2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

බාගෙට නතර වූ සෞඛ්‍ය සේවක වර්ජනය

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 202

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය  සමිති 18ක් පසුගිය පෙබරවාරි 7 වැනිදා දීප ව්‍යාප්තව ආරම්භ කරන ලද වැඩවර්ජනය ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් පසු තාවකාලිව අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති පසුගිය 15 වැනිදා තීරණය කර තිබේ. දින 9ක් පුරා අඛණ්ඩව පැවති මෙම වැඩ වර්ජනයෙන් බොහෝ රෝහල් සේවා අඩපණ වූ අතර රෝගීහු දැඩි අපහසුතාවට පත්වූහ.

සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයේ නිරත වූයේ  වැටුප් විෂමතාව ඉවත් කිරීම, උපාධියට අදාළ නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම, විෂේෂ රාජකාරි දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදී සේවා සංවෘත සේවා බවට පත් කිරීම වැනි ඉල්ලීම් හතක් දිනාගැනීම සඳහාය. මෙම වැඩ වර්ජනය දීප ව්‍යාප්තව ආරම්භ වුවද මහරගම අපේක්ෂා රෝහල, ළමා රෝහල, මාතෘ හා වකුගඩු  රෝහල්, ලේ බැංකුව වැනි ආයතනවල හා හදිසි හා ජීවිතාරක්ෂක සේවාවන්ට අදාළව ක්‍රියාත්මක නොවීය. එහෙත් සියලුම රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සායනික සහ බාහිර රෝගීන්ට ඖෂධ සැපයීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ, වාට්ටු සහ ඒකකවල රෝගී සත්කාරක සේවාවන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සේවාද අඩපණ විය.. 

රෝහල් කරා පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් ඖෂධ ලියා දී ඒවා රජයේ ඔසුසල්වලින් ලබාගන්නා ලෙසට දැනුම් දී තිබූ අතර ඔසුසල් අසල දිගු පෝලිම් දැකිය හැකි විය. ඇතැම් ඖෂධ රජයේ ඔසුසල්වල නොමැති වූ බැවින් ඒවා පෞද්ගලික ඔසුසල්වලින් මිලදී ගැනීමට ඇතැමුන්ට සිදුවිය. වෙනත් පරීක්ෂණද විශාල මුදලක් ගෙවා පිටතින් කරගෙන එන ලෙසට දැනුම් දී ඇතැයි රෝගීහු චෝදනා කළහ. සෞඛ්‍ය සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෘත්තීය සමිති නායකයන්ට තම අප්‍රසාදය පළකළ අතර ඔවුන් කියා සිටියේ රටේ ව්‍යසනයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය සේවකයන්ගේ මෙම වැඩ වර්ජනය ජනතාව තලා පෙලා දැමීම සඳහා සිදු කරන ලද්දක් බවත් මෙම ගැටලුව විසඳීමට රජයද කිසියම් පියවරක් නොගන්නා බවත්ය. 

තම ඉල්ලීම් ලබාදෙන තෙක් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවට සෞඛ්‍ය සේවකයෝ ප්‍රකාශ කළහ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ ගුරු සේවයේ වැටුප් විෂමතාව ඉවත් කිරීමේදී නුපුහුණු  ඩිප්ලෝමාධාරි ගුරුවරයකුගේ වැටුප රුපියල් 34,160 වන විට විශේෂ උපාධියක් සහිත හෙද නිලධාරින්ගේ හා ඖෂධවේදීන්ගේ වැටුප 33,860ක් බවත් මෙම වැඩවර්ජනය එය නිවැරදි කරන ලෙසට කරන බලපෑමක් බවත් තමන්ට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් සේවයට වාර්තා නොකරන බවත්ය.

මෙහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සභාපතිත්වයෙන්  යුතු රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වැඩ වර්ජනයට එක්වූයේ නැත. මේ අවස්ථාවේ සුළු සුළු ගැටලු හේතුවෙන් මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජයට අපහසු බවත්, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් පූර්ණ වගකීම තමන් බාර ගන්නා හෙයින් වැඩ වර්ජනයෙන් බැහැර වන ලෙසත් ආනන්ද හිමියෝ අනෙකුත් වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියහ.  ඔවුන්ගේ ඉල්ලීම් හතෙන් හතරකට මේ වනවිට පිළිතුරු ලැබී ඇති බවත් තවත් ඉල්ලීමකට පිළිතුරු මාර්තු මාසයේ ලැබෙන බවත් ඉතිරි ඉල්ලීම් දෙකටද පිළිතුරු ලැබීමට නියමිත බවත් මෙම වර්ජනය දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමේ අරමුණින් ආරම්භ කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. ඒ අනුව එම සංගමයට අයත් සියලු හෙද හෙදියන් සේවයේ යෙදී සිටියහ.

මේ අතර වෘත්තීය සමිති සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ පසුගිය 8 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාව අසාර්ථක වූ බව වෘත්තීය සමිති නායකයෝ ප්‍රකාශ කළහ. තමන්ට පිළිගතහැකි විසඳුමක් නොලැබුණ හෙයින් වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බව ඔවුහු කීහ. වැටුප් ගැටලුව පිළිබඳ චක්‍රලේඛය නිකුත් කිරීමට සති දෙකක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා එම සාකච්ඡාවේදී කිව්වා. ඒ කියන්නේ සති දෙකක් වර්ජනය කරන්න කියලද? රටේ ජනතාව පත්වන අපහසුතාවට වගකියන්නේ ලේකම්වරයාද? කරුණාකර මේ ගැටලුව විසඳන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ* යනුවෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේය.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ඔවුන් ඉදිරිපත් කළ ගැටලුවලින් කිහිපයක් නිරාකරණය කළ හැකි ඒවා බැවින් ඒවාට වහාම විසඳුම් ලබා දීමට තමන් එකඟ වූ බවත්, අනෙකුත් ගැටලු සඳහා ඉදිරියේදී සාකච්ඡා කොට විසඳාගත හැකි යැයි ඔවුන්ට පැවසූ බවත්ය. ගුරු වැටුප හා සම කිරීම සම්බන්ධ ඔවුන්ගේ ඉල්ලීම මේ අවස්ථාවේ සාකච්ඡා කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය. සෞඛ්‍ය සේවයේ වැටුප් සහ දීමනා සඳහා බිලියන 48ක් වැයවන බවත් විශේෂ දීමනා සහ අතිකාල ගෙවීම සඳහා තවත් බිලියන 83ක් අවශ්‍ය බවත් රටේ ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේ ඔවුන්ගේ වැටුප් වැඩිවීම් ලබා දීම අසීරු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඔවුන්ගේ ඉල්ලීම් අතර සාධාරණ ඉල්ලීම්ද පවතින නමුදු මේ අවස්ථාවේ ඒවා ඉටු කිරීමේ අසීරුතාවක් පවතින බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රටම දැඩි අසීරුතාවකට පත්ව සිටින අවස්ථාවක තමන් සෞඛ්‍ය සේවකයන්ට බොර දියේ මාළු බාන්නට ඉඩ නොතබන බව පැවසූ අමාත්‍යවරයා මම සලකා බලන්නම් කියන කෙනෙක් නෙමෙයි. කරන්න පුළුවන් නම් කරනවා කියනවා නැතිනම් බැහැ කියනවා. මෙම ගැටලුව ඉක්මනින් විසඳෙයි. පවතින තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නවා යැයි ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වර්ජනයේ නිරත වෘත්තීය සමිති මාධ්‍ය හමුවකදී පිළිතුරු දුන්නේය. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් කියා සිටියේ බොර දියේ මාළු බාන්නේ වෘත්තීය සමිතිද නැතිනම් සෞඛ්‍ය අමාත්‍යංශය හා සෞඛ්‍ය ඇමැතිවරයාද යන්න මේ මොහොත වන විට පැහැදිලි වී ඇති බවයි. &මාස තුනහමාරක් තිස්සේ අපි සාකච්ඡාවක් ඉල්ලුවා. අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන තෙක් අපට සාකච්ඡාවක් දුන්නේ නැහැ. වාරණ නියෝග ගන්නවා, පහුගිය 12 දා හදිසි නීතිය ගේනවා. ඒ අනුව පේනවා කවුද බොරදියේ මාළු බාන්නේ කියලා. අපි පැහැදිලිවම රජයට කියනවා මේක මර්දනය කරන්න හදන්න එපා. එහෙම වුණොත් අපි ඒකට මුහුණ දෙනවා. ඒ නිසා සාකච්ඡා මගින් මේ ගැටලුව විසඳන්න. යනුවෙනි.

වර්ජනය හේතුවෙන් දහස් ගණනින් ජනතාව අසරණ වෙද්දී ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ රෝගීන්ටද එය විශාල වශයෙන් බලපෑවේය. ඖෂධ නොමැතිකමින් ඔවුන්ද දැඩි අපහසුතාවට පත්ව සිටි අතර එම ආයතනයේ හෙද නිලධාරින්ගෙන් 95෴ක් පමණ සේවයට වාර්තා කර තිබුණේ නැත. එම ආයතනයේ වෛද්‍යවරුන් ඉල්ලා සිටියේ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ට බලපෑමක් සිදුවන ආකාරයට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙසටය. ඇතැම් රෝහල්වල දැඩි සත්කාර ඒකක වසා දැමිමට සිදු වූ අතර ඒවායේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් වෙනත් වාට්ටුවලට යොමු කිරීමට සිදුවිය.

වැඩවර්ජනය හේතුවෙන් රෝගී ජනතාව මුහුණ පා සිටින අසීරුතා හේතුවෙන්  එය අත්හිටුවන ලෙසට දන්වමින් කොළඹ දිසා අධිකරණය පසුගිය 10 වැනිදා වාරණ නියෝගයක් ලබා දුන්නේය. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව එම වාරණ නියෝගය නිකුත් කෙරිණි. රජයේ හෙද සේවා සංගමය සහ එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය වෙත වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබිණි. එම වාරණ නියෝගය ලබන 24දා දක්වා බලපැවැත්වෙන නමුදු සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටවූයේ නැත. දිසා අධිකරණ රජයේ හෙද සේවා සංගමයට හා එහි කැඳවුම්කරුට වාරණ නියෝග නිකුත් කර තිබූ හෙයින් එම සංගමය තාවකාලිකව වැඩවර්ජනයෙන් ඉවත්වීමට තීරණය කළේය. සමන් රත්නප්‍රිය කියා සිටියේ වැඩ වර්ජන කිරීම වෘත්තීය සමිති අයිතියක් බවත් වාරණ නියෝග පැනවීමට පෙර තමන් උසාවියට  කැඳෙවුවානම් මේ සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කිරීමට හැකියාවක් තිබූ බවත්ය. විවිධ නියෝග පැනවීම මගින් රජය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවත් එයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට යෑමට තමන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

සෞඛ්‍ය ඇමැතිවරයාගේ අදහස වන්නේ මෙය දේශපාලන අවශ්‍යතා මත සිදුකරන වර්ජනයක් බවටය. රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්වන තත්ත්වයක් මතුව ඇති හෙයින් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස තමන්ට නිහඬව සිටිය නොහැකි බවත් එහෙයින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයට විරුද්ධව නීතිමය වශයෙන් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළ බවත් ඔහු කියා සිටියේය. ඔවුන් අධිකරණයට ගරු කරමින් පසුගිය දින කිහිපයේ ජනතාවට සිදු කළ පීඩාව අත්හැර දමනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර විදුලිබල සැපයුම සහ රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් කියා සිටියේ සෞඛ්‍ය ඇමැතිවරයා උත්සහ කළා නම් පැය දෙකක් ඇතුළත මෙම ගැටලුව විසඳීමට ඉඩකඩ තිබූ බවයි. දින ගණන්, මාස ගණන් සැලසුම් කරමින්, රටේ නීතිය වෙනස් කරමින්, රජය පිළිබඳ වැරදි අදහසක් ප්‍රජාව තුළ ඇති කරමින්, රට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක නොමැති බව තහවුරු කරමින් මේ කරන්නාවූ ක්‍රියාවලිය නැවැත්විය යුතුයැයි* ඔහු සඳහන් කළේය.

වැඩවර්ජනයට අමතරව ඔවුහු දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පා ගමන්ද සංවිධානය කර තිබිණි. වැඩ වර්ජනයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය 14දා දිවයිනේ සියලුම වෘත්තීය සමිති නායකයන් කොළඹට කැඳවා තිබිණි. කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල විශාල විරෝධතාවක්ද පැවැත්වූ ඔවුහු ජනාධිපති කාර්යාලය වෙතට පා ගමනින් ගියහ. මෙවැනි උද්ඝෝෂණවලින්ද ජනතාව දැඩි පීඩනයට පත්වූ අතර මාර්ග අවහිර කරමින් පැවැත්වූ එම උද්ඝෝෂණ නිසා දැඩි වාහන තදබදයක්ද දකින්නට ලැබිණි. 

ජනාධිපති කාර්යාලය වෙතට පැමිණි වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට අවසර ලැබුණු අතර එහිදී සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට යාමට ඔවුන්ට අවස්ථාව හිමි විය. දෙපැයක පමණ කාලයක් පැවති එම සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම් ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රුස්වීමට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා පොරොන්දු වූ බවට ප්‍රකාශ විය. වර්ජකයින් එදින කියා සිටියේ ලබන සඳුදා වන විට මෙම ගැටලුව කැබිනට් මණ්ඩලයට නොගියහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කරන බවත් තම ඉල්ලීම්වල සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය.‍ &අපි සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ හැසිරීම සම්බන්ධයෙන් අපි සියයට සියයක් එකඟ වෙන්නේ නැහැ. එකඟතාවයන් ක්‍රියාත්මක වෙනවා නම් වර්ජනයට විරාමයක් දෙන්න ලෑස්තියි. අපේ ගැටලුව විසඳීමට ජනාධිපතිවරයාගේ සහ මුදල් ඇමැතිවරයාගේ සහයෝගය සෞඛ්‍ය ඇමැතිවරයාට ලැබිය යුතුයි. අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙනවා නම් ඉන් පසු අපේ මතය ඉදිරිපත් කරනවා* යනුවෙන් රවි කුමුදේශ් ප්‍රකාශ කළේය.. 

සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කර තිබියදීත් එක් වෘත්තීය සමිතියක් හැර සෙසු වෘත්තීය සමිති තව දුරටත් වර්ජනයේ නිරත විය.. මෙම වර්ජනය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම ඉක්මවා ගිය ජනතාව පීඩාවට පත් කරන ක්‍රියාවලියක් බව පැහැදිලි වීම මත දිසා අධිකරණය වාරණ නියෝග නිකුත් කිරීමටද, ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවාවක් පත් කිරීමේ 2266/ 55 අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමටද පියවර ගත් නමුදු ඔවුන් එය නොතකා තවදුරටත් වැඩ වර්ජනයේ නිරතවීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය හැකි බවත්, එමඟින් වසර 2–5 දක්වා සිරදඬුවම් නියම කළ හැකි බවත් නීති විශාරදයෝ පෙන්වා දුන්හ. එමෙන්ම ඔවුන්ගේ රුකියාව අහිමි කිරීමටද ඔවුන්ගේ දේපොළ රාජසන්තක කිරීමට හැකියාව ඇති බව පැවසේ.

ඇමැතිවරයා මෙම ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වූ පොරොන්දුව අනුව දින නවයක් පුරා පැවැති වැඩ වර්ජනය පසුගිය පෙබරවාරි 16 දින සිට දින 14කට තාවකාලිව අත්හිටුවීමට තමන් තීරණය කළේ යැයි වෘත්තීය සමිති නායකයෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළහ. වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභාව පසුගිය 15 දින රුස්වී ගන්නා ලද තීරණයකට අනුව රජයට දින 14ක කාලයක් ලබා දීමට තීරණය කළ බවත් එම කාලය තුළ මෙම ගැටලුව විසඳීමට ස්ථිර ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය කටයුතු කළ යුතු බවටත් එසේ නොවුණහොත් යළි අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බවත් ඔවුහු සඳහන් කළහ.

ඔවුන් පවසන පරිදි  වර්ජනය අත්හිටුවා ඇත්තේ තාවකාලිවය. යම් හෙයකින් සෞඛ්‍ය අමාත්‍යවරයා එම ඉල්ලීම් ලබාදීමට අපොහොසත් වුවහොත් ඔවුන් යළිත් වැඩවර්ජනයක් අරම්භ කිරීමට ඉඩ තිබේ. පසුගිය කාලයේ ගුරු විදුහල්පති වැඩ වර්ජනය හේතුවන් දරු දැරියන් විශාල පිරිසක් පීඩාවට පත්වූහ. වරෙක වෛද්‍යවරු විවිධ ඉල්ලීම් ලබා ගැනීම සඳහා වැඩ වර්ජනය කරති. මේ වන විට රටේ දිනපතාම පාහේ  වැඩ වර්ජන ක්‍රියාත්මක වේ. කුමන පාර්ශ්වයක් වැඩ වර්ජනවල නිරත වුවද එයින් පීඩාවට පත්වන්නේ මෙරට සිටින අන්ත දුගී දුප්පත් ජනතාවය. පෞද්ගලික රෝහලකින් ඖෂධ ගැනීමට ඔවුනට හැකියාවක් නොමැති අතර සෞඛ්‍ය සේවකයන් තම ඉල්ලීම් දිනාගැනීමට ගෙල මිරිකන්නේ අසරණ රෝගීන්ගේ වී ම මේ රටේ ඛේදවාචකයක් නොවන්නේද?

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා