
මේ දිනවල ඉඳහිට ඇතැම් ප්‍රදේශවලට ඇදහැලෙන මඳ වර්ෂාවත් සමඟ ජලය එක්රුස්වන ස්ථාන වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් සිදුවෙමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ජනතාවගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම රෝගය වර්ධනය වන අතර රෝහල්වල ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන්ගේද වර්ධනයක් පවතී.
ඩෙංගු රෝගයට ආසාදිත මදුරුවකු වාහකයකු ලෙසින් ක්‍රියා කරන අතර මෙය වෛරසයකින් බෝවන රෝගයකි. මෙහිදී එක් ඩෙංගු රෝගියකුට ඇතිවන රෝග ලක්ෂණ තවත් ඩෙංගු රෝගියකු තුළින් දකින්නට නොලැබෙන අවස්ථාද ඇත. ප්‍රථම වරට රසායනාගාර පරීක්ෂණයක් සිදුකොට ශ්‍රී ලංකාව තුළින් පළමු රෝගියා වාර්තා වූයේ 1962 වසරේදීය. පසුව මෙය ඩෙංගු වසංගත තත්ත්වයක් ලෙසින් 1965 – 1966 වසරවලදී වාර්තා විය. මේ වනවිට වඩාත් නාගරීකරණය වූ සහ ජනාකීර්ණ වූ ප්‍රදේශවල වසර මුළුල්ලේදීම ඩෙංගු වෛරසය පැතිර යාමේ ප්‍රවණතාවක් පවතී. වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ නිරිතදිග මෝසම් වැසි ආශ්‍රිතව සහ ඊසානදිග මෝසම් වැසි සහිත කාලගුණයක් පවතින තත්ත්වයක් තුළදීය.
මේ වනවිට ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක් දකින්නට තියෙනවා. සමහර රෝගීන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් රසායනාගාර පරීක්ෂණවලින් තමයි රෝගය පිළිබඳව නිශ්චිතව කර ගන්න පුළුවන් වෙන්නේ. කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ වගේම වෛරස් උණ සහ ඩෙංගු රෝගයේ ලක්ෂණත් එක්ක රෝගීන් රෝග පටලවා ගන්නවා. දින තුනකට වඩා උණ තත්ත්වයක් පවතී නම් අනෙක් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතී නම් වහාම අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. යැයි වසංගත රෝග අංශයේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ තදින් උණ වැළඳීමය. එක්වර ඇතිවන තදබල උණ, අධික හිසරදය, හන්දිවල සහ පේෂිවල වේදනාව, ඇස් පිටුපස වේදනාව, උදරයේ වේදනාව, තද පිපාසය, ආහාර අරුචිය, වමනය යාම, අත් පා සුදුමැලි වීම සහ සීතල වීම, අධික නිදිමත ගතිය, සමේ පැහැය වෙනස්වීම මෙහි රෝග ලක්ෂණ වේ. මෙහිදී රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් රෝගීන් තුළින් දැකගත හැකි අතර ඇතැම් රෝගීන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අවස්ථාද තිබේ.
මීට අමතරව ඇතැම් රෝගීන් තුළින් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදනය, ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග ලක්ෂණද ඉඳහිට දැකගත හැකිය.
යම් රෝගියකුට උණ වැළඳී දින තුනක් ගතවුවද එහි අඩුවක් නැතිනම් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කළ යුතුය. ඇතැම් රෝගීන්ට පළමු හෝ දෙවැනි දිනයේදීම මෙලෙස සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කිරීමට වෛද්‍යවරු නිර්දේශ කරති. විශේෂයෙන් ගර්භණී කාන්තාවන්, අවුරුද්දට අඩු ළදරුවන්, මහළු පුද්ගලයන් මෙන්ම වෙනත් කල් පවතින රෝග තත්ත්වයන් ඇති පුද්ගලයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට ඉක්මනින් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදුකෙරේ.
ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවන්නේ එක්රුස්වන ජලය මතය. වර්ෂාවත් සමඟ තැන තැන එක්රුස්වන පොල් කෝම්බ, හිස් යෝගට් කෝප්ප, හිස් කිරි හට්ටි, හිස් බීම බෝතල්වල පමණක් නොව කුඩා බෝතල් මූඩියක පවා ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවයක් පවතී. නගරාසන්න හෝ ජනාකීර්ණ නගරවල ඉදිකිරීම් වැඩබිම්වල ජලය එක්රුස් වීමෙන්ද ඩෙංගු මදුරුවා බෝවිය හැකිය. එමෙන්ම වැහිපීලි නිසි පරිදි පිරිසිදු නොකිරීමෙන් වැහි ජලය එක්රුස් වී දින කිහිපයකින් මදුරු පණුවන් බෝවිය හැකිය. ඇතැම් නිවෙස්වල ශීතකරණයේ පිටුපස ජලය එක්රුස්වීම, මල් බඳුන්වල ජලය එක්රුස්වීම පමණක් නොව කුඩා සුරතල් මසුන් නොදැමූ මාළු ටැංකිවලද ඩෙංගු මදුරුවන් බෝවිය හැකිය.
ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ පුද්ගලයකුට බෝවන්නේ වෛරසය ආසාදිත ඊඩ්ස් වර්ගයේ ගැහැනු මදුරුවකු විසින් රුධිරය උරා බොන අවස්ථාවේදී ශරීරය තුළට ඇතුළු වන ඩෙංගු වෛරසය මාර්ගයෙනි. ඩෙංගු රෝගය එක් රෝගියකුගෙන් තවත් පුද්ගලයකුට බෝවීමක් සිදු නොවේ.
ඩෙංගු රෝගය උත්සන්න වීමෙන් ඩෙංගු රක්තපාත රෝගය ඇතිවිය හැකිය. සාමාන්‍ය ඩෙංගු උණට වඩා තීව්ර රෝග ලක්ෂණ ඩෙංගු රක්තපාත රෝගයේදී පෙන්නුම් කරයි. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ රුධිරය පිටවීමයි. ප්‍රතිකාර නිසි පරිදි හා නිසි වෙලාවට නොලැබුණහොත් භයානක ප්‍රතිඵල ඇතිවිය හැකිය. මෙලෙස ඩෙංගු රක්තපාත උණ බෝ කරන්නේද ඩෙංගු උණ බෝ කළ වෛරසය මගිනි.
2021 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස තුන සලකන විට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් ඇතිවී තිබේ. 2021 වසරේ ජනවාරි මස ඩෙංගු රෝගීන් 2122ක් වාර්තා වී ඇති අතර 2022 වසරේ ජනවාරි මස ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7702කි. 2021 වසරේ පෙබරවාරි මස රෝගීන් 2355ක් වාර්තා වී ඇති අතර 2022 පෙබරවාරි මාසයේ වාර්තා වී ඇත්තේ රෝගීන් 2952ක් වශයෙනි. 2021 වසරේ මාර්තු මස රෝගීන් 2312ක් වාර්තා වී ඇති අතර 2022 වසරේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 2898කි. 2021 වසරේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දෙසැම්බර් මාසයේදීය. එම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8966කි. 2021 වසරේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,924කි. 2011 සිට 2021 දක්වා කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 2017 වසරේදීය. එය 186,101කි. අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රෝගීන් 28,473කි. ඒ 2011 වසරේදීය. 2022 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13,562ක් වාර්තා විය.
දිශානි ජයමාලි කරුණාරත්න