
ශ්‍රී ලංකාව මේ වනවිට සෑම අතින්ම බැටකන රාජ්‍යයක් බවට පත්ව තිබේ. රටේ ජනතාවට බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින්නට සිදුවී ඇත. ආහාර හිඟය. අධික මිලය. තුන්වේල තබා එක් වේලක්වත් කන්නට නැති මිනිසුන් වැඩිවෙමින් පවතී. දිනකට පැය 10 - 15ක් විදුලිය නොමැත. මේ වන විට ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තරම් ජලය නොමැත. එහෙයින් වැඩි වශයෙන් විදුලිය සැපයෙන්නේ තාප බලාගාර මගිනි. තාප බලාගාරවලට අවශ්‍ය ඩීසල්, දැවිතෙල් හා නැප්තා හිඟය. ඒවා ගෙන්වන්නට රටේ ඩොලර් නැත. ජල විදුලි නිෂ්පාදනය සඳහා ජලාශවල ඇති ජලය ප්‍රමාණවත් වන්නේ තවත් සති දෙකකට පමණක් බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කර තිබේ. ලබන අප්‍රේල් 15 පමණ වනවිට තවදුරටත් ජල විදුලිය නිපදවිය හැකිවේද යන්න සැකසහිතය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ඇතිවන්නේ මැයි මස අවසන් සතිය පමණ විටය. ඒ නිරිත දිග මෝසම් වැසි ඇතිවීමත් සමඟිනි. ඒ අනුව අප්‍රේල් 15 සිට මැයි මස අවසානය තෙක් ශ්‍රී ලංකාවට විදුලි අර්බුදයේ උච්චතම අවස්ථාවට මුහුණපෑමට සිදුවනු ඇත.
ප්‍රමාණවත් වැසි පවතින කාලවල ජල විදුලියෙන් දිනකට ඒකක මිලියන 24ක් පමණ නිපදවිය හැකිය. එහෙත් වර්ෂාව අවම කාලවල ඉන් ලබාගත යුත්තේ ඒකක මිලියන 5ක් පමණ ප්‍රමාණයක් වුවත් විදුලිබල මණ්ඩලය දිනකට ඒකක මිලියන 7ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන හෙයින් විදුලි අර්බුදය තවදුරටත් වර්ධනය වන බව ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි. තාප බලගාර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කළද උපරිමයෙන් ලබාගත හැකිවන්නේ මෙගාවොට් 2700ක් පමණක් බවත් ඒ අනුව මැයි මාසයේ වැසි ලැබුණද විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ වනවිට දිනකට මෙගාවොට් 2900ක විදුලිය ඉල්ලුමක් පවතී. මෙම ධාරිතාව සැපයීම සඳහා ප්‍රමාණවත් බලාගාර පැවතිය යුතුය. නඩත්තු කටයුතු, බිඳවැටීම් සහ ඉන්ධන නොමැතිකම වැනි කරුණු මත දැනට පවතින සියලුම බලාගාර එකවර ක්‍රියාත්මක කළ නොහැකිය. සෑම වසරකම මෙගාවොට් 150ක 200ක පමණ ඉල්ලුමක් අලුතින් නිර්මාණය වේ. මෙම ඉල්ලුම සපුරාලීම සඳහා සෑම වසරකම පාහේ නව විදුලි බලාගාර ඉදිවිය යුතුය. එහෙත් පසුගිය පස් වසර පුරා එකදු විදුලි බලාගාරයක් හෝ ඉදිවූයේ නැත.
ලංකාව මේ වනවිට මෙතරම් අර්බුදයකට මුහුණ පා සිටින්නේ නිසි කලට බලාගාර ඉදි නොවීම සහ ඉදිකිරීමට අනුමැතිය ලද බලාගාර නවතා දැමීම හේතුවෙන් යැයි විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පෙන්වා දෙයි.
වසර 2030 වනවිට රටේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම රජයේ ඉලක්කය වී තිබේ. සූර්යාලෝකය, සුළඟ, උදම්, තරංග සහ භූ තාප වැනි ස්වාභාවික වශයෙන් නැවත නැවත හටගන්නා සම්පත් මගින් උත්පාදනය කරනු ලබන බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය වශයෙන් හැඳින්වේ. පුනර්ජනනීය බලශක්තීන් අතරින් වඩාත්ම ප්‍රකට බලශක්තිය වන්නේ සූර්ය බලශක්තියයි. ලොව සියලු පුද්ගලයන් එක වර්ෂයක් තුළ භාවිත කරනු ලබන සියලු බලශක්තියට වඩා වැඩි බලශක්ති ප්‍රමාණයක් එක් පැයක් තුළ සූර්යයාගෙන් පෘථිවිය වෙත පතිත වෙයි.
2030 වසර වනවිට ලංකාවේ විදුලිබල අවශ්‍යතාව මෙගාවොට් 5000ක් පමණ විය හැකි බවට පුරෝකථනය කර තිබේ. නිසි පරිදි සූර්ය ශක්තිය ප්‍රයෝජනයට ගන්නේ නම් එයින් වසරකට කිලෝවොට් 3000ත් 6000ත් අතර ධාරිතාවක් උත්පාදනය කළ හැකිවනු ඇතැයි බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති. සුළං බලයෙන්ද මෙගාවොට් 5600ක්ද උපදවා ගත හැකි යැයි ඔවුන් පවසා තිබේ.

දැනට ලංකාවේ බලශක්ති පාරිභෝගිකයෝ ලක්ෂ හැටක් පමණ සිටිති. එම පිරිස අතරින් වහලය මත සවිකරන සූර්ය පැනල භාවිත කරනුයේ 32,000ක් වැනි සුළු පිරිසක් බව පැවසේ. නිරවිකරණය හා සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අභයගුණවර්ධන මහතා සඳහන් කර ඇති පරිදි අවම වශයෙන් මෙය ලක්ෂ දහයක් දක්වා වර්ධනය කරගතහොත් විශාල ජයග්‍රහණයකි. නිවසකින් කිලෝවොට් තුනක බලයක් නිපදවුවහොත් එය ගිගාවොට් තුනක ජාතික දායකත්වයක් වන බවත් මේ වනවිට ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයටද යම් සහනයක් වන බවත් ඔහු පවසා තිබේ. ව්‍යවසායකයන්, ආනයනකරුවන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව මුහුණ පා ඇති ප්‍රශ්නය නම් ඩොලර් හිඟයයි. එවැනි අවස්ථාවක රුපියල අවප්‍රමාණය වන වේගයට ගල් අඟුරු හෝ තෙල් නැවක් ආනයනයට විශාල ඩොලර් ප්‍රමාණයක් වැයවන අතර ජාතික ආර්ථිකයට දැඩි පීඩනයක්ද නිර්මාණය කෙරේ. එවැනි තත්ත්වයක් තුළ සූර්ය පැනල ප්‍රවර්ධනයෙන් ඩොලර් ඉතිරි කරගැනීමට පමණක් නොව ගෘහස්ථ පාරිභෝගිකයා විදුලි නිෂ්පාදකයෙක් බවටද පත්කළ හැකියැයි ඔහු සඳහන් කරයි. සිය නිවසේ සූර්ය පැනලය මගින් නිෂ්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට එක්කිරීමෙන් සාමාන්‍ය ජනතාවට යම් ආර්ථික සහනයක්ද ලැබෙනු ඇත.
වර්තමාන ආණ්ඩුව එවක ප්‍රකාශ කළේ රටේ බලශක්ති සැලසුම පුනර්ජනනීය බලශක්තිය මත සකස් කරන බවයි. පසුගිය වසර 7-8ක කාලය තුළ ඉදිකෙරුණු සූර්ය බලාගාරවලින් මේ වනවිට මෙගාවොට් 550ත් 600ත් අතර ප්‍රමාණයක් ලැබෙයි. ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 200ක ණය ආධාරයෙන් මන්නාරමේ ඉදිකළ සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 103.5ක් උත්පාදනය කළ හැකිය. එහි මෙගාවොට් එකක පිරිවැය රුපියල් 8කි. ඩීසල් බලාගාර මගින් විදුලිය නිපදවීමට යන පිරිවැය හා සැසඳීමේදී එය ඉතාම අවම මුදලකි. එහෙත් මේවායින් උපරිම ධාරිතාව ලබාගත හැක්කේ .එක්තරා කාලයකදී පමණි. මෙම සුළං බලාගාරයෙන් පසුගිය කාලයේ මෙගාවොට් 100ක පමණ විදුලියක් උපදවන ලද නමුදු මේ වනවිට සුළඟ අඩුවීම නිසා නිපදවන්නේ මෙගාවොට් 15ක පමණ විදුලියකි. නිවෙස්වල වහලය මත ඉදිකෙරෙන සූර්ය පැනල මගින් නිපදවන්නේ අඩු වෝල්ටීයතාවකි. වොල්ට් 11,000ත් 33,000 අතර විදුලියක් උත්පාදනය කළ හැකි. මධ්‍යම වෝල්ටීයතා බලාගාර මගින් විදුලිය අර්බුදයට යම් සහනයක් ලබාගත හැකිය. එහෙත් පසුගිය වසර දෙක තුළ මෙවැනි බලාගාර ඉදිකිරීම සඳහා සඳහා එකදු ටෙන්ඩරයක් හෝ කැඳවා නොමැත.
පසුගිය කාලයේ මෙගාවොට් 190ක විදුලිය නිපදවීම සඳහා වන බලාගාර ඉදිකිරීම සඳහා වන ටෙන්ඩර් කැඳවීම වසරකට අධික කාලයක් ප්‍රමාද කර තිබේ. 2020 වසරේ අගෝස්තුවේ මෙගාවොට් 150ක සූර්ය බලශක්ති බලාගාර සහ මෙගාවොට් 40ක සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණද සූර්ය, සුළං සහ ජලවිදුලි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ඊට අදාළ අනුමැතිය ලබාදීම ප්‍රමාද කරමින් සිටින බවට විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කරයි. මේ වනතෙක්ද එම ටෙන්ඩර් කැඳවා නොමැත.
විදුලිය අර්බුදය දිනෙන් දින උග්‍රවෙමින් පවතී. පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් කඩිනමින් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බැවින් එයට පිළියම් ලෙස අඩුවියදම් බලාගාර වන ගල්අඟුරු, එල්එන්ජී, සහ සුනීත්‍ය බලශක්ති බලාගාර ඉදිකළ යුතු බව විදුලි ඉංජිනේරු සංගමයේ අදහසයි. මෙම අර්බුදයට කෙටිකාලීන විසඳුම් නොමැති බවත් මෙම අර්බුදය 2026 වසර වන තෙක් අනිවාර්යයෙන්ම පවතින බවත් විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කරයි.
මේ අතර ඉන්දියාවේ අදානි සමාගම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙකක් ඉදිකිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයි පැවසේ. එම ව්‍යාපෘති දෙකෙහි ආයෝජනය ඩොලර් මිලියන 500ක් වන අතර එමගින් ජාතික පද්ධතියට මෙගාවොට් 500ක විදුලිය ධාරිතාවක් එක්කෙරෙන බව පැවසේ.
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජුලි චං මහත්මිය පසුගිය 28දා ජනාධිපතිවරයා හමු විය. එහිදී ඇය ජනාධිපතිවරයාට පවසා තිබුණේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා