2022 මාර්තු 27 වන ඉරිදා

පියයුරු ප්‍රමාණය ගැටලුවක්ලු

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 422

වයස අවුරුදු 30 යි: තාමත් ඇඟිලි කටේ දාගෙන හම කඩනවා

මගේ පුතා‍ගේ වයස අවුරුදු 30 කි. කාලයක සිට ඔහුගේ අතේ ඇඟිලිවල උඩ හම කැඩී තිබේ. ඒ ඔහු බොහෝ වේලාවට ඇඟිලි කටේ දමාගෙන හම කැඩීම නිසයි. එය දිගින් දිගටම ඔහු සිදුකරයි. මේ වනවිට අතේ ඇඟිලි දෙපැත්තේ උඩ හම කැඩී තිබේ. අලුතෙන් වැවුණද ඔහුගේ පුරුද්ද අලුතෙන් හම වැවෙන්නට ඉඩ දෙන්නේද නැත. මේ පුරුද්ද යම් කිසි ඌණතාවක් නිසා ඇති වන්නක්ද? මෙය නැවැත්වීමට විසඳුමක් දෙන්න. 

චන්ද්‍රාණි - මීගමුව 

උපදෙස:

මෙය වැරදි පුරුද්දක් හේතුවෙන් ඇතිවී ඇතැයි සලකන්න පුළුවන්. මෙයට පුතාට තරවටු කර හෝ දඬුවම් කර නිවැරදි කරන්න අමාරුයි. මේ සඳහා සුදුසුම දේ මනෝ උපදේශකවරයකු හමු වී දරුවාගේ පුරුද්ද වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රම පිළිබඳ නිසි උපදෙස් ලබාගන්න.

කන්න දෙන කෑමවලින් දරුවන්ට ප්‍රශ්නයක් වෙයිද? 

මම තිදරු පියෙක්මි. දරු තිදෙනා‍ වැඩිමල් පිළිවෙළින් අවුරුදු 9, 6 සහ මාස 10 වෙති. මම පියකු ලෙස බරපතළ මානසික ප්‍රශ්නයක පසුවෙමි. මම රජයේ ආයතනයක කාර්යාල සේවකයකු ලෙස සේවය කරමි. අප ජීවත් වන්නේ නාගරික ප්‍රදේශයක කුලියටය. මෙය ජීවත්වීමට ඉතා අමාරු කාලයකි. දරු තිදෙනාටත් බිරිඳටත් හරියට කන්න බොන්න දෙයක් ගැනීමට අපහසුයි. රටේ බඩු මිල වැඩිවෙන තරමට මට, බිරියට කෙසේ වෙතත් දරු තිදෙනාටවත් පෝෂ්‍යදායි ආහාර ලබාදීම සිහිනයක් වී තිබේ. පොඩි දරුවාට මවුකිරි දෙන්න බිරිඳට කිරි නැතිවූ පෙර අවස්ථාවල පිටිකිරි ලබාදුන්නද දැන් එවැනි අවස්ථාවල ලොකු ප්‍රශ්නයකි. සමහරදාට සුළු ආහාරයක් ගෙනත් සියල්‍ලෝම බෙදාගෙන කා නිදාගනිති. දරුවන් ගැන දුකයි. දරුවකු කෑමක් ඉල්ලුවාම ගෙදර නැතිදාට ගෙනත් දෙන්න නොමැති වූදාට ජීවත් වීම පවා එපා කරවයි. මෙයට විසඳුමක් මට සිතාගැනීමට නොහැකිය. මේ කන කෑමවලින් දරුවන්ගේ පෝෂණයට සහ වර්ධනයට අනාගතයේ ගැටලු මතුවෙයි කියා සිතෙනවා. වෙනත් විකල්ප තිබෙනවාද? වෛද්‍යතුමනි උපදෙසක් දෙන්න. 

ශාන්ත - මහරගම

උපදෙස:

මෙය වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයකටත් වඩා‍ වර්තමානයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන සමාජ ප්‍රශ්නයක්. පෝෂ්‍යදායි ආහාර යනු මිල අධික ආහාර නොවෙයි. එය වැරදි මතයක්. අවම මිල ගණන් යටතේ ලබාගත හැකි පෝෂ්‍යදායි ආහාර තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බිත්තර, සෝයා වැනි පහසුවෙන් ලබාගත හැකි ආහාර තිබෙනවා. ගම්වල නම් බොහෝ ආහාර තිබෙනවා අඩු මිලට ලබාගත හැකි. මේ සම්බන්ධයෙන් ඔබට යම් ප්‍රශ්නයක් ඇත්නම් මේ සඳහා සුදුසුම පියවර වන්නේ පෝෂණවේදියකුගෙන් උපදෙස් ලබාගෙන සුදුසු ආකාරයට ආහාර වේල පිළියෙළ කරගැනීමයි.

බඩේ ගෑස් එකතු වෙලාලු

මම 25 හැවිරිදි තරුණයෙක්මි. පෞද්ගලික ආයතනයක සේවය කරමි. වසර ගණනාවකට පෙර ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳීම නිසා ප්‍රතිකාර ගෙන තිබෙනවා. මගේ රැකියාව හේතුවෙන් නියමිත වේලාවට ආහාර ගැනීමට මට හැකියාවක් නැහැ. ඇතැම්විට දහවල් ආහාරය ගන්නට වෙන්නේ සවස 3.30ට පමණ. බොහෝ අවස්ථාවලදී උදරයේ වාතය එකතුවී ඇති බවක් දැනෙනවා. නිවාඩු දිනවලදී නිසි වේලාවට ආහාර ගත්තත් මෙහි වෙනසක් නැහැ. මෙය මට වේදනාකාරීයි. මම මේ වනවිට කිසිදු ඖෂධයක් භාවිත කරන්නේ නැහැ. මෙයට ස්ථීර විසඳුමක් තිබේද?

කසුන් - පානදුර

උපදෙස:

ආහාර රටාව නිවැරදිව පාලනය නොකිරීමේ ගැටලුව නිසා ආමාශයේ සාන්ද්‍රණය වැඩි වී ගැස්ට්‍රයිටීස් ඇතිවිය හැකියි. මේ හේතුවෙන් ඔබ යොමුකර ඇති ලිපියේ සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. මෙයට පළමුවෙන්ම කළයුතු දේ වන්නේ නියමිත ආහාර රටාව සකස් කරගැනීමයි. තෙල්, මිරිස් අධික ආහාර සහ බඩ පිපෙන්න පුළුවන් වර්ගයේ ආහාර ගැනීමෙන් හැකිතරම් වැළකී සිටින්න. එයිනුත් සහනයක් නැතිනම් රෝගය පාලනයට ඖෂධ ලබාගත හැකිය.

පියයුරු ප්‍රමාණය ගැටලුවක්ලු

මාගේ වයස අවුරුදු 28යි. ගැටලුව මාගේ පියයුරු පොඩියි. මම ලබන වසරේ විවාහ අපේක්ෂාවෙන් පසුවෙමි. මට මේ තත්ත්වයෙන් මිදීමට ක්‍රමයක් තිබෙනවාද? මෙය වෙනත් රෝගයක් නිසා සිදුවන්නක් දැයි බියක් දැනේ. මේ පිළිබඳව කිසිවකුට පැවසීමටවත්, වෛද්‍යවරියක හෝ වෛද්‍යවරයකු මුණගැසී උපදෙස් ලබා ගැනීමටත් ලැජ්ජයි. මේ තත්ත්වය පහසුවෙන් වෙනස් කර ගැනීමට වෙනත් ක්‍රම තිබේද?

දිනූෂා - උඩුගම

උපදෙස:

බොහෝ කාන්තාවන් මේ සම්බන්ධයෙන් උනන්දු දක්වනවා. පියයුරුවල ප්‍රමාණය ජානමය සහ හෝර්මෝන තත්ත්ව අනුව වෙනස් වෙනවා. බොහෝ අය කියනවා එක් පියයුරකට වඩා අනෙක් පියයුර විශාලයි කියලා. පියයුරුවල ප්‍රමාණය අසමාන වීම සාමාන්‍ය තත්ත්වයක්. විවාහයට සූදානමින් සිටින යුවතියක නිසා පෙනුම සම්බන්ධයෙනුත් බලපාන බැවින් අත්‍යවශ්‍යම නම් සුදුසුම පියවර වන්නේ ප්ලාස්ටික් සැත්කමක් සිදුකර ගැනීම මගින් පියයුරුවල හැඩය වෙනස් කරගැනීමයි. එහෙත් පියයුරු කුඩා වීම රෝග තත්ත්වයක් නොවෙයි.

වහාම කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න

මම 31 හැවිරිදි ‍අවිවාහක තරුණයෙක්මි. මුල්ම පත්වීම ලෙස රජයේ ආයතනයක සේවය කරයි. මාස දෙක තුනක සිට මහන්සි වී වැඩ කිරීමේදී අධික තෙහෙට්ටුවක් දැනෙයි. සුළු වෙලාවක් පොඩි දුරක් හෝ ඇවිදගෙන ගියහොත් වැඩි වෙලාවක් කොහේ හෝ ඉඳගෙන හති ඇරීමට සිදුවෙයි. රාජකාරි පැමිණීමට නිවෙසේ සිට උදේට දුම්රියපොළට පැමිණෙද්දී පයින් යාමට සිදුවන අවස්ථාවලදී දැඩි අපහසුතාවට ලක්වෙයි. කිසිදු පරීක්ෂාවක්වත් කිසිදු බෙහෙතක්වත් තවම ලබාගෙන නැත.‍ මෙය රෝගයක්ද? නැතිනම් හැටිද? මෙයට ප්‍රතිකර්ම තිබෙනවාද?

කවිඳු - ඔරුතොට 

උපදෙස:

ඔබේ වයස සැලකීමේදී ඔබේ වයසේ අයකුට මෙවැනි රෝගී තත්ත්වයක් පැවතීම සැලකිය යුතු තත්ත්වයක්. ප්‍රමාද නොකර කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී නිසි ප්‍රතිකාර කඩිනමින් ලබාගැනීම අත්‍යවශ්‍යයි. 

I  සසංක චලන ගිම්හාන

ඔබේ ප්‍රශ්න යොමු කරන්න
කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරු පළවිය යුතු නමද සඳහන් කරන්න.

සංස්කාරක
විශේෂඥ වෛද්‍ය හමුව 
''දොස්තරට කියන්න''
දේශය පුවත්පත,
නො: 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02