2022 අප්‍රේල් 03 වන ඉරිදා

අමරදේව දැකපු ගමන් රවිශංකර් අමරේ කියලා බදාගත්තා

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 340

2016 නොවැම්බර් 03 වැනිදා අමරදේවයන් අප හැර ගිය පසු එතුමන්ගේ නිසල දේහය මහජන ගෞරවය උදෙසා පසුදා නිදහස් චතුරශ්‍ර මන්දිරයේ තැන්පත් කර තිබිණි. ජනයා වැල නොකැඩී ඒ වෙත අවුත් එතුමාට අවසාන ගෞරවය පිදූහ. බුහුමන් දැක්වූ අය එහි තිබූ ආසනවලින් නැගිට අවුත් එකිනෙකා හා දොඩන්නට පටන් ගත්තෝය. තමන්ගේ ගෞරවනීය සමීපතමයකු මියගිය සංවේගය හැමදෙනා තුළම තිබිණි. එතැන තැන තැන රොක්වී මන්ද්‍ර ස්වරයෙන් අමරදේවයන් ගැන ආදරයෙන් කතා කරන්නට එකිනෙකා හඳුනා ගැනීමක් අවශ්‍ය නොවීය. මා හොඳින් නාට්‍ය හා ප්‍රසංග වේදිකාව තුළ දැක පුරුදු එක් අයෙක් තම දියණිය වේදිකා ආලෝකකරණය පිළිබඳව ලියූ පර්ෙය්ෂණ ග්‍රන්ථයකට අමරදේවයන්ගෙන් සුදුසු නමක් විමසූ විට එතුමා දුන් පිළිතුර ගැන කීවේය. අප කතා කරමින් සිටියේ අමරදේවයන් එදිනෙදා කතාබහේ යෙදෙන විට පවා එතුමන්ගේ වාග් විලාසය කෙතරම් කාව්‍යාත්මක හා ගීතාත්මක වීද යන්න ගැනය. 

වේදිකා ආලෝකකරණය පිළිබඳ ග්‍රන්ථයට අමරදේවයන් යෝජනා කළ නම ඇසූ පමණින් යම් නිර්මාණවේශයක් මට ලැබිණි. ඒ නිසාම ඒ නම මට කිසිදා අමතක නොවන අයුරින් එතුමන්ගේ ගීතයක් සේම මතකයේ රුඳුණේය. එතුමා යෝජනා කර තිබුණේ, අඳුරු කරළියේ සොඳුරු දිවාකර යන නමයි. එතරම් අපූර්ව සුන්දර නමක් එක් නිමේෂයකදී සිතා කාට නම් කිව හැකිද අමරදේවයන්ට විනා? එතුමන් ගුවන්විදුලියේ සාකච්ඡාවලට සහභාගි වී කතා කරනු මම කුඩා කාලයේ පටන්ම අසා ඇත්තෙමි. රස වෑහෙන කාව්‍යාත්මක වදන් එතුමා කතා කරන බස තුළද මුතු ඇමිනුවා සේ රිද්මයානුකූලව මුවින් නික්මුණේය. ජාතියේ මහා ගාන්ධර්වයාණන් තුළ මහා සාහිත්‍යවරයෙක්ද ස්වර මාධුර්යයෙන් වැසී උන්නේය.

අමරදේවයන්, වේදිකා ආලෝකකරණය පිළිබඳ ලියූ ග්‍රන්ථයකට යෝජනා කළ අඳුරු කරළියේ සොඳුරු දිවාකර යන නම ගැන එදා කීවේ ප්‍රවීණ ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහ බව මගේ සිත මට කියයි. (ඊට පෙර ඔහු මුණගැසී හඳුනාගෙන කතාබහ කරන්නට අවස්ථාවක් මම නොලදමි.) 1966 න් පටන්ගත් තම නිර්මාණ ජීවිතය ඇසුරින් ලද අත්දැකීම් ඇසුරින් උපාලි වීරසිංහ මහතා යූ-ටියුබ් ජාලයේ කළ සාකච්ඡාවක් වට්ස්ඇප් ඔස්සේ මිතුරකු මා වෙත එවා තිබිණි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණ හා මෙරට ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ප්‍රසංගවල වේදිකා ආලෝකකරණ නිර්මාණ දිවිය පුරා උපාලි වීරසිංහ ලත් අත්දැකීම් එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රේක්ෂකයා හා බෙදා හදා ගැනීම කෙරේ. ඔහුට නන්දා මාලනී හා මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුණගැසෙන ආකාරයත් ඉන්පසු මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඇසුරේ සිදුවූ රසවත් සිද්ධි රාශියකුත් ඔහු පවසයි. ඔහු හෙළි කරන සිද්ධි අතර මගේ හිත බෙහෙවින් සසල කළ සිද්ධිය වූයේ අමරදේවයන්, රවිශංකර්ගේ සිතාර් වාදනය නැරඹූ ආකාරය හා ප්‍රසංගයෙන් පසුව අමරදේවයන්, රවිශංකර් මුණගැසුණු අවස්ථාවට සම්බන්ධ සිද්ධියයි. එම සිද්ධිය පාඨකයාගේ දැනගැනීම පිණිස නැවත මෙහි කියනු වටී.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රවිශංකර්ගේ සිතාර් වාදන ප්‍රසංගය නැරඹීමට ආසන සියල්ලම පිරී යන තරමට ප්‍රේක්ෂකයෝ පැමිණියෝය. සිතාර් වාදනය අසා දැකගන්නට පැමිණි අමරදේවයන් හටද ආසනයක් ඉතිරි වී තිබුණේ නැත. රවිශංකර්ගේ සිතාර් වාදන ප්‍රසංගය සංවිධානය කර තිබූ සංවිධායකයන් එය නරඹන්නට අමරදේවයන් හට ආරාධනා කරන්නට වුවමනාවක් තිබී නැත. (ප්‍රසංගයෙන් ලැබෙන මුදල ඔවුන්ට ඊට වඩා වැදගත් වී යැයි සිතමි.) අමරදේවයන්ට හිඳගන්නට තැනක් නැති බව දැනගත් උපාලි, ඔහුව ආලෝකකරණ මෙහෙයුම් කුටියේ කුඩා ඉඩක ඔහු ළඟ හිඳවා ගත්තේය. අමරදේවයෝ උරහිස් හකුලාගෙන එතැන සිරවී රවිශංකර්ගේ සිතාර් වාදනය රස වින්ඳේය. ඒ උපාලි එතුමාණන්ගේ අගය දැන සිටි බැවිනි. සිතාර් වාදනයෙන් ප්‍රමුදිත වූ අමරදේව, එකී වාදනයෙන් ලැබෙන අමන්දානන්දය මුදුන්පත් වන වාරයක් පාසා උපාලිගේ පිටට ගැසුවේය. සිතාර් වාදනයේ රිද්මයට අමරදේවයන්ගේ සිරුර සැලුණේ ඉබේමය.

ප්‍රසංගයෙන් අනතුරුව, පසු වේදිකාවට ගොස් රවිශංකර් මුණගැසෙන්නට අමරදේවයන් හට ඕනෑ විය. එහෙත් රවිශංකර් සිතාර් වැයූ වේදිකාවට හෝ පසු වේදිකාවට පිවිස ඔහුට සුබ පතන්නට අප මහා ගාන්ධර්වයාණන්ට අවසර නොතිබිණි. උපාලි වේදිකා ආලෝකකරණයේ නියැලි නිසා ඔහුට වේදිකාවටත් පසු වේදිකාවටත් යන්නට අවසර තිබිණි. අමරදේවයන්ගේත්, එතුමා හා රවිශංකර් හමුවේත් වටිනාකම දත් උපාලි වීරසිංහ අමරදේවයන් රවිශංකර් ඉන්නා තැනට කැඳවාගෙන ගියේය. ප්‍රසංගයෙන් පසු මඳක් සිරුර ඉහිල් කර ගන්නට මොහොතකට ඉවත ගිය රවිශංකර් පැමිණෙන තුරු ඉතා සුළු මොහොතක් අමරදේවයන් හිඳගෙන උන්නේය. එතැනට පැමිණි රවිශංකර් අමරදේවයන්ව දුටුවේ එවිටය.

රවිශංකර් මහ හඬින් අමරේ! කියා අපගේ අමරදේවයන් වැළඳ ගත්තේය. දෙදෙනා හින්දි භාෂාවෙන් කලකින් හමුවූ ඉතා කුළුපග මිතුරන් ලෙස සංවාදයේ යෙදුණෝය. පසුදා තමා නැවතී සිටි හෝටලයට පැමිණ මිතුරු සංවාදයේ යෙදෙන්නට රවිශංකර්ගෙන් අමරදේවයන් හට ආරාධනා ලැබිණි. උපාලි තම සාකච්ඡාවේදී අනාවරණය කළේ එම සිද්ධියයි. අප තවමත් අමරදේවයන්ගේ වටිනාකම තේරුම් ගෙන නොමැති බවට එය හොඳ උදාහරණයකි. ඉන්දීය ශිල්පීන් අමරදේවයන් හට කෙතරම් ගරු කළේද යන්න සාක්ෂාත් වන කාරණයක් 1983 දෙසැම්බර් 11 වැනි දින ශ්‍රී ජ^පුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිභා පදනම විසින් ප්‍රකාශයට පත් කළ අමරදේව ප්‍රතිසංවේදය කෘතියේ ඇතුළත් වේ. එම කොටස මෙසේ උපුටා දක්වමි.

භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයේදී ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන්, මක්ෂුඩ් අලි ඛාන් යන අග්‍රගණ්‍ය සංගීතාචාර්යවරුන් පාමුල සංගීත ශාස්ත්‍රය හැදෑරෑ අමරදේව එහිදී දක්වන ලද ප්‍රතිභාවත් වාසනා ගුණයත් අනල්පය. අමරදේවගේ කලා කෞෂල්‍ය පිළිබඳ පැහැදීම කොතෙක්ද යත්, ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් ඇදුරුතුමා, ස්වකීය වැඩිමහල් පුතුගේ කුළුඳුල් පුතු, ^අමරදේව යැයි නම් කළේය. මෙය ගුරුතුමන් ගෝලයාට දැක්වූ ප්‍රසාද පූජාවක් බඳු නොවේද?

(අමරදේව ප්‍රතිසංවේදයේ සංස්කාරකයන් වූයේ ප්‍රණීත් නිෂාද අභයසුන්දර, රංජිත් අමරකීර්ති පලිගපිටිය හා අමරසේකර හෙට්ටිආරච්චිය. අමරදේවයන් පිළිබඳ විද්වතුන්ගේ ලිපි රාශියක් අමරදේව ප්‍රතිසංවේදයේ අඩංගු වේ.)

අමරදේවයන් සිය සංගීත ඥානය ඉන්දියානු රාගධාරී සංගීතය ඇසුරින් ප්‍රගුණ කර ගත්තද ඔහුගේ මුවින් නැගුණේ අපටම උරුම ගීත නාදයකි. එම ස්වරය අප සිත් කා වදින්නක් වූයේ මෙරටට ආවේණික නාද රටාවලින් ඒ ගී හඬ පරිපූර්ණත්වයට පත්ව තිබූ නිසාය.

උපාලිගේ සාකච්ඡාවේදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඇසුරින් ලැබූ අත්දැකීම්ද බොහෝය. මහාචාර්ය සරච්චන්ද්‍රයෝ අතිමහත් පරිශ්‍රමයකින් පර්ෙය්ෂණවල නියැලී, අපගේ නාට්‍ය කලාව පිවිසිය යුතු මංපෙත හෙළි පෙහෙළි කර දුන්නෝය. සරච්චන්ද්‍රයන්, අමරදේවයන් ගැන කරන විවරණයක් අමරදේව ප්‍රතිසංවේදයේ අමරදේව හා සිංහල සංගීතය යන මැයෙන් පළ වී තිබේ. එම ලිපියේ අවසන් වැකි කිහිපය මෙසේය.

භාරතීය සංගීත විෂයෙහි පුහුණුව ලබා ඇතිමුත් අමරදේවගේ මුවින් පිටවන්නේ අව්‍යාජ සිංහල ස්වරයකි. ජන ජීවිතයේ ප්‍රීති ඝෝෂාව මෙන් එහි දුක්මුසු විලාපයද ඒ ස්වර තුළින් අපට ඇසේ. එය අපේ ඇටමිදුළු තුළට කා වදින්නේ එහෙයිනි. මේ කාලයේ නිතර දෙවේලේ කැසට් මාධ්‍යයෙන් අපේ කන්වලට වැටෙන අසිංහල ස්වරය ඊට කෙතරම් වෙනස්දැයි හඳුනා ගැනීම අපහසු නොවේ. (අමරදේව ප්‍රතිසංවේදය - 29 පිටුව)

සිංහල භාෂාවෙන් ගී ගැයුවද මට අමරදේවයන් පෙනෙන්නේ විශ්වීය නිර්මාණකරුවකු ලෙසය. වරෙක එතුමාණන්ගේ ගී නිර්මාණ තුළ බටහිර සංගීතයේ ආභාෂය පෙනේ. රන්සළු චිත්‍රපටයට එතුමා සංගීත නිර්මාණය කළ බී.ටී. මෙන්ඩිස් ලියූ, චිත්‍රපටයේ නෙවිල් ප්‍රනාන්දු ගායනා කළ බඳුන් පිරී ඉතිරෙන මී ගීයෙන් එතුමාගේ බටහිර සංගීත ආභාෂය මැනවින් පෙනේ. (මෑත කාලයක එම ගීය අමරදේවයන් තවත් ගායිකාවක් සමඟ කරන අපූර්ව ගායනයක් ඇත. බටහිර සම්භාව්‍ය සංගීතයේ ආභාෂය ඒ තුළ මට ඇසෙන්නේ පළිඟු මිණක් තුළ සියුම්ව බහාලූ රන් කෙන්දක් සේය.) දෙලොවක් අතර චිත්‍රපටයේ නෙවිල් ප්‍රනාන්දු ගැයූ, සේකර ලියූ ගයන ගැයුම් - නටන නැටුම් ගීයද එවැන්නකි. සේකරගේ ගී නිර්මාණය ඔස්සේ වරෙක අමරදේවයන් තාගෝර් දෘෂ්ටිය අපට සමීප කරයි. සේකරගේ රචනා ඔස්සේම ඔමාර් ඛයියාම් වෙත ගොස් රස ජනනය කරන අමරදේවයන් දාර්ශනික විශ්වයේ තවත් පැත්තකට පිවිසෙයි.

1950 ගණන්වල අගභාගයේ පටන් 2016 දක්වාම මෙරට ගීත රචනා කලාවේ පරිණාමය අමරදේවයන්ගේ ගායනා ඇසුරින් විමසිය හැකිවීම තවත් කාරණයකි. මානවසිංහ, මහගමසේකර, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, ඩබ්ලිව්.ඒ. අබේසිංහ, සුනිල් සරත් පෙරේරා, ධර්මසිරි ගමගේ, සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, ඔගස්ටන් විනයාගරත්නම් හරහා මේ දක්වා විහිදුණු සුභාවිත ගී රචනයේ පරිණාමනය අමරදේවයන්ගේ ගී තුළින් පමණක් විමසා බැලීම කළ හැකිය.

උපාලිගේ සාකච්ඡාව, අපගේ ජාතියට උරුම වූ නිර්මාණකරුවන් එකිනෙකා කෙරෙහි පෑ ප්‍රතිචාර නැවත මෙනෙහි කර ගන්නට නැවත මා පොළඹාලූයේය. ඊට වැඩිපුරම බලපෑවේ ඔහු කී රවිශංකර් - අමරදේව හමුව පිළිබඳ තතුය. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා අමරදේවයන් ගැන දිනක් ආවා නමින් ලියූ කවක් මට අමරදේව ප්‍රතිසංවේදයේම හමුවිය. එම කව නිමා වන්නේ මෙසේය.

ලතා තුරු වැල් පත් සලා ගී
පසු පසින් සුරුවන් සිඹින්නා
මලානික වූ තුරු ලතාවන්
සුදු මලින් හසරුලි නගන්නා
අපට හිමි නැති අමර ගී හඬ
සොබා දහමට රස පොවන්නා

උපාලි සෞන්දර්ය කලා උපාධිධාරියෙකි. ඔහු කලාවට ඇති ආදරය නිසාම වේදිකා ආලෝකකරණයට මුලින්ම එක්වන්නේ මහින්ද ඩයස් යටතේය. අද දවසේද එසේය. මා දන්නා සෞන්දර්ය කලා උපාධිධාරීහු කිහිප දෙනෙක් වේදිකා ආලෝකකරණයට එක්වූහ. ඔවුහු වරෙක වේදිකාව මත තම රංග ප්‍රතිභාවද සනාථ කළෝය. අඳුරු කරළියේ - සොඳුරු දිවාකර පුබුදන්නට යතුරු පුවරුව ඉදිරියේ නාට්‍ය හෝ සංගීත ප්‍රසංග සමඟ ඔවුහු ඒකාත්මිකව බැඳුණෝය.

තවත් කියන්නට දෙයක් නැත. අමරදේවයන්ට එදා රවිශංකර්ගේ සිතාර ප්‍රසංගයට ආරාධනා නොකළා සේ එතුමාණන්ට නිසි ගෞරවය නොදක්වා සිටීමෙන් අප අපහාස කර ගන්නේ අපටමය. පසුගිය රජයත් මේ රජයත් අමරදේවයන් වෙනුවෙන් ඉදිකරන්නට පොරොන්දු වූ අමරදේව අසපුව තවමත් වැඩ නිම වී නැත. ඒ වෙනුවෙන් ඉදිකළ කොන්ක්‍රීට් සැකිල්ලේ කිරිවවුලන් ඇලී, එල්ලී සිටින ඡායාරෑපයක් මාස 7 – 8කට පෙර ලංකාදීප වුවත්පතේ පළ වූයේය.

 සමන් පුෂ්ප ලියනගේ
 

 

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05