රටට නීතිවලින් චක්‍රලේඛවලින් නම් අඩුවක් නැත. නැත්තේ නීති ක්‍රියාත්මක නොවීමයි. පරිසරය හා වනාන්තර සම්බන්ධව නමට පමණක් නීතිවලින් අඩුවක් නැත. පසුගියදා වාර්තා වුණේ නව දැව හෙලීම් බලපත්‍ර ලබාදීමේදී ඊට සරිලන සේ අලුතින් ශාකයක් රෝපණය කළ යුතු බවට දන්වමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි. වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා තිබෙන බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් විය. එම චක්‍රලේඛයට අනුව මාර්තු 31දා සිට ගස් කැපීමට බලපත්‍ර ලබාදීමේදී මෙම නීතය වලංගු වේ. නමුත් මෙම ලිපිය ලියන අවස්ථාවේ බස්නාහිර පළාතේ ග්‍රාම නිලධාරිවරු කිහිපදෙනෙක් ගෙන් ඒ ගැන ඇසූ විට ඔවුන්ට තවම එවැන්නක් ලැබී නැති බවයි පැවසුවේ. එයින්ම චක්‍රලේඛයේ ප්‍රබලත්වය පෙනේ. හරිනම් මේ වනවිට රාජ්‍ය නිලධාරින්ට මේ නීතිය පත්වී එය ගැන ඔවුන් දැනුවත් විය යුතුව තිබුණි.
සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරීවරුන්ට එම උපදෙස් ඇතුළත් චක්‍රලේඛය පසුගියදා නිකුත් කරන ලද බවත් එය 2022.03.31 වන දිනෙන් පසු නිකුත් කරනු ලබන සෑම දැව හෙලීම් බලපත්‍රයක් සඳහාම මෙම නීතිය වලංගු වන බවත් රජය පවසා සිටී.
දැව හෙලීම සඳහා බලපාන්නේ 2009 අංක 65 දරණ පනත සහ 2000 අංක 1 දරණ දැව හෙලීම පාලනය කිරීමේ සංශෝධන පනතයි. ඉඩමක ගස් කපා ගැනීම සඳහා මෙන්ම කැපූ ගස් ප්‍රවාහනය කිරීමේදීත් මේ පනත් බලපැවැත්වේ. දැනට ගෙවත්තක හෝ පෞද්ගලික ඉඩම්වල පිහිටි ගස්වලින් කැපීමට තහනම් ගස් ලෙස සඳහන්ව ඇත්තේ කොස්, දෙල්, ගම්දෙල්, ගැහැනු තල් ගස්වර්ග කැපීමට රජයේ බලයලත් නිලධාරියකුගේ බලපත්‍රයක් අවශ්‍ය වේ. ජයභූමි, සවර්ණ භූමි වැනි බලපත්‍රලාභී ඉඩම්වලින් මෙන්ම රජයේ ඉඩම්වලින් ගස් කැපීමේදී ද මේ නීතිය බලපැවැත්වේ. පොල්, පුවක්, රබර්, කජු, කැන්ද, පුළුන් වැනි ගස් කැපීමට බලපත්‍ර අදාළ නැත. ඇල්ස්ටෝනියා, වල්සපු, ඉපිල් ඉපිල්, ලුණුමිදෙල්ල වැනි ගස් කැපීමටත් අවසර අනවශ්‍ය වුණත් ඒවා කැපිය හැක්කේ වට අඩි දෙකමහාරක්වත් කඳ මහතට වැවී ඇති විට පමණි. දැව හෙළීමේ නීති කඩ කළහොත් රුපියල් ලක්ෂ දෙකක් දක්වා දඩ මුදල් ගෙවීමට හෝ වසර පහක් දක්වා හිරේ තැපීමටද සිදුවීමට නියමිතය.
මේ නීතිය අලුත් දෙයක් නොවෙයි. දැව හෙලීම් පාලනය කිරීමේ පනත යටතේ එක් ගසක් කපන විට ගස් දෙකක් රෝපණය කළ යුතු බවට වගන්තියක් තිබෙනවා. ඒ කරුණ අපට ග්‍රාම නිලධාරී පුහුණුවෙදීත් මතුකර පෙන්වනවා. නමුත් ප්‍රායෝගිකව ගසක් කපන්න බලපත්‍රයක් ඉල්ලන විට තවත් ගසක් සිටවූවාද කියලා බලන්න ඒක අධීක්ෂණය කරන්න අපහසුයි. කවුරු කෙනෙක් ගසක් කපන්න අවසර ගන්න එන්නේ නැතිවම බැරි අවස්ථාවක. ඒ වෙලාවේ ගහක් සිටුවන්න කියලා ආපසු හරවා අරින්න බැහැ. ගමේ මිනිහෙක් ගසක් කපන විට තමයි මේ නීති ඔක්කොම. මුදලාලිලා ඕනෑතරම් ගස් කපනවා. ඒවාට නීති නෑ.
නම හෙළි කිරීමට අකමැති ග්‍රාම නිලධාරිවරයෙක් අපට කීවේය. රජයේ නීතිය අනුව තහනම් ගසක් කැපීමට අවසර දෙන්නේ හේතු කිහිපයක් මතය. ජීවිත දේපලවලට අනතුරුදායක වීම, ගස් පිහිටි ස්ථානයේ නිවසක් තැනීමට අවශ්‍ය වීම, ස්වභාවික හේතු මත ඉදිරී වැටීම එම හේතු වේ. අදාළ ග්‍රාම නිලධාරිවරයා ගස් පිහිටි ස්ථානය පරීක්ෂා කර බලා එය සුදුසුද යන්න ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දෙන අතර අවසන් නිර්දේශය හිමිවන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙනි.
ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ අනුහසින් කැලෑ කැපීම සිදුවන බවට නිතර වාර්තා වේ. ඒ අතර නව චක්‍ර ලේඛයෙන් දැව හෙලීමේ පනතේ තිබූ වගන්තියක් බලාත්මක කිරීමට උත්සාහ ගනු පෙනේ. ඒ අනුව නව දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහත කරුණු අනුගමනය කළ යුතු බවට සඳහන් කර තිබේ.
දැව හෙලීම් බලපත්‍රය නිකුත් කරනු ලබන ගස් වර්ගයම රෝපණය කළ නොහැකි නම්, එම ශාකය මගින් මිහිමවට දායාද කළ ජෛවීය ගුණයන් හා ප්‍රමාණයන්ට සරිලන ප්‍රමාණාත්මක හා ගුණාත්මක සේවාවක් සලසන ශාක විශේෂයක් බලපත්‍ර ලාභියා විසින් සිටුවිය යුතුය යන්න පළමු කරුණ වේ. ව්‍යාපාරිකයකු වෙත බලපත්‍ර නිකුත් කරනු ලබන අවස්ථාවකදී, එම ව්‍යාපාරිකයා විසින් බලපත්‍රයට ගෙවනු ලබන මිලට අමතරව නව රෝපණයට සුදුසු ශාක විශේෂ අදාළ ඉඩම් හිමියා ලබාදී එම ශාකය රෝපණය කළ යුතු බව පැවසේ.
ව්‍යාපාරික කටයුත්තක් නොවන අවස්ථාවකදී ඉඩම් හිමියා විසින් අදාළ ශාක විශේෂය තම වියදමින් සපයාගෙන පැළ සිටුවීම අවශ්‍ය වේ. බලපත්‍රය පරීක්ෂාවට පැමිණෙන දිනයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරීක්ෂාකර නිලධාරීන් දැනුවත් කර පැළ රෝපණය කිරීම අවශ්‍යය. අලුත් පැළ සිටුවීමට තම ඉඩම තුළ ප්‍රමාණවත් හා සුදුසු ඉඩකඩ නොමැති නම් ග්‍රාම නිලධාරියා විසින් නියම කරනු ලබන ප්‍රදේශයේ පොදු ස්ථානයක අදාළ නව ශාක රෝපණය කළ යුතුය. ගස් සිටුවීමෙන් පමණක් වැඩේ නවතින්නේ නැත. රෝපණය කළ පැළ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලේඛනයක් පවත්වාගෙන යා යුතුය. ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සිටින කාර්යාලගත සංවර්ධන නිලධාරීන් මගින් මසකට වරක් පසුවිපරමක් සිදුකළ යුතු අතර එහි පසුවිපරම වාර්තාව මාස තුනකට වරක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.
මෙය ඒ ලෙසම සිදුවනවා නම් හොඳය. එමෙන්ම රජයත් පැටවුන්ට කෙළින් යන්න කියන කුකුළු අම්මාගේ භූමිකාවෙන් ඉවත්ව ඒ ඒ පළාත්වල දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි කරන ගස් කැපීම නැවැත්විමට කටයුතු කළ යුතුය. වර්ෂ 2019 නොවැම්බර් 18 පැවති ජනාධිපතිවරණයෙන් පසු දේශපාලන අනුග්‍රහය ඇතිව වන විනාශයන් රාශියක් සිදුව ඇති බවට පරිසරවේදීන් චෝදනා කළේ වසර දෙකකට පෙරදීය.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය හා ඊට යාබදව පිහිටි ඉඩම් අක්කර 1500 ක කෝමාරිකා’ වගා ව්‍යාපෘතියක් දියත් කිරීම, ආනවිලුන්දාව, වනාතවිල්ලුව සහ කල්පිටිය ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුව ඇති පරිසර විනාශයන් ගණනාවක් ඒ අතර සඳහන්ය. මේ සෑම විනාශයක් පිටුපසම ප්‍රබල දේශපාලනඥයක් සිටියි. මුතුරාජවෙල අභය භූමියට අයත් බිම් කොටසක් පුරවා ක්‍රීඩා පිටියක් හදන්න උත්සාහ කර ඔක්සිජන් කන්නදැයි ඇසුවේද ආණ්ඩුවේම ප්‍රබලයෙකි.
බොහෝ විට වනජිවි හා වන සංරක්ෂණ නිලධාරීන්ට මැති ඇමැතිවරුන්ගෙන් වනාන්තර බේරාගැනීමට සටන් කිරීමට සිදුවන අන්දම පසුගිය කාලයේ මාධ්‍යවලින් දැකගත හැකි විය.
ඌව වෙල්ලස්ස බින්තැන්නේ දෙහිගම ප‍්‍රදේශයේ අක්කර පන්සිය හැත්තෑ දෙකක ගොවි බිම් හා ජනතාවගේ පාරම්පරික ඉඩම් උක් වගා ව්‍යාපෘතියක් හා සීනි නිෂ්පාදනය සඳහා ලබාදී එරෙහිව මේ වනවිට විරෝධතා පැන නැගී තිබේ.
ගැමියෙක් තම ඉඩමේ ගසක් කපන විට ගසක් සිටුවීමට අලුතින් කියා දීමට අවශ්‍ය නැත. සිංහල අවුරුද්දට කොස් ගසක් දෙල් ගසක් සිටුවීමට පැරණි ගැමියෝ පුරුදුව සිටියහ. අද බොහොමයක් කැලෑ කපා දමන්නේ සංවර්ධනයේ මුවාවෙනි. නමුත් එතැනට ගොස් බලන විට දැකගත හැක්කේ සංවර්ධනයක් නොව වටිනා කැලෑවක් විනාශ කොට එහි වැවී තිබුණු අගනා කළුවර, මිල්ල, වීර, කෝන් ඇතුළු ගස් වර්ග මිල කළ නොහැකි වටිනා දැව ලබාගැනීමත් දේශපාලන බලවතුන්ගේ හෙංචයියන්ට එම ඉඩම් කට්ටි වශයෙන් බෙදාදීමත් පමණි.
පරිසරයට සහ වනජීවී වාසස්ථානවලට ආපසු හැරවිය නොහැකි හානි සිදුකිරීම හා හෙක්ටයර් 3000ක අනවසරයෙන් ජනතාව පදිංචි කිරීම යන කටයුතුවලට අදාළ ප්‍රකට විල්පත්තු නඩුවේ තීන්දුව වූයේ ප්‍රධාන වගඋත්තරකරුවකු වන හිටපු ඇමැති රිෂාඩ් විනාශ කළ වනාන්තරය වෙනුවට එයට සමාන වපසරියක ප්‍රදේශයක නැවත වන වගාවක් කළ යුතු බවද ඒ සඳහා හිටපු ඇමැතිවරයා තම පෞද්ගලික ධනයෙන් මුදල් වැය කළ යුතු බවයි. ඒත් විල්පත්තුවේ විනාශ වු වනාන්තරය තවමත් එසේමය. අලුතින් හිටවූ වනාන්තරයක් ගැන අපි නම් දන්නේ නැත. මේ නීතියත් නමට පමණක් නොවන්නට නම් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළක් සැලසුම් කළ යුතුය.
කුසුම්සිරි විජයවර්ධන