
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර 26 හැවිරිදි සිසුවෙක් පහුගිය දිනෙක සියදිවි නසාගත්තා. පසුගියදා පැවති අවසන් වසර විභාගයට පෙනී නොසිටි මෙම ශිෂ්‍යයා, තමාගේ මරණයට කිසිවෙක් වග නොකිය යුතු බවත් පවසා තිබුණ. පීඩනය දරාගත නොහැකි නිසා මෙම තීරණය ගත් බව ඔහු පවසා තිබුණ. තරුණ තරුණියන්ගේ සිය දිවි නසා ගැනීම සමාජයට ප්‍රවෘත්ති නොවිය යුතුයි.
ආවොතින් යා යුතුය. නොගොසින් යළි එන්නට බැරිය.
- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
එහෙත් අප යා යුත්තේ පරාජිත මිනිසුන් ලෙස නොවේ. පරවෙන මලක් ගාණේ ගසක් නවමු මලකට පිපෙන්නට ඉඩ හරියි.... මහා පොළොව අකම්පාව මහා වැසි, ඉඩෝර සියල්ල දරාගෙන ලෝකයේ පැවැත්ම උදෙසා ජීවනය දෙයි.... කේඩෑරී වී යන ගස් අලුත් දලු පුබුදවමින් යළි දළුලයි.... එසේ නම් මිනිසුන් වූ ඔබට ඇයි බැරි ඕනෑම අහිමිවීමක් තවත් හිමිකමක මාර්ගය බවට පත් කරගන්න. ඕනෑම දුකක් වේදනාවක් කලකිරීමක් පීඩනයක් සන්තුෂ්ඨියක පදනමක් බවට පත් කරගන්න... අනාදරයෙන් ජීවිතය දෙස යොමන නෙත් ආදරයෙන් පුරවගෙන ජීවිතය දෙස බලන්න. යථාර්ථවාදීව ජීවිතය පිළිගන්න. මරණයට නොව ජීවිතයට අත වනන්න ඇයි ඔබට බැරි.
ඉංජිනේරු ශිෂ්‍යයාට දිවි නසාගන්නට තරම් මෙම පීඩනය ඇතිවුණේ කොහොමද? කොවිඩ් වසංගත කාලය තුළත් පශ්චාත් කොවිඩ් සමය තුළත් අධ්‍යාපනයේ ඇතිවුණ වෙනස්කම්ද ඔහුගේ මෙම පීඩනයට බලපාන්නට ඇති. දුරස්ථ අධ්‍යාපනය සමඟ සමාජ ජීවිතයෙන් බැහැරවීමත් දරාගත නොහැකි වන්නට ඇති. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් ආදායමක් නොමැති ඔහුට දරාගන්නට නොහැකි වන්නට ඇති.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, සෑම වසරකම පුද්ගලයින් 8,00,000 කට වැඩි පිරිසක් සියදිවි නසාගැනීම් හේතුවෙන් මිය යනවා. වැඩි පිරිසක් වයස අවුරුදු 15 සිට 29 දක්වා පුද්ගලයින්. මේ තත්ත්වය වැළැක්වීම සඳහා රජය, සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්, අධ්‍යාපන ආයතන, පුහුණු ආයතන, සාම්ප්‍රදායික සහ සමාජ මාධ්‍ය, සමාජ විද්‍යාඥයන්, රාජ්‍ය නොවන සංවිධාන, පොලිසිය, මනෝ වෛද්‍යවරුන්, මනෝ විද්‍යාඥයන්, මනෝ චිකිත්සකයින්, මනෝඋපදේශකයින්, වෙනත් විශේෂඥ වෛද්‍යවරුන්, දෙමාපියන්, මිතුරන් සහ සමාජය සම්බන්ධ බහුවිධ ප්‍රවේශයක්, දායකත්වයක් අවශ්‍ය වෙනවා.
සියදිවි නසාගැනීමේ අවදානමක් ඇත්තේ කවුද?
මීට පෙර සියදිවි නසා ගැනීමට තැත් කළ අය, මියයාමට කැමැත්ත පළ කළ අය හෝ තමන්ටම හානිකර ගන්නා හැසිරීම් පෙන්නුම් කළ අය, ප්‍රේම සබඳතා කඩවූ අය, සම්බන්ධතා දෙදරාගිය අය, මානසික අවපීඩනය, කාංසාව, භින්නෝන්මාදය හෝ බයිපෝල අක්‍රමතා වැනි මානසික රෝගවලින් පෙළෙන යෞවනයන් හෝ දරුවන්, මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්, ලිංගික හා ශාරීරික හිංසනයට, හිරිහැරයට සහ සයිබර් හිරිහැරවලට ලක්වූ අය. නිල් තල්මසුන් අභියෝගය &Blue Whale Challenge* වැනි ප්‍රචණ්ඩත්වය ඇතුළත් භයානක ජංගම ක්‍රීඩා වලට ඇබ්බැහි වූ අය, දිගුකාලීන වේදනාව හෝ නිදන්ගත රෝගවලින් පීඩා විඳින අය, වෙන් වූ දෙමාපියන්ගේ දරුවන්, දෙමාපියන්ගේ මරණය, බිඳුණු පවුල් සහ කැපකරු නිවාසවල ජීවත්වන අය, අඩු මිතුරන්, අඩු කලකිරීම් ඉවසීම, උදාසීන හෝ සමාජ විරෝධී ආකල්ප සහ ඉලක්ක තැබීමේදී අඩු නම්‍යශීලී බව හෝ ගැලපීමේ හැකියාව සහිත අය.
විභාගයකට සූදානම් වන සිසුන් සියදිවි නසාගැනීම් විය හැක්කේ ඇයි?
ඔවුන් හුදකලාවේ, ඔවුන්ගේ පවුල්වලින් සහ ආධාරක පද්ධතිවලින් ඈත්වී සිටිනවිට දුකක් දැනෙනවා. කාලසටහන් ඉතා කාර්යබහුල වනවිට අන් අය සමඟ ඔවුන්ගේ හැඟීම් බෙදා ගැනීමට කාලය සොයාගන්නට අපහසු වෙනවා. බොහෝ සිසුන් කුඩා, දුර්වල වාතාශ්‍රය සහිත කාමරවල රුඳී සිටින අතර බිත්ති හතර තුළ හුදකලාව ඔවුන්ට මානසික ආතතියක්, මානසික පීඩනයක් ඇති කරනවා.
සියදිවි නසාගැනීමේ අදහස් ප්‍රකාශ කිරීම, මරණය ගැන කතා කිරීම, අනාගතය ගැන බලාපොරොත්තුවක් නොදැක්වීම, දුරස්ව සිටීම, සන්නිවේදනය අඩුවීම, සියදිවි නසාගැනීම් වීඩියෝ නැරඹීම හෝ ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් සියදිවි නසා ගැනීම් පිළිබඳ පොත්පත් කියවීම, දුකෙන් හෝ මානසික අවපීඩනයෙන් සිටීම වැනි අනතුරු ඇඟවීමේ සලකුණු දක්නට ලැබුණහොත් මනෝ චිකිත්සකයෙකුගේ, මනෝ උපදේශකයෙකුගේ, මනෝ වෛද්‍යවරයෙකුගේ සහය ලබාගන්නා තෙක් ඔවුන් නොසලකා නොහැරිය යුතුයි. තනි නොකළ යුතුයි. ඔවුන් ගැන අධි සුපරීක්ෂාකාරී බව වැදගත්.
දෙමාපියන්ට, ඥාතීන්ට, හිත මිතුරන්ට කළ හැකි දේවල් සමූහයක්ද තියෙනවා. අසාර්ථක වීම් සහ පසුබෑම් සඳහා ඔබේ දරුවා සූදානම් කරන්න. ජීවත්වීමේ වටිනාකම ප්‍රවර්ධනය කරන්න. අසාර්ථක වීම හමුවේ තවත් බොහෝ විකල්ප, ධනාත්මක ක්‍රියාකාරකම් සමඟ ජීවිතය තවමත් සුන්දර බවත් ඔවුන්ට උගන්වන්න.
ඔබගේ මිතුරා මානසික ආතතියෙන්, පීඩනයෙන් සිටින්නේ නම් ඔබට හැඟෙන ආකාරය සහ ඔබ ආතතිය සමඟ කටයුතු කරන ආකාරය ගැන නිතරම ඔහු හෝ ඇය සමඟ සාකච්ඡා කරන්න. නිතර අන් අයට උපකාර කරන්න. අන් අයට කරන උපකාරය ඔබටම උපකාර කිරීමක්. ඔබට අවශ්‍ය වූ විට එය නිසැකවම ආපසු ඔබ වෙත හැරෙනවා. මේවා තමා විශ්ව නීති කියන්නෙ.
නිතිපතා සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. මේක වර්තමානයේ කරන්නට තරමක් අපහසු දෙයක්. ඒත් ඔබට හැකි පමණින් සෞඛ්‍ය සම්බන්න ආහාර ගන්න. ශාරීරික ව්‍යායාම සහ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට අන්‍යයන් පුරුදු කර දිරිමත් කරන්න. ඔබේ නේවාසික මිතුරන්ගේ හෝ දෙමාපියන්ගේ, භාරකරුවන්ගේ දුරකථන අංක සටහන් කරගන්න. අවශ්‍ය නම් වහාම අමතන්න.
අපි සැවොම ඉදිරියට පෙරට පැමිණ තරුණ ජීවිත බේරා ගත යුතුයි. කෙනෙක් සිය දිවි නසා ගැනීමේ තීරණයට එළඹෙන්නේ එය විසඳුමක් ලෙස දැකීමේ මානසිකත්වයක් තුළ නම් එය පළායාමක් මිසක් කිසිඳු මොහොතක විසඳුමක් හෝ විකල්පයක් නෙවෙයි. එහෙත් දැඩි මානසික කම්පනයකට වෙහෙසකර බවකට පීඩනයකට ලක් වී සිටින මොහොතක ජීවිතය අත්හැරීම තරම් සහනයක් තවත් නැතැයි සිතෙන්න පුළුවන්.
එහෙත් ජීවිතය සොයා යා හැක්කේ ජීවත් වීම තුළ මිසක් ජීවිතය අත්හැරීම තුළ නෙවෙයි. අද හුඟාක් දරුවන් ළමා වියේ සිටම ජීවත් වෙන්නෙ කෘත්‍රිම පසුබිමක... කෙළි සෙල්ලම් කරන, ගහකොළ සතා සීපාවා සොබාදහම සමඟ ජීවිතය බෙදා හදාගන්න වින්දනීය ගනුදෙනුවක් හුඟාක් අයට නැහැ. කවි කතන්දර රසාස්වාද ඇසුරෙන් ගොඩ නැගෙන චින්තනමය පරිකල්පනයක්, ස්ව දර්ශනයක්, ජීවිතය සංශ්ලේෂණාත්මකව සහ විශ්ලේෂණාත්මකව දැකීමේ සියුම් ඉවසිලිවන්ත මානසිකත්වයක් හුඟක් අයට නැහැ. ලඝු සීමා මායිම් තුළ පෙළපොත් මානසිකත්වයක හැදී වැඩී සරසවියට එන බහුතර දරුවන් තුළ ලෝකය ජීවිතය සහ ජීවන සත්තාවන් විෂයෙහි ඇති දැක්ම අවබෝධය ඉතා පටුයි.
ජීවිතයේ බොහෝ ප්‍රශ්න හමුවේ විසඳුම් විකල්ප වෙනුවට මරණය සොයන මිනිසුන් බිහි වෙන්නෙ ඒ අත්දැකීම් විරල ජීවන පසුබිමේ. අත්දැකීම් තරම් ජීවිතය ගැඹුරින් උගන්වන තවත් තක්සලාවක් නැහැ. මරණය ඔබේ අවශ්‍යතාවය නම් එය සොයා යා හැකි මං බොහෝමයි. එහෙත් අවශ්‍යතාවය විය යුත්තේ මරණය නොව ජීවිතයයි. දුෂ්කර වෙහෙසකර ව්‍යායාමයක් විය හැකිය එය වරෙක. එහෙත් අවශ්‍ය වන්නෙ ජීවිතයයි.
එනමුත් කටු අත්තක් මත සුපිපෙන එකම එක මල් පොහොට්ටුව වුණත් කොයිතරම් වටිනාකමක් දරනවද? එහෙයින් ඔබ කළ යුත්තේ ජීවිතය නැමැති කටු අත්තේ මල් පුබුදුවාලීමයි. සංසාරය කියන්නෙ මහා පුස්තකයක් නම් මේ භවය, ඔබ ලද ජීවිතය කියන්නෙ ඒ මහා පුස්තකයේ එක් පරිච්ඡේදයක්. වියරණ නිවැරදිව, වාග් අලංකාර, කාව්‍යෝක්ති සමඟ සොඳුරු පෙරවදනක් ඔබට ඒ පරිච්ඡේදය වර්ණවත් කරනු පිණිස දිනෙක ලිවිය හැකිනම් ජීවිතය යනු කොතරම් මනරම් අත්දැකීමක් දැයි ඔබට පසක් වෙනු ඇත.