2022 අප්‍රේල් 03 වන ඉරිදා

යුක්‍රේනයත් ඈඳාගෙන තෙල් මිල වැඩි කළ ලංකා අයි.ඕ.සී.

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 112

අර්බුදයේ හේතුපාඨය ''ඉන්ධන'' යැයි පැවසීම සෑම අතින්ම සාධාරණය. ඉන්ධන සපයා ගැනීමේ නොහැකියාව මත රට තුළ නිර්මාණය වී ඇති ගැටලු මෙතෙකැයි කීමට නොහැකිය. එම ගැටලුවලට වෙන් වෙන්ව සාකච්ඡා නිර්මාණය කොට විසඳුම් සොයාගත යුතුව තිබේ. මෙහිදී අප උත්සාහ කරනුයේ එවන් එක් සාකච්ඡාවක් නිර්මාණය කරගැනීමටය. ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය සහ ඉන්දියානු තෙල් සමාගම (IOC) මෙම සංවාද විෂය වේ.

පසුගිය මාර්තු මාසය තුළදී Lanka IOC ය දෙවරක් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළේය. ඒ අනුව ලංකා IOC සමාගම මාර්තු 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දැමුවේය. මෙහිදී සියලු වර්ගවල ඩීසල් ලීටරයක් සියයට 54කින් එනම් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් සියයට 12කින් එනම් රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කෙරිණි. මෑත ඉතිහාසයේ වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමූ පළමු අවස්ථාව මෙය ලෙස හඳුන්වා දිය හැකිය.

ඒ අනුව එතෙක් රුපියල් 204ක්ව පැවති IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් දක්වාද රුපියල් 233ක්ව පැවති IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 283ක් දක්වාද ඉහළ ගියේය. රුපියල් 213ක් යුරෝ 3 පෙට්‍රල් ලීටරයක් නව මිල සංශෝධනය සමඟ රුපියල් 263ක් ලෙස සටහන් වූ අතර එතෙක් රුපියල් 139ක්ව පැවති IOC ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 214 ක් දක්වාද රුපියල් 174ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 249ක් ඉහළ ගියේය. එසේම “එක්ස්ට්‍රා මයිල්” ඩීසල් ලීටරයක මිලද රුපියල් 145 සිට රුපියල් 220 දක්වා ඉහළ නංවා තිබේ.

මෙම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් Lanka IOC සමාගම පැවසුවේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ දැමීමට සිදුවූ බවය. කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආරම්භයේදී මෙම මිල ඉහළ දැමීමට සාපේක්ෂව මිල ඉහළ දැමීමක් සිදුනොකරන බව පවසා තිබුණි. එහෙත් ගතවූයේ එක්දිනක් පමණි.

IOC මිල ඉහළ දැමීමට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්ද මාර්තු 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීම සිදුවිය. ඒ අනුව ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 176 ක් ලෙස සටහන් විය. සුපර් ඩීසල් මිල රුපියල් 95 කින් ඉහළ නැංවූ අතර එහි නව මිල රුපියල් 254ක් ලෙස කියැවිණි. මේ අතර සිපෙට්කෝ  පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 254 ක් වූ අතර එහි මිල වැඩිවීම රුපියල් 77ක් විය. පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 76 කින් වැඩිවූ අතර එහි නව මිල රුපියල් 283 ක් ලෙස සටහන් වූයේය. මෙයද සිපෙට්කෝ ඉතිහාසයේ ඉහළ මිල ඉහළ දැමීම ලෙස ඉතිහාස ගතවිය.

මෙලෙස මිල ඉහළ දැමීම සිදුවූ නමුත් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබුණෙන් ඉන්ධන අර්බුද තවත් බරපතළ විය. ලෝක වෙළඳපොළද යූක්‍රේන අර්බුද හේතුවෙන් අර්බුදයක් කරා ගමන් කිරීමද ගැටලු තවත් භයානක කළේය. Lanka IOC සමාගම දෙවැනි වතාවටත් ඉන්ධන මිල ඉහළ නැංවූයේය. මාර්තු 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම සිදුවිය. මෙවර මිල වැඩිකිරීමට ඉලක්කගත වූයේ පෙට්‍රල්ය. ඒ අනුව පෙට්‍රල් මිල රුපියල් 49 කින් ඉහළ ගියේය. ඒ අනුව ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වාද IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332ක් දක්වා නැවත ඉහළ ගියේය.

මෙම මිල ඉහළ යෑම සම්බන්ධ IOCය දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමට ඉදිරිපත් විය. ඔවුන් ඉන්ධන මිල වැඩිකිරීම හේතුව ලෙස ප්‍රධාන කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය. රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සහ යූක්‍රේන අර්බුදද මෙම මිල වැඩි කිරීමට හේතු වූ බව ඔවුන් සඳහන් කළේය. මාර්තු 10 වැනිදා ඉන්ධන මිල වැඩි කරන විට ඩොලරයේ වටිනාකම රුපියල් දෙසිය හැටක් පමණ වූ බවද ඔවුන් මෙහිදී සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් නැවත් සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි නොකරන රජය කියා සිටියේය. සිපෙට්කෝ ඉන්ධන මිල යළිත් වැඩි කිරීමට බලාපොරොත්තුවක් නැතැයි බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේද ප්‍රකාශයක් කළේය. ලංකා අයි.ඕ.සී සමාගම ගියවර ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී සිපෙට්කෝ ඉන්ධන මිල හා සමාන කිරීම සම්බන්ධව එහි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය. ඒ අනුව නැවත ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් කොතරම් දුරට බලපෑමක් කළ හැකිද යන්න පිළිබඳ ගිවිසුම පරීක්ෂා කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

එසේම Lanka IOC සමාගම මේ අවස්ථාවේ නැවත ඉන්ධන මිල ඉහළ නැංවීම ගැටලුවක් බවද ඇමැතිවරයා අවධාරණය කර තිබුණි. එසේම මිල කිරීම සම්බන්ධව IOC යෙන් වාර්තාවක් කැඳවීමටද රජය තීරණය කර ඇති බව කියැවුණි. මෙම වසර තුළදී Lanka IOC හෝමාගම සිව් වතාවක් ඉන්ධන මිල ඉහළ දමා තිබුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය මෙන් ඉන්ධන සැපයුමෙන් පාඩු ලැබීමට මෙම ඉන්දියානු සමාගම සූදානම් නොමැති බව පැහැදිලිව පෙනී ගියේය. ඒ සම්බන්ධ ඔවුන් ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ද කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබුණි.

මේ අතර සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල ඉන්ධන මිල අතර පරතරය නිසාවෙන් බහුතර ජනතාව සිපෙට්කෝ පිරවුම්හල් වෙත ගමන් කරනු දැක ගත හැකිවිය. සිපෙට්කෝ ඉන්ධන හිඟයද හේතුවෙන් තත්ත්වය තවත් බරපතළ වූයේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාද පවසා සිටියේ ඉන්ධන ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. එහෙත් ජනාධිපති මාධ්‍ය අංශය පැවති පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයා සඳහන් කර සිටියේ ඉන්ධන මිල වැඩි නොකිරීම සම්බන්ධ රජයේ තීරණය තවදුරටත් ක්‍රියාත්මක බවකි.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධන හලක නිරීක්ෂක චාරිකාවකද නිතර විය. මෙම නිරීක්ෂණ චාරිකාවට ලංකාවේ ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තාද සහභාගී වූ අතර දැනට තිබෙන ඉන්ධන තොග සම්බන්ධයෙන් මනෝජ් ගුප්තා විසින් ආචාර්ය එස්. ජයිශංකර්ව දැනුම්වත් කළේය.

මෙම සියලු කරුණු අනුව පැහැදිලි වූයේ ඉදිරියේදී රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත් Lanka IOC ඉන්ධන මිල ගණන්ද තවදුරටත් ඉහළ යනු ඇති බවයි. අර්බුද එවිට තවත් බරපතළ වනු ඇත. මේ සියල්ල හරහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අර්බුදයෙන් අර්බුද ගමන් කිරීම වළකා ගැනීම පහසු නොවේ. කෙසේ වෙතත් අවසානයේදී මෙහි වින්දිතයන් බවට පත්වන්නේ පොදු මහජනතාවයි.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05