2022 අප්‍රේල් 03 වන ඉරිදා

ඩොලර් කළුකඩේට කඩාපැන්න මහ බැංකුව

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 81

මේ දිනවල රටේ ලොකුම අර්බුදයට හේතු වී ඇත්තේ ඩොලර් හිඟකමය. ඩොලර් නොමැති වීම නිසා අද රට ක්‍රියාත්මක වන්නේ අකාර්යක්ෂමවය. තමන්ගේ කකුල් දෙක ළඟට තෙල් නැව ඇවිත් තිබියදීත් ඩොලර් මිලියන 50ක් වියදම් කොට තෙල් ගැනීමට නොහැකි තරම් රට බංකොලොත් වී ඇති බව හැංගි හොරා කිවයුතු නැත. එහෙත් තවමත් ආණ්ඩුව එය පිළිගන්නේ නැත.

කෙසේ වෙතත් මේ තත්ත්වයෙන් ගැලවීමට, එහෙමත් නැතිනම් ගොඩඒමට මහ බැංකුව සිද්ධ කළේ ඩොලරය අත්හැර දැමීමය. එසේ නොමැති නම් ඩොලරයේ ස්ථිර අගය නැති කිරීමය. මෙයින් මහ බැංකුව අපේක්ෂා කළේ බැංකු පද්ධතිය මේ හරහා ඩොලර්වලින් ස්වයංපෝෂිත කරගන්නටද? ඒ කළු කඩ සමඟ සටන් කරමින්ය. එහෙත් මහ බැංකුව අපේක්ෂා කළ වාසිය ලැබුණාද?

ඇත්තටම නැත. වූයේ බැංකු පද්ධතියට වඩා වැඩි මුදලකට ඩොලර් විකිණීමය. වෙනදාට ඩොලරයකින් රුපියල් 5 ක් වැනි සුළු මුදලක් තබාගෙන ඩොලරය විකුණන කළු කඩ, අද වනවිට ඩොලරයකින් ලාබය රුපියල් 50-100 අතර තබාගන්නට හුරුව ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මහ බැංකුව දැනුම් දුන්නේ එවැනි අසාධාරණ මුදලකට හුවමාරු සිදුකරන ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කියාය.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු ආයතන සැබැවින්ම මෙම ඩොලර් අර්බුදයට හේතු බව බැංකුවලින් පවා පැමිණීලි ගලාගෙන එන්නට විය. ඒ අනුව පසුගිය 30 වැනිදා මහබැංකුවේ පිරිසක් මෙරට ප්‍රසිද්ධ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් වෙත කඩා පැන්නෝය. එහිදී අනාවරණය වුණේ වැඩිමිලට මිලදී ගෙන වැඩි මුදලට මෙරට මහජනතාවට විකුණන බවය. එය ඉතාම බරපතළ කාරණයකි. අවසානයේ පසුගිය 31දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ බලපත්‍රය මහ බැංකුව විසින් අහෝසි කෙරිණි. ප්‍රසිද්ධ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක බලපත්‍රය තහනම් කිරීම ඉතාම තීරණාත්මක සිදුවීමක් විය. අප මේ සම්බන්ධයෙන් චැතැම් වීදියේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක නිලධාරියකු සමඟ මේ ඩොලර් වැඩිමුදලට ලබාගැනීම සම්බන්ධයෙන් විමසීමක් කළෙමු.

ඩොලර් නෑනේ බැංකුවලට දෙන්න. ඒ නිසා ලොකු ලොකු බිස්නස් කරන අය ඩොලර් හොයාගෙන එන්නේ අපෙන්. ඒ අපි ගාව තියෙන නිසා. ඒ හින්දා අපේ අය වැඩිමුදලට ඩොලර් ගන්නවා. 370-390 කට වගේ අපි ඩොලරය ගන්නේ. සාමාන්‍යයෙන් ඩොලරය ගන්නේ 289ට වගේ බැංකුවේ. ඒත් ඊට වඩා වැඩිගාණක් දීලා පෞද්ගලික අය ගන්නවා. ඒ ගන්නේ වෙළෙඳ පොළේ ඩොලර් මිලදී ගැනීම වැඩි නිසයි. ඒ ගත්තම විකුණන්නේ ඩොලර් එකක් රුපියල් 400ට විතර. බැංකුවේ විකුණන්නේ 299ට වගේ* යැයි ඔහු කීවේය.

බැංකුවෙන් ඩොලරය 299ට විකුණනවා නම් ජනතාවට බැංකු හරහා ඩොලර් අඩුමුදලට මිලදී ගැනීමට හැකියැයි ඕනෑම අයකුට එන ප්‍රශ්නයකි .අප මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසුවෙමු.

ඇත්තටම බැංකුවේ 299ට ඩොලර් වික්කට, ඩොලර් 1000 ක් ගන්න පුළුවන්ද? බෑ. ඒත් ව්‍යාපාරිකයන්ට ඩොලර් ඕන නිතරම. ඒ නිසා ගොඩක් අය ගන්නේ කළුකඩෙන්. අන්න ඒ නිසා කළුකඩේ කියන ඕනම ගාණකට ඩොලර් ගන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේම ඒ ගන්න මුදලට ඩොලර් දෙන්නත් අපි ගාව තියෙනවා යැයි ඔහු සඳහන් කළේය.

රුපියල් 400කට මිලදී ගන්න තරම් සමාජයේ ඩොලර් හිඟයක් ඇතිව තිබීම පුදුම සහගත ක්‍රියාවකි. මෙතරම් ඩොලර් ගන්නේ කවුද යන්නත් ගැටලුවකි. ඒ සම්බන්ධයෙන්ද අපි ඔහුගෙන් විමසුවෙමු.

මෙහෙමයි බැංකුවල ඩොලර් නැති නිසා රුපියලේ අගය බාල්දු වෙන නිසා ගොඩක් අය බැංකුවෙන් ස්ථිර තැන්පතු අරන් ඩොලර් මිලදී ගන්න පුරුදු වෙලා. දැන් මේක දැවැන්ත විදිහට ගන්නවා. ඒකට හේතුව එයාලා හිතනවා ඩොලර් එක 500ට වගේ යයි කියලා. අන්න එහෙම වුණාම විකුණන්න තමයි ගන්නේ. ඒ නිසා ඩොලර් මිලදී ගැනීම වැඩියි කළුකඩ සමාජය ඇතුළේ. මේක නවත්තනකල් කිසිම විදිහකින් බැංකුවලට මුදල් එන්නේ නෑ. ඒක නිසා හැමදාම ඩොලර් එක එන්න එන්න කළුකඩ අතරේ උඩට යනවා.

මෙය විසඳීම සඳහා ක්‍රමවේදයක් තිබිය යුතුය. රජයේ හෝ වෙනත් ඕනෑම කෙනකුට මේ සම්බන්ධයෙන් විසඳුම් තිබිය හැක. එහෙත් ඩොලර් අර්බුදය විසඳුමට නියත වශයෙන්ම මෙම කළු කඩ අය අතරද විසඳුමක් තිබිය හැක. අපි මේ සම්බන්ධයෙන් අප මිත්‍රයාගෙන්ම විමසා සිටියමු.

මෙහෙමයි ඉස්සෙල්ලම කරන්න ඕන මේ වගේ ස්ථාන වටලන එක. එහෙම වටලලා විතරක් මදි. ඊටපස්සේ නීතියක් දාන්න ඕන කිසිම කළු කඩේකට එළියට විකුණන්න බෑ කියලා ඩොලර්. එහෙම විකුණනවා නම් මිලදී ගන්න පුළුවන් මහ බැංකුවට විතරයි කියලා නීතියක් දාන්න ඕන. එහෙම වුණා නම් ඔන්න සියලු දෙනාම එක රේට් එකකට එනවා. එහෙම නැති නිසයි මේ ප්‍රශ්නය. ඒ නිසා දැන් ඉක්මනින් මේ වැඩේ කරන්න ඕනමයි. එහෙම නොවුණොත් ඩොලර් විශාල ප්‍රමාණයක් පිට යනවා.

ඔහු කියන ආකාරයට මෙහි බරපතලකම තීරණාත්මකය. හේතුව ඩොලර් සෙවීමට මහ බැංකුව කෙතරම් උප්පරවැට්ටි දැම්මත් අද වන තෙක් බැංකු පද්ධතිය ඩොලර් වලින් ස්වයංපෝෂිත වී නොතිබීමය. ඊට හේතුව බැංකුව පසුකරමින් ගනුදෙනුකරුවන් කළුකඩ වෙත යාම නිසාය. අපට දැනගන්නට ඇති පරිදි ඇතැම් බැංකුවල සේවකයන් විසින්ම එවැනි පිරිස්වලට කළුකඩ සම්බන්ධ කරදෙන බවට මේ වනවිට හෙළිවී ඇත. එවැනි පිරිස් ගැන නම් ලැයිස්තු පිටින් මහ බැංකුවට පවා ලැබී ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් මහ බැංකුව ප්‍රමාද වී හෝ නීතිය ක්‍රියාත්මක කිරීම පැසසුමට ලක්විය කරුණකි. එහෙත් ප්‍රශ්නය එය නොවේ, මේ ඩොලර් අර්බුදය විසඳෙන්නේ කවදාද යන්නය?

■  ගයාන් ගාල්ලගේ