2022 මාර්තු 20 වන ඉරිදා

මේ ලෙඩේට බොන එක හොඳද?

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 161

රාජකාරිය එක්ක කෑම වේල ප්‍රමාද වෙනවා 

80 හැවිරිදි මා මේ වනවිට දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ගනිමින් සිටී. ඒ වගේම රෝගය උත්සන්න වී heart failure තත්ත්වයකට පත්වී වෛද්‍ය ප්‍රතිකාර ලබා සිටිමි. වෛද්‍ය උපදෙස් අනුව ඉන්සියුලින් විදීම සහ සීනි වෙනුවට යොදන ටැබ්ලට් පාවිච්චි කරයි. මා පෞද්ගලික ආයතනයක සේවය කරමි. රාජකාරී ජීවිතයේ තිබෙන අවිවේකී ගතිය නිසා මට බොහෝ දවස්වලට දෛනික ආහාර වේල ප්‍රමාද වෙයි. කෙතරම් සිතා සිටියත් වේලාවට ආහාර ගැනීමට එය වැඩත් සමග මගහැරී යයි. මෑතක ඉඳන්  ඇතැම් වේලාවට ක්ලාන්ත ගතියක් දැනේ. වැඩිපුර දහදිය දමයි. කුසගිනි වැඩිපුර දැනුණත් සීමාව ඉක්මවා කෑමට වරම් නැත‍. ඇතැම් වෙලාවට ගැස්ට්‍රයිටිස් රෝගයද උත්සන්න වෙයි. උත්සව අවස්ථාවකට හැර මත්පැන් පානය අත්හැර සිටී. මා කළ යුත්තේ කුමක්ද?

රත්නසිරි - කුලියාපිටිය 

උපදෙස:

වයස අවුරුදු 80ක කෙනෙක් දියවැඩියා රෝගයත් තිබියදී රාජකාරී කටයුතු සිදුකිරීම අගය කළයුතු සතුටුදායක තත්ත්වයක්. ඉන්සියුලින් භාවිත කරනවා නම් බොහෝදුරට දියවැඩියාව පාලනය කළ හැකියි. ඒ වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා. කෙටි ආහාරවේල් කිහිපයක් ලබාගන්න පුළුවන් නම් හොඳයි. පෝෂණවේදය සම්බන්ධ වෛද්‍යවරයකු හමුවී රාජකාරී කටයුතු කරන වේලාවන්හීදි ලබාගත හැකි කෙටි ආහාර පිළිබඳ උපදෙස් ලබාගන්න. එවිට ආහාරවේල් ප්‍රමාද වීම මඟින් ශරීරයේ සීනි ප්‍රමාණය ඉහළ පහළ යාම හොඳින් පාලනය කරගන්න ඔබට හැකිවේවි.  

මේ කාලේ නැති චොකලට් කවදානම් කන්නද?

මම වයස අවුරුදු 23ක තරුණියක්මි. චොකලට්, අයිස්ක්‍රීම්, කේක් වැනි පැණිරස ආහාර ගැනීමට රුචි වෙමි. බොහෝ අවස්ථාවල හිත ඇත්තේද එවැනි ආහාරවලටමයි. එහෙත් මට ඇති ගැටලුව සමීපතම වැඩිහිටියන් මට උපදෙස් දෙනුයේ පැණිරස කන්න එපා. පැණිරස කන එක සම්පූර්ණයෙන් නවතන්න. පැණිරස කෑවොත් දියවැඩියාව හැදෙනවාමයි කියාය. මට ඇති ලොකුම ප්‍රශ්නය මම දැන් ඉඳන් පැණිරස කන එක නවත්වන්න ඕනෑද? මේ කාලෙ නොකන චොකලට් පසුව කවදා කන්න හැකිවේද? මේ කතාවලින් මගේ ඔළුව අවුල් වී තිබේ. වෛද්‍යතුමනි, මට උපදෙසක් දෙන්න.

හංසිකා - කඹුරුපිටිය 

උපදෙස:

චොකලට් කෑමට නොහැකි වීමෙන් ඔබ දැඩි හිතේ අමාරුවකින් සිටින බවක් පෙනේ. සීනි, පැණිරස ආහාරයට ගැනීමෙන් පමණක් දියවැඩියාව ඇතිවන්නේ නෑ. මේ සඳහා සුදුසුම පියවර මුලින්ම දියවැඩියාව ඇත්දැයි ඔබේ ශරීරයේ පරීක්ෂණයක් කරගැනීමයි. එය පළමුව හඳුනාගන්න. ඉන්පසු අන් සෑම අවස්ථාවේදී මෙන්ම ආහාර රටාවේදීත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ මැදුම් පිළිවෙත අනුගමනය කරන්න. 

ඔබ වයින් ස්ටෝර්ස් කාරයෙක්ද?

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවුණාම ඒ සඳහා බෙහෙත් අවශ්‍ය නොවන බවත්, පිටරටින් ගෙන්වන බ්‍රුන්ඩි බෝතලයක් හෝ ගල් අරක්කු කාලක් මිලදීගෙන දවල්ට සහ රාත්‍රියට එයින් ටිකක් ගැනීම ප්‍රමාණවත් යැයි බොහෝ දෙනා කියනවා. බෙහෙත් ගැනීම බොරු වියදමක් බවත් කියනවා. ඒ කතාව ඇත්තක්ද? 

විමලසිරි - කටුවාවල 

උපදෙස:

මෙවැනි මත්පැන් ප්‍රවර්ධනය කරන වැරුදි මත බොහොමයක් සමාජයේ තිබේ. මත්පැන් ඖෂධයක් වශයෙන් ගැනීම කිසිසේත් සුදුසු නැත. ශරීරයට අහිතකර වන මත්පැන් පානයට යොමු කරවීමට කිසිදු ආකාරයකින් උනන්දු කරවන්නේ නැත. මෙය මත්පැන් බලපත් හිමිකරුවකුගේ මතයක් විය හැකියි. 

උදරයේ තෙල් ඉවත් කිරීමට සුදුසු වන්නේ ආහාරපාන නිසි ලෙස ලබාගැනීම සහ ව්‍යයාමවල නිරත වීම මිසක් මෙවැනි වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොකළ මිත්‍යා මත පසුපස යාම නොවන බවත් තරයේ සිහිපත් කිරීමට කැමැතියි. 
එහෙයින් මෙවැනි මිත්‍යා මත පැතිරවීම සිය වෙළෙඳාම් දියුණුකර ගැනීමේ අරමුණින් මත්පැන් බලපත්‍ර හිමිකරුවන් විසින් පතුරවන්නක් බවට සැක සහිතයි. 

වාහනය දුර පදවද්දී කෙණ්ඩා පෙරළෙනවා  

මගේ වයස අවුරුදු 68යි. අවුරුදු 10 ක විතර ඉඳන් දුර ගමන් වාහන පදවද්දී දෙපාවල කලවා ප්‍රදේශයේ කෙණ්ඩා පෙරුළීමක් වැනි මාංශ තදවීමක් සිදුවෙයි. රිය පදවන විට ඇතිවන මෙම හදිසි ආබාධය නාගරික ප්‍රදේශවලදී, කඳුකර ප්‍රදේශවලදී සිදුවීමෙන් දැඩි අපහසුතාවලට ලක් වූ අවස්ථාද තිබේ. මෙයට ස්ථිර විසඳුමක් තිබේද? 

බන්දු - අගලවත්ත

උපදෙස:

මස්පිඬු පෙරළීම හෙවත් කෙණ්ඩා පෙරළීම බොහෝදුරට සිදුවන්නේ ශරීරයේ පොටෑසියම් කියන ලවණය අඩුවීමෙන්. ඒ වගේම එය දියවැඩියාව ආදී රෝගවල මුල් අවස්ථාව වීමටද පුළුවන්.

පළමුවෙන්ම කිරීමට සුදුසු වන්නේ කායික රෝග විශේෂඥයකු මාර්ගයෙන් පරීක්ෂාවක් සිදුකර ඔබට වෙනත් රෝගී තත්ත්වයක් ඇත්දැයි නිශ්චය කර ගැනීමයි.

 කෙණ්ඩා පෙරළෙන අවස්ථාවේදී එහි වේදනාව ක්ෂණික සමනය කරගැනීමට කකුල නමාගෙන සිටින්න, ලුණු ස්වල්පයක් ආහාරයට ගන්න ආදී උපදෙස් ලබාදෙනවා. ශරීරයේ පොටෑසියම් අඩු අවස්ථාවක පොටෑසියම් අඩංගු ඖෂධ ලබාදීමට නිර්දේශ කරනවා. එහෙත් ඔබට වෙනත් රෝගී තත්ත්වයක් ඇත්දැයි ප්‍රථමයෙන් නිශ්චය කරගැනීම සුදුසුයි.

රාත්‍රී නින්දේදී කෙණ්ඩා පෙරළෙනවා 

මම වයස 62ක විවාහක කාන්තාවක්. දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. දැනට ටික කාලයක ඉඳලා මගේ දකුණු පාදයේ කෙණ්ඩා පෙරළීමක් තියෙනවා. මෙය දිගින් දිගටම සිදුවීම මට මහත් වේදනාකාරීයි. ඇතැම්විට විනාඩි දහයක්, ප‍හළොවක් පමණ කාලයක්  දිගින් දිගටම කෙණ්ඩා පෙරළෙන අවස්ථා තිබෙනවා. කිහිපවරක් මේ සඳහා ප්‍රතිකාර ගත්තත් ඉන් සුවයක් ලැබුණේ නැහැ. බොහෝ වෙලාවට රාත්‍රී කාලයට තමයි කෙණ්ඩා පෙරළෙන්නේ. තනිව නිවසේ සිටින අවස්ථාවලදී මේ නිසා මම ගොඩක් පීඩාවට පත්වෙනවා. මෙය ස්ථීරවම සුව කරගැනීමට ප්‍රතිකාරයක් තිබේද?

ඉන්ද්‍රාණි - දෙණියාය

උපදෙස:

ඔබ යොමුකර ඇති ප්‍රශ්නයේ සඳහන් වන්නේ නිදා සිටියදී කෙණ්ඩා පෙරළෙනවා කියා. ඔබටත් ඉහතින් දැක්වූ උපදෙස වලංගු වෙයි.  

ඔබේ ප්‍රශ්න යොමු කරන්න

කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරු පළවිය යුතු නමද සඳහන් කරන්න.

සංස්කාරක
විශේෂඥ වෛද්‍ය හමුව 
දොස්තරට කියන්න
දේශය පුවත්පත,
නො: 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02

 සසංක චලන ගිම්හාන