලනික හා සංස්කෘතික පසුතලය එකිනෙකට වෙනස්.
මගේ පොතේ පිදුමේම සඳහන් වන අන්දමට අප ජීවත්වන්නේ, කවි නොකියවන ජනතාවක් වෙසෙන සමාජයක. කවිය බලෙන් ජනගත කළ නොහැකියි. දැනට කවිය පවතින්නේ, කවි ලියන දෙතුන් සීයක පිරිස අතරේම පමණයි. සයිබර් අවකාශයෙන්ද කවියේ පණනළ රුකෙන්නට, යම් සහයෝගයක් ලැබෙනවා. එහෙත් එය කවියේ ප්‍රගතිය සඳහා ප්‍රමාණවත් නැහැ.
• නවක කවීන්ගේ නිර්මාණ ගැන ඔබේ අදහස?
නවක සිංහල කවීන්, ස්වෝත්සාහයෙන් පළකරන කවි එකතු තුළ උසස් නිර්මාණ දෙක තුනක් හෝ දක්නට ලැබීම සතුටට කරුණක්. ප්‍රවීණ කවීන්ගේ නිර්මාණ අතර ජාත්‍යන්තර තලයේ තැබිය හැකි විශිෂ්ට නිර්මාණ තිබෙනවා. එහෙත් අවාසනාවකට මෙන් ඒ කවි මේ දූපතේ සීමාවෙන් පිටතට යන්නේ නැහැ.
භාෂාව හා සාහිත්‍යය පිළිබඳව දැනුමක් හෝ අගයක් නැති යූ ටියුබ් රසික සමාජයකට කවියෙන් ඇති පලක් නෑ. එවැනි පරිහානීය සමාජයකදී කවිය එක්ටැමක හුදෙකලා කළ උන්මාද චිත්‍රාවක්. එක්ටැම පාමුල දීඝගාමිණීලා පිරිසක් රුක සිටියත් ඔවුන්ට අශ්වයෙක් තබා අත් කරත්තයක්වත් නැහැ.
කුසුම්සිරි