2022 අප්‍රේල් 03 වන ඉරිදා

මිල්කෝ පිටි කිරි කෝ

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 179

බඩු මිල වැඩිවීම නිසා ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි අන්ත අසරණ තත්ත්වයක් සාමාන්‍ය ජන ජීවිතය තුළ ඇතිවී තිබේ. විශේෂයෙන් කිරිපිටි මිල ඉහළ යාම සාමාන්‍ය ජනයාට දරාගත නොහැකි බරකි. ආනයනික කිරිපිටි පමණක් නොව ඉකුත් සතියේ නැවත වරක් දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමෙන් සිදුවූයේ අසරණ පාරිභෝගිකයා තව තවත් පීඩාවට පත්වීමකි. ආනයනික කිරිපිටි මිල ඉහළ යාම සාධාරණ වුවත් දේශීය කිරිපිටි මිල ඉහළ යාම අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියාවක් නොවේ යැයි මහජනයා මැසිවිලි නගති.

ඉකුත් මාර්තු මස 19 වැනිදා ආනයනික කිරිපිටි කිලෝවක සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල නැවත වරක් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවෝ තීරණය කළහ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ ගියේය. එනම් කිරිපිටි කිලෝවක නව මිල 1945 දක්වා ඉහළ ගිය අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790 කි. එලෙස ආනයනික කිරිපිටි වාර්තාගත ලෙස නැවත නැවතත් ඉහළ ගියේ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම හේතුවෙනි. මෙසේ කිරිපිටි මිල ඉහළ දැමීමට හේතු වූයේ ඩොලර් අර්බුදයට අමතරව ලෝක වෙළෙඳපොළේ කිරිපිටි ටොන් එකක් ඩොලර් 3900 සිට ඩොලර් 4900 දක්වා ඉහළ යාම නිසා යැයි ආනයනකරුවෝ පවසති. ඒ අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් සාධාරණ තර්කයක් පවතී.

එහෙත් දේශීය කිරිපිටි සඳහා ඩොලර් බලපාන්නේ නැත. කිරි එකතු කරන්නේ මෙරට ගොවීන්ගෙනි. පිටි කරන්නේ ද අප රට තුළය. බෙදාහැරීම සහ විකිණීම කරන්නේ ද මෙරට වෙළෙඳපොළ තුළය. එමෙන්ම ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම ද මේ සඳහා බලපාන්නේ නැත. එවන් තත්ත්වයක් තිබියදී බඩු මිල සියල්ල ඉහළ යනවා යැයි පවසමින් දේශීය කිරිපිටි මිලද ඉහළ දැමීම බොර දියේ මාළු බෑමකි. මින් ඇතිවිය හැකි බලපෑම සුළුපටු නොවේ. ආනයනික කිරිපිටි තරගකාරී ලෙස වෙළෙඳපොළේ තිබියදීත් දේශීය කිරිපිටි පමණක් පරිභෝජනය කරන විශාල පාරිභෝගික පිරිසක් සිටිති. ඔවුන්ගේ විශ්වාසය බිඳ දැමීම යනු දේශප්‍රේමීන්ගේ කොඳු නාරටි කඩා දැමීමකි.

ආනයනික කිරිපිටි මිල පාලනය ඉවත් කිරීමත් සමඟ දේශීයව නිපදවන කිරිපිටි මිලද ඉහළ නැංවීමට දේශීය සමාගම් වන හයිලන්ඩ් සහ පැල්වත්ත සමාගම්ද ඉකුත් වසරේ ඔක්තෝබර් මස පියවර ගත්තේය. ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225කින් සහ පැලවත්ත කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක මිල රුපියල් 200කින් ඉහළ දමනු ලැබිණි. එමෙන්ම හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා පැල්වත්ත ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 80කින් ඉහළ ගියේය. ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි මිල සංශෝධනය කිරීමෙන් පසු ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි වූ අතර පැල්වත්ත කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1,165කට හා ග්‍රෑම් 400ක් රුපියල් 460කට අලෙවි කෙරිණි.

එම මිල වැඩි කිරීමෙන් අනතුරුව නැවත මිල වැඩි කිරීමක් සිදු නොකරන බවට මිල්කෝ සහ පැල්වත්ත සමාගම් නිවේදනය කළේය. කෙසේ වෙතත් දේශීය කිරිපිටි සමාගමක් වන පැල්වත්ත සමාගමේ කිරිපිටි මිල ගණන් ඉකුත් 20 වැනිදා සිට ඉහළ නැංවීමට එම සමාගම කටයුතු කළේය. ඒ අනුව නව මිල යටතේ පැලවත්ත ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 625 ක් වූ මිලකට ද කිලෝවක පැකට්ටුවක් රුපියල් 1300 ඉක්මවූ මිලකට ද විකුණනු ලැබේ. නමුත් පශු සම්පත් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා කියා සිටියේ දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට අනුමැතිය දී නැති බවයි. පැල්වත්ත සමාගමේ හදිසි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

දේශීය කිරිපිටි සම්බන්ධයෙන් පාරිභෝගිකයන් මුහුණපාන අනෙක් පොදු ගැටලුව වන්නේ කොතෙක් ඉල්ලුම තිබුණ ද දේශීය කිරිපිටි පැකැට්ටුවක් වෙළෙඳපොළෙන් සපයා ගත හැකි වන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් වීමය. බොහෝ පාරිභෝගිකයන්ට දේශීය කිරිපිටි මිල දී ගැනීමේ අවස්ථාව නැතිවන්නේ වෙළෙඳපොළේ පවතින හිඟය හේතුවෙනි. හයිලන්ඩ් කිරිපිටි ඉකුත් මාස කිහිපය මුළුල්ලේ කිසිදු වෙළෙඳසලකින් මිලදී ගත නොහැකි වුණු බවට චෝදනා කළේ වසර ගණනක් තිස්සේ හයිලන්ඩ් කිරිපිටි භාවිත කළ පාරිභෝගික කාන්තාවකි. එනිසා තමන් පැල්වත්ත කිරිපිටි මිල දී ගන්නා බවත්, එය ලබාගැනීමටද මහත් පරිශ්‍රමයක් ගත යුතු බවත් ඇය පැවසීය.

හයිලන්ඩ් කිරිපිටි මිල වැඩි කිරීමක් සිදුව ඇතැයිද සහ වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟයට හේතුව කවරේදැයි යන්න පිළිබඳ මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා සම්බන්ධ කර ගනිමින් දේශය කළ විමසුමේ ද ඒ මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. 

“අනිත් ආයතන මිල වැඩි කළත් අපි කිසිම නිෂ්පාදනයක මිල වැඩි කරලා නෑ. ග්‍රෑම් 400ක මිල රුපියල් 495යි. අනිත් සමාගම් සියල්ලකම මිල හත් අටසීයක් වෙනවා. ඒ නිසා අපි මේ මිලට එළියේ විකුණන්න ගියොත් පෝලිම් හැදෙයි, මිනිස්සු ගහගනී, කළු කඩේට යාවි. ඒ තත්ත්වය වළක්වන්න තමයි සියලුම කිරිපිටි තොග සතොසට ලබා දෙන්නේ. අපිට කිරි නොතිබුණු නිසා මාස පහක් තිස්සේ හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය වුණේ නෑ. දැන් අපි ලබාගන්න දියර කිරි ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. අපිට කිරි මිල විෂමතාවය ඉවත් කරන්න කියලා උපදෙස් ලැබුණු නිසා හොඳ මිලක් කිරි ගොවීන්ට අපි දෙනවා. ඒ නිසා රුපියල් 88ට තිබුණු කිරි ලීටරය දැන් අපි රුපියල් 100කට ගන්නේ. ඒත් එක්ක පහුගිය සතියේ ඉඳලා අපි පිටි නිෂ්පාදනය ආරම්භ කරලා අද (31) ඉඳලා අපේ සියලුම තොග සතොසට සපයනවා. අපි දින පහෙන් පහට සතොසට කිරිපිටි තොග බාරදෙන්න බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණයෙන්ම බෙදාහැරීම සතොසට ලබා දෙනවා. අපේ අවුට්ලට්වලටවත් ඒජන්ට්ලටවත් අපි කිරිපිටි නිකුත් කරන්නේ නෑ. සතොසට පමණක් නිකුත් කරන්නේ ගම්වල ඉන්න සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට ඒ කිරිපිටි මිලදී ගන්න පුළුවන් වෙන්න. ඩොලරයේ වෙනස්කම් නිසා අපිටත් යම් යම් බලපෑම් තිබෙනවා. ඒත් අපි ඒවා වෙනත් ක්‍රමවලින් පාලනය කර ගන්නවා. අපතේ යෑම් අඩු කරලා, අතරමැදියන් අතට යන මුදල් අවම කරලා ඒ වාසිය පාරිභෝගිකයාට ලබා දෙන්න මිල්කෝ ආයතනය කටයුතු කරනවා.”

මිල්කෝ ආයතනයේ සේවයේ නියුතු සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති නිලධාරියකු දේශයට කියා සිටියේ ඔහු සේවය කරන කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයට සාමාන්‍යයෙන් දිනකට කිරි ලීටර 40000ක් ලැබුණ ද ගොවීන්ට හොඳ මිලක් නොගෙවන නිසා අද වන විට 10000 එය දක්වා පහත වැටී ඇති බවයි. ඒ එකතු වන සියලුම කිරි අඹේවෙලට පිටි නිෂ්පාදනය සඳහා යොමුකරන බවද ඔහු කියා සිටියි. එනිසා හයිලන්ඩ් සමාගමේ අනෙකුත් සියලු නිෂ්පාදන ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් සිදු කරන බවත් කුඩා හයිලන්ඩ් කිරි පැකට් නිෂ්පාදනය නොකරන බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම ඒ මහතා කියා සිටියේ මිල්කෝ ආයතනය ලබන ලාභය ආයතනයේ සේවකයන් අතර හෝ ගොවීන් අතර බෙදනවා වෙනුවට අනවශ්‍ය ඉදිකිරීම් සිදුකිරීමටත් වංචනික ලෙස හොරකම් කිරීමටත් යොදාගෙන ඇති බවයි.

හාරගම කිරිගොවි සමිතියේ සභාපති සිසිර සේනාධීර මහතා කියා සිටියේ ගොවි මහතුන්ට සමාජ ආරක්ෂණ අරමුදල, විශ්‍රාම වැටුප ආදී ඉතා හොඳ ප්‍රතිලාභ රුසක් මිල්කෝ ආයතනය  ඔස්සේ ලබා දුන්නද පෞද්ගලික ආයතන මගින් ලැබෙන අමතර රුපියල හෝ රුපියල් දෙක පමණක් වෙනුවෙන් ගොවි මහතුන් බහුජාතික සමාගම්වල ගොදුරු වී ඇති බවයි. එම සමාගම්වලින් සැබැවින්ම ගොවියාට සිදුව ඇත්තේ පාඩුවක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සමස්තයක් ලෙස ගෙන බැලීමේදී පෙනී යන්නේ විවිධ සමාගම් දියර කිරි රුස්කර වෙනත් නිෂ්පාදන සිදු කරන බවකි. එහෙත් මිල්කෝ සහ පැලවත්ත වැනි සමාගම්වල නිෂ්පාදන වෙළෙපොළේ හිඟතාවක් පැවතියේ එම සමාගම් වෙත ලැබෙන දියර කිරි ප්‍රමාණය සීඝ්‍රයෙන් කඩා වැටීම හේතුවෙනි. එනම් අනෙකුත් තරගකාරී සමාගම් වෙත ගොවීහු සිය කිරි ලබා දීමට පෙළඹී සිටිති. ඒ අනුව සිය නිෂ්පාදන යථා තත්ත්වයට ගෙන ඒමට නම් ගොවීන්ට හොඳ මිලක් ගෙවීමට දේශීය සමාගම්වලට සිදුව ඇත. ඒ අනුව දෛනිකව වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස ගෙවීමක් ගොවීන්ට ලබා දීමේදී අවසාන නිෂ්පාදනයේ මිල ඉහළ යාම සාධාරණය.

 සටහන: සකීෆ් සාම්