2022 අප්‍රේල් 03 වන ඉරිදා

පල්හොරු අමනයන් එක්කර එකට බැඳ වනසා දැමිය යුතු කාලය එළඹ ඇත

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 129

බල කාමය ඉහට ගැසුවාට පසු කරන්න නුපුළුවන් දෙයක් නැත. තමාද මැරෙන කෙනකු යැයි ද අමතක වෙයි. ඇතැම් පුද්ගලයන් සතුව බල කාමය (Will to Power) යනුවෙන් ද්විතීයික ප්‍රේරණයකි. බල කාමය ඉහට ගැසීම පිළිබඳව මැනවින් විග්‍රහ කළ දාර්ශනිකයකු ඉතිහාසයේ හමුවේ. ඔහු ෆ්‍රෙඩ්රික් නීට්ෂේය. ඔහු මෙසේ දක්වා තිබේ. 

ලෝකයම බලයට ඇති කැමැත්තයි - වෙන කිසිවක් නැත! ඔබම බලයට ඇති කැමැත්තයි - වෙන කිසිවක් නැත! - ෆ්‍රෙඩ්රික් නීට්ෂේ

(The world itself is the will to power - and nothing else! And you yourself are the will to power - and nothing else!)

නීට්ෂේ පවසන ආකාරයට ලෝකය බලයට කැමැත්තක් දක්වති. සමහරු බලයට එන්නට කලින් සම්පූර්ණයෙන් වෙනස් වෙති. ඇවතුම් පැවතුම් වුවද බොහෝ යහපත් වෙයි. බලයට පැමිණීම සමාජයේ විවිධ මට්ටම්වලින් දකින්නට ලැබෙයි. ඇතැම්විට රටේ ප්‍රධානියා වීමටද පුළුවන. මැති ඇමැතිවරුන් වීමටද හැකිය. ඇතැම්විට ආයතනයක, අංශයක ප්‍රධානියා වීමටද හැකිය. අධ්‍යක්ෂක, සභාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂක කෙනකු වීමටද පුළුවන. ත්‍රිවිධ හමුදාවල ඉහළ තනතුරු දරණ අය වීමටද පුළුවන. සමහරක් බලයට පැමිණීමට පෙර සිටි පුද්ගලයා බලයට පැමිණි පසු සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. 

සැබැවින්ම බලය, තනතුරු යනු සෙස්සන් යටත් කර ගැනීම සඳහා යොදවන ආයුධයක් හෝ වරදාන වරප්‍රසාද ලබාගැනීම උදෙසා යොදවන තුරුම්පුවක් නොව නිවැරදි මෙහෙයවීම සහ කළමනාකරණය උදෙසා යෙදවිය යුත්තකි. 

එහෙත් බහුතරයක් මිනිසුන් බලය හා තනතුරු ලැබුණු විට ඒකාධිපති ස්වරෑපයකට පත් වන්නේ ඇයි?

විෂ්ණු ෂර්මන් “පංචතන්ත්‍රය” තුළ බලය පිළිබඳ මනා විග්‍රහයක් කරයි. “පංචතන්ත්‍රය” යනු ප්‍රධාන පාලන ක්‍රම පහක් හෙවත් තන්ත්‍ර පංචකයක් පිළිබඳ දැක්වෙන ග්‍රන්ථයකි. එහි දැක්වෙන රාජ්‍ය තන්ත්‍ර පහ නම් සාම, දාන, දණ්ඩි, භේද සහ ලබ්ධිකරණයි. සමහර පාලකයෝ සාමයෙන්ද, සමහර පාලකයෝ දානයෙන් ද, සමහර පාලකයෝ භේදයෙන්ද, සමහර පාලකයෝ දඬුවම් කිරීම මගින් හා සමහර පාලකයෝ ආගම මගින්ද මහජනතාව පාලනය කරති. බලයට පැමිණීමටද මෙම ක්‍රම භාවිත කරති. 

ෆ්‍රෙඩ්රික් නීට්ෂේ නම් දාර්ශනිකයා මෙසේ පවසා සිටී. යමකු රාක්ෂයන් සමඟ සටන් කළද, එම ක්‍රියාවලියේදී ඔහු රකුසකු නොවීමට වගබලා ගත යුතුයි. මීට අමතරව ඔබ අගාධයක් දෙස දිගු වේලාවක් බැලුවහොත්, අගාධය ඔබ දෙසට හැරී බලන බව ඔබ සිතිය යුතුයි. (Whoever fights monsters should see to it that in the process he does not become a monster. In addition, if you gaze long enough into an abyss, the abyss will gaze back into you)

ලෝකයට අවැසි වන්නේ නොනැමිය යුතු තැන නොනැමෙන්නට තරම් ශක්තිමත් කශේරුකාවක් ඇති මිනිසුන් සේම රුදුරු ආඥාදායකයන් වෙනුවට සොඳුරු ආඥාදායකයන්ය... ඒකාධිපති පාලකයන් වෙනුවට නම්‍යශීලී නායකයන්ය... හුදෙක් අණ දෙන්නන් වෙනුවට තම යටත් වැසියන්ට සේවකයන්ට සවන් දෙන්නන්ය... ඔවුන්ගේ හදගැස්ම අබිමුවේ වියරු වැටෙන්නන් නොව සංවේදීවන්නන්.... හුදෙක් රටක පාලන තන්ත්‍රය විෂයෙහි පමණක් නොව සියලු සමාජ සංස්ථා සහ ආයතන විෂයෙහි ද පාලනය සහ කළමනාකරණය පිළිබඳ වගකීම් දරන්නන් මෙයාකාර විය යුතුයි. සැබැවින්ම පාලකයකු රළු විය යුතු තැන රළු විය යුතු සේම මෘදු විය යුතු තැන මෘදු විය යුතුය. 

රටේ ප්‍රධානියා විය හැකිය. මැති ඇමැතිවරු විය හැකිය. ඇතැම්විට ආයතනයක, අංශයක ප්‍රධානියා වීමට හැකිය. අධ්‍යක්ෂක, සභාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂක කෙනකු වීමටද හැකිය. පොලීසියේ හෝ ත්‍රිවිධ හමුදාවල ඉහළ තනතුරු දරණ අය වීමටද හැකිය. පාලනය අයහපත් නම්, අසාර්ථක නම් ඊට එරෙහි විය යුතුය. 

බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් කලාවේදීන් ආමන්ත්‍රණය කරමින් නුඹලා කොන්ද කෙළින් තියාගෙන ජනතාවට කතා කරපල්ලා, උන්ට කියපල්ලා ඒකාධිපති පාලකයන්ට දණගසන්න එපා කියලා, වන්දිභට්ටකම් කරන්න එපා කියලා යනුවෙන් පැවසීය. අවසානයේ හිට්ලර් විසින් බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් රටින් පිටුවහල් කරනු ලැබුවද තමන්ගේ ආත්ම අභිමානය බලය දරන්නන් අභිමුවේ පාවා දීමට කිසිම මොහොතක බ්‍රෙෂ්ට් සූදානම් නොවීය. 

“මිනිහා කවුද යන වග මිනිසකු ලෙසින් දැක

පල්හොරු අමනයන් එක්කර එකට බැඳ

වනසා දැමිය යුතු කාලය එළඹ ඇත” 

ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන තන්ත්‍රයට සහ යුද්ධයට එරෙහි තම මතවාදය ඍජුව ප්‍රකාශ කරමින් කවි දහසක් ලියූ බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් එම කවි පෙළ අවසන් කළේ මේ කවියෙනි.  බලය ලබාගන්නා තුරු ජනතාව ළඟ දණගසන ලෝකයේ සෑම ඒකාධිපතියකුම බලය ලබාගත් පසු වෙහෙසෙන්නේ තම පය පාමුල ජනතාව දණගැස්වීමට බව බ්‍රෙෂ්ට් ප්‍රකාශ කළේය. එහෙත් අප අවබෝධාත්මකව තේරුම් ගත යුතු වන්නේ රුදුරු අණදීම්වලින්, උද්දච්ච ලෙස බලය ක්‍රියාවට නැංවීම තුළින් තාවකාලිකව පුද්ගලයන් යටත් කළ හැකි වුවද සදාකාලිකව ඔවුන් හික්මවිය නොහැකි බවය. 

ලොව පුරා, ආඥාදායකයන් සමාන ලක්ෂණ බෙදාහදා ගන්නා බව පෙනෙයි. ප්‍රශංසාව, අධික ව්‍යාකූලත්වය සහ අනුකම්පා විරහිත ම්ලේච්ඡත්වය සඳහා අවශ්‍යතාවක් ඔවුන්ට තිබේ. ඔවුහු තමන් "ඉතා විශේෂ" පුද්ගලයන් ලෙස සලකති, ප්‍රශංසාව ලැබීම නිරන්තරයෙන් අපේක්ෂා කරන අතර, අන්‍යයන්ගේ හැඟීම් සහ අවශ්‍යතා, සංවේදනය කිරීමට අපහසු වෙයි. ඒකාධිපතියන් පොදුවේ "විශිෂ්ටත්වයේ පැතිරුණු රටාවක්" පෙන්නුම් කිරීම පමණක් නොව, ඔවුහු පළිගැනීමේ හැසිරීමට ද නැඹුරු වෙති. 

මෙසේ වන්නට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පුද්ගලයන්ගේ පෞරුෂ විවිධත්වයයි. පෞරුෂය යනු පුද්ගලයා වෙනත් පුද්ගලයන්ගෙන් වෙන්කර හඳුනා ගන්නා චින්තන සහ හැසිරීම්වල කල්පවත්නා රටාවන්ය. හොඳ පෞරුෂයක් සහිත පුද්ගලයා නම්‍යශීලී බවකින්ද යුක්ත වෙයි. නාසිස්ම (Narcissistic) පෞරුෂ සහිත අයගේ මෙම නම්‍යශීලී බව දක්නට නැත. නාසිස්ම (Narcissistic) පෞරුෂ සහිත අයට තමන්ගේම වැදගත්කම පිළිබඳ අතිශයෝක්තියෙන් යුත් හැඟීමක් ඇති අතර ඔවුන්ගේම ජයග්‍රහණ සහ හැකියාවන් ගැන කල්පනාකාරී වෙති. ඔවුහු තමන් "ඉතා විශේෂ" පුද්ගලයන් ලෙස සලකති. ප්‍රසාදය සඳහා වැඩි කැමැත්කක් දක්වති. අන් අයගේ සිතුම් පැතුම්, ආකල්ප පිළිබඳ සංවේදනයක් නැත. නාසිස්ම පෞරුෂය (Narcissistic) අන්තයට පත් වූ විට එය ජනතාවගේ ජීවිතවලට බාධා කරයි. මෙවන් පුද්ගලයන් සමාජයක් තුළ සිටින අනෙක් අය හා සසඳන විට අසාමාන්‍ය බව පෙනෙයි. 

මෙවන්  පුද්ගලයන් "අසීමිත සාර්ථකත්වයේ මනඃකල්පිතයන්" සහ "බලය" ගැන උනන්දු වෙති. ඔවුන් විශ්වාස කරන්නේ තමන් අද්විතීය වන අතර සමානව උසස් තත්ත්වයේ සිටින අය සමඟ පමණක් සම්බන්ධ විය හැකි බවය. තවද ඔවුහු සතුටින් සිටීමට, අයිතිය පිළිබඳ අතිශය හැඟීමක් ඇති කිරීමට, අන් අයව සූරාකෑමට සහ බොහෝ විට අන් අය කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට නැඹුරුතාවක් දක්වති. 

මිනිසුන් බලය හා තනතුරු ලැබුණු විට ඒකාධිපති ස්වරෑපයකට පත්වීමට ඔවුන්ගේ අධිකාරී පෞරුෂය බලපායි. අධිකාරී පෞරුෂ සහිත අය සෑමවිටම අන් අය තමා කියන දේ පිළිගන්නවාට කැමැත්තක් දක්වති. හොඳම මතය තමාගේ මතය යැයි සිතති. වෙනත් අයගේ මත ඉවසන්නට අකමැතිය. අන් අය සෑමවිටම තමා පසුපස එනවාට කැමතිය. අන් අය තමාට හිස නමනවාට ඔවුහු කැමත්තක් දක්වති. අන් අය තමාට ගෞරව කිරීම දැඩිව අපේක්ෂා කරති. එසේ නොවුණහොත් පළිගැනීම්වලට නැඹුරු වෙති. පාලිතයන් පීඩාවට පත් කරති. 

එම තත්ත්වයෙන් මිදීමට නම් පාලකයන් පාලිතයන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, ජීවන තත්ත්වයන් සමඟ සංවේදී විය යුතුය. පාලිතයන්ගේ දුකට, පීඩාවන්ට, අ‍ඳෝනාවන්ට සවන් දිය යුතුය. මැකියාවෙලී පවසා ඇති ආකාරයට පාලිතයා පාලකයා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බියකින් සලකන්නේ එසේ වූ විටය.