
මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙමින් තිබෙන්නේ භාණ්ඩ මිල ඉහළ යාම කෙරෙහිය. මෙලෙස භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළ යාම නිසා පාරිභෝගිකයෝ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදියේ මිල කොතරම් ඉහළ ගියද එම මිලට සීමිත ප්‍රමාණයක් හෝ ගැනීමට පාරිභෝගිකයාට සිදුව ඇත්තේ එම ද්‍රව්‍ය අත්‍යවශ්‍ය නිසාය. ඒවා වෙනුවට වෙනත් විකල්පයක් හෝ ආදේශනයක් තෝරාගැනීම උගහට වෙයි. එයට හේතුව එම ද්‍රව්‍ය නැතුවම බැරිව තිබෙන බැවිනි. උදාහරණයක් වශයෙන් සහල් ගතහොත් ජනතාවට සහල් නැතිව වෙනත් සාර්ථක විකල්පයක් සොයාගත නොහැකිය. හාල්වලින් සකස් කර ගන්නා බත් ප්‍රධාන ආහාරය බවට පත්ව තිබෙන සමාජයට බත් වෙනුවට වෙනත් ආදේශනවලට යොමුවීම අපහසුව ඇත. එම ආදේශන භාවිත කළද ඒවා සාර්ථක නොවේ. බත් ආහාරයට ගෙන පුරැදු අයට බත්ම අවශ්‍ය වේ. පාන් හෝ ආප්ප, ඉඳිආප්ප ආදී ආහාර හෝ බතල, මඤ්ඤොක්කා වැනි අල වර්ගයක් හෝ බත් වෙනුවට නිතර ආහාරයට ගත නොහැකිය.
ආර්ථික විද්‍යාවට අනුව භාවිතයට පුරුදු වී ඇති ඇතැම් භාණ්ඩ අනම්‍ය භාණ්ඩ ලෙස සැලකේ. ඒවා නම් මිල ඉහළ ගියද භාණ්ඩයේ ඉල්ලුම විශාල වශයෙන් අඩු නොවන භාණ්ඩය. කොතරම් මිල වැඩි වුවද පාරිභෝගිකයා එම භාණ්ඩයම ඉල්ලා සිටියි.වෙනකකට ඇති ඉල්ලුම අඩුකර හෝ මෙම භාණ්ඩය ඉල්ලීමට පෙළඹේ. ඒ බව අවබෝධ කරගෙන සිටින බලධරයන් එවැනි භාණ්ඩවල මිල වැඩි කිරීමට දෙවරක් නොසිතන බව පෙනෙන්නට තිබේ. මත්පැන් වැනි භාණ්ඩයක් ගතහොත් මත්පැන් මිල වැඩි වුවද ඒ හේතු කරගෙන අලෙවිය එතරම් අඩුවීමක් සිදුවන්නේ නැත. මුලදී යම් විදිහකින් තරමක් ඉල්ලුම පහළ ගියද ස්වල්ප කලකින් එය යථා තත්ත්වයට පත්වී මුලින් තිබූ ඉල්ලුම තරමටම යයි. ඉන්ධන වැනි ආදේශක නොමැති භාණ්ඩවල මිල ඉහළ ගියද ඉල්ලුමේ එතරම් වෙනසක් ඇතිවන්නේ නැත.
අපේ රටේ භාණ්ඩ මිල වැඩි කිරීම කණ්ඩායම් දෙකක් මගින් සිදුකෙරේ. රජය මගින් ඒකාධිකාරය තබාගෙන මිල නියම කර ඇති භාණ්ඩවල මිල රජයට ඉහළ නැංවීමට පුළුවන. එසේ කර රාජ්‍ය ආදායම වැඩි කරගත හැකිය. මිලට මැදිහත් වන අනෙක් කණ්ඩායම වන්නේ පෞද්ගලික වෙළෙඳුන්ය. ඔවුහු භාණ්ඩ හිඟයක් ඇතිකර මිල ඉහළ නංවා පාරිභෝගිකයා සූරා කෑමට පුරුදුව සිටිති. මෙලෙස මිල ඉහළ නැංවීම නැවැත්වීම සඳහා රජය ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීමට කටයුතු කරයි. යම් භාණ්ඩයකට සම්මත මිලක් නියම කළ විට එම මිලට වඩා ඒවා අලෙවි කළ නොහැකිය. පාරිභෝගික අධිකාර පනත අනුව එවැනි අවස්ථාවක භාණ්ඩ රාජසන්තක කර වෙළෙඳුන්ට එරෙහිව අධිකරණයට ගොස් දඬුවම් කිරීමට හැකිය.
කෙසේ වුවද ඇතැමුන් තර්ක කරනුයේ භාණ්ඩවල මිල පාලනය කිරීම අද වනවිට යල්පැන ගිය ක්‍රමයක් බවට පත්ව ඇති බවටය. භාණ්ඩයක මිල පාලනය කිරීමෙන් සිදුවිය හැකි හානි කිහිපයක් ගැන ආර්ථික විද්‍යාවේ දැක්වේ. භාණ්ඩවල ප්‍රමිතිය බාල කිරීම, බර සහ ප්‍රමාණය අඩු කිරීම, භාර හිඟවීම හා කළුකඩ මිලක් ඇතිවීම මිල පාලනය නිසා සිදුවේ. මිල පාලනයට වාණිජ විද්‍යාවේදී එතරම් අගැයුමක් නොලැබෙන්නේ ඒ නිසාය. ඒ නිසා අතීතයේ සිට මෑත කාලය දක්වාම භාණ්ඩවලට නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට බලධරයන් පෙළඹී සිටින බවක් පෙනෙන්නට තිබේ.
ආසන්නතම උදාහරණය වන්නේ ජල බෝතල්වලට පනවා තිබූ අනුමත උපරිම මිල ඉවත් කිරීමයි. ජල බෝතල් සඳහා 2018 සැප්තැම්බර් 28දා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් 35ක්ව තිබූ මිලිලීටර් 500ක පානීය ජල බෝතලයක මිල රුපියල් 50 දක්වාද, රුපියල් 50ක්ව තිබුණු ලීටරයක ජල බෝතලයක මිල රුපියල් 70 දක්වාද මේ වනවිට ඉහළ ගොස් තිබේ. අනිකුත් ප්‍රමාණවල බෝතල් මිලද එයට අනුරෑප ලෙස ඉහළ ගොස් තිබේ. සිමෙන්තිවලට තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ පසුව මේ වනවිට රුපියල් 1375ක මිල සඳහන් කර ඇති කිලෝ 50 සිමෙන්ති කොට්ටය රුපියල් 2000 පමණ මිලකට විකිණෙයි. සහල්වල පනවා තිබූ සහතික මිල ඉවත් කළ පසු රුපියල් 86කට මිල නියම කර තිබූ කුකුළු සහල් කිලෝව අද වනවිට රුපියල් 150 ඉක්මවා ඇත. අනිත් සහල් වර්ගවල මිලද ඉතා අසාධාරණ ලෙස ඉහළ නැංවීම නිසා දුප්පත් ජනතාව විපතට පත්ව සිටිති. වෙළෙඳ අමාත්‍යාංශය පිටරටින් සහල් ගෙන්වා සතොස මගින් තරමක් අඩු මිලකට බෙදා දුන්නද වෙළෙඳපොළේ පවතින මිලට බලපෑම් කිරීමට එයට හැකිවූයේ නැත.
භාණ්ඩවල පාලන මිල ඉවත් කළද නොකළද අද වනවිට විවෘත වෙළෙඳපොළේ බොහෝ භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබේ. උදේ පැවතුණු මිල සවසට වෙනස් වේ. භාණ්ඩවල මිල තීරණය කිරීමේ අයිතිය මුදලාලිට ලැබී ඇත. මෙලෙස මිල ඉහළ යාම නිසා අද බොහෝ භාණ්ඩවලට කළුකඩ මිලක් ඇතිවී තිබේ. කළුකඩ මිල යනු අසාධාරණ ලෙස කෘත්‍රිමව ඉහළ නැංවූ මිලකි. වෙළෙඳපොළේ කළුකඩ මිල ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉල්ලුම තරමට සැපයුම නොමැතිවීමය. ඉල්ලුමට වඩා සැපයුම අඩු වූ විට කළුකඩ මිලක් නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. එහිදී පාරිභෝගිකයාට සිදුවන්නේ තමාට අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙන්දා කියන මිලට ලබාගැනීමටය. ඒ හැර ඔහුට අන් විකල්පයක් නැත. මේ බව දන්නා කූඨ ව්‍යාපාරිකයා කළුකඩ මිල ඇතිවීමට පසුබිම සකස් කරනුයේ වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් නිර්මාණය කිරීමෙනි. එහිදී වෙළෙඳපොළට භාණ්ඩ ගලා ඒම සීමා කරවයි. භාණ්ඩ සඟවා තබාගෙන කෘත්‍රිම හිඟයක් නිර්මාණය කරයි. පසුගිය දිනවල වෙළෙඳපොළේ සහල්වල කෘත්‍රිමව හිඟයක් නිර්මාණය කිරීමට ඇතැම් කූඨ වෙළෙඳුන් සහල් කන්ටේනර් පිටින් සඟවා තැබුවා අපට මතකය. එවැනි අවස්ථාවල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වැටලීම් සිදුකර සැඟවූ භාණ්ඩ සොයාගෙන එම වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද එම භාණ්ඩ අඩු මිලට එතනදී බෙදාහැරීමට කටයුතු කළ බව සිහිපත් වේ. කළුකඩ මිල පාලනය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විටින් විට වැටලීම් කරන නමුත් තත්ත්වය මර්දනය කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත් වී නැත. එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක පවසන්නේ තමන්ට භාණ්ඩ සඟවා තැබීම් පිළිබඳ පැමිණිල්ලක් ලැබුණු විට ඒ පිළිබඳ පරීක්ෂා කරන බවය. එසේ නැතුව රට පුරා නිලධාරීන් යවා වැටලීම් කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට හැකියාවක් නැත. තමන්ට හිමි සම්පත් උපරිමයෙන් යොදා භාණ්ඩ සඟවා තබා ඇතැයි දැනගන්නට ලැබෙන ස්ථාන වටලා නඩු දමන බව ඔහු කියයි.
කෙසේ වුවද එදා සිට අද දක්වාම භාණ්ඩ සඟවා තබා කළුකඩ මිලට විකිණීම වළක්වාලීමට කිසිදු රජයකට හැකි වී නැත. අද රටේ පවතින වාතාවරණය මත කූඨ වෙළෙඳුන්ට කළුකඩ මිලට භාණ්ඩ අලෙවි කිරීමට සුදුසු තෝතැන්නක් නිර්මාණය වී ඇත. එයට හේතු වන්නේ ආනයන භාණ්ඩ රට තුළට ගෙන ඒම පිළිබඳ ගැටලු, එසේම උත්සන්නව ඇති ඩොලර් අර්බුදය නිසා භාණ්ඩ අවශ්‍ය පරිදි ආනයනය කිරීමට දුෂ්කර වීම, කොවිඩ්-19 ගැටලු හේතුවෙන් පසුගිය වසර දෙක තුන තුළ රටේ නිෂ්පාදනය බිඳවැටීම ආදී කරුණුයි.
වෙළෙඳපොළේ අද පවතින අසතුටුදායක තත්ත්වය සමනය කිරීම සඳහා එදිනෙදා දමන පැලැස්තර විසඳුම්වලින් සිදුවන්නේ සියලු ගැටලු උග්‍රවීම බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාරිනී ප්‍රේමා පොඩිමැණිකේ පෙන්වා දෙයි. ඇය තවදුරටත් පෙන්වා දෙන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්තිවල පරිවර්තනයක් වහාම ආරම්භ කළ යුතු බවයි.
අද භාණ්ඩවල මිල තීරණය වන්නේ රජයේ මැදිහත්වීමකින් තොරවයි. මිල තීරණය කිරීමේ කිසිදු ක්‍රමවේදයක් දක්නට නැහැ. භාණ්ඩවල මිල තීරණය කරන්නේ වෙළෙඳ ප්‍රජාව විසින්. තමන් කොපමණ ලාභ ලබාගත යුතුද කියලත් තීරණය කරන්නේ ඒ අයයි. ඔවුන් තීරණය කරන කුමන මිලකට හෝ භාණ්ඩ ලබාගැනීමට පාරිභෝගිකයාට සිදුවෙනවා.
රජයට ඕනෑම භාණ්ඩයකට උපරිම හා අවම මිලක් නියම කළ හැකියි. ඒ සඳහා විධිවිධාන පාරිභෝගික පනතේ තියෙනවා. උපරිම මිල පාලනය කළ විට භාණ්ඩයේ ඉල්ලුම වැඩිවෙනවා. සැපයුම අඩුවෙනවා. ලාභය අඩු නිසා නිෂ්පාදකයා වෙළෙඳපොළට භාණ්ඩ මුදා නොහැර ගබඩා කර තබාගන්නවා. ඒ සමඟම ඉල්ලුම ඉහළ යාම නිසා පවතින සැපයුම් ප්‍රමාණය මදි වෙනවා. මෙහි ඒකායන ප්‍රතිඵලය වන්නේ භාණ්ඩ හිඟයක් ඇතිවී මිල ඉහළ යාමයි.
ඇතැම් නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් තම භාණ්ඩවල මිල සීමාව ඉවත් කරන ලෙස නොඑසේ නම් සංශෝධනය කරන ලෙස රජයට බල කරනවා. මෙහිදී රජයට යම් තීරණයක් ගන්න සිදුවෙනවා. බොහෝ විට මෙය ආර්ථික තීරණයක් නොව දේශපාලන තීරණයක් විය හැකියි. මෙහිදී පාරිභෝගිකයාට සිදුවන්නේ අසාධාරණයක්.
විදේශ විනිමය අර්බුදය සමනය කිරීමට රජයට ආනයන අධෛර්යමත් කරන්න සිදුවෙනවා. එසේම ඩොලර් නැතිවීමෙන් පිටරටවලින් භාණ්ඩ මිලට ගැනීමට බැරි වෙනවා. එවිට සිදුවන්නේ භාණ්ඩ හිඟ වී ඒවායේ මිල අසාධාරණ ලෙස ඉහළ යාමයි. රජය මෙය පාලනය නොකරන නිසා තත්ත්වය උග්‍ර වෙනවා. රටේ කළුකඩ මිලක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් මෙම ආනයනය මර්දනය කිරීමට හේතු වෙනවා. රජය මිල පාලනයෙන් ඈත්වී සිටින විට වෙළෙඳුන්ට ඉහළ මිල තීරණය කරලා පාරිභෝගිකයා සූරා කන්න පහසු වෙනවා. අද මේ රටේ කිසිම භාණ්ඩයක් මිල පාලනයට යටත් කර නැහැ. මුදල් ඇමැතිවරයා පසුගියදා පැවසුවේ බෙහෙත් හැරුණුවිට කිසිදු භාණ්ඩයක මිල පාලනය කර නැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආනයනය කරන බොහෝ ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින්. වියළි මිරිස්, පරිප්පු, කළුබඩු, කරවල, සැමන්, කිරිපිටි ආදී බොහෝ දේවල මිල දරාගන්න බැරි විදියට වැඩිවෙලා. එසේම දේශීය නිෂ්පාදනවලටද කළුකඩ මිලක් ඇතිවෙලා.
ලංකා සතොස හරහා මේවා සුළු වශයෙන් ගෙන්වා බෙදාහැරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. සතොස වගේම වෙනත් රාජ්‍ය ආයතනවලට වෙළෙඳපොළේ බලය පෙන්වන්න බැහැ. ඔවුන් පුද්ගලික වෙළෙඳුන්ට යටයි. දේශීය නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ග රජයට නැහැ. දිගුකාලීන හෝ කෙටිකාලීන සැලසුම් නැහැ. ආනයනය සීමා කළ යුත්තේ දේශීයව ඒවා නිෂ්පාදනය කිරීමෙන් අනතුරුවයි. ඒත් එහෙම නොමැතිව හිතුවක්කාර ලෙස තහනම් කිරීම නිසා රටේ මිල වැඩිවෙනවා.
රජයට වෙළෙඳපොළට මැදිහත්වීම පිළිබඳ සැලසුමක් අදටත් නැහැ. දේශීය නිෂ්පාදනය දියුණු කිරීමට කෙටිකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුයි. පිළිගත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් දැන්වත් තැනිය යුතුයි. දැන් පටන් ගතහොත් නව වසර දෙක තුනක් යන විට යම් සතුටුදායක වෙනසක් දැකිය හැකි වෙනවා.
යසවර්ධන රුද්රිගූ