දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි මේ දිනවලදී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් හැත්තෑ පහකට වැඩි තරමක තද වැසි ඇතිවන බවත් මෙම ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
''මේ වනවිට දිවයිනේ නිරිත දිග කොටසක්, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි සවස් යාමයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවෙනවා. මේ තත්ත්වය අප්‍රේල් මස හතරවැනිදා සිට හයවැනිදා දක්වා කාලය තුළදී තරමක වැඩිවීමත් දක්නට ලැබෙනවා. මෙම වැසි වැඩිවීම උදේ කාලයට වඩා සවස් කාලයේදී තමයි වැඩි වශයෙන් සිදුවන්නේ.'' යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මෙම වැසි තත්ත්වය අප්‍රේල් මස පස්වැනිදා සහ හයවැනිදා දිනයන්හි දිවයිනේ බොහෝ පළාත්වලින් දැකගත හැකි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සූර්යයා දිවයිනට ඉහළින් අප්‍රේල් පස්වැනිදා සිට අප්‍රේල් පහළොස්වැනිදා දක්වා ගමන් කරයි. ඒ කාලසීමාවේ ඉතා අධික රස්නයත් දැනෙනු ඇත. එමෙන්ම වායුගෝලය සහ ජලාශ රත්වීමක්ද සිදුවේ. එමඟින් වායුගෝලයට ජලවාෂ්ප එක්වී වැහි වළාකුළු නිර්මාණය වීමට හැකියාවක් පවතී.
අප්‍රේල් පහළොස්වැනිදායින් පසුව උදය කාලය තුළදී වර්ෂාවක් නොවී සවස් කාලයේදී වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමට හැකියාවක් ඇත. බොහෝවිට ''බක්මහ අකුණු'' යැයි හඳුන්වන්නේ මේ කාලයේදී පවතින තත්ත්වයන්ය.
''මෙම කාලයේදී සැලකිය යුතු වර්ෂාපතනයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මැයි මාසයේ විසි හතර සිට විසි අට දක්වා දිවයිනට බලපානු ලබන නිරිත දිග මෝසම් කාල පරිච්ඡේදය ස්ථාපිත වීමට හැකියාවක් තියෙනවා. ඒ අනුව එතැන් සිට අවශ්‍ය තරම් වර්ෂාපතනයක් ලැබීමේ බොහෝ හැකියාවන් පවතිනවා. මේ අනුව මැයි මාසේ සිට සැප්තැම්බර් මාසය දක්වා වැසි සහිත කාලගුණික තත්ත්වයක් රට තුළ පවතීවි යැයි විශ්වාස කරනවා.'' යැයිද අතුල කරුණානායක මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
පසුගිය මාස කිහිපය තුළදී රටපුරා පැවැතියේ වියළි කාලගුණික තත්ත්වයකි. අවශ්‍ය වර්ෂාපතනයන් නොලැබී යාම හේතුවෙන් බොහෝ ගංගා, ජලාශ සිඳී යාමත් ජල මට්ටමේ විශාල අඩුවීමක් දැකගැනීමට හැකිවිය. කෘෂි ක්රමාන්තයටද මෙයින් සිදුවූයේ පාඩුවකි. නමුත් වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ පැවැති කාලගුණික තත්ත්වයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවී නැත. සෑම වසරකදීම මාර්තු සහ අප්‍රේල් මාසයක් තුළදී දිවයිනේ අධික රස්නයක් පවතී. එමෙන්ම වැහි වළාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාවද ඉතා අඩුය.
මෙම කාලයේදී ඉර ලංකාවට ඉහළින් පිහිටීම නිසා අධික රස්නයක් දැනේ. වායුගෝලයට එකතුවන ජල වාෂ්ප ශරීරය අසලින් ඉවතට ගමන් කිරීමට අවශ්‍ය කරන සුළං වේගය මේ කාලයේදී අඩුවක් දක්නට ඇත. ඊට අමතරව ඒවායෙන් වැහි වළාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාවයද අඩුවී ඇත. එම නිසා අපගේ ශරීරයට එකතුවෙන දහඩිය ඉක්මණින් වියළී යන්නේ නැත. මෙය සාමාන්‍ය සිදුවීමකි. සෑම වසරකදීම මේ කාලයේදී මෙම කාලගුණික තත්ත්වය ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අධික රස්නයක් සමඟ පිපාසය, හිසේ කැක්කුම වැනි තත්ත්වයක්ද ඇතිවිය හැකිය. කෙසේ වුවද ඉදිරි දින කිහිපය තුළදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් දිනවලදී තාවකාලික සුළං තත්ත්වයන් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
දිශානි ජයමාලි කරුණාරත්න