2022 මාර්තු 20 වන ඉරිදා

මොරටුව සරසවියෙන් විදුලිය ගබඩාවක්!

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 85

රටක් ලෙස අතිශය අසීරු සහ අභියෝගාත්මක කාල වකවානුවක් අපි ගෙවමින් සිටිමු. රට මුහුණ පා තිබෙන අර්බුදයන්ගෙන් ගොඩ ඒමට මෙරට තුළින්ම නව නිපැයුම් සහ තාක්ෂණික දැනුම වර්ධනය වීම රටේ අනාගතය පිළිබඳ කිසියම් සුබවාදී බලාපොරොත්තුවක් අප තුළ දල්වයි. පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය අභිමුව දරුණු ගරාවැටීමට ලක්වූ මෙරට විදේශ සංචිත තොගය හේතුවෙන් ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම බාල්දුවීමකට ඩොලරයට සාපේක්ෂව රුපියල ලක් වී ඇත. විදේශ සංචිත අර්බුදයේ අතුරුඵල ලෙස රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ, පළතුරු, වාහන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සීමා කිරීමට රජයට සිදු වී තිබේ. 

වර්ෂ ආරම්භයේ පවත්නා වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ජල විදුලි නිෂ්පාදනය පහත වැටීම සහ ගල්අඟුරු බලාගාර විදුලි නිෂ්පාදන ධාරිතාව සීමාවීම යන සිදුවීම් දෙකම එකවර සිදුවීම අභාග්‍යසම්පන්න තත්ත්වයක් උදා කර ඇත. ඒවාට සමගාමීව රටේ දෛනික විදුලි අවශ්‍යතාව සපුරාලීමට ඉන්ධන මගින් ක්‍රියාත්මක කරන තාප බලාගාර ධාරිතාව ඉහළ දැමීමේ අවශ්‍යතාව ජාතික විදුලිබල මණ්ඩලයට පැන නැගුණි. එහෙත් රටේ උද්ගතව ඇති විදේශ සංචිත අර්බුදයත් සමඟ ඉන්ධන ගෙන්වීමේ අසීරුතාවය නිසා විදුලි බලාගාරවලට අමතර ඉන්ධන සැපයීම කෙසේ වෙතත් සාමාන්‍ය පරිදි ඉන්ධන සැපයීම පවා අඩාල වී ඇත. එනයින් විදුලි කප්පාදුව හැර අන් විසඳුමක් විදුලිබල මණ්ඩලයට නොමැත. පුරා සති දෙකක කාලයක් පැය 03 සිට 07 දක්වා දිවයින පුරා විදුලිය කැපීම සිදුවෙයි.

විදුලිය කැපීම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට, කර්මාන්තවලට ඍජුව බලපා ඇත. මෙවැනි විදුලිය කැපීම් හෝ විදුලිය බිඳවැටීම් සිදුවන අවස්ථාවන්ට විසඳුමක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලය පෞද්ගලික සමාගමක් සමඟ එක්ව විදුලිය ගබඩා කර තැබිය හැකි මයික්‍රෝ ග්‍රිඩ් තාක්ෂණය ලංකාවට හඳුන්වා දෙන ලදී. මොරටුව විශ්වවිද්‍යාලය හඳුන්වා දුන් මෙම මයික්‍රෝ ග්‍රිඩ් තාක්ෂණික දැනුම ලබාගන්නා පළමු දකුණු ආසියාතික රට බවට පත්වන්නේ ශ්‍රී ලංකාවයි. දැනටමත් මෙරට තුළ මයික්‍රෝ ග්‍රිඩ් ව්‍යාපෘති ක්‍රියාත්මකය. හයිබ්‍රිඩ් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක ස්ථාන කිහිපයක්ම ඇති අතර ස්වාධීන ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක් ද පවතී.

මයික්‍රෝ ග්‍රිඩ් තාක්ෂණයට යොමුවීමට අවශ්‍ය ඕනෑම පාර්ශ්වයකට තාක්ෂණික දැනුම ලබා දීමට සැදී පැහැදී සිටින බව මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය උදයංග හේමපාල මහතා පෙන්වා දෙයි. නියමු ව්‍යාපෘතියක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලිවල සූර්ය කෝෂ සවිකර දිවා කාලයේ නිෂ්පාදනය කරන විදුලිය බැටරි ආධාරයෙන් ගබඩා කිරීම මේ වන විටත් සිදු කරයි. කිසියම් හේතුවක් මත ප්‍රධාන විදුලිය සැපයුම බිඳවැටුණේ නම් ස්වයංක්‍රීයව ගබඩා කර ඇති විදුලිය ක්‍රියාත්මක වන පරිදි මෙම ව්‍යාපෘතිය සකස් කර ඇත. විදුලි ගබඩාව සඳහා ටෙස්ලා මාදිලියේ බැටරි යොදා ගනු ලබයි.

මයික්‍රෝ ග්‍රිඩ් යනු සාපේක්ෂව කුඩා පරිමාණ විදුලි සැපයුම් බල ජාලයකි. විමධ්‍යගත බලශක්ති නිෂ්පාදන ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි මයික්‍රෝ ග්‍රිඩ් මගින් ප්‍රධාන විදුලි බල සම්ප්‍රේෂණ පද්ධතිය සමඟ හෝ ස්වාධීන පද්ධතියක් ලෙස ක්‍රියා කළ හැකිය. කිසියම් භූමි පරාසයක් තුළ ක්‍රියාත්මක මේවාට විදුලි ජනනය කිරීමේ හා විදුලිය ගබඩා කිරීමේ පහසුකම් පවතී. බොහෝ විට මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතියක් විදුලි ජනක යන්ත්‍ර හා පුනර්ජනනීය සුළං හෝ සූර්ය බලශක්ති මගින් ක්‍රියාත්මක කරනු ලබයි. එමගින් නිෂ්පාදනය කරන විදුලිය පෞද්ගලික ගෘහස්ථ පරිහරණයට අමතර විදුලිය ගබඩා කර පසුව ගෘහස්ථ භාවිතය සඳහා හෝ ප්‍රධාන ජාලයේ අධික විදුලිය ඉල්ලුමක් සහිත වේලාවන්ට විදුලිය සැපයීමටද යොදා ගනු ලබයි.
රෝහල්, විශ්වවිද්‍යාල, කාර්මික ස්ථාන, හමුදා කඳවුරු, රාජ්‍ය ආයතන ආදිය සඳහා ප්‍රධාන විදුලි ප්‍රභවය ලෙස ප්‍රධාන විදුලි පද්ධතියෙන් ව්‍යුක්තව මයික්‍රෝ ග්‍රිඩ් විදුලි පද්ධතියක් සකස් කරගත හැකිය. නැතහොත් විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක වන අයුරින් විදුලිය බිඳවැටුණු අවස්ථාවලට විකල්ප ශක්ති ප්‍රභවයක් ලෙස ද මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතිය සකස් කරගත හැකිය.

වඩාත් පරිසර හිතකාමී බලශක්ති ජනනීය පද්ධතියක් වන මෙය හදිසි අවස්ථාවලදී බොහෝ ප්‍රයෝජනවත්ය. මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතිය සුළං හෝ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන බැවින් කිසියම් ස්වභාවික විපත්තිදායක අවස්ථාවල ප්‍රධාන විදුලි පද්ධතිය බිඳවැටුණ ද නොකඩවා විදුලිය සැපයුම පවත්වාගෙන යා හැකිවීම මෙම පද්ධතියේ ඇති විශේෂත්වයකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සමකය ආශ්‍රිත රටවල දිවා කාලයේ ලැබෙන හිරුඑළිය මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය ගබඩා කර රාත්‍රී කාලයේ භාවිතයට ගත හැකිවීම බොහෝ ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙන්නකි.

දැනට අප රට තුළ භාවිත වන සූර්ය බලශක්ති තාක්ෂණයේ තිබෙන ප්‍රධාන දුර්වලතාවය වන්නේ දිවා කාලයේ පමණක් ගෘහස්ථ පරිභෝජනයට සූර්ය කෝෂ මගින් විදුලිය සපයාගත හැකි වීමය. එම දුර්වලතාව මගහරවා ගැනීමට මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතිය පහසුකම් සපයයි. දිවා කාලයේ පරිභෝජනයට අමතරව කෙරෙන විදුලිය ගබඩා කිරීමේ පහසුකම නිසා ප්‍රධාන විදුලි බල පද්ධතියේ ආධාරයෙන් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වීමට මින් අවකාශ ලැබේ.

එමෙන්ම මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතියෙන් නිෂ්පාදනය කෙරෙන විදුලියෙන් තම පෞද්ගලික අවශ්‍යතා සපුරා ගැනීමට අමතරව අතිරික්ත විදුලිය, ජාතික විදුලි බල පද්ධතියට අධික විදුලි ඉල්ලුමක් සහිත වේලාවන්හිදී විකිණීමෙන් ඉහළ ආර්ථික ලාභයක් ද පාරිභෝගිකයාට උපයා ගත හැකිය. මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතියකින් එක් ගොඩනැගිල්ලකට හෝ සීමිත භූගෝලීය ප්‍රදේශයක් තුළ සිටින පාරිභෝගිකයන් ප්‍රමාණයකට විදුලිය සැපයිය හැකිය. සාමාන්‍යයෙන් මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතියක් කිලෝවොට් 100 (kW) සිට මෙගාවොට් ගණනක් දක්වා විශාලත්වයකින් යුක්තය.

අමෙරිකාවේ ප්‍රජා සේවා යන නමින් ක්‍රියාත්මක මයික්‍රෝ ග්‍රිඩ් පද්ධති සේවා මගින් එරට හදිසි විදුලි බිඳවැටීම් අවස්ථාවලදී පොලිස් ස්ථාන, සම්ප්‍රේෂණ කුලුනු ක්‍රියාත්මක කිරීම, නාගරික ජල සැපයුම පවත්වාගෙන යාම, ගිනි නිවන ස්ථාන බලගැන්වීම ආදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට යොදාගෙන ඇත. එමෙන්ම අමෙරිකාවේ නිව් ජර්සි වැනි දැවැන්ත සමාගම් සිය ගොඩනැගිලි මුළුමනින්ම ක්‍රියාත්මක කර තිබෙන්නේ මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතියෙනි. අමෙරිකාවේ කාබන් රහිත ආර්ථික ප්‍රතිපත්තියේ එක් ඉලක්කයක් වන්නේ ද මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතියෙන් කෙරෙන විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමයි. යුරෝපා රටවල කාර්මික ලෝකය තුළ පමණක් නොව ගෘහස්ථ පරිහරණය සඳහා ද මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතිය ප්‍රචලිතය.

මෙරට බොහෝ කර්මාන්ත ආර්ථික හැකියාව තිබුණ ද පුනර්ජනනීය බලශක්තීන් වෙත යොමු නොවී සිටින්නේ ඒවා මගින් දිවා කාලයේ කෙරෙන විදුලියෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි බැවිනි. එමෙන්ම ඒ සඳහා කරන අතිවිශාල ආයෝජනය නැවත මුදල් බවට පත්වීමට දීර්ඝ කාලයක් ගත වෙයි. ඊට අමතරව විදුලිබල මණ්ඩලය ද ඒවා මිල දී ගැනීමට මැලිකමක් දක්වයි. නමුත් මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතිය ඒ බොහෝ ගැටලු සඳහා විසඳුමකි. එනයින් වර්තමානයේ කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන, පෞද්ගලික සේවා ස්ථාන අප මුහුණ දෙන අඛණ්ඩ විදුලි බිඳවැටීම ඉදිරියේ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ඩීසල් සෙවීමට උත්සාහ නොකර පරිසර හිතකාමී විසඳුමක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලය හඳුන්වා දෙන මයික්‍රෝ ග්‍රිඩ් පද්ධතියට යොමුවීම වකුටු වී ඇති රටේ ආර්ථිකය ශක්තිමත් වීමටද බොහෝ උපස්ථම්බක වනු නොඅනුමානය. නව තාක්ෂණික දැනුම අර්බුදකාරී කාලයේ පමණක් සංවාදයට ගෙන සුපුරුදු ලෙස අතහැර දමන්නේ නම් දීන ජාතියක් ලෙස විනාශය තුරුලු කර ගැනීමට අප සූදානම් විය යුතුය.

 සටහන: සකීෆ් සාම්