2022 අප්‍රේල් 03 වන ඉරිදා

සළුපිළි ගැලවෙන පාරිභෝගික කටයුතු අධිකාරය

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 88

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියක් අද රටේ පවතිනවාද යන්න පිළිබඳ ජනතාව අතර මේ වනවිට කුකුසක් ඇති වී තිබේ. එයට හේතුව වෙළෙඳුන් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කිරීමයි. බොහෝ අය චෝදනා කරන්නේ කළුකඩ වෙළෙඳුන්ට භාණ්ඩ මිල තීරණය කිරීමට ඉඩ දී වගකිවයුත්තන් නිහඬව සිටින බවයි. එකම භාණ්ඩය විවිධ මිල ගණන්වලට විකුණනු දක්නට ඇත.

අපි මේ පිළිබඳව මුලින්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් විමසුවෙමු. ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.

''අද වනවිට භාණ්ඩ මිල තීරණය කිරීමෙන් රජය බැහැරවෙලයි ඉන්නේ. මෙයට පෙර ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ තෝරාගෙන ඒවාට ආණ්ඩුව උපරිම සිල්ලර මිලක් පනවලා එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. එවිට එම මිලට වැඩියෙන් අලෙවි කිරීම තහනම්. ඒ වනවිට එම මිල ඉක්මවා භාණ්ඩ අලෙවිකරන්නන් සොයා බලා අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළා. අපේ වැටලීම් කණ්ඩායම් නගරයේ මෙන්ම ග්‍රාමීය වෙළෙඳසල්වලට ගොස් නියම මිලට භාණ්ඩ අලෙවි වන්නේදැයි පරීක්ෂා කළා. එසේ කරලා නියමිත උපරිම මිල ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

එහෙත් අද වනවිට ඒ මිල පාලනය කළ ගැසට් පත්‍ර අවලංගු වෙලයි තියෙන්නේ. එහෙම බලපැවැත්වූ උපරිම සිල්ලර මිල ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් රජය ඉවත් කරලයි තියෙන්නේ. ඇතැම් ඒවා කල් ඉකුත් වූ පසු ඉබේම අහෝසි වෙලයි තියෙන්නේ. ඒ නිසා අපි මේ දිනවල මිල උල්ලංඝනය කිරීම් පිළිබඳ වැටලීම් කරන්නේ නැහැ. අපට ඒ පිළිබඳ නීතිමය බලයක් නැහැ. එහෙම වුණත් පාරිභෝගිකයන්ට අසාධාරණයක් වන අවස්ථාවලදී මැදිහත්වීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පසුබට වන්නේ නැහැ. පාරිභෝගිකයාට සිදුවන අසාධාරණකම් පිළිබඳ පැමිණිල්ලක් ලැබුණොත් අපි එවැනි අවස්ථා පරීක්ෂා කරලා ඉදිරි පියවරවල් ගන්නවා. අපේ නිලධාරීන් දැනටමත් එවැනි වැටලීම් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය නිතරම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පියවර ගන්නවා.''

සභාපතිවරයාගේ යථෝක්ත පිළිතුර අනුව අපට ගම්‍ය වන්නේ මේ වනවිට අධිකාරිය භාණ්ඩ මිල පිළිබඳ කළ වැටලීම් නවතා ඇති බවය. මෙයට පෙර අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ උපරිම මිල ඉක්මවා අලෙවි කළ අවස්ථා ගණනාවක් පරීක්ෂා කර අධිකරණයේ නඩු විශාල ප්‍රමාණයක් පවරා තිබූ බව අපට මතකය. එවැනි චූදිතයන්ට අධිකරණය මගින් දඩ ගැසීම ආදී අච්චු කර තිබුණු බවද මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් විය. එසේම වැටලීම් කිරීම භාරව වෙනම කොමසාරිස්වරයකුද පත් කර තිබුණි. එහෙත් අද වනවිට පාරිභෝගික සේවා අධිකාරිය එම වගකීමෙන් බැහැර වී සිටින නිසා කූට වෙළෙඳුන්ට හිතූ හිතූ ගණන්වලට භාණ්ඩ අලෙවි කර පාරිභෝගිකයා සූරාකෑමට වාසනාව ලැබී තිබේ. සහල්, සීනි, පරිප්පු, ලූනු, අර්තාපල්, මස්, මාළු, පිටි ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් නොව ගෑස්, සිමෙන්ති, ඉන්ධන, යකඩ, වැලි, ගල්, පස් ආදී ද්‍රව්‍යද වෙළෙඳපොළේ හිතූ හිතූ ගණන්වලට විකිණෙයි. පාරිභෝගිකයෝ තම අවශ්‍යතා මත හිතූ හිතූ මිලට ඒවා මිලට ගනිති. කේවල් කිරීමක් නැත.

සාමාන්‍යයෙන් භාණ්ඩ මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම යන ආර්ථික න්‍යාය මත බව ආර්ථික විද්‍යාවේ ඉගැන්වේ. එහෙත් අද ශ්‍රී ලංකාවේ මිල තීරණය වන්නේ වෙළෙන්දාගේ අභිමතය පරිදිය. වෙළෙන්දාට තමන් නියම කරන මිලට භාණ්ඩ අලෙවි කිරීමට මෙන්ම අවශ්‍ය නම් අලෙවි නොකර තබාගැනීමටද බලය හිමිව ඇත. දුප්පත් පාරිභෝගිකයෝ වෙළෙන්දාගේ දඬු අඬුවට හසුවී දුක් විඳිති. අද රටේ සෑම ද්‍රව්‍යයකම මිල තීරණය කරන්නේ වෙළෙන්දාය. නිෂ්පාදකයාය. ඒ තරමටම ඔවුහු ශක්තිමත්ව සිටිති. ඒ ඒ මිලට භාණ්ඩ මිලට ගන්නවා විනා දුප්පතාට අන් විකල්පයක් නැත. ගල්වල හිස ගසාගැනීමට නොහැකිය.

අද රටේ භාණ්ඩ මිල පිළිබඳ කටයුතු කරන රාජ්‍ය ආයතනයක් නොමැත. ඇත්තේ වෙළෙඳුන්ගේ රාජ්‍යයක් පමණි. සියලු රාජ්‍ය ආයතන අතර අතීතයේ පෙරමුණ ගෙන තිබුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ස්වකීය මුඛ්‍ය පරමාර්ථය මෙසේ දක්වා ඇත. ''සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් තුළ සුරක්ෂිත වූ පාරිභෝගිකයෙක් තැනීම'' එය වෙයි. එසේම අධිකාරියේ මෙහෙවර පිළිබඳ ප්‍රචාරය කර ඇත්තේ මෙසේය.
''පාරිභෝගිකයා සවිබල ගැන්වීම, වෙළෙඳපොළ විධිමත් කිරීම සහ තරගකාරීත්ව ප්‍රවර්ධනය තුළින් පාරිභෝගික අයිතින් සුරක්ෂිත කිරීම.''

පාරිභෝගික අයිතින් සහ අරමුණු සාක්ෂාත් කිරීම උදෙසා අද පවතින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොතරම් දුරට කටයුතු කරන්නේද යන්න අප නොපැවසුවාට පාරිභෝගිකයාටම විනිශ්චය කර ගැනීමට හැකිවනවා ඇත. මේ වනවිට පාරිභෝගික අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 හා පැමිණිලි අංශයේ 0117755481 යන දුරකතනයද අක්‍රියව පවතී. ලියුම්කරුද ඒ තුළින් අධිකාරිය හා සම්බන්ධ වීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. ඒ නිසා පාරිභෝගිකයාට අධිකාරියේ සහන ලබාගැනීම සිහිනයක් බවට පත්ව ඇති සැටියකි. 

මේ වනවිට භාණ්ඩ හා සේවාවල මිල පිළිබඳව පැනවූ ගැසට් පත්‍ර අහෝසි වී ඇති නිසා තමන්ට මිල පිළිබඳ ක්‍රියා කළ නොහැකිය යනුවෙන් එහි සභාපතිවරයා පැවසූ කතාවේ යම් සත්‍යතාවක් තිබෙනවා විය හැකිය. එසේ වුවද මතු දැක්වූ අරමුණු අනුව වෙනත් අංශ ගණනාවකින් පාරිභෝගිකයාට සහන සැලසීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඕනෑ තරම් ප්‍රතිපාදන එම පනතෙන් ලැබී තිබේ. එහෙත් වරද වන්නේ බලතල නොමැතිවීම නොව ඒවා ක්‍රියාත්මක නොකර ඇඟ බේරාගැනීමය. උදාහරණ වශයෙන් පැවසුවොත් භාණ්ඩ සඟවා තබාගෙන මිල ඉහළ දැමීම, අතරමැදියන් ලවා අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, ප්‍රමිතියෙන් අඩු භාණ්ඩ අලෙවි කිරීම, ඇසුරුම් මිල සඳහන් නොකිරීම, අඩු බර භාණ්ඩ විකිණීම ආදී වැරදි ගණනාවක් සම්බන්ධයෙන් වෙළෙඳුන්ට එරෙහිව කටයුතු කර ජනතාවට සහන සැලසීමට අධිකාරියට නුපුළුවන් නොවේ. එහෙත් අද සිදුව ඇත්තේ මුළු රටම කූඨ වෙළෙඳුන්ට භාර දී වගකිවයුතු ආයතනය නිෂ්ක්‍රියව සිටීමයි. එසේම අදාළ ඇමැතිවරයා සහ අමාත්‍යංශය මගින් අධිකාරියේ රාජකාරි නිරීක්ෂණය කළ යුතු වුවත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත. දුප්පත් පාරිභෝගිකයාට දෙවියන්ගේ පිහිට පමණි.

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ ඉංජිනේරු තුෂාන් ගුණවර්ධන

''මිල පාලනය කියලා කියන්නේ පාරිභෝගික සේවා අධිකාරියට මැදිහත් විය හැකි එක අංශයක් පමණයි. මිල පාලනය ඉවත් කළාය කියලා ඒ අයට නිකම් ඉන්න බැහැ. පාරිභෝගික සේවා පනත අනුව පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට තව කොතරම් දේවල් කරන්න තියෙනවද? එහෙත් අද වනවිට පාරිභෝගික ගැටලු හමුවේ පාරිභෝගික සේවා අධිකාරිය නිද්‍රාශීලී පිළිවෙතක් තමා අනුගමනය කරන්නේ. එතැනදී මිල පාලනය ඉවත් කළ නිසා මොනවත් කරන්න බැරි යැයි ඇඟ බේරාගන්න උත්සාහ කරනවා.

වෙළෙඳුන් කරන වැරදිවලින් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම අධිකාරියේ වගකීමක්. අඩු බරට අලෙවි කිරීම, කල් ඉකුත් වූ දිනය නොසලකා භාණ්ඩ විකිණීම, බාල භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම, වෙළෙඳුන් බඩු තිබියදී අලෙවි නොකර සඟවාගෙන තිබීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ආදී වැරදි රැසකට එරෙහිව කටයුතු කිරීම පාරිභෝගික සේවා අධිකාරියට පුළුවන් ක්ෂේත්‍රයේ ඒ පිළිබඳ වැටලීම් කළ හැකියි. වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පුළුවන්. එහෙත් දැන් ඒවා කරන්නේ නැහැ.

උදාහරණයක් ලෙස පැවසුවොත් අද රටට ලැබෙන ඉන්ධන ප්‍රමිතියෙන් බාල බවට පැමිණිලි තිබෙනවා. ඒවායේ ප්‍රමිතිය පිළිබඳ කටයුතු කිරීම වුවත් අධිකාරියේ රාජකාරියක්. තෙල් සාම්පල් ලබාගෙන ඒවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යවා ප්‍රමිතිය පරීක්ෂා කර ඉදිරි පියවර ගත හැකියි. එහි බලය ඇත්තේ ප්‍රමිති ආයතනයට නොව පාරිභෝගික සේවා අධිකාරියටයි. එහෙත් එකිනෙකාට බෝලෙ පාස් කරලා ඇඟ බේරාගන්න හදනවා. අනිත් අතට පාරිභෝගික ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා අධිකාරියට පැමිණිල්ලක් ලැබෙන තුරු බලා සිටිය යුතු නැහැ. විවෘත වෙළෙඳපොළ පරීක්ෂාවේදී එවැනි අවස්ථා සොයාගත හැකියි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නීතිය ප්‍රමාණවත් නොවන බව පැවසීමද බොරුවක්. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පනතේ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට වගේම වෙනත් සැම දෙයකට මැදිහත් විය හැකියි. දැන් පසුගිය කාලයේ දිවයිනේ විශාල සිමෙන්ති හිඟයක් තිබුණා. දැනටත් එහෙමයි. මේ නිසා සිමෙන්ති කොට්ටයේ සලකුණු කර තිබෙන මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි වෙනවා. ගෑසුත් එහෙමයි. නියමිත මිලට වැඩියෙන් විවෘත වෙළෙඳපොළේ අලෙවි කරනවා. භාණ්ඩ අත්‍යවශ්‍ය අය වැඩි මිලට ඒවා ලබාගන්නට උත්සුක වෙනවා. ඒ අයට වෙනත් විකල්පයක් නැහැ.

පෞද්ගලික වෙළෙඳුන් ගැන පමණක් නොවෙයි. සතොස ආදී රාජ්‍ය ආයතනත් අනවශ්‍ය ලෙස පාරිභෝගිකයා හිරිහැරයට ලක් කරනවා. ඇතැම් සුපිරි වෙළෙඳසලුත් එහෙමයි. අලෙවි කිරීමේදී එක එක කොන්දේසි දානවා ප්‍රමාණය පිළිබඳව. අසවල් භාණ්ඩයෙන් මෙච්චර ප්‍රමාණයක් මිලට ගතහොත් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බවට කොන්දේසි දමනවා. ඇතැම් ලක් සතොස වෙළෙඳසල්වල කළමනාකරුවන් ඒ අයගේම විවිධ කොන්දේසි පනවනවා. මෙවැනි අවස්ථාවලට අධිකාරියට මැදිහත් විය හැකියි.''

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසන්නේ අද ලංකාවේ ඇත්තේ කළු කඩයක් නිසා පාරිභෝගික සේවා අධිකාරියට මිල හෝ ප්‍රමිතිය පිළිබඳව කළ හැක්කක් නැති බවයි. මේ වනවිට පාරිභෝගික සේවා අධිකාරිය පාරිභෝගිකයා හැර අන් සැමටම සේවය කරන තත්ත්වයට පත්ව ඇතැයි ඔහු කියයි.

''අද විදේශීය හා දේශීය භාණ්ඩවල මිල තීරණය වෙන්නේ ඩොලරයේ රුපියල් අගය මත පිහිටලයි. ඒ නිසා සම්මත මිලක් තැබීමට බැහැ. මේ වනවිට ඩොලරයේ අගය රුපියල් 300 බවට පත්වෙලා තියෙනවා. ඉදිරියට තවත් ඉහළ යන බවට පුරෝකථනය කරනවා. එවැනි තත්ත්වයකදී භාණ්ඩවල උපරිම සිල්ලර මිල පාලනය කරන්න බැහැ. අද මිල නොවෙයි හෙට. ආනයන භාණ්ඩවල මිල අනුව දේශීය භාණ්ඩවලත් මිල සකස් වෙනවා. ඒ නිසා දිගටම මිල ඉහළ යාමක් තම පවතින්නේ. එවැනි අවස්ථාවක පාරිභෝගික සේවා අධිකාරියට මිල පිළිබඳ මැදිහත් විය නොහැකියි. එලෙස මැදිහත්වීමේ සාධාරණ බවක්ද නැහැ. ඒ නිසා අධිකාරිය අක්‍රිය වෙලා කියලා කියන්න සිද්ධ වෙනවා.

අද වනවිට 1978 තැනූ විවෘත ආර්ථිකයද අපේ රටේ නැහැ. විවෘත ආර්ථිකයේදී මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. එහෙත් අද මිල තීරණය වන්නේ අමෙරිකානු ඩොලරයේ අගය මතයි. එහෙම නම් එතැන විවෘත ආර්ථික සිද්ධාන්තය ක්‍රියාත්මක වන්නේ නැහැ. අද මේ රටේ බදු සහ බලපත්‍ර යන දෙකම ක්‍රියාත්මක වෙනවා. ඩොලර් නිකුත් කරන්නේ බලපත්‍රලාභීන්ට පමණයි. බලපත්‍ර නැති අයට ඩොලර් දෙන්නේ නැහැ. ඒ නිසා මිල තීරණය කිරීමේ බලය අතලොස්සකට ලැබී තිබෙනවා. බොහෝ වෙලාවට එය කළුකඩ මිලක්. එවැනි භාණ්ඩයක මිල පාලනය කරන්න බැහැ.'' 

 යසවර්ධන රුද්රිගූ

පාරිභෝගික අධිකාරී පනත අනුව අධිකාරියේ ප්‍රධාන අරමුණු මෙසේය.

1. පාරිභෝගිකයන්ගේ ජීවිත සහ දේපලවලට උපද්‍රවයක් සිදුවන භාණ්ඩ අලෙවි කිරීම සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම.
2. අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට නිසි සැලකිල්ලක් දැක්වීමට සහතික වීම.
3. හැකි සැමවිටම පාරිභෝගිකයන්ට, තරගකාරී මිලට භාණ්ඩ හා සේවා ලබාගැනීමට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබාදීම.
4. වෙළෙඳුන් විසින් සිදු කරනු ලබන පාරිභෝගිකයන් සූරාකෑමට ලක්වන ආකාරයේ කටයුතුවලට එරෙහිව පාරිභෝගිකයන්ට සහන සැලසීම.