2022 මාර්තු 20 වන ඉරිදා

ආයෙමත් සර්ව පාක්ෂික සමුළුවක්

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 88

මේ වනවිට රටේ සෑම අංශයකම දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබේ. ජනතාවට ගෑස් නැත, ඉන්ධන නැත. විදුලිය නැත. ඖෂධ නැත. කිරි පිටි නැත. ආහාර ගිනි ගණන්ය. රටින් බාගයකට වඩා ජනතාව දවස ගෙවන්නේ පෝලිම්වලය. තෙල් ගෙනෙන, ගෑස් ගෙනෙන නැව්වලට මුදල් ගෙවන්නට ඩොලර් නොමැති කමින් ඒවා දින ගණන් මුහුදේ නැංගුරම් දමා තිබේ. එම ගෑස් බිමට බාගන්නට ඩොලර් නොමැති වාතාවරණයක් තුළ එක් නැවකට දිනකට ඩොලර් 18,000ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවී තිබේ. මෙම ලිපිය ලියන මොහොත වනවිට එම නෞකා මෙරට මුහුදු සීමාවේ නැංගුරම් දමා දින 12කි. ඒ අනුව දිනකට ඩොලර් 18,000 බැගින් මෙම නැව් දෙකට ගෙවන්නට සිදුවන ප්‍රමාද ගාස්තුවෙන් තවත් ගෑස් නැවක් ඇණවුම් කළ හැකි වනු ඇතැයි ජනතාව පවසති.

ජනතාව මුහුණ දෙන වත්මන් අර්බුදවලට විසඳුම් සොයා ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙසට පසුගිය මාර්තු 8 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

මහජනතාව පත්ව සිටින පීඩාකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ක්‍ෂණික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බවද, ඒ අනුව සර්ව පාක්‍ෂික සමුළුවක් මෙන්ම සර්ව ආගමික සමුළුවක්ද, විද්වතුන්ගේ සමුළුවක්ද කැඳවා ඒ අයගේද අදහස් යෝජනා ගෙන වත්මන් අර්බුදකාරී තත්ත්වයට මුහුණදිය යුතු බවටද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යෝජනා කර තිබිණි. 

රටේ පවතින ප‍්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාගැනීමට අදාළව කරුණු 15 කින් සමන්විත යෝජනාවලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම හමුවේදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. මෙම අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රිලනිප මන් ත්‍රීවරු දහහතර දෙනා ආණ්ඩුවෙන් ඉවත් නොවන බවද ඔවුන් ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇත.

වර්තමානයේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත නැඹුරුවීම, වස විසෙන් තොර ආහාර පාන නිෂ්පාදනය සඳහා කාබනික පොහොරවලට යොමුවීම සාමූහිකව ගත් සාධනීය පියවර බව ජනාධිපති රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව සියලුදෙනා එකට එක්ව කටයුතු කළ යුතු බවද මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කර ඇති අතර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් සාමූහික වගකීමට එරෙහිව කටයුතු කිරීම නිසා ඔවුන් ඇමැති ධුරවලින් ඉවත් කිරීමට සිදුවූ බවත් පසුගිය කාලය තුළ කාලයේදී එම අමාත්‍යවරුන් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකා බොහෝමයකට සංශෝධනය නොකර අනුමැතිය ලබා දුන් බවත් ජනාධිපතිවරයා එම අවස්ථාවේ පවසා ඇතැයිද වාර්තා වේ.

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන් ත්‍රී කණ්ඩායම කළ යෝජනාවට ජනාධිපතිවරයා යහපත් ප‍්‍රතිචාර දක්වා ඇති අතර මාර්තු මස 23 දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. මින් ඉහත ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ පාලන කාලවලද සර්ව පාක්ෂික සමුළු පැවැත්වී තිබේ. එම සමුළු පැවැත්වුණේ මෙරට පැවැති සිවිල් යුද්ධයට විසඳුම් සෙවීම අරමුණු කර ගනිමිනි. එහෙත් මෙවර පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන්නේ රටේ පවතින ආර්ථික අර්බුදයට හා ජනතාව මත පැටවී ඇති පීඩනයට විසඳුම් සෙවීමටය.

හැම පක්ෂයකටම අවස්ථාවක් ලබාදීමයි අරමුණ

- අමාත්‍ය මහින්ද අමරවීර

පරිසර අමාත්‍ය  මහින්ද අමරවීර මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙසට තම පක්ෂය ඉල්ලීම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟීමට හෝ වරප්‍රසාද ලබා ගැනීමට නොව ජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනමින් විසඳුම් සෙවීම සඳහා යැයි ප්‍රකාශ කළේය. සෑම පක්ෂයකටම රටේ  පවතින ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කිරීමට වගකීමක් තිබෙනවා. අපි යෝජනා 15ක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. එම යෝජනාවල වත්මනේ රට මුහුණ පා ඇති ගැටලු හා ඒවාට ලබා දිය හැකි විසඳුම්ද පෙන්වා දුන්නා.   ඉදිරියේ පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවේදී සියලු පක්ෂවලට තම තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකියි. යනුවෙන් ප්‍රකාශ කළේය.

සර්ව පාක්ෂික සමුළුවට මෙරට සියලුම පක්ෂවලට සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂ මෙම සමුළුවට සහභාගී වීමට කැමැත්ත පළකර ඇති අතර සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, ජාතික නිදහස් පෙරමුණ, නව පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් පක්ෂ 10ක් තවමත් එයට සහභාගී වනවාද යන්න ප්‍රකාශ කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගැනීමට නියමිත බවද පැවසේ.

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා කැබිනට් අමාත්‍යවරුන්, මහබැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් සමන්විත ආර්ථික සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර ඔවුන්ට උපදෙස් දීම සඳහා 14 දෙනකුගෙන් සමන්විත විශේෂඥ උපදේශක මඩුල්ලක්ද පත්කර තිබේ. මෙතෙක් කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට මැලිකම් දැක්වූ රජය ඒ වෙත යෑමට ගත් තීරණයට කැබිනට් අනුමැතියද ලැබී ඇත. ඒ අනුව ලබන මාසයේදී ඒ සම්බන්ධ නිල සාකච්ඡා ආරම්භ වීමට නියමිතය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චැන්ග් යොන්ග් රී මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු වී තිබේ. මෙරට යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් මස මැද භාගයේදී වොෂින්ටනය බලා යෑමට නියමිත බව පැවසේ.

මේ වෙලාවේ මොනවටද සර්ව පාක්ෂික සමුළු?

- දොස්තර ගුණදාස අමරසේකර

මේ අතර අර්බුදයට විසඳුම් සෙවීමට රජයට ශක්තියක් ඇති බවත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට අවශ්‍ය නොවන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දොස්තර ගුණදාස අමරසේකර මහතා පවසයි. &හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවෙලා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න කියලා යෝජනා කළා. ඒ යෝජනාව කළ සැනින් ජනාධිපතිවරයා එයට එකඟ වෙලා මාර්තු 23දාට දිනයකුත් නියම කළා. මේ සර්ව පාක්ෂික සමුළුව පවත්වන්නේ කුමකටද කියලා අපට තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්දය දුන්නා. සර්ව බලධාරී ජනාධිපතිවරයෙක් ඉන්න, තුනෙන් දෙකක බලයක් තිබෙන ස්ථාවර ආණ්ඩුවක් රටේ තියෙනවා. වීරවංශ ගම්මන්පිල මහත්වරුන් තනතුරුවලින් ඉවත් කළාට ඔවුන් තවම ආණ්ඩුවේ ඉන්නවා. ස්ථාවර ආණ්ඩුවකට මොකටද සර්ව පාක්ෂික සමුළුවක්. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ සර්ව පාක්ෂික සමුළු තියන්න නෙමෙයි. ඒ නිසා මෙම සර්වපාක්ෂික සමුළු වැඩපිළිවෙළ අපි තරයේ හෙළා දකිනවා. සර්ව පාක්ෂික සමුළුවලින් ඉතා අනර්ථකර ප්‍රතිවිපාක ඇතිවී තිබෙන බව අපි දන්නවා. 2006 දී මහින්ද රාජපක්ෂ ජාතික ගැටලුව විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වා. අවසානයේ සිදුවුණේ දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය පෙඩරල් විසඳුමක් සඳහා එය යොදා ගැනීමට ඔවුන් කටයුතු කිරීමයි. 2015 මෛත්‍රීපාල සිරිසේන ජිනීවා චෝදනාවලට මුහුණ දෙන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවුවා. ඒකෙදි වුණේ මංගල සමරවීර රට පාවල දෙන්න ඇමෙරිකාව ගෙනා යෝජනා බොහොම සතුටින් පිළිගැනීමයි. මේ සර්ව පාක්ෂික සමුළු රටට හිතකර ඒවා නොවෙයි. මෙවැනි සර්වපාක්ෂික සමුළු අවසන් වෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩු බිහිවීමෙන්. මේකෙන් වෙන්නේ ජාතික ආණ්ඩු බිහිවීමයි. ඒකට අවශ්‍ය පසුබිම හදන්නයි මේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න කියන්නේ. ජාතික ආණ්ඩුවක් හදන්නේ කාගේ වුවමනාවටද. මේ රට බෙදා වෙන්කරන්න සූදානම් වුණු ඇමෙරිකාව, ඉන්දියාව ප්‍රධාන කොටගත් මේ රටේ සිටින ජාතිද්‍රෝහී බලවේගයන්ගේ අභිලාශයන් සම්පූර්ණ කිරීමටයි. යනුවෙන් ප්‍රකාශ කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා