ලංකාවේ ද දායකත්වය සහිත නව චන්ද්‍රිකාවක් පසුගියදා උඩු ගුවනට මුදා හැරිණි. ඒ අනුව මේ ලංකාව සම්බන්ධ වූ දෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියයි. මේ නව චන්ද්‍රිකාව කලින් චන්ද්‍රිකාව මෙන් 6 ගුණයක් විශාල අතර එහි සිට මහ පොළොවේ කුඩා පැල්ලමක් පවා නිරික්ෂණයට තරම් ප්‍රබල කැමරා සහිතය. කිට්සුනේ ලෙස නම් ලද මෙය නැනෝ චන්ද්‍රිකා මාදිලියට අයත්ය. ඒ අනුව දැන් ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මිත දෙවැනි චන්ද්‍රිකාව ද කක්ෂ ගත කර හමාරය.
නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ ඉදිරිපත් වීම මත, ජපානයේ කියුෂු (Kyushu) තාක්‍ෂණ ආයතනය කලාපීය රටවල් සමඟ ඇතිකරගත් සම්බන්ධතා මත එම ආයතනය මගින් ක්‍රියාත්මක නැනෝ චන්ද්‍රිකා නිර්මාණ ව්‍යාපෘතියට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය. එය චන්ද්‍රිකා තාක්ෂණය මෙතෙක් ලබා නොතිබූ ශ්‍රී ලංකාව වැනි රටවල්වලට පිරිනැමුණු සුවිශේෂී අවස්ථාවක් විය.
ඒ අනුව 2017 වසරේදී නවීන තාක්‍ෂණ පිළිබද ආතර් සී ක්ලාක් ආයතනය හා ජපානයේ කියුෂු තාක්‍ෂණ ආයතනය අතර සහයෝගිතා ගිවිසුමකට එළඹුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව රාවණ-01, 2019 ජූනි 17 වැනි දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂ ගත කරන ලදී.
මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් ආතර් සී ක්ලාක් ආයතනය ඇතුළු ජාත්‍යන්තර ආයතන 5 ක් ඒකාබද්ධව සැලසුම් කර නිර්මාණය කරන ලද කිට්සුනේ (kitsune) නමින් නම්කරන ලද දෙවැනි නැනෝ චන්ද්‍රිකාව 2022 පෙබරවාරි 18 දින සිග්නස් -17 (cygns-17) රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රුගෙන යන ලද අතර එම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිට 400 කි.මී දුරින් පිහිටි කක්‍ෂය වෙත මුදාහැරීම ශ්‍රී ලංකා වේලාවෙන් 2022 මාර්තු 24 වැනි දින ප.ව. 5.40ට සාර්ථකව සිදු කෙරිණි.
රාවණ -01 චන්ද්‍රිකාව මෙන් 6 ගුණයක විශාලත්වයකින් යුතු මෙම කිට්සුනේ චන්ද්‍රිකාව උසින් සෙ.මී. 30 ක්ද, පළලින් සෙ.මී. 20 ක්ද, ඝනකමින් සෙ.මී. 10 ක්ද වේ. ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් ආයතනය ඇතුළු සිංගප්පූරුව ජපානය යන රටවල ආයතන 5ක සහයෝගිතාවයෙන් නිර්මාණය කළ මෙම කිට්සුනේ චන්ද්‍රිකාව සදහා ඉංජිනේරුමය තාක්ෂණික දායකත්වය ලබා දීම ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවරුන්ගේ වීම විශේෂත්වයකි.
කිට්සුනේ නැනෝ චන්ද්‍රිකාව තාක්ෂණික අතින් උසස් චන්ද්‍රිකාවක් වන අතර එහි ඇතුළත් සංවේදී කැමරා පද්ධතිය මගින් පෘතුවියේ 5cm ක පමණ වපසරිය තියුණු ලෙස නිරීක්‍ෂණයට ලක් කළ හැකි වේ. තවද පෘතුවිය වටා ඇති අයන ගෝලයෙහි ඉලෙක්ට්‍රොනික ඝණත්වය නිරීක්ෂණය කිරීම ඇතුළු විද්‍යාත්මක පර්ෙය්ෂණ රුසකට ද දායක කර ගත හැකි අයුරින් නිර්මාණය කරන ලද මෙම නැනෝ චන්ද්‍රිකාව ආධාරයෙන් සිදුකෙරෙන පර්ෙය්ෂණ හා එමගින් ලබාගන්නා දත්ත ඉදිරි චන්ද්‍රිකා නිර්මාණයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව කඩිනම් කිරීමට හේතු වේ.
මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තරය සමඟ සැලසුම් කිරීම අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා විසින් ද, අනෙකුත් තාක්ෂණිකමය දායකත්වයන් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු කමනි එදිරිවීර මහත්මිය (තාක්ෂණික මෙහෙයුම්) හා ඉංජිනේරු කවීන්ද්‍ර ජයවර්ධන මහත්මා (අධ්‍යක්‍ෂ සන්නිවේදන ඉංජිනේරු අංශය) විසින් නැනෝ චන්ද්‍රිකාවෙහි සන්නිවේදන හා උප පද්ධතිවල නිමැයුම් කටයුතු ඉංජිනේරු තරිදු දයාරත්න විසින් ද, ආතර් සී ක්ලාක් ආයතනයේ පෘතුවි ග්‍රාහක මධ්‍යස්ථානයෙහි මෙහෙයුම් කටයුතු ඉංජිනේරු කවීන්ද්‍ර සම්පත් විසින් ද සිදු කළහ.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් වැදගත් මෙම ඓතිහාසික අවස්ථාවෙහි නැරඹුම් සැසියක් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්ෙය්ෂණ හා නව නිපැයුම් අමාත්‍යංශයේ ලේකම් දීපා ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආතර් සී ක්ලාක් ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාවට ආතර් සී. ක්ලාක් ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සනත් පනාවැන්නගේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ඇතුළු විද්වත්හු රැසක් ද සහභාගී වූහ.
සුගත්