2022 මාර්තු 06 වන ඉරිදා

බෙහෙත් පෙති මත් පෙති කරන මහනුවර ෆාමසි ජාවාරම

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 511

මත්කුඩු, ගංජා, හෂීෂ් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අභිබවා අලුත්ම මත්ද්‍රව්‍ය ජාවාරමට මහනුවර ප්‍රදේශයේ ඇතැම් ෆාමසි ඖෂධ අලෙවිසල් හිමියන් ඉතා සූක්ෂම ලෙස අත ගසා තිබේ.

රුපියල් 13.00ක් වන මත් පෙත්තක් රුපියල් 120/-කට අලෙවි කරමින් තරුණ පිරිස මත්පෙතිවලට යොමු කරවීමේ මෙවැනි කූඨ ජාවාරමක් පසුගියදා මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අනාවරණය කර ගනිමින් මත්පෙති බෙදාහැරීමට යොදාගත් මහනුවර නගරයේ සැරිසරන වීථි කතක්ද අත්අඩංගුවට ගනු ලැබීය.

ඇයගෙන් ලද තොරතුරු මත මහනුවර නගරයේ ප්‍රසිද්ධ ඖෂධ අලෙවිසල් හිමිකරුවකු තම සේවකයකුද හවුල් කර ගනිමින් මෙම මත්පෙති ජාවාරමට සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී තිබිණි. ඒ සමඟ පොලිසිය මත්පෙති සමග ප්‍රධාන ජාවාරම්කරුද ඔහුගේ සහායද අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල සැරිසරමින් තරුණ පිරිස් ගොදුරු කරගන්නා තැරුව්කාර කාන්තාව ඔවුන්ට මත්පෙති අලෙවි කිරීම ඉතා සූක්ෂමව සිදුකර තිබෙන බව පොලීසිය පවසයි.

මත්පෙති අලෙවියෙන් ෆාමසි හිමිකරු දිනකට රුපියල් ලක්ෂයක මුදලක් උපයන බවද ඔහුගේ තැරුව්කරුවන්ට සොච්චම් මුදලක් ලබාදෙන බවද පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා තිබේ.

නගරයේ හඳුන්කූරු සහ ලොතරැයි අලෙවි කරන මුවාවෙන් කුඩා දරුවන්ද සමග වීථිවල හා ජනාකීර්ණ ස්ථානවල (වැව රවුමේ පදික වේදිකාව) දළදා මාලිගාව ආශ්‍රිත ස්ථානවල සැරිසරන වීථි කතුන් ඍජුව මත්පෙති හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවටද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඉතා සූක්ෂම ලෙස පාසල් සිසු සිසුවියන්ට අමතර පන්තිවලට පැමිණෙන සිසුන්ට මත්පෙති අලෙවිය ජයටම කරන ජාවාරම්කරුවන්ට ඔත්තුකරුවෝද සිටිති.

පොලීසියේ ඇසට හසු නොවන පරිදි නගරයේ සැරිසරමින් මෙම ජාවාරමට සහාය දෙන (යාචක) වෙසින් පෙනී සිටින කතුන් හා පුද්ගලයෝ දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගෙන් මුදලක්ද ලබා ගනිති.

මානසික රෝගීන්ට නිකුත් කරන විවිධ පෙති වර්ග ඉතා අධික මිල ගණන්වලට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන්ට ලබාදෙන ඇතැම් ෆාමසි හිමියන් සමාජයේ පෙනී සිටින්නේද ප්‍රභූ වෙළඳ ව්‍යාපාරිකයන් ලෙස බව පොලීසියේ උපාය දූතයන් මාර්ගයෙන් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන්ද ඉතා සූක්ෂම ලෙස මුහුණු පොත (ෆේස් බුක්) හරහා පණිවුඩ යවා තරුණ තරුණියන් විවිධ හෝටල්වලට කැඳවා ඔවුනට ''මත්පෙති'' වර්ග අලෙවිකරන බවටද පොලීසියට තොරතුරු ලැබුණු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

මෙම මත්පෙති සමඟ සාද පැවැත්වූ හෝටලයට ඇතුල්වීම සඳහා ප්‍රවේශ පත්‍රයක් රුපියල් 2500ට අලෙවි කළ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය දේශපාලනඥයකු සම්බන්ධයෙන්ද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
පොලීසිය විසින් මත්පෙති සාදය පැවැත්වූ ස්ථානයක් වැටලූ අවස්ථාවේ එම සාදය සංවිධානය කළ ප්‍රාදේශීය දේශපාලනඥයා ස්ථානයෙන් මාරුවී ගිය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන් අතලොස්සක්ද මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට සම්බන්ධ බවටද ඉතා විශ්වාසී කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු අනාවරණය විය.

මහනුවර නාගරික මන්ත්‍රීවරයකු සංවිධානය කළ මත්පෙති සාදයට සහභාගී වූ තරුණ තරුණියන් අතර මහනුවර නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන්ගේ දූ දරුවන්ද අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයන්ද, තරුණියන්ද සිටි අතර ඇතැම් තරුණ පිරිස් ඉතා වටිනා සුඛෝපභෝගී මෝටර් රථවලින් පැමිණ සිටි බවටද පොලීසියට තොරතුරු හෙළිකර ගැනීමට හැකි විය.

ඇතැම් ෆාමසි හිමිකරුවන් විසින් ඉතා සූක්ෂම ලෙස මත්පෙති අලෙවි කිරීම සිදුකළද ඒවා පිළිබඳව පොලීසියට තොරතුරු හෙළි නොවන්නේ පාමසිවලට වැඩිපුර පිරිස් පැමිණෙන්නේ බෙහෙත් වර්ග මිලදී ගැනීම නිසා බවද පොලීසිය පවසයි. ඉඳහිට පොලීසියට ඔත්තුකරුවන් හරහා ලැබෙන තොරතුරු මත මත්පෙති ජාවාරම් පිළිබඳව වැටලීම් සිදුකෙරෙයි.

නගරයේ සැරිසරන ඇතැම් තාවකාලික ජංගම වෙළඳුන් (බුලත් විට, ලිත්, ලොසින්ජර්, මුහුණු ආවරණ, ලොතරැයි ටිකට්පත්, හඳුන්කූරු, මල්වට්ටි වෙළඳුන්) ගංජා, මත්පෙති ජාවාරමට සම්බන්ධ වී සිටීම නිසා තම ජීවනෝපාය මාර්ග සලසා ගන්නට ස්වයං රැකියාවක නිරත අසරණ ජංගම වෙළඳුන් වන තමන්ටද දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවන බවට ඔවුහු පැවසූහ.

මහනුවර නගරයේ උමං මාර්ග පද්ධති තුළ මෙම මත්පෙති ජාවාරම ඉතා සූක්ෂම ලෙස සිදුවන්නේ ඉතා ප්‍රසිද්ධ ලෙසය.

මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේද සහාය මත පසුගිය සෙනසුරාදා සිදුකළ මෙහෙයුමකදී මත්පෙති 3000ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07ක් සමඟ විලියම් ගොපල්ලව මාවතේ තවත් ෆාමසි හිමියකු අත්අඩංගුවට ගනු ලැබුවේ විදුහල්පතිවරුන් කිහිප දෙනකු විසින් පොලිසියට එවන ලද පෙත්සම් කිහිපයක් විමර්ශනය කිරීමෙන් අනතුරුවය.

 ජේ.ඒ.එල්. ජයසිංහ

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05