2022 මාර්තු 27 වන ඉරිදා

නෙරූදාගේ ජිවන ගීතය සිත්තම

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 262

විසිවන සියවසේ විශිෂ්ටතම  හා අසිරිමත් නොබෙල් ත්‍යාගලාභී චිලියානු කවියා වන පැබ්ලෝ නෙරූදාගේ කවි කෙරෙහි අප සිත උනන්දුවක් උපන්නේ මහැදුරු විමල් දිසානායක හැත්තෑව දශකයේ විරචිත ගිරි කුළ හා සඳ මඬල හා තවත් ලිපි රචනා කියවීමෙනි. ගාර්ෂියා ලෝර්කා මෙන්ම පැබ්ලෝ නෙරෑදාගේ කාව්‍ය නිර්මාණ ඇසුරට ප්‍රියවීම නිසා අනූව දශකයේ පමණ නෙරෑදාගේ අද රෑ මට ලියන්නට හැකිය (Tonight I can Write) යන පද්‍ය පංතිය අනුවර්තනයක් ලෙස ලියූ බව මතකය. අසෝක හඳගමගේ ඇල්බොරාදා චිත්‍රපටය තිරගතවීමට පෙර ඔහු එය හඳුන්වා දී තිබුණේ නෙරෑදා කිසිදින නොලියූ කවිය ලෙසයි. සැබෑවකි. නෙරෑදා කිසිදින නොලියූ කවිය හඳගම විසින් දැන් සිනමා බසින් රචනා කොට අප වෙත පිරිනමා ඇත්තේය. නෙරෑදා විරචිත ඔහුගේ පද්‍ය කාව්‍ය සංග්‍රහ අතර පමණක් නොව ලොව පළ වූ සියලු කවි පොත් අතරින්ද ඉහළම අලෙවි වාර්තා තැබූ ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක් (Twenty Love Poems and A song of Despair) ලක්ශාන්ත අතුකෝරල කවියා විසින් පරිවර්තනය කොට පළකොට තිබීමද ඇල්බොරාදා සිනමා කාව්‍යය බිහිවීමට සමගාමීව සිදුවූ තවත් අසිරිමත් සිදුවීමකි. 

රාජ්‍ය තාන්ත්‍රික පැබ්ලෝ නෙරෑදාගේ ජීවිතය තුළ ඔහු හා පෙමින් බැඳුණු හෝ යහන්ගත වූ ගැහැනුන් පිළිබඳව මෙන්ම වසර හැටනවයක (1904 - 1973) ජීවිත කාලයට අදාළ ස්වයං චරිතාපදානය (MEMOIRS) මට මතක මම නමින් සමන් වික්‍රමාරච්ච්චි විසින් සිංහල බසට පරිවර්තනය කොට තිබේ. එහි සඳහන් ලංකාවේ විසූ සක්කිලි ගැහැනිය දූෂණය කිරීමේ සිදුවීම නාභිගතකොට ගනිමින් හඳගමගේ විසින් නිර්මාණය කරන ලද ඇල්බොරාදා චිත්‍රපටය ගැන විවිධ විචාරක මත පළවනු පෙනේ. 

සිනමාව පිළිබඳ දෘෂ්ටියෙන් මෙන්ම විවිධ දේශපාලන හා පෞද්ගලික මත දරන්නන්ගේ ඇසින් ඇල්බොරාදා සිනමා කෘතිය විචාරයට ලක්කරන බොහෝදෙනා චිත්‍රපටයේ සිනමාත්මක ගුණය පිළිබඳ විමසනු වෙනුවට නෙරුදා විසින් සක්කිලි ගැහැනිය දූෂණය කිරීමේ සිදුවීමට විවිධ අර්ථකථන දෙනු දකින්නට හැකිය. චිත්‍රපටයේ තිරනාටකය රචනා කොට අධ්‍යක්ෂණය කළ හඳගමගේගේ භූමිකාව නොදකින විචාරක ඇස සක්කිලි ගැහැනිය හා සම්බන්ධ රමණ සිදුවීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් සිනමාකරුවාගේ සමස්ත නිර්මාණ කාර්යය ලඝු කොට දැක්වීම ඛේදයකි.

කවියකු වූ පමණින් පැබ්ලෝ නෙරෑදා ශුද්ධවන්තයකු විය යුතුද? ඔහුගේ ස්ත්‍රී ලෝලීත්වය හා ඔහුගේ ජීවිතය යනු එකක්මද? ස්ත්‍රී ලෝලීන් ලෙස ලෝප්‍රකට කලාකරුවන්ගේ ජීවන ප්‍රවෘත්ති අපට අරුමයක් නොවේ. වින්සන්ට් වැන්ගෝ හෝ පැබ්ලෝ පිකාසෝගේ ලෝ ප්‍රකට කලා කෘති පිටුපස ජීවත් වූ ගැහැනුන්ගේ ජීවනාන්දර හා පැබ්ලෝ නෙරුදා ලංකාවේ සිටි කාලය තුළ ගතකළ ජීවිතයේ ඔහුගේ චරිතය ප්‍රතිනිර්මාණය වූ එකම අවස්ථාව සක්කිලි ගැහැනියට පැබ්ලෝ තුළ වූ ආදරය හෝ රාගය පිළිබඳ ගැටලුව පමණක්මද කියා යළි යළිත් අසන්නට සිදුවේ. 

චිත්‍රපටයේ ප්‍රධාන පුවත ගොඩ නැගෙන්නේ පැබ්ලෝ, ජොසී, සක්කිලි ගැහැනිය, ලයනල්, පැට්සි, රත්නයියා යන ස්ත්‍රී පුරුෂ චරිත වටාය. පැබ්ලෝ හා සක්කිලි ගැහැනිය අතර සම්බන්ධයට මුල පිරෙන්නට පෙර පැබ්ලෝගේ චරිත ස්වභාව මතුකෙරෙන අවස්ථා, සිදුවීම් හා චරිත කිහිපයක් කෙරෙහිම ප්‍රේක්ෂක අවධානය යොමු කරවීමට අධ්‍යක්ෂ හඳගම උත්සාහ ගනී. පැබ්ලෝට ලංකාවේදී හමුවන මිතුරා, ලයනල් ඔස්සේ අපට පැබ්ලෝගේ ජීවිතය දකින්නට ලැබේ. ලයනල් හා පැබ්ලෝ මිතුරන් වන්නේ ඔවුන් දෙදෙනාගේ සෞන්දර්ය රුචිඅරුචිකම් සමාන වීමෙනි. සංගීතය, සාහිත්‍ය, ඡායාරෑපකරණය ලයනල් හා පැබ්ලෝ යා කෙරෙන සංස්කෘතික හා කලාත්මක බැඳීම වේ. 

පැට්සි තුළින් පැබ්ලෝගේ ලිංගික ලලාසාවෙහි තවත් පැතිකඩක් අපි දකිමු. පැබ්ලෝගේ බුරුම පෙම්වතිය ජොසීගේ ආගමනය ෆැන්ටසියක්ද? අධ්‍යක්ෂවරයාගේ පරිකල්පනය විසින් ගොඩනැගූ චරිතයක්ද? මේ චරිත සියල්ල සජීවී චරිත ලෙස පණගන්වමින් එක් හුයක බැඳ තබමින් ඔවුන්ගේ සංකීර්ණ හා ව්‍යාකූල ජීවන රටා හා හැසිරීම් දෙස විමර්ශනාත්මක හා ප්‍රායෝගික දෘෂ්ටියකින් දකින්නේ රත්නය්යාය. චිත්‍රපටයේ ප්‍රධාන පුවත මතු කිරීමට අධ්‍යක්ෂ හඳගම රත්නයියාගේ චරිතය අතිශය සූර ලෙස භාවිත කරනු පෙනේ. ඔහුගේම වර්ගයේ තවත් චරිතයක් කුලහීන පහත් එකියක් ලෙස හඳුන්වා දෙමින් ඔහුගේ කුලාභිමානය පැබ්ලෝට ප්‍රකාශ කරන්නේ සේවකයාගේ චරිතයේ ස්වභාවය ඉක්මවා යමිනි. පැබ්ලෝ හා ජොසී අතර සිදුවන සංවාද හා ඔහු කෙරෙහි ඈ තුළ වූ කෝපය වෛරය මතුකෙරෙන අවස්ථා ගොඩ නැගීමෙහිදී මෙන්ම පැබ්ලෝගේ ප්‍රතික්ෂෙප කිරීම හමුවේ ජොසී අසරණ වන අවස්ථාව ප්‍රේක්ෂක හද කම්පනයට පත් කරයි. සුදු ජාතිකයකු හමුවේ අසරණ වන ආසියාතික ගැහැනිය ජොසීගේ චරිතයෙන් සංකේතවත් වන්නීද කියා සිතේ. පැබ්ලෝගේ කවිකම කොහි සැඟව ගියාද කියා අපට ඒ මොහොතෙහි නොසිතේද? විචාරක භූමිකාව තුළ මහත් ආන්දෝලනයට පත් වී ඇති සක්කිලි ගැහැනිය වසඟයට ගැනීමට පැබ්ලෝ දරන උත්සාහය හා අවසන ඈ ඔහුට ගොදුරුවීම මනා සිනමා කාර්යයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට හඳගම සමත් වී සිටී. සක්කිලි ගැහැනියගේ මුවින් එකදු වදනක් හෝ නොපවසමින් පැබ්ලෝගේ රමණ රංගන උත්සාහයේදී පිළිමයක් ලෙසින් ගතින් එක්වන ඈ කෙරෙහිද ප්‍රේක්ෂක අපගේ දයානුකම්පාව ලැබෙනු දැනේ. කුලීනයකු අතින් කිලිටිවන්නී ඔහුගේ වැසිකිළිය පවිත්‍ර කරනු ලබන ස්ත්‍රිය වීමත් ඈ ඉන් පිරිසිදුවීම පිණිස මුහුදට පැන සිරුර සෝදාගැනීමත් අතිශය උත්ප්‍රාසාත්මක භාවිතයකි. එහි කූටප්‍රාප්ත අවස්ථාව වන්නේ රත්නයියා තම ස්වාමියා විසින් පාවිච්චිකරන ලද වැසිකිළිය භාවිත කරමින් ඔහුගේ විරෝධය සංකේතවත් කිරීමය. ස්ත්‍රී පුරුෂ සබඳතා කිහිපයක සංකීර්ණ හැසිරීම් හා චරිත සතු සංවේදනා මනාව ස්පර්ශ කරමින් හඳගම නෙරුදාගේ නොලියූ කවිය සිනමා බසින් පවසයි.

ඇල්බොරෝදා සිනමා කෘතිය තුළින් අසෝක හඳගමගේ සිනමා භාවිතයේ නවමු කවුළුවක් විවර වී ඇති සෙයක් දැනේ. අධ්‍යක්ෂණ කාර්යයෙහි ලා තිර රචනයේ නළු නිළියන්ගෙන් උපරිම රෑපණ කුසලතා මතුකර ගැනීමට ඔහු සමත් වේ. කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය, සංස්කාරක රවීන්ද්‍ර ගුරුගේ ආදීන්ගේ සහාය මනාව ලබා ගැනීමට හඳගම සමත් වේ. ඇල්බොරාදාහි විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ නළුවරණයෙහි (Casting) ප්‍රභාවයි. ලුයිස් ජේ. රොමෙරො, ඈන් සොලෙන් හැටෙ, රිතිකා කොඩිතුවක්කු, නිමායා හැරිස්, ඩොමිනික් කෙලර්, මැල්කම් මචාඩෝ යන ප්‍රධාන නළු නිළියන්ගේ රෑපණ කෞශල්‍යය විශිෂ්ට ය. ඒ අතරිනුදු විශිෂ්ටතම රංගනයක යෙදෙන්නේ මැල්කම් මචාඩෝ හා රිතිකා කොඩිතුවක්කුය. ඔවුන් දෙදෙනාගේ රංගන කුසලතාව හඳගමගේ අධ්‍යක්ෂණ කාර්යයට අතිශය ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති බව කිව යුතුමය. නෙරුදා නොලියූ කවිය සිනමා කවි බසින් කීමෙහි ලා හඳගම දක්වා සිටින ඔහුගේ පරිණත සිනමා ඥානය අත්දැකීම නිසැකවම ඇල්බොරෝදා වර්ණ ගන්වා ඇති බව කිව යුතුය.

 බුද්ධදාස ගලප්පත්ති