
මේ උදාවූයේ සිංහල හින්දු අලුත් අවුරුදු මාසයයි. වෙනත් වසරවලදී මේ වනවිටත් බොහෝ නිවෙස්වල දක්නට ලැබෙන කලඑළිවීම් මේ වෙද්දීත් දකින්නට නැත. දිනෙන් දින ආර්ථික අර්බුදය උග්‍ර වෙද්දී අවුරුදු සැමරීම කෙසේ වෙතත් තුන්වේල කා නිදහසේ ජීවත් වෙන්නට හැකි වාතාවරණයක් නැති තරමට ජනතාව ජීවත්වෙන්නේ දැඩි පීඩාකාරී තත්ත්වයකය. නාගරික, ජනාකීර්ණ ප්‍රදේශවල වෙන වසරවලදී දක්නට ලැබෙන අවුරුදු සිරිය තවමත් දක්නට නැත. ගිය වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනදා මෙන් සැමරුවේ නැති වුවද මුව ආවරණ පැළඳ වුවද මේ කාලය වනවිටත් ජනතාව ඇඳුම් පැළඳුම් ගැනීමට, තෑගි බෝග ගැනීමට නගරවලට පැමිණියහ. නමුත් එවැනි දුෂ්කර වසංගත සමයේදී තිබූ උනන්දුවක් අද ජනතාවට නැත. බොහෝ සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ මේ පවතින තත්ත්වය හමුවේ විශාල කලකිරීමකි.
මේ පාර අපිට බිස්නස් නම් ගොඩාක් අඩුයි. මිනිස්සු ගාව සල්ලි නැහැ. මේ වෙනකොට ලාම්පුතෙල් ප්රශ්නය, පිටි ප්රශ්නය, තෙල් ප්රශ්නය, ගෑස් ප්රශ්නය එක්ක මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ. අපේ කාලේ ඉවරයි. ඉදිරියේදී මේ දරුවන්ගේ කාලය මේ රටේ මේ දේශපාලනඥයෝ ටික එකතුවෙලා විනාශ කරල දැම්මා. දැන් මේ රට යන විදිහ හරි අපරාධයක්. මේකෙන් වුණේ මේ රටේ කොල්ලෝ ටික නරක වැඩට පුරුදු කරපු එක විතරයි. දැන් කාලේ කොළඹ කොල්ලෝ වැඩිපුරම අයිස් බොන්නේ.පොලීසිය, සුරාබදු, නාකොටික් මේවා අල්ලනව කිව්වට ඒවාගේ අඩුවක් නැහැ. පොලීසියේ සමහරු පවා මේවා විකුණනවා. දැන් ඉන්න කොල්ලෝ නන්නත්තාර වෙලයි ඉන්නේ. ඇලුමිනියම් පෙට්ටියක් තියන්න බැහැ. ඒකත් හොරෙන් අරන් ගිහින් විකුණලා අයිස් ගන්නවා. අද මේ පිටකොටුවේ මේ අව්වට පිච්චි පිච්චි ඉන්න අපිට අඩුම ගානේ තේ එකක් බොන්නවත් නැහැ. ඒකත් රුපියල් සීයයි. සිංහල අවුරුද්දට පස්සේ අපේ මුස්ලිම් අවුරුද්ද එනවා. මේ යන විදිහට කඩකාරයොන්ට විකුණන්නට බඩු නැහැ. මහින්ද මහත්තයා, චන්ද්‍රිකා මැඩම්, මෛත්‍රී මහත්තයා මේ රටේ මිනිස්සුන්ට කාලා බීලා නිදහසේ ජීවත්වෙන විදිහට කළා. දැන් ඔක්කොම ඉවරයි. යුද්ධයක් තිබුණු කාලෙත්, සුනාමි ආපු කාලෙත් මේ රටේ මිනිස්සු මේ තරම් පීඩාවක් වින්දේ නැහැ. ගිය අවුරුද්දේ කොවිඩ් කාලයේදීත් අපි බිස්නස් මීට වඩා කළා. දැන් අපි ණයවෙලා. මේක හරිම දුකක් හිතට දෙන කාලයක්. උදේ නැගිටිනකොට මොන මොනවාවල මිල ඉහළ යයිද කියල බයෙන් අපි දැන් ජීවත් වෙන්නේ.
අපට එසේ කිව්වේ ග්‍රෑන්ඩ්පාස් හි ෆාරුක් මහතාය.
මේ පවතින තත්ත්වය හමුවේ ජනතාව ජීවත්වන්නේ විශාල පීඩනයකිනි. පිටකොටුවට පිවිසෙන ජනතාව ඇස ගැටෙන ඇඳුමක පැළඳුමක මිල ඇසූ සැණින් එතනින් ඉවත්ව යන්නේ සියලුම දේවල්වල මිල ඉහළ යාම මෙන්ම තමන්ගේ පසුම්බියේ ඒ දේවල් ගැනීමට මුදල් නොමැතිකම නිසාවෙනි.
දැන්නම් අපිට ජීවත්වෙලා ඇති කියලත් හිතෙනවා. පුදුම දුකක් මේ අපි විඳින්නේ. මිනිස්සු බඩු ගන්න එනවා. ඒත් දැන් හැමදේම මිල වැඩියි. දවසින් දවස බඩු මිල ඉහළ යනවා. හැම අවුරුද්දෙම මම මෙතැන බඩු විකුණනවා. රෙදි වෙළෙඳාම දැන් අවුරුදු ගාණක් තිස්සේ මම කරන බිස්නස් එක. හැබැයි මේ තරම් බිස්නස් එපාකරපු කාලයක් මගේ ජීවිතේ නැහැ. ගිය පාර කොවිඩ් වුණත් මිනිස්සු බඩු ගන්න ආවා. කඩකාරයෝ බඩු තොග තියාගෙන දවසින් දවස ඒවා වැඩිකරලා තමයි අපිට දෙන්නේ. ලක්ෂ ගණනක සරොම් ඒ අය ගබඩා කරගෙන තව කන්ටේනරයක් ආවට පස්සේ අර තියාගත්තු සරොම්වලට අලුත් මිලක් තමයි අපිට දෙන්නේ. ඒකෙන් අපිට ලැබෙන ලාභය මදි. ඒත් ඉතින් මොනවා කරන්නද තියෙන විදිහට ජීවත් වෙනවා. මේක නම් මේ රටට හොඳ කාලයක් නෙමෙයි. දැන්නම් රටේ ඉඳලත් එපාවෙලයි තියෙන්නේ. යැයි මාලිගාවත්ත ප්‍රදේශයේ ජීවත්වන, පිටකොටුවේ සරොම් වෙළෙඳාමේ නිරත වන රෂීඩ් මහතා දේශයට පැවසීය.
පිටකොටුව ඇතුළු බොහෝ නගරාසන්න ප්‍රදේශවල ඇපල්, දොඩම් ඇතුළු පළතුරුවලට විශාල ඉල්ලුමක් තිබුණි. නමුත් පසුගියදා ඇපල් ඇතුව පළතුරුවලට පැනවූ බද්ද හේතුවෙන් ඇපල් වෙළෙඳාමට අත්වූ ඉරණම කනගාටුදායකය. පිටකොටුවේ තැන තැන ඇපල් විකුණූ වෙළෙඳුන් අද දක්නට නැත.
මම අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ පිටකොටුවේ ඇපල්, දොඩම් විකිණුවා. දැන් සති ගණනාවකින් ඇපල් ගෙඩියක් විකුණලා නැහැ. දැන්නම් මේ රටේ ජීවත්වෙන්න එපා වෙලයි තියෙන්නේ. අපේ වයසේ ගොඩක් කොල්ලෝ පිටරට යන්න හදනවා. රට දාලා යන එක දුකක්. ඒත් කරන්න දෙයක් නැහැ. හැමදේම ගණන්. සමහර කොල්ලෝ ජීවත්වෙන්න ක්‍රමයක් නැතිව හොරකම් කරනවා. වෙනදාට මම එක දවසකට ඇපල් පෙට්ටි තුන හතර විකුණුවා. අවුරුදු කාලේට ඇපල් ගන්න ගොඩක් අය පිට කොටුවට ආවා. ඇඳුම් ගනිද්දී, ගමේ යද්දී ඇපල් බෑග් එකක්, දොඩම් බෑග් එකක් අනිවාර්යයෙන්ම ගමේ ගෙනියනවා. ඇපල් ගෙඩි පහක් හයක් අපි රුපියල් සීයට විකුණුවා. අවුරුදු කාලේදී අපි හොඳට බිස්නස් කළා. ඉස්සර ඇපල් පෙට්ටියක් රුපියල් එක්දාස් පන්සීයකට රුපියල් දෙදෙහකට අපි මිලදී ගත්තේ. පෙට්ටියට ඇපල් ගෙඩි එකසිය පනහක්, එකසිය අසූවක් තිබුණා. දැන් ඇපල් පෙට්ටියක් රුපියල් දහඅටදාහයි, විසිදාහයි. ඒ ගාණට ගන්න අපේ අතේ සල්ලිත් නැහැ. එහෙම ණයවෙලා ගෙනත් මේ පිටකොටුවේ ඇපල් ගෙඩියක් කීයට විකුණන්නද? මේක තමයි අපිට පුරුදු රස්සාව. චේන් කඩන්න, හොරකම් කරන්න, අපි දන්නේ නැහැ. වෙන අවුරුදුවල සිංහල අලුත් අවුරුද්දේ හොඳට බිස්නස් කරපු අපි දැන් හරි අසරණයි. යැයි වැල්ලම්පිටිය පදිංචි බලාජි මහතා දේශයට පැවසීය.
බොහෝ වෙළඳුන් තම වෙළෙඳාමේ නිරත වන්නේ තවත් සේවක කිහිපදෙනකුටම රුකියාවන් ලබාදෙමිනි. නමුත් මේ පවතින තත්ත්වය හමුවේ බොහෝ සේවකයන්ට රුකියාවක් නොලැබී ගොස් ඇත. පිටකොටුවේ ඇඳුම් වෙළෙඳාමේ නිරත වන ධර්මදාස මහතාද එලෙස ඇඳුම් වෙළෙඳාමේ නිරත වන පුද්ගලයෙකි. රටේ පවතින තත්ත්වය හමුවේ ඔහු සිටියේ දැඩි කලකිරීමකිනි. කේන්තියකිනි.
මේ අවුරුද්දේ නම් එළකිරි. කියන්න දෙයක් නැහැ. හරි ෂෝක්. ඇත්තමයි මේ අපි වගේ අසරණ වෙච්චි මිනිසුන්ගේ දුක අහන්න ඔය නිලතල දරන දේශපාලනඥයෝ එන්නේ නැහැනේ. එහෙම වුණා නම් තමයි හොඳ. අවුරුද්දට කනවා තියා අපිට එදාවේල කන්නවත් විදිහක් නැතිව ඉන්නේ. හැම වසරේදීම අපි මෙතැන වෙළෙඳාම් කළා. මම කෑගල්ලේ. මෙහේ නැවතිලා තමයි වැඩ කරන්නේ. අවුරුද්දට ගෙදර යන්නවත් අතේ සල්ලි නැහැ. හැම මනුස්සයාම මාර අසරණයි. හැම මනුස්සයාටම අපහසු ගොඩයි. ජනාධිපතිතුමාට ඒවා තේරෙන්නේ නැහැ. ඉහළ නිලතල දරන මිනිසුන්ට මේ රටේ පෝලිම්වල දුක් විඳින මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැහැ. යැයි කෑගල්ලේ ධර්මදාස මහතා තම අදහස් දේශයට පැවසීය.
එක් වෙළෙඳාමකින් බොහෝ දෙනෙකුට රුකියා අවස්ථාවන් ලැබේ. ඇඳුම් වෙළෙඳාමේදි මැසීමේ සිට එය වෙළෙඳාම් කිරිම දක්වා කීපදෙනෙකුටම රුකියා අවස්ථාවක් හිමිවේ. සිංහල හින්දු අලුත් අවුරුදු කාලයේ වෙන වසරවලදී මොවුන්ට ඉතා කාර්යබහුල කාලයකි. නමුත් මේ වෙද්දී රටේ පවතින තත්ත්වය හමුවේ සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් අර්බුදයකි. දිනකට පැය දහසකට වැඩි කාලයක් විදුලිය විසන්ධි වීමත් සමඟ ඇඟලුම් කර්මාන්තයට එල්ලවූයේ මරු පහරකි. ස්වයං රුකියාවක් ලෙසින් ඇඳුම් මසා සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වෙළෙඳාම් කර ජිවත්වුණ බොහෝ දෙනෙකුට අද අත්ව ඇති ඉරණම ඉතා ඛේදජනකය.
මේ වෙද්දී ගිය වසරවලට සාපේක්ෂව ජනතාවගේ පැමිණීම 60෴ක් පමණ අඩුවක් තියෙනවා. මිනිස්සු ඇඳුම් ගන්න ඇවිත් බලලා අතගාලා ආයේ යනවා. ඇඳුම් ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. අපි වගේම ඒ මිනිස්සුත් හරි අසරණයි. අපි ඒකල තමයි අඳුම් මහන්නේ. හැමදාම උදේ හවස මේ ඇඳුම් ප්‍රවාහනය කරන්න බැරි නිසා මේ ළඟ කඩේකට පොඩි ගාණක් දීලා රූට මේ ඇඳුම් ඒ කඩෙන් තියලයි යන්නේ. අවුරුද්දට කලින් මේ රෙදි අරගෙන අපිම තමයි මහන්නේ. මේ රෙදි අපි ගත්තේ කිලෝවක් රුපියල් හත්සීයයි, අටසීයයි. දැන් එ රෙදි කිලෝවක් එක්දාස් පන්සීයයි. එහෙම ගන්නවත් දැන් රෙදි නැහැ. මහන අයට ඇඳුම් මහගන්න පැය දහයකට වඩා කරන්ට් නැහැ. අපි හරි අසරණවෙලා. වෙන අවුරුදු කාලේදී දවස් දෙක තුනක් තුළ ලක්ෂ පහක, හයක බිස්නස් එකක් අපි කරනවා. දවසකට ලක්ෂ එකහමාරක් අපි ගත්තා. නමුත් දැන් දවසට රුපියල් විසිදාහක් හොයාගන්නේ නැති දවස් තියෙනවා. යැයි ඒකල සුනිල් මහතා දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ