
දළදා වහන්සේ වැඩසිටි ස්ථාන ගැන බෞද්ධ ජනතාව තුළ ඇත්තේ මහත් ගෞරවයකි. මහනුවර රාජධානි සමයේ ඕලන්ද හා ඉංග්‍රීසි ආක්‍රමණ උඩරටට සිදුවන විට දළදා වහන්සේ සෙංකඩගල දළදා මාලිගයෙන් රහසිගතව පිටමං කර ආරක්ෂා කිරීමට එකල රජවරු සහ භික්ෂූන් වහන්සේ කැපවූහ. එසේ වර්ෂ 1815 දී උඩරට ආක්‍රමණයට ඉංග්‍රීසින් සූදානම් වන විටම දළදා වහන්සේ මහනුවර නගරයෙන් පිටමං කළ අවස්ථාවේ සඟවා තැබූ රහසිගත ස්ථානයකි, උඩදුම්බර තලගුණේ ඛෙත්තාරාම විහාරය. දුම්බර කඳු බෑවුමේ දුෂ්කර ඉතා සොඳුරු ගම්මානයක පිහිටි මේ විහාරය බලධාරීන්ගේ අවධානයට ලක් නොවූ නිසා විනාශ වී යාමට පටන්ගෙන තිබේ. එය පුරාණ බෙදීම් අනුව අයත් වන්නේ උඩදුම්බර ගංදෙකේ කෝරළයටයි.
ඛෙත්තාරාම විහාරාධිපති පාතදුම්බර අධිකරණ සංඝනායක නාරම්පනාවේ ධම්මාලෝක නාහිමි සඳහන් කරන්නේ ඉතා සුවිශේෂී ඓතිහාසික වටිනාකමක් සහිත මෙම පූජනීය ස්ථානයේ දළදාව සඟවා තැබූ බව පුරාණ පුස්කොළ පොතකින් හෙළිවන බවයි. තලගුණේ ඛෙත්තාරාම විහාරාධිකාරී නාරම්පනාවේ සුමනරතන හිමියෝ මෙම ඓතිහාසික පුදබිමට වර්තමානයේ අත්ව ඇති ඉරණම ගැන මෙසේ අපට පැවසූහ. &විහාර මන්දිරය අබලන්වෙලා පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වරින් වර ලිඛිතව වගේම වාචිකවත් දැනුම් දී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය ආදී බොහෝ වගකිවයුතු තැන්වලට මේ ගැන දැනුම් දුන්නා. නමුත් තවමත් කිසිම පියවරක් නම් අරගෙන නෑ.*
මේ වටිනා අප්‍රකට පුරාවිද්‍යා උරුමය ගැන සොයා බැලීමට අප උත්සාහ කළේ ඒ ගැන පාඨකයන් දැනුම්වත් කර ඔවුන් තුළ උනන්දුවක් ඇති කිරීමටයි.
මහනුවර මහියංගණය මාර්ගයේ තෙල්දෙණිය, හුන්නස්ගිරිය පසුකර කි.මී. 48ක් යන විට උඩදුම්බර නගරය හමුවේ. දුම්බර කඳුවැටියේ බෑවුමක පිහිටි උඩදුම්බර සිට වම්පසට ඇදී යන කළුගල මාර්ගයේ කි.මී. 9ක් පමණ දුරක් කඳු බෑවුම් හරහා පියමං කරන විට විහාරය පිහිටි තලගුණේ නම් සුන්දර ගමට පිවිසිය හැකිය. එයට යාබදව පිහිටියේ කිරිගංකුඹුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයයි. තලගුණේ ගමට වෙනම ග්‍රාම නිලධාරී වසමක් තිබේ. කඳුවලින් වටවූ තැනිතලා බිමක පිහිටි මේ ගම උඩරට රාජධානි කාලයේ ආරම්භ වූ බවට මතයක් පවතී. රජවාසලට අවශ්‍ය සළුපිලි නිපදවූ ගමක් වශයෙන්ද එකල තලගුණේ ප්‍රකටව තිබුණි.
ගමට තලගුණේ යන නම ලැබී ඇත්තේ දෙවැනි රාජසිංහ රජුට වැළඳුණු අසනීපයක් සුව කිරීමට මේ ගමේ සිටි වෙන්නක්තු නිලමේ නම් පුද්ගලයා විසින් තල මිශ්‍ර ඉඟුරු ආහාරයට ලබාදීමෙන් පසුව බව ජනප්‍රවාදවල දැක්වේ. අසනීපය සුව වූ රජු &තල ගුණයි* යන්න පැවසූ බවත් ඉන්පසුව තලගුණේ යන නම බිහිවූ බවත් පැවසේ.
දුම්බර රටාවලටද තලගුණේ ප්‍රසිද්ධය. තලගුණේ අම්බලම ද ඓතිහාසික ස්මාරකයකි. පුරාණයේ හංවැල්ල, දඹගහපිටිය, ආඬිදෙණිය, පල්ලේවෙල, උඩවෙල, මීමුරේ වැනි දුම්බර කඳුකරයේ ගම්මානවලට යන මාර්ගයක් වැටී තිබුණේ තලගුණේ හරහාය. පා ගමනින් කඳු කරහා යන ගැමියන්ට විවේක ගැනීමට තලගුණේ අම්බලම තනා තිබේ. අබලන්ව පැවති අම්බලම වර්ෂ 1938 දී රන්බණ්ඩා නම් කෝරාළ විසින් අලුත්වැඩියා කර ඇත.
මාදුගොඩින් බැස්සම කිරිගංකුඹුර
සුසිරි තලගුණය හංවැල්ල උඩවෙල
ගිරව් නාන කළුගල් ඔය බැලුම්ගල
උඩත්වෙලට නිසි ඔබනා යහන්ගල
තලගුණේ අවට ගම් ගැන කියැවෙන ජන කවියකි, ඒ.
ඉංග්‍රීසිහු වර්ෂ 1815 දී උඩරට ආක්‍රමණය කර 1815 පෙබරවාරි 15දා මහනුවර නගරය අත්පත් කර ගත්හ. 1815 පෙබරවාරි 18දා මැදමහනුවර බෝමුරේ සැඟව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් විය. මේ අවස්ථා දෙකේදීම දළදා වහන්සේ දින 15ක් සඟවා තිබී ඇත්තේ තලගුණේ විහාරයේය. ඒ බව හෙළිකරන තුඩපතක් විහාරාධිකාරි නාරම්පනාවේ සුමනරතන හිමි සතුව පවතී. එම තුඩපත ලියා ඇත්තේ දළදාව ආරක්ෂා කිරීමට විශාල කැපකිරීමක් කළ රඹුක්වැල්ලේ උන්නාන්සේ නම් හිමිනම විසිනි. තුඩපතේ දෙවැනි පිටුවේ මෙසේ සඳහන්ය. පිරිකරක්ද පූජා කෙරෙමින් වටපුළුවේ නායක උන්වහන්සේද හුළංගොමුවේ උන්වහන්සේද මහනගැහුවල උන්වහන්සේද මේ සංඝයා තුන්නමත් කැටුව ආ කීප දෙනකුටත් රඹුක්වැල්ලේ භික්ෂු වන මා විසින් මාගේ බන්ධු උපාසකවරුන් සහායෙන් උපකාර කරවමින් පසළොස් දවසක් මෙම තලගුණේ විහාරේ පදිංචිව සිටලා කුම්භ රවි දසභාග වූ ඉරිදා මැදමහනුවරටත් සතුරු භය පැමිණි නිසා දළදා හාමුදුරුවන් අප්‍රසිද්ධ ආකාරයෙන් වැඩමවාගෙන මැදිවක විහාරෙ පස් දවසක් වැඩසිටවලා...

තලගුණේ විහාරය ආරම්භ කර ඇත්තේ වර්ෂ 1746 – 1780 අතර කාලයේ බව පැවසේ. මේ කාලයේ උඩරට රජ කළේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ වන අතර ඔහුගේ ශාසන පුනර්ජීවන කටයුතු තලගුණේ විහාරයටත් බලපාන්නට ඇත. විහාර බිම වටාම යන සේ මෑත අතීතයේ ඉදිකළ වලාකුළු බැම්මකි. මෙහි විහාර මන්දිරය කුඩාය. එයට ඇතුළු විය යුත්තේ ආරුක්කු ආකාරයේ දොරටුවකිනි. දොරටුවේද සිතුවම් ඇඳ තිබේ. විහාර මන්දිරය තුළ ආසනයක් මත පිහිටි හිඳි බුද්ධ ප්‍රතිමාවකි. පිළිමයට සිරස්පතක්ද සහිතය. එම පිළිමයට වන්දනා කරන සැරියුත් - මුගලන් දෑගසව් චිත්‍ර බිත්තියේ ඇඳ තිබේ. හිඳි පිළිමය දෙපසින් අභය මුද්‍රාවෙන් යුත් හිටි බුදු පිළිම දෙකකි. උඩරට සම්ප්‍රදායට අයත් දියරුලි ආකාරයේ සිවුරු සහිතව නිර්මාණය කර ඇති මේ පිළිම තුන වටාම ඇත්තේ සිරුර වටාම යන සේ තනා ඇති බුදු රැස් මාලාවක්ය.

ලියවැල් රටා සහිත වියනකි. වියන සහිත පියස්ස දරා සිටින්නේ පේකඩ කැටයම් සහිත දැව කණුවලිනි. මේ දැව කණු මෙන්ම වියනේ දැව පුවරුද දිරාපත් වී තිබේ. විහාරය ඇතුළත බිත්තිය තීරුවලට බෙදා සූවිසි විවරණය ඇඳ තිබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යයි සැලකිය හැකි චිත්‍රයක්ද දේව රෑපයක්ද විහාර චිත්‍ර අතර ඇති අතර මෙම සිතුවම්වල පසුබිම තද රතු වර්ණයෙන් යුක්තය. මේ සිතුවම් පතුරු ගැලවී විනාශ වී යමින් තිබේ.
මධ්‍යම පළාත ගැන සඳහන් ඒ.සී. ලෝරිගේ ගැසටියර් වාර්තාවේ දැක්වෙන්නේ තලගුණේ සහ හපුදණ්ඩාවල 1890 කාලයේ ආරච්චි වසම් ලෙස පැවති බවයි. කඳු වටකරගත් තැනිබිමේ කුඹුරු වගාව එකල ද සිදුව තිබේ. වර්ෂ 1878 දී කුඹුරු අක්කර 320ක් ආණ්ඩුවේ ලියාපදිංචි කර තිබූ බව ලෝරි සඳහන් කරයි. එකල විහාරයට කුඹුරු අක්කර 6.5ක් අයත්ව තිබූ බවද අක්කර බාගයක ඉඩමක විහාරය පිහිටා තිබූ බවද ලෝරි පවසා තිබේ. එවකට විහාරය සතුව නිලපංගු රුසක් ක්‍රියාත්මකව පැවති බව ලෝරිට දැනගන්නට ලැබී ඇත. ඒ නිලපංගු නම් හේවිසි තම්මැට්ටම් ගැසීම, මළුවේ තණකොළ ඉවත් කිරීම, උත්සව අවස්ථාවලදී විහාරය සැරසීම, විහාරයේ මණ්ඩපය සකස් කිරීම, විහාරයට පිදුරු මිටි 400ක් සැපයීම, බොරළු පස් විහාර බිමේ ඇතිරීම, මණ්ඩපයේ ගොම මැටි ආලේප කිරීම ආදී කටයුතු එම නිලපංගුවලට අයත්ව තිබුණි.
■ කුසුම්සිරි විජයවර්ධන