2022 මාර්තු 13 වන ඉරිදා

ඉතින් ආයුබෝවන් ඇත් රජුනි ගරු...

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 336
''යන්නම් ඉතිං හිටියා දැන් ඇති නේද
ඉන්නම් වාලේ ඉඳලා පල නෑ නේද
පන්දම් පෙළපාලි තව තව යා නේද
තව ඇතෙකුටත් ඉඩ දී යා යුතු නේද''
 
නැදුන්ගමුවේ රාජා මියගිය පුවත ඇසූ විගස මුහුණු පොත එම හස්තියා ගැන ගුණකථන, කවි, ඌ දළදා පෙරහරට යොදාගැනීමට එරෙහි අදහස් වලින් පිරී ගියේය. ඒ අතර තිබූ සුනිල් ලීලානන්ද පෙරේරා ලියූ ඉහත කවිය රාජා හස්තියා තමා බලා කියාගත් ඇත්ගොව්වා අමතමින් කියන ලද්දක් ලෙස ලියූවකි.
 
මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සිදුකළ නැදුන්ගමුවේ රාජා හස්තියා මියගියේ පසුගිය 7දා අලුයම 5.30ට පමණය. කිසිදු අසනීපයකින් තොරව සිටි හස්තියා එක් දිනක් පමණක් ආහාර නොගෙන සිට පසුදින මරණයට පත්ව ඇත. මිය යනවිට අවුරුදු 69ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඬුව වැඩමවීම සිදුකොට ඇති අතර අවසන් වරට පසුගිය 2021 වසරේද කරඬුව වැඩමවීම සිදු කළේය.
 
නැදුන්ගමුවේ හස්තියා මෙරට සිටින දැවැන්තම සද්දන්තයෙන්ගෙන් අයෙකි. එම සත්වයා දෙස පූජනීයත්වයෙන් බැලීමට බොහෝ බෞද්ධයෝ පුරුදුව සිටියහ. රාජා පා ගමනින් යන මඟ දෙපස පිරිස් ඌට වඳින අන්දමද දැකගත හැකි විය. ඇතා මියයාම සැලවීමත් සමඟ විශාල ජනතාවක්, අවසන් ගෞරවය පුද කිරීම පිණිස හස්තිරාජයාගේ හිමිකරු වූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජයගේ ගම්පහ, නැදුන්ගමුව නිවස කරා පැමිණෙමින් සිටියහ. බොහෝදෙනා ඌ දෙස බැලුවේ කඳුළු පිරි දෙනෙතිනි. උපාසකම්මලා ඇතා දෙස බලමින් වැඳ වැටෙනු දැකගත හැකි විය. 
 
මෙම හස්තියා වසර 25 ක පමණ කාලයක් රැකබලාගත් ඇත්ගොව්වා වන විල්සන් කොඩිතුවක්කුද රාජා මියයාමෙන් දැඩි ශෝකයට පත්ව සිටින අතර මහනුවර ඇතුළු සෑම පෙරහරක් සඳහාම හස්තියා පා ගමනින් රැගෙන ගියේ මොහුය. ඒ අනුව ඇතා සමඟ කිලෝමීටර් දහස් ගණනක් පයින් ඇවිදීමට ඔහුටද සිදුවිය.
 
මේ අතර නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාප්පක්ෂ විසින් උපදෙස් ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ. 
 
මින් ඉහත දළදා කරඬුව වැඩම කළ රාජා හස්තියාගේ සිරුරද මාලිගාව පරිශ්‍රයේ කෞතුකාගාරයක සංරක්ෂණය කර ජනතාවට දැකගැන්මට සලසා ඇත. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1986දී දළදා මාලිගාවේ රාජා “ජාතික වස්තුවක්” හැටියට ප්‍රකාශයට පත්කළ අතර නැදුන්ගමුවේ රාජා එම ගෞරවය ලැබූ මෙරට දෙවැනි හස්තියා වේ. නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් සිදුකළ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයමින්, රුපියල් 15ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම 2019දී සිදුව තිබේ.
 
1985 වසරේදී සබරගමුව මහා සමන් දේවාලයේ පෙරහරට මුල්වරට සම්බන්ධ වූ රාජා හස්තියා, 2005 වසරේ මුලින්ම මහනුවර දළදා පෙරහරට එක්විය. නුවර පෙරහැරට මුල්වරට එක් වනවිට රාජා අවුරුදු 52ක පරිණත වියේ පසුවිය. ඉන්පසු 13 වතාවක් දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සිදුකොට තිබෙන අතර පසුගිය වර්ෂයේද එම කටයුත්ත ඉටු කළේය. මේ හර්ෂ ධර්මවිජය වෙද රාළහාමි ඇතා මුලින්ම දළදා මාලිගයට ගිය දවස ගැන කලකට පෙර මතක් කළ සිද්ධියකි.
''පෙරහරට මුලින්ම එක්කරගෙන ගිය දවසේ දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළට යන්න ඇතා කැමැති වුණේම නැහැ. පුරුදු නැති නිසා හිතේ බයක් ඇතිවුණාද දන්නෙ නැහැ. ඉන්පස්සේ දළදා වහන්සේට බාර කරලා අටපිරිකරක් පූජා කළා. ඉන් පසුව කතාකළාම ගියා. මාලිගාවේ කරඬුව වැඩමවන ඇතාගේ පිටේ රන්සිවිගෙය තැන්පත් කිරීමට හම් පටි ඇතාගේ උදරය වටේට දානවා. මාලිගාවේ තිබුණේ මැරුණු රාජාට දාපු පටි. නැදුන්ගමුව ඇතාගේ ඇඟ මහත නිසා ඒ පටි එයාට හරිගියේ නැහැ. පෙරහර පටන්ගෙන නිසා අලුතින් පටි හදවන්න කාලයක් තිබුණේ නැහැ. ඒ නිසා 2005 දී පෙරහරට සම්බන්ධ වුණත් අපේ ඇතාට කරඬුව වැඩම කරන්නේ නැතුව පෙරමුණේ යන්න වුණා. ඉන්පසු අවුරුද්දේ අලුතින්ම බඳපටි හදවලා රාජා මතින් කරඬුව වැඩෙමෙව්වා.''
 
නැදුන්ගමුව පිහිටා ඇත්තේ ගම්පහ බැලූම්මහර හන්දියෙන් හැරීයන බියගම පාරේ, රතුපස්වල හන්දිය ආසන්නවය. රතුපස්වල හන්දියෙන් වමට හැරී නැදුන්ගමුව පාසල පසුකළ විට ප්‍රකට නැදුන්ගමුව වෙද පරම්පරාවට අයත් නැදුන්ගමුව වෙදැදුරු නිවස හමුවේ. නැදුන්ගමුව රාජාගේ පදිංචියද එම නිවසට නුදුරු වත්තේ තැනකි.  නැදුන්ගමුවේ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා දරුවකුට මෙන් සලකන ''නැදුන්ගමුවේ (විජය) රාජා'' ගම්පහ - කොළඹ අවට පෙරහැර මංගල්‍යයන් නිමාකර, සෑම වසරකම පාහේ අවසන් පෙරහර ලෙස එක්වන්නේ මහනුවර ඇසළ පෙරහැරටය. බෙල්ලන්විල, කෝට්ටේ, වාද්දුව, කිරුළපන පෙරහරවලටද ඇතා සහභාගි වීම සිදුවේ. මෙරට සිටින හීලෑ අලි 105 දෙනා අතරින් වැඩිම ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටියේද මේ ඇතාය. නැදුන්ගමුවේ ඇතාගේ දළ අඩි හතරක් දිගය. උසින් අඩි 10 1/2 කි.
 
මෑතක සිට අලි ඇතුන් ප්‍රවාහනයට වාහන යොදා ගත්තද රාජා ඒවාට නැගීමට කැමැත්තක් නැත. පා ගමනින් පිය මනින හස්තියා දැකබලා ගැනීමට මඟ දෙපස බොහෝදෙනා රොක් වෙති. පළතුරු ආදී කෑම වර්ග ලබාදෙති. ඇතා දිවයිනේ පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වීමට ගෙවා ගොස් ඇති දුර ප්‍රමාණය කිලෝමීටර දහස් ගණනකි. වැලිවේරිය නැදුන්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගි වී යන්නට එන්නට පමණක් එක අවුරුද්දකදී රාජා කිලෝමීටර 190ක පමණ දුරක් ඇවිද යාම සිදුවිය.
 
නැදුන්ගමුවේ රාජා මෙන්ම, කොළඹ ගංගාරාමයේ සිටි මියගිය නවම් රාජාද දෙසෝයුරන් වැනි සතුන් දෙදෙනෙකි. දෙදෙනාම ලංකාවට ආවේ එකටය. ඒ ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ සිටය. වර්ෂ 1953 දී උපත ලබා ඇති මේ දෙදෙනා ලංකාවට ලැබුණේ නීලම්මහර වෙද හාමුදුරුවන්ට ලැබුණු තුටු පඬුරක් ලෙසය. පනහ දශකයේදී වෙද හාමුදුරුවන් විසින් මයිසූර් මහාරාජාවරයකුගේ මානසික රෝගයකින් පෙළුන ඥාතියකු සුවකර දී ඇති අතර එයට මුදල් ලබාගැනීමට උන්වහන්සේ අකමැත්ත පළකර තිබේ. එවිට තෑග්ගක් ලෙස ඇත්පැටව් දෙදෙනකු ලබාදී තිබේ. හාමුදුරුවන් සතුව සිටි ඇත්පැටවුන් දෙදෙනා වයස අවුරුදු 15ක් පමණ වනවිට ඇඹිලිපිටියේ සහ හොරණ ප්‍රදේශයේ ප්‍රභූන් දෙදෙනකුට බාර කෙරුණේ උන් රැකබලා ගැනීම සඳහාය. එසේ වසර 10ක් පමණ හැදී වැඩුණු හොරණ ඇතා වයස අවුරුදු 25 දී පමණ, එනම් 1978 වසරේදී නැදුන්ගමුවේ ලොකු වෙද රාළහාමි විසින් (හර්ෂ ධර්ම විජයගේ පියාණන්) මිලදී ගෙන තිබේ. ඇඹිලිපිටියේ ඇතා මිලදී ගත්තේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් විසිනි. ගංගාරාමයේ ඇතාට නවම් රාජා නම ලැබුණු අතර නැදුන්ගමුවේ ඇතා හඳුන්වන්නට වූයේ විජය රාජා ලෙසිනි. පසුව විජය කෑල්ල හැලී නැදුන්ගමුවේ රාජා යන නම කා අතරත්  ප්‍රකට විය. නැදුන්ගමුවේ ලොකු රාළහාමි ඉතා සැලකිල්ලෙන් මේ ඇතා ඇතුළු ඔවුන් සතු අලි රුක බලාගත් අතර මේ නිසා ඌ නිරෝගීව වැඩෙන්නට විය.
 
නැදුන්ගමුවේ රාජා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන ආ සතෙක් නිසා හස්තියා අයිති වන්නේ ලංකාවේ අලින් අයත් එලිෆාස් මැක්සිමස් මැක්සිමස් (Elephas maximus maximus) කියන විශේෂයට නොව එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස් (Elephas maximus indicus) විශේෂයටය. අපේ අලින්ට වැඩිය ජානමය වශයෙන්ද ටිකක් වෙනස්ය.
 
දළදා පෙරහරට එක්වූ මුල් අවස්ථාවේ සිටම ඇතාගේ ගමන් විලාසය සහ හැසිරීම නිසා බොහෝ වතාවක් දළදා කරඬුව වැඩම කිරීමෙන් විශාල ගෞරවයක් ලබන්නටද වාසනාවන්ත විය. 2016 දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එවක පටන් ඇතා මාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී ''යුද හමුදා'' ආරක්‍ෂාව ඇතාට ලබාදෙන්නට රජය කටයුතු කළේය. හමුදා ආරක්ෂාව ඇතා මිය යන තෙක්ම ලැබී තිබුණි.
 
දළදා පෙරහරට සහභාගි වන සෑම අවස්ථාවකම රාජා හස්තියා ගමන් කළේ චාරිත්‍රානුකූලව පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසුවය. මහා සංඝරත්නය රාජාට ආශීර්වාද පතා පිරිත් දේශනාකර රාජාගේ ගෙලෙහි පිරිත් නූල් ගැට ගැසීම සිදුවන අතර  රාජා පසුව මහා සංඝරත්නයට දණ නමා ආචාර කරයි. රාජාට සුබපැතීම සඳහා ප්‍රදේශයේ විශාල ජනතාවක් නැදුන්ගමුවේ වෙද නිවසට පැමිණීමද සිදුවේ. එහිදී රාජාට ප්‍රණීත ආහාර සංග්‍රහයක්ද ලැබේ.
 
ඇතා දිනකට ඇවිදින දුර කිලෝමීටර 20කි. මේ නිසා මහනුවරට ළඟාවීමට දින කිහිපයක් ගතවේ. ගමනේ අතරමග නිට්ටඹුව විද්‍යාරවින්ද පිරිවෙනේ පන්සලේ, දංඕවිට නිවසක, නෙළුම්දෙණියේ මොරවක නිවසක, රංවල දුනුකොළ වලව්වේ සහ හිඟුල ගනේතැන්න මල්වතු විහාරයේද ඇතා නවාතැන් ගැනීම සිදුවිය. නැදුන්ගමුවට පැමිණි 1978 සිට ඇතා බලා කියා ගත් ඇත්ගොව්වන් ගණන සිව්දෙනෙකි.  මුලින් සීමන් අයියාත් පසුව සෝමේ අයියා සහ සයිමන් අයියාත් රාජාගේ අලි බාස්වරු ලෙස කටයුතු කළහ. සයිමන්ගේ මරණයෙන් පසු රාජාව බලා ගැනීමේ වගකීම පැවරුණේ විල්සන්ටය.
 
මේ ඇතා ගැන සුනිල් ලීලානන්ද ලියූ කවි පන්තියේ අවසන් කවියයි.
 
''මගෙන් පසුව මගෙ නිලතල බබලන්න
පුතෙක් හැදුවෙ නෑ රජකම ඩැහැගන්න
ගොඩක් දේ තිබුණෙ නෑ හැරදා යන්න
කළු මාමේ දුකයි උඹ මග දා යන්න''
 
පරපුරක් නොතියාම යන්න ගිය ඇත් රජුන් යුගලය...
නීලම්මහර මානසික රෝග වෙද පරම්පරාව, ගෞරවයට සහ ඇගයීමට ලක් කරමින්, ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහරාජා කෙනෙකු විසින්, 1952දී ගෞරවනීය තිළිණයක් වශයෙන් ලංකාවට ලැබුණු නැදුන්ගමුවේ ඇත් පැටවා සහ නවම් රාජා ඇත් පැටවා මෙරටට ගෙන ඒමෙන් පසු නීලම්මහර පුරාණ විහාරස්ථානයේ ධාතු මන්දිරය ඉදිරිපිටදී, ඇත් පැටවුන් දෙදෙනා සමග ගත් මුල්ම ඡායාරූපය....

නීලම්මහර වෙද පරම්පරාවේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස කටයුතු කරමින් සිටි මානසික රෝග විශේෂ ආයුර්වේද වෛද්‍ය ඩී.එස්. හෙට්ටිගේ සහ ඔහුගේ ගුරු පියාණන් වන මානසික රෝග විශේෂ ආයුර්වේද වෛද්‍ය දෙහිවල ධර්මාලෝක හිමිපාණන් වහන්සේ ඡායාරූපයේ සිටී.
 
 කුසුම්සිරි විජයවර්ධන