2022 අප්‍රේල් 03 වන ඉරිදා

දිගටම උඩයන සහල් මිල

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 217

උත්සව සමය ආරම්භ වීමත් සමගම යළිත් වරක් සහල් පිළිබඳ කතිකාවතක් නිර්මාණය වෙමින් පවතී. එයට හේතුව මේ වනවිට සහල් කිලෝවක මිල රුපියල් 200 දක්වා ඉහළ නැග තිබීමයි. ප්‍රධාන පෙළේ මෝල් හිමියන්ට සහල්වල මිල තීරණය කිරීමට ඉඩදුන් දින සිට දිගින් දිගටම සහල් මිල වැඩිවූවා මිස අඩු වුයේ නැත. බොහෝ විට පොළොන්නරුවේ ප්‍රබල සහල් ව්‍යාපාරිකයන් මෙම මිල තීරණය කිරීමට නිසි බලධාරීන් වී ඇති අතර පසුගිය දෙසතිය තුළ ඔවුන් සහල් මිල දෙවරක්ම ඉහළ නැංවීමෙන් ඒ බව සනාථ වෙයි.

අරලිය සහල් මෝලේ මාර්තු මස 12දා රුපියල් 180ට අලෙවි කළ සම්බා කිලෝව 22දා වනවිට රුපියල් 205 දක්වා රුපියල් 25කින් ඉහළ නංවා ඇත. මාර්තු 12දා රුපියල් 175ට අලෙවි කළ නාඩු කිලෝව රුපියල් 200 දක්වාද රුපියල් 180ට අලෙවි කළ සුදු කැකුළු කිලෝව රුපියල් 200 දක්වාද වැඩිකර තිබේ. සතිය ඇතුළත රෝස කැකුළු කිලෝවක මිල රුපියල් 180ක් වූ අතර 22දා වනවිට රුපියල් 205 දක්වා රුපියල් 25කින් මිල ඉහළ දමා ඇත. ඕනෑම භාණ්ඩයක මිල ඉහළ නැංවූවිට වෙළෙඳුන් එයට හේතු ඉදිරිපත් කළද මෙම ව්‍යාපාරිකයන් කොතරම් මුරණ්ඩු වී දැයි කිවහොත් එලෙස සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ඔවුහු අපොහොසත් වී සිටිති.

වී මිලට ගැනීමේ මිල ඉහළ දැමූ නිසා මෙලෙස සහල් මිල ඉහළ දැමීමට සිදුවූ බව ඔවුන් රජයට වරද කියතත්, අද ඔවුන් සහල් බවට පත්කර නිකුත් කරනුයේ දැනට අවුරුදු 2-3 පමණ පෙර කිලෝව රුපියල් 30-40ට මිලට ගත් වී වල සහල් බව අමතක කළ යුතු නැත.

මෙවර කාබනික පොහොර බලහත්කාරයෙන් යෙදවීමට ගත් රජයේ අසාර්ථක උත්සාහය හේතුවෙන් වී නිෂ්පාදනය අඩකින් පමණ අඩුව ඇති නිසා වෙළෙඳපොළට වී ලැබීම අඩු වී තිබේ. එසේම ගොවියන් තම නිෂ්පාදනය ස්වකීය ආහාර වෙනුවෙන් කොටසක් වෙන් කිරීමට හැමදාම කටයුතු කළද මෙවර විශේෂත්වය වන්නේ අනාගතය ගැන පවතින අවිනිශ්චිත භාවය නිසා සහල් අලෙවි නොකර වැඩි කොටසක් ස්වකීය අනාගත පාරිභෝජනය සඳහා වෙන්කර තිබිමය.

වී නිෂ්පාදනය අඩුවූයේ සියයට 25කින් පමණකැයි කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රචාරය කළද මහ කන්නයේ අස්වනු හානිය සියයට 50කට ආසන්න බව කාෂි විශේෂඥයෝ කරුණු කාරණා සහිතව ඔප්පු කර සිටිති. ඊළඟ යල කන්නයේ හානිය මෙයට වඩා වැඩිවිය හැකි බවට ගොවීහු පවසති. යල් කන්නයේ හෙක්ටයාර ලක්ෂ 5ක් වගා කිරීමට කෘෂි අමාත්‍යංශය බලාපොරොත්තු වන බව පැවසුවද අද පවතින වාතාවරණය අනුව අනාගතය දැඩි අවිනිශ්චිතතාවයක ගිලී පවතී. වගාව පිළිබඳ ක්‍රමවත් සැලසුමක් රජය සතුව නැත. මහ කන්නයේ වී අස්වනු විශාල ලෙස අඩුවීම හේතුවෙන් අනුරාධපුර, පො‍ළොන්නරුව, අම්පාර, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසක වී මිල ඉහළ ගොස් තිබේ. නාඩු වී කිලෝව රුපියල් 110-120 අතරද, සම්බා 115-125 අතරද කීරි සම්බා 125-150 මට්ටමේද පවතී.

මේ අතර තිස්සමහාරාම පන්ගමුව සහල් සංකීර්ණය සතුව පවතින රජයේ වී මෝල් සක්‍රියව තිබියදී වී අලෙවි මණ්ඩලය පෞද්ගලික සහල් මෝල් හිමියන්ට වී නිකුත් කර සහල් කරගන්නා බව වාර්තා වී තිබේ. මෙය වසර ගණනාවක් සිට සැලසුම් සහගතව කෙරෙන්නක් වන අතර මේ නිසා විශාල මුදලක් පෞද්ගලික මෝල්වලට ගෙවීමට සිදුව ඇත. එසේම සහල්වල අතුරු ඵල ලෙස ලැබෙන සුණු සහල් හා සහල් කුඩුද සතොසට අහිමි වී තිබේ. රජය සතු සහල් මෝල දිවා රාත්‍රී ක්‍රියාත්මක කර සහල් කිලෝ 40,000ක් නිපදවිය හැකි බවද හෙළි වී ඇති අතර එය නිෂ්ක්‍රියව තබාගෙන පෞද්ගලික අංශයට දෙන්නේ අත යට වාසි ලබා ගැනීමට බව හෙළි වේ.

යල කන්නයේ රසායනික පොහොර ලබා නුදුන්නහොත් අගෝස්තු මස සිට මිලට ගැනීමට සිදුවන්නේ කිලෝ 5-10 සහල් පැකට් නොව සැෂේ හුණ්ඩු පැකට් බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පවසයි. මේ වනවිට රටේ පවුල් ලක්ෂ 5කට වැඩි පිරිසක් සහල් කිලෝවක් හෝ මිලට ගත නොහැකිව විකල්ප ආහාර ලෙස ගස්ලබු, කටුඅල හා පිටි ආහාරවලට යොමුව ඇතැයි ඔහු කියයි.

''මහ කන්නයේ සියයට 50 ක් අස්වැන්න අඩුවුණා. දැන් ඒ අඩුව වහන්න ඉන්දියාවෙන් හා චීනයෙන් සහල් ණයට ගන්නවා. ඉන්දියාව කියන්නේ ලංකාවට වඩා සියයට 25ක් රසායන පොහොර පාවිච්චි කරන රටක්. චීනයේ අපේ රටට වැඩියෙන් සියයට 200ක් රසායන පොහොර යොදනවා. ඉතින් අපේ රටේ ස්වභාවික කාබනික පොහොර පාවිච්චි කරන්නට බලපෑම් කරලා අවසානයට සිදුවූයේ රසායනික අඩංගු පිටරට සහල්වලින් කුසගිනි නිවා ගැනීමටයි.

පහුගිය මාස 4ට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් අපනයනය කර තිබෙනවා. බදු රහිතව ආනයනය කළ මෙම සහල් වරායෙන් පිටතට එද්දී වැයවුණේ කිලෝවට රුපියල් 100ට අඩු මුදලක්. ඒත් ඒවා දේශීය සහල් විදියට කිලෝව රුපියල් 175ට 180ට විකුණනවා. මෙම ලාභය යන්නේ කොහාටද යන්න ගැටලු සහගතයි.''

මහකන්දරා වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.එම්.ආර්. රාජපක්ෂ:

පොහොර අර්බුදය, තෙල් සහ ඩොලරයේ අවප්‍රමාණ වීම ආදී හේතු අද පවතින සහල් මිලට බලපා තිබෙනවා. සහල් හිඟයට පිළියමක් ලෙස ආනයනය කරන සහල් කෙලින්ම පාරිභෝගිකයාට එන්නේ නැහැ. කොටසයි ලැබෙන්නේ. ඉතිරි සහල් අතරමැදියන් අතට පත්වෙනවා. පිටරටින් ගෙන්වන සහල් දේශීය ලේබලය යටතේ විකිණීම අද හොඳ ජාවාරමක් වෙලා. මෙයට රජය හා වගකිවයුත්තන් නිහඬයි.

නිෂ්පාදනය කරන සහල් පිළිබඳ නිවැරදි තොරතුරු ගොවියන්ගෙන් ගන්නේ නැහැ. පසුගියදා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද පළාත් සභාවේ කැඳවා තිබූ රුස්වීමට අපිත් සහභාගී වී කරුණු ඉදිරිපත් කළත් ඒවා නොසලකා හැර ඒ අයගේ වන්දිභට්ටයන් කියන දේවල් තමා අහන්නේ. අපට කතා කරන්න දුන්නේ නැහැ. අපි කියන දේට අවධානය යොමුකළේ නැහැ. ගොවියන් කණ්ඩායමක් කොළඹට කැඳවා අගමැතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වුවත් එය අසාර්ථක වුණා. ආණ්ඩුව වී වලට පාලන මිල වැඩිකළා. රුපියල් 90ට වී ගන්නා බව පැවසුවා. ඒත් ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී දුන්නේ නැහැ. රජය රුපියල් 90ට ගන්නා වී පුද්ගලික මුදලාලිලා කිලෝව රුපියල් 100ට 120ට ගන්නවා. වී කිලෝ 100ක් වික්කොත් කිලෝව රුපියල් 30ක් වැඩියෙන් දුන්නොත් රුපියල් 3000ක් වැඩියෙන් ලැබෙනවා. ඉතින් කවුද රජයට වී දෙන්නේ. රජය වී මිලට ගන්නා ව්‍යාපෘතිය හැමදාම අසාර්ථක වෙන්නේ එය ප්‍රායෝගික නොවන නිසයි. අද වනවිට මේ ප්‍රදේශයේ සහල් මිල විශාල ලෙස ඉහළ නැගලා තිබෙනවා. වී නිෂ්පාදනය කරන ප්‍රදේශ වුණත් සුදු සහ රතු කැකුළු කිලෝව රු.190 දක්වාද නාඩු සහල් 190 දක්වාද සම්බා සහ කීරි සම්බා පිළිවෙළින් රුපියල් 200, 220 දක්වාද මිල ඉහළ ගිහිං. මේ මිලෙන් වැඩිපුර ප්‍රයෝජන ගන්නේ ගොවියා නොවෙයි. මෝල් හිමියන් සහ අතරමැදියන්. ගොවියන් මෙන්ම පාරිභෝගිකයන්ද හිරිහැරයට පත්වෙලා සිටිනවා. මිල පාලනය කරනකොට වෙන්ඩ තියෙන දේ වෙලා ඉවරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා පවසන්නේ සහල්වලට රජය යළි පාලන මිලක් දමන්නේ නම් එය යහපත් වන අතර එහිදී අනිවාර්යයෙන් ඇතිවිය හැකි සහල් හිඟය මගහැරීම සඳහා සහල් බෙදාහැරීමේ කටයුතුවලට සාර්ථකව මැදිහත් විය යුතු බවය. එසේ නොවුණහොත් තත්ත්වය උග්‍රවනු ඇතැයි ඔහු පවසයි.

''දැනට සහල් හිඟයට සහ මිල ඉහළයාමට ප්‍රධාන හේතුව වන්නේ මහා පරිමාණ මෝල් හිමියන් අතට සම්පූර්ණයෙන්ම පාහේ සහල් ව්‍යාපාරය නතුවෙලා තිබීමයි. ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි වෙළෙඳපොළ හසුරුවනවා. දිගටම මිල වැඩිකරන බවයි පෙනෙන්නේ. සහල් ඇති තරම් වෙළෙඳපොළට නිකුත් නොකිරිම තුළින් හිඟයක් සහිත කෘත්‍රිම වෙළෙඳපොළක් නිර්මාණය කර තිබෙනවා. මෙයට තාවකාලිකව හෝ විසඳුමක් වශයෙන් කළයුතු වන්නේ සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂයක පමණ තොගයක් රජය සපයාගෙන එය ආරක්ෂිත තොගයක් ලෙස තබා ගැනීමයි. එවිට තවදුරටත් මිල ඉහළ ගියොත් එම තොගය වෙළෙඳපොළට මුදාහැර මිල පාලනය කළ හැකියි. එහෙත් මෙම වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යංශය හෝ වෙළෙඳ අමාත්‍යංශය උනන්දුවක් නොදැක්වීම කනගාටුවට කරුණක්.

ජනතාවට සහන සලසන්නට යැයි රජය මගින් ආනයනය කෙරෙන සහල් තොගද මහා පරිමාණ මෝල් හිමියන් අතට පත්වෙන බවයි මේ වනවිට දැනගන්නට ඇත්තේ. ඒ නිසා ආනයනය කිරීමෙන් බලාපොරොත්තුවන ප්‍රතිඵල ළඟා කර ගත නොහැකිව තිබෙනවා. සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීම හරියට කළමනාකරණය කළ හැකි නම් මෙම තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. දැනට මහා පරිමාණ මෝල් හිමියන් රුපියල් 200ට අලෙවි කරන්නේ කිලෝව රුපියල් 35-40ට මිලට ගත් වී වලින් තැනූ සහල්. මෙයින් ඔවුන් අධික ලෙස ලාභ උපයනවා. මෙම තත්ත්වය නැති කිරීමට විවිධ ආණ්ඩු නොයෙක් පියවර ගත්තත් සාර්ථක ප්‍රතිඵල ලැබී නැහැ. දැනට වෙළෙඳ පොළේ පවතින්නේ කෘත්‍රිම මිලක්. ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වූ මිලක් නොවෙයි. වෙළෙඳපොළට සහල් සැපයුම වැඩිකළ හැකි නම් මේ මිල ඉහළ යාම පාලනය කළ හැකියි. පිටරටින් ආනයනය කරනවාට වඩා රටේ නිෂ්පාදනය විධිමත් ලෙස කළමනාකරණය කිරීම වැදගත් වෙනවා.

වී මිල ඉහළ යාමට තවත් හේතුවක් වන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි. රසායන පොහොර අර්බුදය නිසාද වගාවට වියදම් අධික වීම නිසාද ගොවියාට වැඩි වියදමක් දැරීමට සිදුව තිබෙනවා. ඒ නිසා මිල වැඩිකර අස්වැන්න අලෙවි කරන්නට සිදුව තිබෙනවා. රජය කොපමණ වැඩි මිලක් නියම කළත් එයට සමගාමීව වැඩි මිලකට වී මිලදී ගන්න පුද්ගලික ව්‍යාපාරිකයන් සමත් වෙලා තියෙනවා. ඒ නිසා ගොවියා වැඩි ආදායමක් බලාපොරොත්තුවෙන් ඒ අයට සැපයීම නැවැත්වීම අපහසුයි.

නාමල් කරුණාරත්න, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක:

''ආනයනය කරන සහල්වල වස වැඩියි. මිල ඩුයි. නැවෙන් බානවිට සහල් කිලෝවක මිල රුපියල් 100ට අඩුයි. ඒත් රටේ සහල් මිල ඇත්තේ රුපියල් 200 මට්ටමේ. මේ හේතුවෙන් පිටරට සහල් අපේ සහල්වලට කලවම් කරලා විකිණීම හොඳ ජාවාරමක්.  මෙය අද ඊයේ සිදුවෙන දෙයක් නොවෙයි. ආදි කාලයේ සිට සිදුවන්නකි. කවුරුත් දන්නා රහසක්.

2016 දෙසැම්බර් 30 දින මෙලෙස සහල් කලවම් කර අලෙවි කිරීම පිළිබඳ විගණන වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. එහි සඳහන් වන්නේ මෙයින් වසරකට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 1515ක් සහ ලක්ෂ 70ක් බවයි. ඒ නිසා මෙය දිගටම සිදුවන හොඳ ජාවාරමක්. ලංකාවේ සහල් නිෂ්පාදකයන්ගේ ගෝනිවලට දමා ඒ අයගේ ලේබල් යටතේ වෙළෙඳපොළට එනවා. පිටරටින් ගෙනෙන සහල් හොඳට පොලිෂ් කරලා අලුත් කළාම අපේ දේශීය සහල්වලට පෙනුමෙන් බොහෝදුරට සමානයි. ඒවා දේශීය සහල්වලට මිශ්‍රකළ විට කොහොමවත් සොයාගන්න බැහැ.

අපේ නිවෙස්වල තිබෙන කුඹුරෙන් ගන්නා දේශීය සහල්වලට කෘමීන් බෝවෙන්නේ, පණු කූඩ හැදෙන්නේ ඒවා රසායනික ද්‍රව්‍යවලින් තොර නියම පිරිසිදු සහල් නිසයි. අපේ ගෙවල්වල අම්මලා ඉස්සර මිට හාල් ලෙස තබාගෙන සිටින සහල්වලටද ටිකක් කල් යනවිට එවැනි පණු කූඩු හැදෙනවා. ඒත් පිටරට සහල් රසායනික ද්‍රව්‍යවලින් ඔද්දල් කරලා ඇති නිසා ඒවාට කිසිදු උපද්‍රවයක් නැහැ. ඒ නිසා එම සහල් නිකුත් නොකර අවුරුදු දෙකක් පමණ තබාගන්න පුළුවන්. මේ අවුරුදු දෙක පසුවූ පසු කල් ඉකුත් වූ බව ප්‍රකාශ කරලා සත්ව ආහාරවලට යැයි අඩුමිලට අලෙවි කරනවා. කිලෝව රුපියල් 18-20 ආදී වශයෙන්. මේ හාල් සත්ව ආහාරවලට යන්නේ නැහැ. ඒවා යළි පිට පාරෙන්ම සහල් මෝල් හිමියන් වෙතට යනවා. මෙවැනි අවස්ථා මම අතටම අල්ලලා දීලා තියෙනවා. ඒත් වැඩක් වෙලා නැහැ.

මෙවැනි දූෂිත ව්‍යාපාරවලට කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ වෙළෙඳ අමාත්‍යංශයේ ඉහළ දේශපාලනඥයන් උසස් නිලධාරීන් සම්බන්ධයි. සහල් ගබඩාකර තබාගෙන සත්ව ආහාරවලට විකුණන්නේ ඒ අයගේ දැනුවත්කම මතයි. ඉතින් ඒවා වැඩි මිලට අලෙවි කරලා විශාල ආදායමක් ලබනවා. මෙම තත්ත්වය මහා පරිමාණ මෝල් හිමියන් දන්නා නිසා ඒ අය වැඩිමිලට සහල් අලෙවි කරන විට නවත්වන්න රජයේ බලධාරින් මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා මහා වෙළෙඳුන් හතර පස් දෙනෙක් අතර සහල් මිල පිළිබඳ මාෆියාවක් ඇතිවෙලා තියෙනවා.

අනික් අතට සහල් ආනයනය කිරීමට රජය නොපමාව පියවර ගන්නේ ආනයනය කරනවිට විශාල කොමිස් මුදලක් ලැබෙන නිසයි. ඔය චීනය, ඉන්දියාව වගෙ මොන රටෙන් ගෙනාවත් කොමිස් මුදල ලැබෙනවා මෙහිදී ඔවුන් අවස්ථා දෙකකදී මුදල් හම්බ කරනවා. ආනයනයේදී ලැබෙන කොමිස් මුදලට අමතරව සත්ව ආහාර ලෙස අඩු මිලට ලබාගෙන වැඩිමිලට විකිණීමේදී ආදායම් ලබනවා. මේ තත්ත්වය නැති කරන්න බැරිවෙලා තියෙන්න්. මේ තත්ත්වය නිසා බව මම වගකීමෙන් යුතුව කියනවා. 

■   යසවර්ධන රුද්රිගු