2022 මාර්තු 13 වන ඉරිදා

හැම තිස්සෙම මුත්‍රා කරන්න ඕනේ

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 276

උපදෙස් - දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ

වායුසමීකරණය කළ වාහනවල යන්න අමාරුයි

මා 30 හැවිරිදි විවාහක කාන්තාවකි. පෞද්ගලික ආයතනයක සේවය කරමි. පසුගිය වසර 6ක සිට කාලය තුළ මා හට හිසරදයක් නිතර ඇතිවෙයි. ඇතැම්විට වමනය යන්නට මෙන් සැරසෙයි. බොහෝ වේලාවට මා එළිමහනේ වැඩ කර නිවසට පැමිණි පසු හිසරදය ඇතිවෙයි. ගොඩනැගිලි තුළ ආලෝකය බැලීමට අපහසුය. පඩිපෙළින් බහින්නට යාමේදී තරමක කරකැවිල්ලක් සෑදේ. වංගු සහිත පාරවල්වල යෑම ඉතා අපහසුය. වායුසමීකරණය කළ වාහනවල යාමද අපහසුය. මෙයින් මගේ සියලු වැඩ කටයුතු අතපසු වෙයි. අසීරුම අවස්ථා කිහිපයක ප්‍රතිකාර ගත්තද නිට්ටාවට තවම සුව වී නැත. මට සුදුසු ප්‍රතිකාරයක් කියන්න.

දර්ශිකා - කුරුණෑගල 

උපදෙස

ඔබ යොමුකර ඇති ප්‍රශ්නයේ සඳහන් රෝග ලක්ෂණ සලකා බැලීමේදී ඔබට ඉරුවාරදය නමැති රෝගය ඇතැයි සලකන්නට පුළුවන. පළමුව කිවයුතු වන්නේ මෙම රෝගය බිය විය යුතු මට්ටමේ රෝගී තත්ත්වයක් නොවන බවයි. නියමිත ප්‍රතිකාර කිරීමෙන් ඉරුවාරදය සනීප කරන්නට පුළුවන. ඔබට අසනීපය වැඩිවන බාහිර සාධකවලින් හැකි තරම් ඈත්විය යුතුය. සරලව පැහැදිලි කරනවානම් ඔබ අව්වේ යන විට හැදෙනවානම් එයින් මිදීමට කුඩයක් පාවිච්චි කළ යුතුය. බඩගින්නේ සිටින විට ඉරුවාරදය හැදෙනවානම් නිසි වෙලාවට ආහාර ගන්න. චීස්, චොකලට් වැනි ආහාර ගනිද්දී ඇතැමුන්ට ඉරුවාරදය ඇතිවෙයි. එසේනම් ඔවුන් එම ආහාර ගැනීම සීමා කළ යුතුය. මේ ආකාරයට ඔබත් ඉරුවාරදය ඇතිවීමට හේතුවන ඔබේ සාමාන්‍ය ජීවන රටාවේ වෙනස්කම් සිදුකර ගන්න. ඉරුවාරදය සඳහා ආකාර දෙකක ඖෂධ ප්‍රතිකාර සිදු කරයි. එනම් හිසේ කැක්කුම අඩුවීමට දීර්ඝකාලීනව භාවිත කළ හැකි ඖෂධ සහ හිසේ කැක්කුම වැඩි වූ විට ලබාදෙන ඖෂධයි. ඔබ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ඖෂධ ප්‍රතිකාර ලබාගන්න. මෙම ඖෂධ ප්‍රතිකාර ලබාගන්නා අතර ඉහත කී ආකාරයට ඔබේ ජීවන රටාවේ සුළු වෙනස්කම් සිදුකිරීමෙන් මෙම ඉරුවාරදය රෝගය සුව කර ගත හැකිය.  

දහදියෙන් කරදරයි

මම 36 හැවිරිදි එක්දරු මවක් වෙමි. මාගේ ගැටලුව වන්නේ අධික ලෙස දහදිය පිටවීමයි. ඉකිලිවලින් සහ කිහිලිවලින් පිටවන දුර්ගන්ධය නිසා බොහෝ අවස්ථාවල පීඩාවට පත්ව සිටිමි. නිතර නිතර පිරිසිදු වුණත් ක්ෂණයකින් මුහුණේත් ඇඟ පුරාත් දහදිය දමයි. පොදු ස්ථානවලදී බස් කෝච්චිවලදී බොහෝ අපහසුතාවට පත්වෙමි. වෛද්‍ය ප්‍රතිකාර ගත්තද එම වෛද්‍යවරුන් පැවසුවේ මෙය සාමාන්‍ය තත්ත්වයක් බැවින් ප්‍රතිකාර කිරීමට තරම් රෝගයක් නොවන බවයි. මේ දිනවල මුව ආවරණ පැළඳීමේදී දහදිය දැමීම නිසා පීඩාකාරී වෙයි. මට විසඳුමක් දෙන්න. 

ශානිකා - පොල්ගහවෙල

උපදෙස
එකිනෙකාට දහදිය පිටවීම වෙනස් වේ. ඇතැමුන්ට පොඩි උණුසුමටත් දහදිය විශාල ලෙස පිටවන අතර ඇතැමකුට කෙතරම් උණුසුම් පරිසරයක සිටියත් දහදිය දැමීම සුළු වශයෙන් සිදුවෙයි. ඒ වගේම ඇතැම් රෝග හේතුවෙන්ද දහදිය දැමීම අධික වීමට හැකිය. කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය වැඩිදුර උපදෙස් ලබාගන්න. එසේම අධික ලෙස දහදිය පිටවීමට හේතුවෙන බාහිර සාධක මඟහරවා ගන්න. උණුසුම් පරිසරයෙන් හැකි තරම් දුරස් වී සිටීම සුදුසුය. දහදිය හේතුවෙන් දුගඳක් ඇතිවෙනවා කියා ඔබ පවසා තිබේ. ඩියොඩ්‍රන් භාවිතය මගින් එවන් අපහසුතා මගහරවා ගැනීමට පුළුවන. 

පාඩම් මතක් වෙද්දිත් මුත්‍ර බර හැදෙනවාලු

මා 16 හැවිරිදි පාසල් සිසුවෙකි. මට නිතරම මුත්‍ර පිටකිරීමේ වුවමනාව එකවර තදින්ම දැනෙයි. මෙය මට කරදරයකි. හිටපු ගමන් අමාරුව වැඩිවෙයි. එක වෙලාවකට කේන්තිත් යයි. මා විභාගයට පාඩම් වැඩ කරන්න මතක් වෙද්දිත්, එක තැනක සිට වැඩි වේලාවක් පාඩම් කරද්දිත් මුත්‍ර බර තදින් දැනෙයි. එවිට පාඩම් කිරීමට බාධා වෙයි. කවුරුන් හෝ මට වැඩක් පැවරූ විට මම ඒ වැඩේ කිරීමට සැරසෙන්නටත් පෙර මුත්‍ර පිටකිරීමේ හදිසි අවශ්‍යතාව මතුවෙයි. මෙය අසනීපයක්ද?

දසුන් - ගම්පහ 

උපදෙස
දියවැඩියාව, වකුගඩු නරක්වීම වැනි රෝගී තත්ත්වයන්හිදී අධික ලෙස මුත්‍ර පිටවීමට පුළුවන. එවන් කායික අසනීපයක්දැයි පරීක්ෂා කර බැලිය හැක. එහෙත් ඔබේ වයසේ හැටියට ඔබට මේ සම්බන්ධයෙන් කායික අසනීපයක් ඇතැයි මම නොසිතමි. මේ සඳහා ඔබ කළ යුතු සුදුසුම දේ  ඔබ සිතන ආකාරය වෙනස් කිරීමය. 

පාන්දර අවදි වුණොත් හෙම්බිරිස්සාව 

මා වයස 26ක විවාහක තරුණයෙකි. දැනට වසර හයක පමණ සිට මට හුස්ම ගැනීමේ අපහසුතා සමඟ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී. පාන්දර අවදි වුණොත් මට අනිවාර්යෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව හැදේ. දුහුවිල්ල, සීතල ඔරොත්තු දෙන්නෙම නැති තරම්ය. සොටු දියර ගැලීම, කිවිසුම් යාම ආදිය නිතර නිතරම මට කරදර කරයි. දුහුවිල්ල නිසා බොහෝවිට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙයි. මේ නිසා මම ගොඩක් පීඩාවට පත්වී සිටිමි. කාලයක සිට ඉන්හේලර් භාවිත කරමි. මෙය නිට්ටාවටම සුව කරගත හැකිද? 

සුදේශ් - මාරවිල

උපදෙස්

ඔබ යොමුකර ඇති ප්‍රශ්නයේදී ඔබ ඉන්හේලර් භාවිත කරනවා කියා කියා තිබේ. බොහෝ වෙලාවට ඉන්හේලර් භාවිතයට නිර්දේශ කරන්නේ ඇදුම රෝගීන්ටය. එහෙත් ඔබ විස්තර කරන රෝග ලක්ෂණ අනුව ඇතැයි අනුමාන කළ හැකි වන්නේ රයිනයිටිස් (Rhinitis) හෙවත් ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඇතිවන ආසාදන තත්ත්වයකි. ඇදුම රෝගය සහ නහයේ ආසාදන තත්ත්වය දෙකක් වුවත් මේ දෙක  බොහෝ දුරට එකට ගමන් කරන්න පුළුවන. මෙවැනි රෝග තියෙන අය මුව ආවරණයක් භාවිතයෙන් දුහුවිල්ලෙන් ආරක්ෂා වීමට කටයුතු කළ යුතුය. මෙවැනි රෝගීන් පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන්ට වඩාත් සුදුසු යැයි නිර්දේශ කරනුයේ ඉන්හේලර් ඖෂධ නොව නහයට ආඝ්‍රාණය කරන ඖෂධය. එම ඖෂධ සමඟ නහයේ ප්‍රදාහය අඩු කළ හැක. ඖෂධ දීර්ඝකාලීනව පාවිච්චි කරන්න පුළුවන. කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පුළුවන.

♦ සසංක චලන ගිම්හාන 

ඔබේ ප්‍රශ්න යොමු කරන්න

කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරු පළවිය යුතු නමද සඳහන් කරන්න.

 සංස්කාරක 

විශේෂඥ වෛද්‍ය හමුව 
''දොස්තරට කියන්න''
දේශය පුවත්පත,
නො: 08, හුණුපිටිය හරස් පාර,
කොළඹ 02

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00