2022 අප්‍රේල් 03 වන ඉරිදා

බීමතින් වැඩ පෙන්වන්න ගිය නුවරඑළියේ දොස්තර ලොක්කා

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 20

''බීපු මනුස්සයෙක් කැබ් එකක් ඩ්‍රයිව් කරගෙන එනවා. ඉරි කපාගෙන වාහනේ පාර පුරාම යනවා. සෙන්ට් ක්ලෙයාර් ඇල්ල බලන්න හිටිය මිනිස්සු එක්ක රණ්ඩුවකුත් ඇතිකරගෙනයි දැන් එන්නේ. වැඩි දුරක් යන්න කලින් අනතුරක් කර ගනීද සැකයි. මගදි නවත්වා ගන්න බලන්න..''

තලවකැලේ පොලිසිය වෙත දුරකථන ඇමතුමක් මගින් මෙම තොරතුර ලබා දී තිබුණේ හැටන් - නුවරඑළිය පාරේ සෙන්ට් ක්ලෙයාර් දියඇල්ල නැරඹුම් ස්ථානයේ රැඳී සිටි අයෙකි. ඒ පසුගිය ඉරිදා පස්වරුවේ වෙලාවකය.

හැටන් - නුවරඑළිය පාරේ තලවකැලේ දෙසට අවදානම් සහිත ධාවනයක නිරත කැබ් රථයකි. මාර්ගයේ ඉඩ ඇතත් ධාවනය වන ආකාරයට එම කැබ් රථයට පාරේ ඉඩ මදි සෙයකි. පාර පුරා ඒ මේ අතට යමින් ධාවනය වන රථය සෙසු වාහනවලටත් මාර්ගය පසෙක සිටින හා ගමන් කරන ජනතාවටත් හිරිහැරයකි. මෙසේ අවදානම් ගමනක නිරත කැබ් රිය සෙන්ට් ක්ලෙයාර් දියඇල්ල නැරඹුම් ස්ථාන අසල නතර කෙරුණේද ශබ්ද නගා තිරිංග ගසා එතැන සිටි පිරිසක්ද භීතිය පත් කරමිනි. රථයෙන් බැසගත් පුද්ගලයා හොඳ හැටි මත්පැන් පානය කර මත්වී සිටින බව දකින්නට ලැබිණි. ඒ වන විටත් එම ස්ථානයේ පිරිසක් රැඳී සිටි අතර ඔවුන් අතරට එක්වූ මේ පුද්ගලයා සිය ජංගම දුරකථනය අතට ගෙන සෙල්ෆි ඡායාරූප ගැනීමට සූදානම් විය. දියඇල්ල පසුබිමේ තබා සෙල්ෆි ඡායාරූපය ගැනීම ඔහුගේ අදහස වන්නට ඇත. එහෙත් බීමත්කම නිසා ඔහුගේ ඡායාරූපයට වැඩි වශයෙන් අන්තර්ගතව තිබුණේ පසුබිමේ සිටි ජනතාවය. මේ බව එම ස්ථානයේ සිටි පිරිසට පෙනී ගොස් තිබිණි. එබැවින් ඔවුන් පෙර කී බීමත් තැනැත්තාට අවවාද කොට තිබුණේ ඔහුගේ සෙල්ෆි ඡායාරූප ගන්නා ක්‍රමය වෙනස් කරන ලෙසය. නැතිනම් ඡායාරෑප ලබගැනීම නවත්වන ලෙස ඉල්ලීමක් කර තිබිණි.

දරාගත නොහැකි ලෙස මත්වී සිටි මෙම තැනැත්තා ඔහුට අවවාද කළ පුද්ගලයන් සමඟ උරණ වී කතාබහක් ඇතිකරගෙන තිබුණේ අනතුරුවය. නොහොබිනා වචන කියමින් ඔහු ඡායාරෑප ලබාගත්තද එහි රැඳී සිටි පිරිසේ බල කිරීම මත ඔහු එම ස්ථානයෙන් පිටවී ගොස් තිබිණි.

මේ අතර කාලයේ එම ස්ථානයේ නවත්වා තිබූ යතුරුපැදි දෙකකි. එහි ගමන් කර තිබුණේ තරුණයන් සිව් දෙනෙකි. ඔවුහු මෙම කැබ් රථ රියැදුරුගේ හැසිරීම නිරීක්ෂණය කරන්නට වූහ. සෙන්ට් ක්ලෙයාර් ඇල්ල අසල සිට නුවරඑළිය දෙසට ධාවනය වන කැබ් රථය නැවතත් පාර පුරා ගමන් කරන්නට විය. පෙර කී තරුණයන් සිව්දෙනා රැගත් යතුරුපැදිය ටික දුරක් එම කැබ් රථය පසුපස ධාවනය කරමින් සිට තලවකැලේ නගරයට සමීප වනවාත් සමඟ ඔවුන්ගේ ගමන වේගවත් කොට නගරයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් වෙත බීමත් රියැදුරුගේ කැබ් රථය පදවාගෙන ඒම පිළිබඳව දන්වා සිටියහ.

ඒ මොහොතේ පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ තොරතුර සම්බන්ධයෙන් සුළු මොහොතකට පෙර පොලිස් ස්ථානයෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බවය. අනිවාර්යයෙන්ම රථය පරීක්ෂාවට ලක් කරන බව එම නිලධාරීන් පවසා තිබුණි. තොරතුර ලබාදුන් තරුණයන් විසින් කැබ් රථයේ අංකය PK7021 බවද දන්වා ඇත. ඒ අනුව සුළු මොහොතකට පසුව පැමිණි සැකකාර කැබ් රථය නවත්වා පරීක්ෂාවට ලක් කිරීමේදී එහි රියැදුරු අධික බීමතින් සිටි බව දකින්නට ලැබිණි. එහිදී අත්අංඩගුවට ගැනුණු සැකකරු පදවාගෙන පැමිණි කැබ් රිය සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නිල රථයක් බව හඳුනාගෙන ඇත. වැඩිදුර පරීක්ෂාවේදී එම රථය පදවා තිබුණේ මනතුංග මුදියන්සේලාගේ සුමිත් නිමල් මනතුංග නැමැත්තකු බව තහවුරු විය. එහිදී පැහැදිලි වී ඇත්තේ එම පුද්ගලයා නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බවය.

මේ ආකාරයට බීමතින් දැඩි ලෙස අනාරක්ෂිතව නිල රථය පදවාගෙන ගිය සැකකරු අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 27 වැනිදා පස්වරුවේය. මෙම සැකකරු නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බවට සනාථ වීමෙන් පසුව ඔහු ආ ගිය තැන් හා මත්පැන් පානය කළ ස්ථානය පිළිබඳව විමසා ඇත. ඔහු මධුවිත පානය කොට තිබුණේ හිතවතකුගේ සාදයකට සහභාගි වීමේදීය.

යළි නුවරඑළිය බලා එන ගමනේදී මෙම සැකකරු හැටන් කුඩාගම ප්‍රදේශයේ සංචාරක හෝටලයකට ගොස් ඇතැයි කියා ඇත. එහි ගොස් තිබුණේ එම හෝටලයේ සේවකයන් බීමත්ව සිටිනවාදැයි පරීක්ෂා කිරීමට බවද පවසා තිබිණි. එහිදී එම පාලනාධිකාරිය දන්වා තිබුණේ තම හෝටලයේ කිසිදු සේවකයකු බීමතින් නැති බවකි. එසේම බීමත් අය පරීක්ෂා කිරීමට බීමත්ව නොපැමිණිය යුතු බවත් යළිත් පැමිණෙන විට එසේ නොපැමිණෙන ලෙසත් කී පසුව එම නිලධාරියා උරණ වී කේන්තියෙන් එතැනින් පිටව ගොස් ඇතැයි කියැවිණි.

අනතුරුව මෙම නිලධාරියා කොටගල ප්‍රදේශීය රෝහලට ගොස් එහි නිලධාරීන් පිරිසකට කතා කොට යළිත් නිල රථයෙන් පිටත්ව ඇතැයි කියති. මේ යන අතරතුරදී සෙන්ට් ක්ලෙයාර් දියඇල්ල අසල සිද්ධිය ඇතිවී තිබිණි.

අනතුරුව තලවකැලේ පොලිසියේ රථවාහන අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරු දෙකක් මත සැකකරු PK7021 දරන කැබ් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර පසුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. එසේ ඉදිරිපත් කර තිබුණේ පසුගිය 29 වැනිදාය. අධිකරණය හමුවේ වරද පිළිගත් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට නුවරඑළිය මහේස්ත්‍රාත් ජී.ජී. ප්‍රදීප් ජයසිංහ මහතා තරයේ අවවාද කළේය. එහිදී රජයේ ගාස්තු වශයෙන් රු. 1500ක් ගෙවන ලෙසද නියෝග කර රියැදුරු බලපත්‍රය මුදාහැරීමට කටයුතු කර තිබිණි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර